2018 ජුනි 09 වන සෙනසුරාදා

බැඳුම්කරේ රජයට ලොකු කැළලක්

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය 
අජිත් පී. පෙරේරා
♦ කණ්ඩායමකගෙ තොරතුරු හංගල තවත් අයගෙ තොරතුරු එළියට දැමීම 
♦ ජයග්‍රහණ සටන් කරලයි ගන්න ඕනෑ 
♦ ආණ්ඩුවෙ ප්‍රශ්න කැබිනට්ටුවෙ විසඳගත්තොත් හොඳයි 
♦ ප්‍රතිසංවිධානෙ ඉක්මනට නොවීම ගැන කනගාටුයි 
♦ පොලීසිය කියන හැමදේම ඇත්ත නෙවේ 
♦ ඇලෝසියස්ල එක්ක සමහර මන්ත්‍රීන්ගෙ සබඳකම් තිබුණ

කාලයත් එක්ක බලා හිටිය ප්‍රතිසංවිධාන කටයුතු පසුගිය දවස්වල පක්ෂයේ සිදුවුණා.  ඔබට අනුව වැඩේ සාර්ථකද?

ප්‍රතිසංවිධාන කටයුතුවලින් කොටසයි සිද්ධ වුණේ පක්ෂයේ අභ්‍යන්තරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා විජයවර්ධන වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. ඒක තවම සිදුවුණේ නෑ. ඒත් පක්ෂයේ විවිධ ධූරවලින් පත්කිරීම් සියයට 75ක් විතර ඉවර කරලා තියෙනවා. නමුත් සම්පූර්ණ වශයෙන් බලාපොරොත්තු ආකාරයේ ප්‍රතිසංස්කරණ සිද්ධ වෙලා නැති නිසා අපි ඉතුරු ප්‍රතිසංස්කරණයත් ඉක්මනින් කරන්න මහන්සි වෙනවා.

ඔබ එක් අවස්ථාවක දේශපාලන මණ්ඩල රැස්වීම ඉවර වෙලා ඔබගේ ෆේස් බුක් ගිණුමේ ප්‍රසිද්ධ කරනවා කණගාටුවෙන් ඉන්නේ කියලා. මොකද්ද මේ කණගාටුව?

එම ෆේස් බුක් සටහන දැම්මෙ අර්ථවත් පාක්ෂිකයා සතුටු කරන ප්‍රතිසංස්කරණ ඉටු නොවන නිසා. ඒ මගේ හැඟීම. ඒ හැඟීම තවමත් මගේ හිතේ තියෙනවා.

ඒ හැඟීම මැකෙන පාටක් නෑ?

එදා දවසේ ඉඳලා අපි විශාල ජයග්‍රහණ රැසක් අරගෙන තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ කිසිම ජයග්‍රහණයක් බන්දේසියේ තියලා පිළිගන්වන්නේ නෑ. සටන් කරලා ලබාගන්න ඕනේ. ප්‍රතිසංස්කරණ කියන්නේ පක්ෂයේ ධූරවල වෙනසක් නෙවෙයි. පුළුල් ප්‍රතිසංවිධානක්. වැදගත්ම දේ තමයි පක්ෂ නායකත්වය පිළිඅරගෙන තියෙනවා සදාකාලික පක්ෂ නායකත්වය වෙනුවට කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ කැමැත්ත මත තෝරාගන්න. කොහොම කළත් ව්‍යවස්ථාව සංශෝධන කරන්න ඕනේ. ඒ හරහා පක්ෂය ගොඩනගන්න ඕනේ. හැබැයි මේ කටයුතු ඉක්මනින් සිදු නොවීම ගැන කනගාටුවක් තියෙනවා. ඒ වගේම ප්‍රමාද වී හෝ මේ කටයුතු ඉෂ්ඨ වීම ගැන සතුටක් තියෙනවා.

ඔබලා මෙහෙම සැනසෙනකොට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමටත් ඉදිරි අය සමග සටනකට ඇවිත් තියෙනවා. ඒ පක්ෂයේ වෙනස්කම් ඉල්ලලා.

නෑ ඉතිං. ඔවුන් අවංකයි. අලුත් අය නිසා ඔවුන්ට අපිට තරම් ඉවසීමක් නැති වෙන්න පුළුවන්. ඔවුන්ගේ මතයයි මගේ මතයයි දෙකක් නෙවෙයි. එකක්. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙතුන් දෙනකු ඇරෙන්න පක්ෂ නායකයන් ඉන්නේ මේ වෙනස විය යුතුයි කියන තැන.

ඇයි මේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අකමැති කියලා ඔබ කියන්නේ?

ඒ තියෙන තත්ත්වය හොඳයි කියලා හිතන අය ඉන්නවා. ඒ වගේම තමන්ගේ පෞද්ගලික දේශපාලනයේ අවසන් වාරය ගත කරන අයට ආනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් නෑ. ඒ තත්ත්වය නිසයි වෙලා තියෙන්නේ.

සටන් කරපු පසු පෙළ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී ධූර ලබා දුන්නා. ඒ කටවල් වහන්නද?

නෑ. මම හිතන්නේ මේත් ඒ අයගේ ඉල්ලීම්වල කොටසක්. එවැනි ඉල්ලීමක් කරලා කොටසක් ලැබෙද්දි අනිත් කොටස අතඅරින සිරිතක් නෑනේ.

වර්තමානයේ ලොකුම සිද්ධිය තමයි පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ මන්ත්‍රීවරු මුදල් ගත්ත සිද්ධිය. ඔබට හිතෙන්නේ මොකක්ද මේ සිද්ධිය?

රටේ සිටින ව්‍යාපාරිකයන් දේශපාලනඥයන් සමඟ ගනුදෙනු පැවැත්වීම සාමාන්‍යයෙන් සිදුවෙනවා. එහෙම අශ්‍රය කළ පමණින්ම වැරැද්දක් වෙන්නේ නෑ. මෙතන තියෙන ප්‍රශ්නය තමයි රටේ ප්‍රධාන අපරාධයකට සම්බන්ධ පුද්ගලයකු නියෝජනය කරන ආයතනයකින් මැතිවරණය සඳහා මුදල් ලබා ගත්තා කියන ප්‍රශ්නය. මේ ගැන සමස්තව බලන්න ඕන. හැම පක්ෂයකටම දේශපාලනඥයෝ රටේ ඉන්න ප්‍රධාන ව්‍යාපාරිකයෝ සමඟ සබඳතා පවත්වනවා. මේ ඉතිහාසය ගැන සොයා බැලීම පොලීසියේ යුතුකමක්. ඒ තුළ රටේ නීතිය යටතේ ක්‍රියාත්මක කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක්.

ඇතැම් අයට දුරකථන සබඳතා තිබිලා තියෙනවා?

මෙහෙමයි. අපරාධකරුවකු සමඟ දුරකථන සංවාද තිබ්බා කියලා ඔහු අපරාධකරුවකු වෙන්නේ නෑ. ඡන්ද ව්‍යාපාරයකදී යම් මුදලක් ලබාගත්තා නම් ඔහු අපරාධකරුවෙක් වෙන්නේ නෑ. මේවා කුමන අරමුණකින්ද දුන්නේ කියන එක බලන්න ඕනේ. ඒවා ලබාගෙන වැරදි වැඩ කරලද කියලත් බලන්න. එහෙම නැතිනම් චෝදනා කරන එක වැරදියි.

ඔබට කියන්න පුළුවන්ද ඇලෝසියස් ඔබගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් දුන්නේ නෑ කියලා?

මම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හෝ ඊට අනුබද්ධ සමාගමක් හෝ අර්ජුන ඇලෝසියස්ගෙන් හෝ කිසිම මුදලක් ලබාගෙන නෑ. කතා කරලත් නෑ.

ඒත් ඔබත් සමඟ දුරකථන සංවාදයක් ඇති වුණා කියලා පසුගිය කාලයේදී කිව්වා.

එවැනි වාර්තාවක් එළිදැක්වුණා. ඒ නිසාම මගේ ජංගම දුරකථනයේ විස්තරාත්මක සටහන් මම ලබාගත්තා. එහෙත් එවැනි සදටහනක් නෑ. මම ඉන්පසුව බැඳුම්කර කොමිසමට ලිඛිත පැමිණිල්ලක් කළා. බැඳුම්කර කොමිසම ලිඛිතව මට දන්වා තිබෙනවා හරස් ප්‍රශ්න කිරීමට නොවූ තහවුරු නොකරන ලද 375 ලේඛනය මත කිසිම පියවරක් නොගන්නා බව. ඒ වගේම බැඳුම්කර වාර්තාවේ 671 පිටුවේ තියෙනවා කෝප් කමිටුවේ එ.ජා.ප මන්ත්‍රීවරු විසින් යොදපු පාද සටහන් නිවැරදි බව නීත්‍යානුකූල බව ඉදිරිපත් වූ සාක්ෂිවලට එකඟ බව. ඒ නිසා නිගමනයන්ට එයින් අගතියක් නැති බව. ඒ නිසා මන්ත්‍රීවරු නිර්දෝෂියි කියලා තහවුරු වෙලා තියෙනවා.

ඔබලා සම්බන්ධ නැති වුණාට රටේ ජනතාව ඔබලා දිහා බලන්නේ සැකයෙන්. එහෙම මොහොතක ඔබලාට වගකීමක් තියෙනවා නේද ලැයිස්තුවේ සත්‍ය හෙළි කරන එක.

කතා නායකතුමා කියන්නේ එවැනි ලැයිස්තුවක් නෑ කියලා. මමත් බැඳුම්කර වාර්තාවේ පිටපතක් ලබාගත්තා. එවැනි කිසිම දෙයක් නෑ. කතා නායකවරයාත් අදාළ වාර්තාව ඉල්ලලා තියෙනවා. මෙතන ගැටලුව එක් කණ්ඩායමක තොරතුරු හංඟලා තවත් කණ්ඩායමක තොරතුරු එළියට දැම්මා. 

දැන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තා කියලා විවිධ තොරතුරු දවසින් දවස අධිකරණයට ඉදිරිපත් වෙනවා. ඇයි මේ ලැයිස්තුව එකපාර දාන්න බැරි?

මෙම බැඳුම්කර පරීක්ෂණයෙන් පසුව ගොස් පොලීසියට පරීක්ෂණයක් කරනවා ඇලෝසියස්  මහේන්ද්‍රන් කාටද මුදල් ලබාදුන්නේ කියලා හොයලා බලන්න. ඒක නීත්‍යානුකූල දෙයක්. එතන අවුලක් තියෙන්නේ තෝරාගත්ත පුද්ගලයන් කිහිපදෙනකු වෙනුවෙන් මේ තොරතුරු ඉදිරිපත් කිරීම. ඒත් විටින් විට ඉදිරිපත් කරන්නේ. එහෙම කරපුවම පරීක්ෂණයට විශාල හානියක් වෙන්න පුළුවන්. අවසානයේ ඒකෙන් වාසිය ලබන්නේ අපරාධකරුවන්ට. මගේ විශ්වාසය අනුව ඇලෝසියස් අපරාධකරුවෙක්. ඔහුටත් ඔහුගේ ගෝලයන්ටත් විරුද්ධව නඩු අහලා අධිකරණයෙන් නීත්‍යානුකූලව නඩු අහලා හිර දඬුවම් දෙන්න ඕන.

ඒත් සත්‍ය හෙළි කිරීම වෙනුවට දෙගොල්ලෝ මඩ ගහගන්නවනේ.

ඔව්.. ඒක වැරදියි. ඒකෙන් අපරාධකාරයෝ තමයි වාසිය ගන්නේ. රටේ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමේ අරමුණින් මෙලෙස ක්‍රියා කරන එක සුදුසු නෑ කියලයි මගේ අදහස. මොකද පොලීසිය කියන හැමදේම ඇත්ත නෙමෙයි. මම අපරාධ සම්බන්ධව ඉන්න නීතීඥවරයෙක්. සමහර වාර්තාවල ඇත්තක් තියෙනවා. තවත් ඒවාවල බොරු විතරක්ම තියෙනවා. ඒ නිසා ඇතිවන හිත් වේදනාව මම දන්නවා. මම අර්ජුන ඇලෝසියස්ව අඳුරන්නේ නැති නිසා ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි සමහර මන්ත්‍රීවරුන්ගේ සබඳකම් සංකීර්ණයි.

දයාසිරි මන්ත්‍රීවරයා කියනවා 118 ලැයිස්තුවක් වසන්ත සමරසිංහ මන්ත්‍රීවරයා කියා තිබ්බා 166 ලැයිස්තුවක් ගැන. එතකොට මේ ලැයිස්තු මොනවද?

එම ප්‍රකාශය කරපු දෙන්නගෙන් අහන්න ඕනේ මේ ලැයිස්තුව කෝ කියලා. අපිත් ඉල්ලුවා. එහෙම තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම විතරක් නෙමෙයි එයත් ඉන්නවා කියලා හදන්න යන මතයත් එක්ක දේශපාලනඥයන් දැඩි පීඩනයකට පත්වෙනවා. ඒ පීඩනය ගැන සමහර අයට සතුටු ඇති. ඒත් රටට දේශපාලඥයන් අවශ්‍යයි.

ඔබට හිතෙන්නේ නැද්ද අර්ජුන් මහේන්ද්‍රන් වගේ අයෙක් ළංකර ගැනීම තුළ ආණ්ඩුවේ වගේම එජාපයෙන් හොඳ ප්‍රතිරූපය බිඳ වැටුණා කියලා.

අනිවාර්යයෙන් ඒ වැරදි තේරීමක්. ඒ තැනැත්තාට සුදුසුකම් තිබ්බා. ඔහුට හොඳ අත්දැකීම් තිබ්බා. ඔහු අගමැතිවරයාගේ විශ්වාසය දිනාගත්ත නිසා පත් කළා. ඒත් ඔහු තනතුරේ රාජකාරි කරපු විදිහ වැරදියි. ඔහුගේ බෑනත් ළංකරගෙන සිදු කළ අපරාධ මේ වෙනකොට හෙළි වෙලා තියෙනවා. එයින් රජයටත් අග්‍රාමාත්‍යවරයාටත් ලොකු කැළලක් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ.

ජනාධිපතිවරයා පසුගිය දවසක දැඩි ප්‍රකාශයක් කරනවා ආණ්ඩුවේ යම් යම් වැරදි ගැන. එයින් චෝදනා එල්ල වෙන්නේ වක්‍රාකාරයෙන්. එජාපයට කොහොමද මෙහෙම ආණ්ඩු කරන්නේ?

එදින ගරු ජනාධිපතිතුමා හැඟීම්බරව යම් යම් කරණා ප්‍රකාශ කළා. ඒ කිව්ව සමහර ඒවා අවස්ථා සම්බන්ධ ගැලපීමකුත් නෑ. සියයට සීයක් නිවැරදිත් නෑ. මම හිතන්නේ ජනාධිපතිතුමාගේ එම කතාව සිදු නොවුණා නම් හොඳයි. හැබැයි එතුළින් ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලියට ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුවත් ඇතුළේ ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි ඒ ප්‍රශ්න කැබිනට් මණ්ඩලය ඇතුළේ විසඳගත්තොත් හොඳයි.

දැන් ශ්‍රීලනිපයේ බහුතරයක් කියනවා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලා. එහෙම වුණොත් ආණ්ඩුවට මොකද වෙන්නේ?

හොඳම උදාහරණය තමයි විශ්වාසභංගය දිනුවේ ශ්‍රීලනිපයේ කිසිම ඡන්දයක් නැතුව. ඒ වගේම ශ්‍රීලනිපයේ තවත් පිරිසක් හොඳින් හිටියා. කොහොම වුණත් අපි ශ්‍රීලනිපයට කැමතියි. ඒ අය එක්ක වැඩ කරන්න. හැබැයි ශ්‍රීලනිපය නැතත් ආණ්ඩුව කරන් යන්න පුළුවන්.

එජාපයේ ඉදිරි අරමුණත් සම්මුතිවාදී ආණ්ඩුවක් කරගෙන යන්නද?

සම්මුතිවාදී ආණ්ඩුවෙන් කරගත්ත ගොඩක් හොඳ දේවල් තියෙනවා. ඒ වගේම ඉටු කරගන්න බැරි වුණු කාරණා කීපයකුත් තියෙනවා. ඒවා ඉටු කරගන්න අපි ඉදිරියේ කටයුතු කරනවා. මම ධනාත්මකව හිතන කෙනෙක්. දේශපාලනයේදී එවැනි අභියෝග තියෙනවා. ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව තියෙනවා.

හැබැයි සම්මුතිවාදී ආණ්ඩුව නිසා එජාපයට ඉතිහාසයේ හොඳම කළු පැල්ලම වැදුණා නේද?

අලුත් දෙයක් හැටියට තිබ්බේ ඔය දූෂණ චෝදනා කවදාවත් අපිට එල්ල වෙලා තිබ්බේ නෑ. ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. තනි පුද්ගලයෙන් නිසා නායකයටත් පක්ෂයටත් ලොකු පැල්ලමක් වැදුණා. ඒකෙන් ගොඩ එන්න පරිණත භාවයත්, ශක්තියත් අපිට තියෙන්න ඕන.

►ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00