2018 ජුනි 02 වන සෙනසුරාදා

හොද්ද බොර කිරීම

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 284

මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වීමෙන් පසුව ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් විය. 2014 නොවැම්බර් 23 වැනිදා තමන් පොදු අපේක්ෂකයා බවට ප්‍රකාශ කරමින් තරග බිමට පිවිසි සිරිසේන මහතා 2014 දෙසැම්බර් 19 වැනිදා එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයම නිකුත් කළේය. එහි 09 වැනි පිටුවේ 8 වැනි අංකය වශයෙන් සඳහන් වී තිබුණේ තමන් සමඟ එක් වී සිටින දේශපාලන නායකයන් සහ ජනතාව සමඟ අදියර දෙකකදී මේ රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවටය. ප්‍රථම අදියර වන්නේ වහාම විසඳිය යුතු කාරණා සඳහා දින 100 වැඩපිළිවෙළකි. ඒ සඳහා දින 100ක අන්තර් කාලීන ජාතික ඒකාබද්ධතා රජයක් පිහිටුවීම සිදුවන බවත් එම වැඩපිළිවෙළ ශ්‍රී.ල.නි.පය, එ.ජා.පය, ජාතික හෙළ උරුමය සහ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික රජයක් හරහා ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් සඳහන්ය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ජාතික රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කෙරෙනු ඇති බවත් එහි සඳහන්ය.

සිරිසේන මහතා මෝඩ වැඩක් ලෙස දැන් හඳුන්වන දින 100 කතාව ඇතුළත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් අත්සන සිරිසේන මහතාගේ විය. පාර්ලිමේන්තුවේ යූ.එන්.පී.යට තිබුණේ ආසන 47ක් පමණක් වුවද සිරිසේන මහතා බලයට පත්වූයේ බහුතර යූ.එන්.පී. ඡන්දවලින් බව සැඟවිය නොහැකිය. ඊට උතුරැ නැගෙනහිර ඡන්ද ද එකතු විය. එවැන්නක් මෙරට දේශපාලන ඉතිහාසයේ කවදාවත් සිදු වී තිබුණේ ද නැත. එනම් යූ.එන්.පී. ඡන්ද හේතුවෙන් ශ්‍රී.ල.නි.ප නායකයකු හෝ ශ්‍රී.ල.නි.ප ඡන්දවලින් යූ.එන්.පී. නායකයකු හෝ මේ රටේ බලයට පත් වී නැත. පාර්ලිමේන්තුව තුළ සිටි ශ්‍රී.ල.නි.ප මැති ඇමැතිවරුන් අතුරින් එළියට පැමිණි කිහිපදෙනා හැර අන් සියලුම මන්ත්‍රීලා ඡන්දෙදි වැඩ කළේ මහින්ද වෙනුවෙනි. පොදු අපේක්ෂකයා ඔවුන්ගේ නිර්දය ප්‍රහාරයට ලක්විය. රනිල්ගේ නායකත්වයෙන් ජාතික ඒකාබද්ධ රජයක් පිහිටුවන විට යූ.එන්.පීයට එකතු වුණේ එම මන්ත්‍රීවරුන්ගෙන් පිරිසකි. එසේ වුවද අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කතා කරන්නේ එදා ඔහුට බලය ලබා දීමට කටයුතු කළ යූ.එන්.පී. මැති ඇමැතිවරුන් වෙනුවෙන්ද නැතහොත් තමන්ට එරෙහිව කටයුතු කළ ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ එ.ජ.නි.ස මන්ත්‍රීවරුන් වෙනුවෙන් ද යන්න දැන් විවාද සම්පන්න මාතෘකාවක් වී තිබේ. කොටින්ම සම්මුති රජය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාට සැබෑ උවමනාවක් තිබේද යන්න සොයා ගැනීම බරපතළ ගැටලුවක් බවට පත් වෙමින් තිබේ. 

ඒ ගැන සොයා බලන්න හොඳම අවස්ථාවක් පසුගිය 30 වැනිදා යෙදුණේය. ඒ යහපාලන සංකල්පය සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවක් බිහිකිරීම දක්වා ගෙන ආ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දින සමරු උළේලේදී ජනාධිපතිවරයා කළ කතාවය.

ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට මේ සමරු උළෙලට සහභාගී වන්නැයි ආරාධනාවක් තිබී නැත. ඉතිහාසයේ මෙවැනි ආණ්ඩුවක් බිහිකිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ සෝභිත හිමියන්ගේ ගුණ සැමරැමකට ආණ්ඩුවේ නායකයන් දෙදෙනාටම ආරාධනා නොකිරීම සිතා මතා සිදුකළ දෙයක්ද අත්වැරැද්දක්ද යන්න තවම අවිනිශ්චිතය. කොහොම වුණත් අගමැතිවරයා නොසිටි එතැන ජනාධිපතිවරයා තද ස්වරයකින් ප්‍රකාශ කළේ පොදු අපේක්ෂකයකු යොදවාගෙන ආණ්ඩුවක් හැදීමට ඉදිරියට ආ සෝභිත හිමියන් මහ බැංකුව කඩන්න යැයි කවදාවත් නොකියූ බවය. එය වක්‍ර ආකාරයකින් යූ.එන්.පී.යට එල්ල කළ ප්‍රබල පහරක් බවට සැකයක් නැත. මහ බැංකු බැඳුම්කර සිද්ධිය දැඩි ලෙස විවේචනයට ලක් කළේ ඒකාබද්ධ විපක්ෂයටත් වඩා ආණ්ඩුවේම සිටි ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන් විසිනි. එවකට මහබැංකු අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතා යළි එම ධූරයට පත් කිරීම වැළැක්වීමට සඳහා වැඩිපුරම බලයක් යෙදුවේ එම මන්ත්‍රී කණ්ඩායමය. එය මෙරට ඉතිහාසයේ ලොකුම බැංකු වංචාව බවට වැඩියෙන්ම කෑ මොර දුන්නේද එම මන්ත්‍රී පිරිසය. ඒකාබද්ධයේ පිරිස් කෑකෝ ගැසුවත් මාධ්‍ය සාකච්ඡා තියා ආණ්ඩුවට ගැහුවත් ආණ්ඩුව ඇතුළේම ඉඳගෙන මහ බැංකුව හොරා කෑ බවට චෝදනා කිරීම යූ.එන්.පී.යට බරපතළ ප්‍රශ්න ඇති කළේය. මුදල් ඇමතිට ඇමැති පට්ටම ගහලා ගියේත් අලුත් මහ බැංකු අධිපති කෙනකු පත් වුණේත් ඒවායේ ප්‍රතිඵල හැටියටය. මේ සමස්ත ක්‍රියාවලිය පුරාම ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කතා නොකළද ඔහු සිටියේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය සමඟ බව පැහැදිලි විය. ඒ වෙද්දීත් යූ.එන්.පී. සිටියේ දැඩි නිහඬ ප්‍රතිපත්තියකය.

එහෙත් සෝභිත හිමියන්ගේ සමරැ උළෙලේදී ජනාධිපතිවරයා කළ කතාව යූ.එන්.පී. සෘජුවම ඉලක්ක කර ගනිමින් කළ ප්‍රහාරාත්මක කතාවක් බව පැහැදිලිය. හදිසියේම මෙවැනි ප්‍රහාරාත්මක තැනකට ජනාධිපතිවරයා තල්ලු වුණේ කොහේ, කුමන බලපෑමකින්දැයි පැහැදිලි නැතත් දැන් රට තුළ ගොඩනැගෙමින් තිබෙන දේශපාලන වාතාවරණය එයට දැඩි ලෙස බලපෑම් ඇති කර තිබෙන බව පැහැදිලිය.

පාර්ලිමේන්තුව තුළ බල සංයුතියද ජනාධිපතිවරයාගේ කතාවේදී සංඛ්‍යා ලේඛන සහිතව සඳහන් විය. දින 100 වැඩපිළිවෙළ හැදුවේ කවුදැයි තමන් නොදන්නා බව කියූ ජනාධිපතිවරයා ඒක මෝඩම වැඩක් බවත් ඔළුවක් තිබුණා නම් කළ යුතුව තිබුණේ ජනාධිපති දිවුරැම් දීමෙන් පසුව පාර්ලිමේන්තුව විසිරවීම බවත් කිව්වේය. පාර්ලිමේන්තුව එදා විසුරුවා හැරීම වැළැක්වූයේ කව්දැයි මෙහිදී ජනාධිපතිවරයා නොකියා කිව්වත් දින සියය වැඩසටහන අවසානයේ 2015 මැයි මාසයේ තුන්වැනි සතියේදී නියමිත වූ පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මාස තුනකින් කල් දැමුණේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී පිරිසේ බලපෑමෙන් බව රහසක් නොවීය. එම මන්ත්‍රීවරුන් එදා ජනාධිපතිවරයාට කියා තිබුණේ ඒ අවස්ථාවේදී ඡන්දයකට ගියොත් යූ.එන්.පී.ය තනි ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවය. අවසානයේ ඡන්දය තැබූ විට කාටවත් තනි ආණ්ඩුවක් පිහිටුවීමට බලයක් ලැබුණේ නැත. ඔක්කොම ගැටලුවල ආරම්භය එය විය.

එසේ වුවද දැන් ඇතැම් දෙනා ප්‍රශ්න කරන්නේ මේ කරුණු කීමට වසර තුනහමාරක් බලා සිටියේ ඇයි කියාය. ආණ්ඩුව හැසිරවීමේ විධායක බලතල තමාට තිබියදී ඒවා භාවිත කරමින් ආණ්ඩුව හරි පීල්ලට දමාගන්නවා වෙනුවට රට තුළ අස්ථාවරභාවයක් ඇති වන මට්ටමට කතා කිරීම යහපත් නොවන බව ඔවුන්ගේ මතයයි. මෙම කතාවට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්නැයි අග්‍රාමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ යූ.එන්.පීයට ජනාධිපතිවරයා සමඟ ගැටුමකට යාමේ අදහසක් නැති බවය. එහෙත් යූ.එන්.පී.ය සභාපති කබීර් හෂීම් ලවා දින 100 කතාවට පිළිතුරක් ලබා දී තිබේ. ඔහු බ්‍රහස්පතින්දා (31) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ දින 100 වැඩපිළිවෙළ හැදුවේ මහින්ද රාජපක්ෂට එරෙහිව කැම්පේන් කළ පිරිස විසින් බවය. යූ.එන්.පී. එම මාධ්‍ය පිළිවෙළට වග කියන බවද ඔහු මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කිව්වේය.

ජනාධිපතිවරයාගේ මෙම දැඩි වාග් ප්‍රහාරය සිදුවූයේ ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානයට දින කිහිපයකට කලින් වීමද කැපී පෙනෙයි. අද 03 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රීලනිපය නිලතල කිහිපයක වෙනස්කම් සිදුවනු ඇතැයි අනාවැකි පළ වී තිබිණි. ජනාධිපතිවරයාගේ කතාව ඊට පෙර සූදානමක්දැයි හරියටම කිව නොහැකිය.

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයෙන් රටේ ආණ්ඩුවක් නැති බව තහවුරු වන බවය. එබැවින් වහාම පාර්ලිමේන්තුව විසුරැවා හැර මහා මැතිවරණයක් කැඳවිය යුතු බවද ඔහු කියයි. මෙවැනි අස්ථාවර ආණ්ඩුවකට ඉස්සරහට යාමට බැහැ. ඒ නිසා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට වහාම මැතිවරණයකට යා යුතුයි. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි අපි රජයෙන් ඉල්ලීමක් කරනවා* යැයිද මහින්ද කියා තිබුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවෙසේ බ්‍රහස්පතින්දා (31) පැවැති ඉෆ්තාර් උත්සවය අවස්ථාවේදීය.

ආණ්ඩුවෙන් ගිය 16 දෙනාගේ කණ්ඩායමද මේ කතාවලට එක්විය. බදාදා (30) පැවැති ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී එස්.බී. දිසානායක ප්‍රකාශ කළේ එජාපයට එරෙහිව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මුළුමනින්ම අනුමත කරන බවය. එහිදී එස්.බී. කියා තිබුණේ ජාතික රජය සමඟ කටයුතු කිරීම සහමුලින්ම අවසන් කරන බවට තම කණ්ඩායම හිටපු ජනාධිපතිවරයාට පැවැසූ බවය. මේ මාධ්‍ය සාකච්ඡාව ඔවුන් වඩාත්ම උපයෝගී කරගෙන තිබුණේ යූ.එන්.පී.යට දැඩි ලෙස පහර ගැසීමට බව පෙනෙන්නට තිබිණි. ජනාධිපතිවරයාගේ කතාවේදී යූ.එන්.පී.යට එරෙහිව එල්ල වූයේ බරපතළ චෝදනා බවත් රටේ සියලු රාජ්‍ය බැංකුවල මුදල් පෞද්ගලික බැංකුවලට ලබාදීමට යූ.එන්.පී.ය කළ යෝජනාව වළක්වා ගත්තේ ජනාධිපතිවරයා ගත් දැඩි තීන්දු තීරණ නිසා බවත් එස්.බී.ගේ ප්‍රකාශවල සඳහන් විය.

මේ වටපිටාව යටතේ දැන් බරපතළම ගැටලුවට මුහුණ දී සිටින්නේ යූ.එන්.පී.ය බව පැහැදිලිය. මුලින්ම යූ.එන්.පී.යට තදින්ම පහර ගැසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසය. රට විකුණන බවට ගිවිසුම් ගසා රට පාවාදෙන බවට වැනි චෝදනා එල්ල විය. මහබැංකුව හොරකම් කළ බවටද චෝදනා නැගීය. ඉන්පසුව ආණ්ඩුවට එක්ව සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගෙන් යූ.එන්.පී.යට චෝදනා එල්ල විය. රටට අහිතකර යෝජනා රාශියක් යූ.එන්.පී.ය ගෙන ආ බවට ඔවුන්ගේ ලොකු චෝදනාව විය. ඊළඟට ඒ වනතෙක් වටින් ගොඩින් යූ.එන්.පී.යට පහර ගසමින් සිටි ජනාධිපතිවරයා පසුගිය බදාදා (30) ඉතාම ආසන්නයටම ඇවිත් යූ.එන්.පී.යට පහර ගැසුවේය. 

මෙතැනින් එහාට යා යුතු වන්නේ කුමන දිශාවකටදැයි තීරණය කිරීම තවදුරටත් කල්දැමිය නොහැකි තැනකට යූ.එන්.පී.ය තල්ල වෙමින් සිටින බව පැහැදිලිය. හදිසියේම වාගේ මේ තත්ත්වය බැරෑරුම් වීමට දයාසිරි ජයසේකර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලක්ෂ 10ක චෙක්පතක් ලබාගැනීමේ සිද්ධිය හේතු වූ බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමට එකට එක කිරීමක් වශයෙන් එය ඉදිරියට ගෙන ආවත් දැන් එයද යූ.එන්.පී. දෙසටම කරකැවෙමින් තිබෙන බව පෙනේ. මුදල් ලබාගත් 118 දෙනාගේම ලිස්ට් එක එළියට දාන්නැයි සිදුවන බලපෑම් උග්‍රවීමත් එම නම් ලැයිස්තුවේ යූ.එන්.පී. ප්‍රබලයන් කිහිප දෙනකුගේම නම් තිබෙන බවට පැතිර යන ආරංචිත් යූ.එන්.පී.ය අසීරු තත්ත්වයකට පත්කර තිබෙන බව පෙනේ. මේ තත්ත්වය තවත් බරපතළ බවට හරවමින් බැඳුම්කර විමර්ශන කොමිෂන් සභාවේ මුළු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳව ජනාධිපති කාර්යාලය නීතිපතිගෙන් උපදෙස් විමසා ඇතැයිද සඳහන් වේ.

මේ පසුබිමේ යූ.එන්.පී.යට තවදුරටත් කොතරම් කාලයක් නිහඬව සිටීමට හැකිවනු ඇතිදැයි කීම අමාරුය. ඔවුන් කතා කිරීමට තීරණය කළ දවසට ආණ්ඩුව ඉතුරුවේදැයි කියන්නත් දන්නේ නැත.

 ශශීන්ද්‍ර