2018 මැයි 26 වන සෙනසුරාදා

දෙදාස් විස්සට ගණන් හැදීම

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 250

මෙරට පැවැති වසර 30ක යුද්ධය රටේ ජන ජීවිතය පමණක් නොව දේශපාලනයද වෙනස් කළේය. සිංහල බෞද්ධයන්ගේත් දෙමළ හින්දූන්ගේත් දේශපාලන නායකයන් වරින්වර ඝාතනය වූයේ මේ ජාතීන් දෙකටම නායකත්වයක් අහිමි වන තරමට බියක් රටපුරා ඇති කරවමිනි. කෙසේ හෝ යුද්ධය ඉවර කර දැමීමෙන් ජාතීන් දෙකටම නායකයන් ඉතිරි විය. හැබැයි ඒ එක්කම දේශපාලන ප්‍රශ්නත් ඉතිරි විය.

යුද්ධය ජයගැනීමට දේශපාලන නායකත්වය දුන් මහින්ද රටේ ජනප්‍රියම තේරීම විය. එය වසර 10ක් පුරා අඛණ්ඩවම රුක ගැනීමටද මහින්ද සමත් විය. එසේ වුවත් යුද ජයග්‍රහණයේ සෙසු භූමිකාවලට පණදුන් පිරිස් ටිකින් ටික අමතක කිරීම මහින්දගේ අවාසියට හේතු විය. ඒ වෙනුවට ඔහුට දේශපාලන වශයෙන් වඩාත් කිට්ටු වූයේ දැඩි මතවාදී අදහස් දැරූ නායකයන් කිහිප දෙනෙකි. පවුලේ සාමාජිකයන්ගේ බලපෑම්ද මෙහිදී තිරණාත්මක සාධකයක් විය. ශ්‍රීලනිපයේ වසර 17ක් පුරා ලේකම් ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහින්දගේ පාලනයෙන් ගිලිහී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමටද අවසානාත්මක බලපෑම කළේ එම වටපිටාවය. මහින්දට රටේ නායකත්වය අහිමිවීමට මේ සියලු කාරණා හේතු විය.

දකුණේ මෙවැනි තත්ත්වයක් මතු වනවිට උතුරේද වෙනස්කම් සිදුවෙමින් පැවැතිණි. උතුරේ දෙමළ ජාතික නායකත්වය විනාශ කර දැමීමට කොටින් ක්‍රියාකළත් නොමැරී බේරැණු සම්පන්දන් ඇතුළු කිහිප දෙනකු උතුරේ දේශපාලන නායකත්වයට උරදෙමින් කටයුතු කිරීමට ඉතිරි විය. එයින් සම්පන්දන්ලා කැමැත්ත දක්වන්නේ රජයට සහාය දක්වා තමන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමටය. නමුත් දැන් ඒ වෙනුවට විකල්ප යෝජනා ක්‍රම හිස ඔසොවන බව පෙනේ. උතුරේ දැනට කැපී පෙනෙන නායකයකු වීමට කැසකවන මහඇමැති විග්නේෂ්වරන්ට අනුව උතුරේ පවතින ගැටලු දකුණේ සිටින දෙමළ ජනතාවගේ උවමනා එපාකම් නාඳුනන නායකයන් සමඟ කතාකොට විසඳා ගැනීමට හැකියාවක් නැත. ඔහුගේ තේරීම ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමයි.

දකුණේ රණවිරුවන් සැමරීමත් උතුරේ දෙමළ ජනසංහාර වශයෙන් හඳන්වන සැමරීමත් සිදුවන්නේ මේ පසුබිම යටතේය. මෙහිදී දකුණත් උතුරත් දෙකම කොටස් වශයෙන් බෙදී සැමරැම් පැවැත්වීම කැපී පෙනෙන සාධකයකි. දකුණේ රණවිරුවන් සැමරෙන්නේ ආණ්ඩුව වෙනමත් මහින්ද නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය සහ පොදුජන පෙරමුණ වෙනමත්ය. උතුරේ ටී.එන්.ඒ. වෙනම ආකාරයකට දෙමළ ජාතික අහිමි වූ ජීවිත වෙනුවෙන් සැමරැම් කරන අතර මහ ඇමැති වෙනම වඩාත් අන්තගාමී මට්ටමක සැමරැමක් සිදුකරයි. එයට ටී.එන්.ඒ. එක සහභාගී වන්නේ නැත. යුද්ධයේ මියගිය දෙමළ සිවිල් ජනතාව පමණක් නොව කොටි ත්‍රස්තයන්ද එකට සැමරීම දකුණේ නායකයන්ගේ විරෝධයට හේතු වන බව පැහැදිලිය. ටී.එන්.ඒ. එක එවැනි සැමරුම්වලදී පස්ස ගහන්නේ ඒ හේතුව නිසා විය හැකිය. මේ ආකාරයට දකුණත් උතුරත් තම තමන්ගේ සැමරීම් වෙන් වෙන්ව පවත්වන්නේ ඇයි? යුද්ධය නිමවීමෙන් පසුව උද්ගත වෙමින් පවතින දේශපාලන පිටියේ වෙනස්කම්වල උණුසුම මේ දෙපැත්තටම දැනෙමින් තිබීමය.

දකුණේ රණවිරුවන් සැමරිය යුතු වන්නේ රටේ ජාතික ආරක්ෂාව, භූමිය, ස්වෛරීභාවය රැකදීම වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ සෙබළුන් සිහිකිරීම සඳහා මිස දේශපාලන හේතුන් පදනම් කරගෙන නොවේ. තම ජීවිත රට ජාතිය වෙනුවෙන් කැපකළ සෙබළුන්ගේ එම ජීවිත පරිත්‍යාගය නොවන්නට දේශපාලනය කිරීමට රටක් නොව නායකයන් සොයාගැනීමටද නොහැකි වන්නට ඉඩ තිබිණි. ජීවිත පරිත්‍යාග කළ පමණක් නොව අත, පය, ඇස්, ඇඟිලි වැනි ශරීර කොටස් අහිමි කරගෙන යන්තම් ජීවත්වන සෙබළු දහස් ගණනක්ද රටේ සිටිති. හරි නම් සිදුවිය යුතුව ඇත්තේ රටේ සියලු දෙනාම එකතු වී රට ගලවා ගත් සෙබළුන් සිහිපත් කිරීමය. අඩුම තරමින් දකුණේ හෝ දේශපාලන නායකයන්ට රණවිරු සැමරුම එක්ව සිදුකළ නොහැකි වීම පෙන්නුම් කරන්නේ යුද්ධයෙන් පසුව රට තුළ ඇතිවෙමින් තිබෙන දේශපාලන ප්‍රවණතාවල සංකීර්ණ ස්වභාවයයි. යුද්ධයට ගිය සෙබළුන් තම ජීවිත පරිත්‍යාග කළේ දේශපාලනික වශයෙන් බෙදීමක් නොමැතිව බව නායකයන්ට අමතක වීම කනගාටු විය යුතු කරුණකි.

යුද ජයග්‍රහණයේ උණුසුම මැද රාජපක්ෂ රජය තමන්ට සදාකල් බලයේ සිටිය හැකි යැයි ගණන් හදා ව්‍යවස්ථාවද වෙනස් කර ගත්තේය. එහෙත් එම ආශ්වාදය වැඩිකල් රුඳුණේ නැත. ඒ වෙනුවට හිමිවූයේ මැතිවරණ පරාජයයි. නමුත් එහිදී ජයලැබූ යහපාලනය මුල සිටම පීල්ල පැනගෙන දුවන කෝච්චියක් බවට පත්විය. මේ වනවිට එය තවදුරටත් සොලවා ගත නොහැකි ඇන්ජිමක මට්ටමට පත්වෙමින් තිබේ. තව වසර දෙකකටත් අඩු කාලයක් තුළදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ගැන බොහොම ඉක්මනට කතාබහ පැතිරෙන්නේ යහපාලනයේ එම පීලිපැනීම හේතුවෙනි. යුද්ධයෙන් පසුව පැවැති සෑම ජනාධිපතිවරණයම යුද්ධයේ සහ එය නිමා කිරීමේ පසු කම්පනවල බලපෑම්වලට හසුවෙමින් තිබූ බව පැහැදිලිය. එපමණක් නොව යහපාලනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ශ්‍රීලනිපයත් යූ.එන්.පී.යත් අතර විරසක භාවය ඉහළ යාමටද එය හේතු වී තිබේ.

මීළඟ ජනාධිපතිවරණයේ යූ.එන්.පී.යට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන්නේද යුද්ධය නිමා කිරීමේ කාර්යයේදී ඔහු විශිෂ්ටත්වයට පත්ව රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත් පුද්ගලයකු වීම හේතුවෙනි. ඔහුට එරෙහිව මුල සිටම දැඩි ප්‍රහාරාත්මක සටන් මගකට යූ.එන්.පී.ය බැස සිටින්නේද ගෝඨාභය ජනතාව තුළ ඇති කරගෙන තිබෙන එම විශ්වාසය හේතුවෙනි. වැඩක් බාරදුන්නොත් එය හරියට කරන නිලධාරියකු වශයෙන් රටම ඔහු දැන සිටින බව දන්නා යූ.එන්.පී.ය මාධ්‍ය හැසිරවීමේ දී තමන් සතුව සිටින හොඳම තුරැම්පුව වන මංගලට වැඩේ බාරදී තිබෙන බවත් පෙනී යයි. මංගල සාමාන්‍යයෙන් ඡන්ද කාලසීමාවලදී මාධ්‍ය හැසිරවීමේදී අනුකම්පා විරහිතව පහර දෙන්නෙකි. තම ප්‍රතිවාදීන්ගේ දුර්වලම ස්ථාන හරියටම සොයාගෙන නිලය අල්ලා වෙලාවට පහරදීම මංගලගේ ස්වභාවයයි. ගෝඨාභයගේ වියත් මග ඔහු හොඳ ඉලක්කයක් කරගන්නට ඇත්තේ ගෝඨාභය තවමත් දේශපාලනය භූමිකාවට නවකයකු වීම හේතුවෙනි. දේශපාලනයේ නොසිටි කෙනකුට මංගලගේ ගැහිලි ඉවසීම බොහොම අමාරුය. ඒ බව අන් සියල්ලටම වඩා හොඳින් දන්නවා ඇත්තේ දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වී සිටින මහින්දය.

හැබැයි මංගලගේ ප්‍රහාරයට මහින්ද උත්තර දෙන්න ගියේ නැත. එයට උත්තර බැන්දේ ගෝඨාභයමය. මංගල රනිල්ට ගැසූ බෑ කියන පෝස්ටරයම උඩට අරගෙන ගෝඨාභය උත්තර දුන්නේය. කෙසේ වුවද දේශපාලන ක්ෂේත්‍රයේ තවත් සමහරුන් කියන්නේ මංගල දැන් සිටම ගෝඨාභයට එරෙහි මාධ්‍ය මෙහයුම් අරඹා ඇත්තේ ගෝඨාභයගෙන් එල්ල විය හැකි අභියෝගයේ තරම පිළිබඳ හොඳහැටි තක්සේරු කර ගැනීමෙන් පසුව බවය. මංගලගේම න්‍යායට අනුව ගෝඨාභයගෙන් අභියෝගයක් නැත්නම් ඔහු පසුපස යමින් එළවා පහර දෙන්නේ නැත. මේ තරම් ඉක්මනට, ජනාධිපති ඡන්දයක් නොපෙනෙන තරම් දුරක් තිබියදී ගෝඨාභයගේ ප්‍රතිරෑපයට තදින් පහරදීමට හේතුවක් තිබිය යුතුය. එය වියත් මග පමණක් නොවන බව පැහැදිලිය.

ආණ්ඩුවට එරෙහිව සිටින දේශපාලන බලවේගවල විශ්වාසය වී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ශ්‍රීලනිපයේ හෝ පොදුජන පෙරමුණේ හෝ ඒ දෙකම එකතුවේ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය ඉදිරිපත් කරනු ඇති බවය. නමුත් ශ්‍රීලනිපයේ හෝ පොදුජන පෙරමුණේ සියලු නායකයන්ගේ අදහස එයම නොවන බවක්ද පෙනෙන්නට තිබේ. වාසුදේව එවැනි එක් ජ්‍යෙෂ්ඨයෙකි. ඔහුගේ තේරීම චමල් රාජපක්ෂ බව ප්‍රකාශ වී තිබේ. නමුත් වාසුදේවට එවැනි අදහසක් ඉදිරිපත් කිරීමට තරම් ලොකු දේශපාලන හයියක් නැත. ඔහු මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරයකු වුවද බලපෑම් කළ හැකි නායකත්වයක් ඔහුට නැත.

බැසිල් රාජපක්ෂද ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වීමට අදහස් කරගෙන සිටින බවටද දේශපාලන කරළියේ කැරකෙමින් තිබෙන ප්‍රවෘත්තියකි. ඒ ගැන බැසිල් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත. නමුත් පොදු ජන පෙරමුණේ සංවිධායකයා වශයෙන් ඔහු ඉටුකර ඇත්තේ කැපී පෙනෙන කාර්යභාරයකි. මාස කිහිපයක් ඇතුළත පිහිටු වූ පක්ෂයක් පුංචි ඡන්දය වැනි රටපුරා පැවැත්වුණ ඡන්දයක් ජයග්‍රහණය කරවන තරම් සංවිධානය කිරීම පහසු කටයුත්තක් නොවේ. එම ජයග්‍රහණයද ඉහළම ජයග්‍රහණයක් විය. නමුත් මහින්ද වටා සිටින විමල්, උදය ගම්මන්පිල වැනි පක්ෂ නායකයන් එම තේරීමට දැඩිව විරුද්ධත්වය පළකරන බව පැහැදිලිය. එපමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුවේ ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රබලම විවේචන ඉදිරිපත් කරන බන්දුල ගුණවර්ධනද බැසිල්ට කැමැති නැති බව පෙනෙන්නට තිබේ. ඔවුන් තදින්ම කියන්නේ ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවය. මින් පෙනී යන්නේ ඉදිරියේදී ඇතිවන දේශපාලන ප්‍රවණතා අනුව ගෝඨාභය ගේ දේශපාලන භූමිකාව තීරණය වනු ඇති බවය. යුද ජයග්‍රහණයේ විශිෂ්ටයකු වුවත් ගෝඨාභය තවමත් දේශපාලනයට ආධුනිකයකු වීම මෙහිදී තීරණාත්මක සාධකයක් වීමට ඉඩ තිබේ. ඇතැම් දේශපාලන විචාරකයන්ට අනුව ගෝඨාභය සිවිල් වැසියන්ගේ කටයුතු පාලනය කිරීමේදී එයට මිලිටරි මුහුණුවරක් නොදෙනු ඇති බවට කිසිම සහතිකයක් නැත. මානව හිමිකම්, දේශපාලන නිදහස පිළිබඳ අර්ථ දැක්වීම් ගෝඨාභයට කොතරම් දුරට අදාළ වනු ඇතිදැයි දැන්ම පැවැසීම අමාරු බව ඔවුන්ගේ මතයයි.

මේ අතර යූ.එන්.පී.ය මීළඟ ජනාධිපතිවරණය ගැන දක්වන්නේ තරමක් දුරට නිහඬ පිළිවෙතකි. මහලේකම් අකිල විරාජ් සහ මාධ්‍ය ඇමැති මංගල තමන්ගේ තේරීම රනිල් වික්‍රමසිංහ බව කියා තිබුණත් එතැනින් එහාට ඇත්තේ නිහඬ බවකි. රනිල් වික්‍රමසිංහ පසුගියදා නවීන් දිසානායක ජාතික සංවිධායක වශයෙන් වැඩ බාරගත් දින කළ කතාවෙන්ද රාජපක්ෂලාට පහරදුන්නේ මිලිටරි කතාවද සඳහන් කරමිනි. යූ.එන්.පී.ය 2020 ඡන්දය සම්බන්ධයෙන් සිටින්නේ ගෝඨාභය ඉල්ලන්න එනවා යන පූර්ව නිගමනය මත පිහිටා බව පෙනේ. එසේ කියමින් ඊළඟ ජනාධිපතිවරණයේදීත් පෙන්නන අපේක්ෂකයා වෙනුවට වෙනත් අපේක්ෂකයකු ගේන්නට සූදානම් වනවාදැයි කියන්න දන්නේ නැත.

 ශශීන්ද්‍ර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00