2018 මැයි 26 වන සෙනසුරාදා

සරසවි කොලීජියට පැමිණි මුල්ම බෞද්ධ භික්ෂුව

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 266

නූතන බෞද්ධ භික්ෂුව හා වාම දේශපාලනය ගැන ශාස්ත්‍රීය විමසුමක් මෙතෙක් කර නැත. මෙය මෙරට සමාජ විද්‍යා පර්යේෂණ ගැන කෙරෙන විවේචනයකි. ගනනාථ ඔබේසේකර විසින් “ප්‍රොතෙස්තන්ත බුද්ධාගම” නමැති සංකල්පය බටහිර ශාස්ත්‍රීය ලෝකයට ඉදිරිපත් කළද එය තුළ නූතන භික්ෂුවගේ ක්‍රියාකාරීත්වය විභාග කර නැත.  ඔහු අනුගමනය කරමින් අමෙරිකන් සමාජ විද්‍යාඥයින් ද විවිධ පර්යේෂණ කර ඇති නමුත් ඔවුන් මෙම සංකල්පීය උගුලට හසුවී තිබේ. ඔබේසේකරගේ පර්යේෂණවලට සම්බන්ධ වූ රිචඩ් ගොම්බ්‍රිච් පවා ඔහු සංස්කෘත හා පාලි උගතෙක් වුවද භික්ෂුවගේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කිරීමට අපොහොසත් වී තිබේ. එයට එක් හේතුවක් වන්නේ “ප්‍රොතෙස්තන්ත බුද්ධාගම” සංකල්පය තුළ බෞද්ධ ගිහියාගේ හැසිරීමට මුල් තැන දිය යුතුය යන අදහස් ගැබ්ව තිබෙන නිසයි. එම සංකල්පයට යට නොවූ ස්ටැන්ලි තම්බයියා විසින් තායි බුද්ධාගම ගැන කළ පර්යේෂණවල මුල් තැනක් ලැබෙන්නේ තායි සංඝයාගේ වත්පිළිවෙත් හා දර්ශනයටයි.

ඉහත සඳහන් අඩුපාඩුවට ප්‍රධාන හේතුව වශයෙන් මා දකින්නේ මේ අමෙරිකන් පර්යේෂකයන් මෙරට භාෂා හා සංස්කෘතිය හඳුනා නොගැනීමයි. අමෙරිකන් ආරේ සමාජ විද්‍යාඥයින් තම මුලික දැනුම ලබාගත්තේ වැටුපක් සඳහා වැඩකරන දේශීය සහකරුවන් හා පරිවර්තකයින්ගේ ආධාරයෙනි. අපට වේතනයක් නොගෙවන ලද නමුත් අප ගුරුවරුන්ගේ සහකරුවන් වශයෙන් සමාජවිද්‍යා ශිෂ්‍යයින් වූ අප කීප දෙනෙක්  කටයුතු කර තිබේ. මාස ගණනක් ගම්වල ගෙවූ අප එක්කාසු කරන ලද කරුණු අනුවයි එම ජ්‍යේෂ්ඨ පර්යේෂකයින්ගේ රචනා සකස් වූයේ. මෙම කරුණු රැස් කිරීමේදී අහවලාගේ සහාය ලැබුණු බවට පෙරවදනේ සටහනක් කර ඇති නමුත් ඔවුන්ගේ බුද්ධිමය සේවය ගැන සැලකිය යුතු සඳහනක් දක්නට නැත. තවත් අඩුපාඩුවක් වන්නේ සඟ සසුන ගැන පර්යේෂණ කිරීම පසෙක තබා තොවිල් පවිල් සහ දොළදුක වැනි අංග ලාංකික බුද්ධාගමේ වැදගත් අංශ ලෙස ඉදිරිපත් කිරීමයි. මේ තර්ක අවිචාර ලෙස පිළිගත් ඇතැම් විදේශීය සමාජ විද්‍යාඥයින් තොවිල් පවිල් තුළින් පිළිබිඹු වන්නේ සිංහලයාගේ රෞද්‍රභාවය ලෙසත් ඒ තුළින් මෙරට ජාතිවාදී ගැටුම්වලට මුල්වන මානසික තත්ත්වය දැකගත හැකි බවත් ප්‍රකාශ කර තිබේ. බ්‍රෘස් කැප්පෙරර් නමැති සමාජ විද්‍යාඥයාගේ එවැනි අදහස් අප අමෙරිකන් ලැදි සමාජ විද්‍යාඥයින් විසින් අවිචාරවත් ලෙස පිළිගෙන තිබේ. නූතන බෞද්ධ භික්ෂුවගේ ක්‍රියාමාර්ග පිළිබඳව පර්යේෂණ කරන තැනැත්තෙකුට අනිවාර්යයෙන්ම වල්පොල රාහුල හිමියන්ගේ “භික්ෂුවගේ උරැමය” නමැති  ග්‍රන්ථය විභාග කිරීමට සිදුවෙයි.  එකදාස් නමසිය හතළිස් හා පනස් ගණන්වල අප රටේ දේශපාලන ඉතිහාසය විමසන සමාජ විද්‍යාඥයෙකුට මෙම පොත වටිනා මූල ග්‍රන්ථයකි. වල්පොල රාහුල හිමියන්ගේ මේ ග්‍රන්ථයට පසුබිමව පැවතුණේ ඊටත් වඩා ගැඹුරු පැනයකි. එනම් එකල රටේ පැවති දේශපාලන තත්ත්වයයි. මෙතැන දේශපාලන යනුවෙන් හඳුන්වනුයේ පටු පක්ෂ දේශපාලනය නොවේ. එයින් අදහස් වන්නේ තරැණ වාමාංශික උගතුන් මෙරටට හඳුන්වා දුන් වාමවාදී දර්ශනය හා ක්‍රියාකාරිත්වයයි.

වල්පොල රාහුල හිමි සහ නැගී ආ ලංකා සමසමාජ පක්ෂය අතර ඇති වූ සුහදතාවය වඩාත් හොඳින් මට අවබෝධ කරගත හැකිවූයේ උන්වහන්සේ වෙත ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් ලියන ලද ලිපි කියවීමෙන් පසුවයි. එම ලිපිවලින් ඇන්.ඇම්. රාහුල හිමිට රටේ දේශපාලන තත්ත්වය අවබෝධ කරදීමට තැත් කරයි. රාහුල හිමිට මේ නව අදහස් සමඟ ගැටීමට අවස්ථාව සැලසුණේ ඔහු එකල ලංකා විශ්වවිද්‍යාල කොලීජියට ඇතුළු වූ නිසයි. එකල අපේ සරසවි කොලීජිය ලන්ඩන් සරසවියට අනුබද්ධ ආයතනයක් විය.  මෙරටදී ශාස්ත්‍රීය දැනුම ලබා දුන්නද විභාග ප්‍රතිඵල හා උපාධි සහතික නිකුත් කරන ලද්දේ ලන්ඩන් සරසවිය විසිනි. වල්පොල රාහුල හිමි, ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන හා ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයින් මුලින් උසස් අධ්‍යාපනය ලද්දේ මේ ලංකා සරසවි කොලීජිය තුළිනි. පිලිප් හා ඇන්.ඇම්. වැනි අය අතරමගදි වැඩිදුර අධ්‍යාපනය සඳහා බටහිර සරසවිවලට ගිය අතර, තවත් අය මෙහිදී උපාධිය ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩන් බලා පිටත් වූහ. තමාගේ පියාගේ හදිසි මරණයෙන් පසු මුළු පවුලේම බර තම කරට ගැනීමට සිදු වූ ජේ.ආර්. පමණක් ලංකා සරසවියෙන් පිටවී නීති විද්‍යාලයට ඇතුළු වී අද්වකාත් කෙනෙක් හැටියට කටයුතු කළේය. එම වගකීම නොතිබෙන්නට ඔහුද එංගලන්තයට ගොස් බැරිස්ටර් කෙනෙක් වීමට මහන්සි ගන්නවා නිසැකය.

සරසවි කොලීජියට ඇතුළු වූ මුල්ම බෞද්ධ භික්ෂුව හැටියට රාහුල හිමියන්ට සුවිශේෂ තැනක් ලැබේ. ප්‍රාචීන භාෂාවලට අමතරව උන්වහන්සේ ඉංග්‍රිසී බසද ප්‍රගුණ කළේය.  එපමණක් නොව එම සරසවියේ පතාක යෝධයෙක් බඳුව සිටි මහාචාර්ය ලින් ලුඩෝවයික් ඇසුරු කිරීමට ඔහුට හැකි විය.  මේ ඇසුර සම්බන්ධයෙන් “රාහුල සමරමින්” නමැති ලිපියක් ලුඩෝවයික් විසින් ද “ලුඩෝවයික් සමරමින්” නමින් ලිපියක් රාහුල හිමි විසින් ද රචනා කර තිබේ.

සරසවි උපාධිය ලත් රාහුල හිමි වැඩිදුර ඉගෙනීම සඳහා කල්කටාවට යෑමට බලාපොරොත්තු විය. එකල පෙරදිග උසස්ම සරසවිය වුයේ කල්කටා විශ්වවිද්‍යාලයයි.  ලංකා සරසවියේ ප්‍රාචීන අංශයේ මහාචාර්යවරැන් බොහෝ දෙනෙක් වැඩිදුර ඉගෙනීම සඳහා ගියේ ලෝක පූජිත ගුරුවරුන් සිටි කල්කටා සරසවියටයි. එහි උපාධිධාරියෙක් වූ මහාචාර්ය හෙට්ටිආරච්චි කල්කටාව ගැන ඔහුගේ සිසුන් වූ අපට නිතර කීවේය. මුළු රෑ පුරාම අවදිව සිටීමට කකුල් දෙක වතුර බේසමක ඔබාගෙන පොතපත පාඩම් කළ හැටි ගැන ඔහු අපව දැනුවත් කළේ අපගෙනුත් එවැනිම කැපවීමක් බලාපොරොත්තුවෙන් යැයි සිතමි.

එහෙත් ලෝක යුද්ධය ඇරඹීමත් සමඟ කල්කටාව යුද බිමක් බවට පත්වීම නිසා රාහුල හිමි විද්‍යාලංකාරයේම රැඳී සිටියේය. මෙරට වාමාංශික ව්‍යාපාරය ළඟින්ම සිටියේ විද්‍යාලංකාරේ භික්ෂුන් වහන්සේලාය. සිංහල බුද්ධාගම ගැන ලියන සමාජ විද්‍යාඥයන් මේ වැදගත් සමාජීය පසුබිම ගැන සටහන් තබා නැත. ඒ ගැන මීළඟ ලිපියෙන් තවත් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.