ඔස්ටින් ප්‍රනාන්දු අස්වෙයි?
ජනාධිපති ලේකම් ධූරයේ කටයුතු කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා පසුගිය 11 වැනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට ගිය අවස්ථාවේදී එම ලිපිය බාරගැනීමට ජනාධිපතිවරයා සූදානම් වී නොසිටියේය. මේ නිසා ඔස්ටින් ප්‍රනාන්දු මහතාට සිදුවූයේ එම අස්වීමේ ලිපිය මේසය මත තබා ආපසු පැමිණීමටය.
පසුගිය කාලසීමාව තුළදී වර්ධනය වෙමින් පැවැති රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අසතුටින් සිටි බවද දැනගන්නට තිබේ. ජනාධිපතිවරයා එක් වරක් පමණක් ජනාධිපති ධූරය දරණ බවට ජනතාව ඉදිරියේ පොරොන්දු ලබාදීමෙන් පසුව යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තක් පෙන්වීමද ඒ මහතාගේ මෙම තීන්දුවට බලපාන්නට ඇති බවද කියති.
2015 ජනවාරි 15 වැනිදා ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු වශයෙන් පත් කරනු ලැබූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන් දෙසතියකට පසුව ජනවාරි 27 වැනිදා නැගෙනහිර ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කරනු ලැබීය. 2017 ජුලි මස 01 වැනිදා ඒ මහතා ජනාධිපති ලේකම් පදවිය බාරගැනීම සඳහා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්විය.
කලම්බෝ
සිංගප්පූරුවේදී ගෝඨාභයට ලැබුණු ආරක්ෂක ඉඟිය
ක්‍රමෝපායික අධ්‍යයන සඳහා වන අන්තර්ජාතික ආයතනයේ 17 වැනි ජාත්‍යන්තර සමුළුව පසුගිය 31 වැනිදා සිට දින 03 ක් සිංගප්පූරැවේ ෂැංග්‍රිල්ලා හෝටලයේදී පැවත්විණි. ෂැංග්‍රිල්ලා ඩයලොග් වශයෙන් නම් කරනු ලැබූ මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දීය අගමැති මෝදි විසින් පවත්වනු ලැබීය. එම සමුළුවට දකුණු ආසියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන රටවල ප්‍රධාන පෙළේ නායකයෝ රැසක් සහභාගි වී සිටියහ. ශ්‍රී ලංකාවෙන් එම සමුළුවට පෞද්ගලික ඇරැයුමක් අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගි වී සිටියේය.
ගෝඨාභයට එහිදී විවිධ රටවලින් පැමිණ සිටි ආරක්ෂක උපදේශකවරු ගණනාවක් හමුවිය. එහිදී කිහිපදෙනකු විසින් ශ්‍රී ලංකාවේ උතුරේ පවතින ආරක්ෂක ගැටලු කිහිපයක් කෙරේ ගෝඨාභයගේ අවධානය යොමුකර තිබිණි. උතුරේ ස්ථාන ගණනාවක් නම් කරමින් ඔවුන් ගෝඨාභයට කියා තිබුණේ ඒ ස්ථානවල එල්.ටී.ටී.ඊ. තර්ජන යළි හිස එසවීමට ඉඩ තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවය. ඒ විස්තර කෙරෙහි අවධානය යොමුකළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ට කියා තිබුණේ එම තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අදාළ බලධාරීන්ට දැනුම් දෙන ලෙසටය. තමන් වත්මන් රජයේ කිසිදු තනතුරක් නොදරණ හෙයින් මේ සම්බන්ධයෙන් තමාට කළ හැකි කිසිවක් නැතැයි ඔහු ප්‍රකාශ කළ බවත් දැනගන්නට තිබේ.
මැතිවරණ වියදම් ගැන මහජන මතය
මැතිවරණ ව්‍යාපාරවලට අරමුදල් යෙදවීමේදී විනිවිදභාවයක් තිබිය යුතුදැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් සතිපතා සිදුකෙරෙන ඔන්ලයින් සමීක්ෂණයේ පසුගිය සතියේ ප්‍රශ්නය වී තිබිණි. මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සැලකීමේදී මැතිවරණ සඳහා අරමුදල් රුස්කිරීමේ කිසියම් විනිවිදභාවයක් හෝ යම් ආකාරයක නියාමනයක් සිදුවිය යුතුදැයි ඔබ සිතන්නේද* යන්න ප්‍රශ්නය විය. සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් 94%ක්ම ප්‍රකාශ කර තිබුණේ ඔව් යනුවෙනි. නැත යන්න ප්‍රකාශ කර තිබුණේ 6% ක් පමණි.
සන්ඩේ ටයිම්ස්
ණය බරේ තරම!
රටේ ණය කන්දරාව සම්බන්ධයෙන් ඒකාබද්ධය ඇතුළු විපක්ෂ කණ්ඩායම්වලින් ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ලවෙයි. රටම ණය කන්දකට යටකර ඇති බවටද විපක්ෂ මන්ත්‍රීවරැ චෝදනා කරති. මේ කරුණ සම්බන්ධයෙන් රජය පසුගිය කාලය මුළුල්ලේම පිළිතුරු දී තිබුණද පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා සංඛ්‍යාලේඛන මගින් රජයේ තත්ත්වය පැහැදිලි කළේය. ඔහුගේ එම කතාවේ මෙසේ සඳහන් විය.
විදෙස්වලින් ලබාගත් ණය වෙනුවෙන් රජයට මේ වර්ෂයේදී රුපියල් කෝටි එක්ලක්ෂ අනූදහසක මුදලක් (ට්‍රිලියන 1.9 ක්) ගෙවීමට සිදුවී තිබෙනවා. මේ ණයෙන් වැඩි ප්‍රමාණයක් 2015ට කලින් ගත් ඒවායි. ගිය ආණ්ඩුව ගත්තු ඒවා කියා අපි ඒ ණය ගෙවීම පැහැර හරින්නේ නෑ. ණය ගැනීම අප දැන් කළමනාකරණය කර තිබෙනවා. එදා වගේ හිතුමතේ ණය ගන්නෙ නෑ.