2018 ජුනි 09 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

ජනාධිපති ලේකම් පදවියේ වෙනසක්?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය යටතේ වත්මන් ජනාධිපති ලේකම් ධූරය දරණ ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ සේවය ළඟදීම අවසන් වීමට නියමිත බව දැනගන්නට තිබේ. ඔහුගේ සේවා කාලය කෙටි එකක් බවට පත් කරමින් ඔහු වෙනුවෙන් සුදුසු අනුප්‍රාප්තිකයකු සොයා ගැනීම සඳහා ජනාධිපතිට සමීප උපදේශකයන් කිහිප දෙනකු මෙහෙයුමක යෙදී සිටීම ඊට හේතුවය.

එම ධූරය සඳහා වඩාත්ම සමීප අපේක්ෂකයා වී සිටින්නේ රාජ්‍ය බැංකුවක ඉහළම නිලයක් දරණ නිලධාරියකු බවද සඳහන්ය. මීට පෙර රාජ්‍ය ආයතන කිහිපයක අධිපති පදවිය දැරෑ මේ නිලධාරියා හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය යටතේද ප්‍රධාන තනතුරක් හෙබවූ අයෙකි.

ජනපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන ශිරාල් ලක්තිලක මෙම පත්වීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියා මුණගැසී ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ විශේෂ කාර්යයක් වෙනුවෙන් ඔස්ට්‍රියාවට ගොස් සිටින ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කළේ තමන් එවැනි තීන්දුවක් ගැන නොදන්නා බවය.

ජනාධිපති සහ ලේකම් අතර සබඳතා ව්‍යාකූල මට්ටමට වැටී ඇතිදැයි දැනගන්නට නැත. එහෙත් නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තහනම් කරනු ලැබුවේද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේද සභාපති පදවිය උසුලන ඔස්ටින් ප්‍රනාන්දු මහතා මීට කලින් ඔස්ට්‍රියාවට ගොස් සිටි අවස්ථාවේදී බවය.

ඒ ආකාරයටම ජනාධිපති සිරිසේන විවේචනය කෙරෙන අන්දමින් වැඩසටහන් විකාශය කළ ටී.එන්.එල්. රූපවාහිනී නාලිකාව අවහිර කෙරෙන පියවර ගනු ලැබුවේද ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඔස්ට්‍රියාවට ගොස් සිටියදී වීම විශේෂත්වයකි.

2015 ජනවාරි 15 වැනිදා ජනාධිපති සිරිසේන මහතා විසින් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති උපදේශකයකු වශයෙන් පත් කරන ලදී. ඒ වසරේම ජනවාරි 27 වැනිදා නැගෙනහිර ආණ්ඩුකාර වශයෙන් පත් කෙරුණු ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ධූරය බාරගැනීම සඳහා 2017 ජුලි 01 වැනිදා ආණ්ඩුකාර තනතුරින් අස් විය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සමීප උපදේශකයකු වන ශිරාල් ලක්තිලකගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සහ ලේකම්වරයා අතර කිසිදු ගැටලුවක් පැන නැගී නොමැති බවය. ඔස්ටින් තවමත් ජනාධිපති ලේකම් ඔහු කියයි. ලොක්කට කතා කරලා වැඩි විස්තර අහගන්න යැයි ද ලක්තිලක කියූවත් ජනාධිපති සිරිසේන මහතා හෝ ඔහුගේ මාධ්‍ය කාර්ය මණ්ඩලය හෝ විමසීම්වලට පිළිතුරු නොදෙන බව පෙන්වා දීමට සිදුවිය.

කලම්බු ටෙලිග්‍රාෆ්

කතා නැහැ

මේ පිළිබඳව අදාළ නිලධාරියාට (නව පත්වීම් නාමධාරී නිලධාරියාට) කතා කිරීමට උත්සාහ කළ ද කාර්යබහුල බැවින් පසුව අමතන්නැයි ඔහු ඉල්ලා සිටියේය.

නරක ආරංචිය

මහ බැංකුවේ බැඳුම්කර මගඩියට සම්බන්ධ පාර්ශ්වවලින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින දේශපාලනඥයන් සහ සෙසු පුද්ගලයන්ගේ නම් 118 ක් ඇතුළත් ලිස්ට් එක අනාවරණය වීම අපේක්ෂාවෙන් සිටින පිරිසට නරක ආරංචියක් තිබේ. හේතුව එවැනි නම් ඇතුළත් ලිස්ට් එකක් නොතිබීමය. එසේ වුවද මුදල් ගත් බවට සඳහන් නම් කිහිපයක් අධිකරණය ඉදිරියේ ළඟදීම හෙළිදරව් වනු ඇත.

හිටපු ඇමැති දයාසිරි ජයසේකර මෙම 118 ලැයිස්තුව ගැන මුලින්ම අනාවරණය කළේ තමන්ට රුපියල් ලක්ෂ 10ක චෙක් පතක් ලැබුණු බව පිළිගනිමින් සිදුකළ මාධ්‍ය හමුවේදීය.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට දැනගැනීමට ලැබී ඇත්තේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා බැඳුම්කර කොමිසමේ සභාපති කේ.ටී. චිත්‍රසිරි විනිසුරුතුමන්ට කතා කර මෙවැනි ලැයිස්තුවක් තිබේදැයි විමසා ඇති බවය. කොමිසමේ නිල වාර්තාවේ එවැනි ලැයිස්තුවක් නැති බව එහිදී ප්‍රකාශ වී ඇතැයි සඳහන් වේ. එවැනි ලැයිස්තුවක් නැතැයි ඔස්ටින් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කළේ ඉන් පසුවය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යවා ඇති සියලු ලිපිලේඛන ආපසු ගෙන්වා ගැනීමට ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන් පසුව පියවර ගෙන තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට දැනගන්නට ලැබී ඇත්තේ මුදල් ලබාගත් අය පිළිබඳ විස්තර සොයාගනු ලැබ ඇත්තේ සී.අයි.ඩී. නිලධාරීන් විසින් ලබාගන්නා ලද බැංකු සහ සෙසු වාර්තාවලින් බවය.

සන්ඩේ ටයිම්ස්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00