මා බෞද්ධයකු විදියට මහා සංඝරත්නයට ගෞරව කරනවා. හැබැයි ඔබවහන්සේලා යම් තැනකදී අනුශාසනා කරනවා නම් දේශනා කරනවා නම්, මේ රටට ඒකාධිපතියකු ඕනෑ කියලා අපි වරද්දගත්ත තැනක් තමයි එතන
මේ කතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිව්වේ පසුගිය 21 වැනිදාය. නිකවැරටියේ උදාගම්මානයක් විවෘත කිරීමේ උළෙලකදී ඒකාධිපති කතාව ජනාධිපතිතුමා ඇදලා ගත්තේ නිකම්ම නොවේ. ඊට දින දෙකකට පෙර කොළඹ මිරිහානේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවෙසේ පැවැති ඒ මහතාගේ ජන්ම දින පින්කම් උළෙලේදී අස්ගිරියේ අනුනායක වෙඬරැවේ උපාලි නාහිමියන්ගේ කතාවට පිළිතුරක් වශයෙන් බව පැහැදිලිය.
හරි නම් යූ.එන්.පියේ නායකයන් අතින් කියැවෙන්න ඕනෑ කතාවක් මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් සිදුකළේ ඇයි? මේ ගැන වඩාත් පැහැදිලි වෙන්නේ ඊට අදාළව ජනාධිපතිවරයා කළ කතාවේ ඉතුරැ කොටස් කිහිපයකුත් කියවා බැලුවොත් පමණි.
අද සමහරු කියනවා මේ ආණ්ඩුව සැර මදි. සමහරු කියනවා මා පණ මදි. මගේ කොන්ද පණ නෑ කියලා. මීට වඩා තැවෙන්න ඕනෑ තද නායකයෙක් වෙන්න ඕනෑ කියනවා. මම මාධ්‍යයෙන් දැක්කා ස්වාමීන් වහන්සේ කීපනමක් කියලා තිබුණා ඒකාධිපති පාලකයකු මේ රටට ඕනෑ කියලා
පාලනය ඒකාධිපති ස්වරූපයෙන් යනවා කියලා තමයි 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව වෙනසක් ඇති කළේ කියන එක අමතක කරන්න එපා. නිදහස... මානව හිමිකම් ශක්තිමත් කරන්න සියලු දේ දුන්නා. ඒ සියලු දේ වැරදියි කියලා දුන්න ආයුධයෙන්ම අපට පහර දෙනවා.
ජනාධිපතිවරයා මේ උත්තර දෙන්නේ කාටද? මහා සඟරැවනටද? මහින්දටද?, ගෝඨාභයටද?, නැතිනම් යූ.එන්.පියටද? මේ ගැන සොයන්න පසුගිය දිනවලදී දේශපාලන කරළියේ සිදුවූ සිද්ධීන් දිහා බැලිය යුතුය.
මුලින්ම පේන්නේ ඥානසාර හිමියන් සිරගත වීමත් සමඟ රටේ මහා සංඝරත්නයෙන් පැන නැගුණු ප්‍රබල විරෝධයයි. එම විරෝධය කොළඹ නගරයට පමණක් සීමාවුණේ නැත. මහ සඟරුවන අදාළ සිරගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවා පමණක් නොව මහපාරටද විරෝධය ගෙන ගියහ. උන්වහන්සේලා නඩු තීන්දුව සම්බන්ධයෙන් කරුණු කීමෙන් වැළකී සිටියත් ඥානසාර හිමියන්ට ජම්පරය අඳින්නට සිදුවීම විරෝධය දැක්වීමේ මාර්ගය ලෙස තෝරාගත් බව පෙනේ. එම විරෝධය දැක්වීම් පසුපස කිසියම් දේශපාලන අරමුණුද තිබූ බවත් පැහැදිලිය. චීවරය සහ ජම්පරය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ලැබුණු පිළිතුරුවලින්ද පෙනී ගියේ එවැනි තත්ත්වයක් ඇති බවය. ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලැබෙනු ඇති බවට කතාද පැතිරුණු නමුත් උන්වහන්සේ දැඩි ඇප කොන්දේසි මත මුදාහරිනු ලැබුවේ සිකුරාදා (22) පස්වරුවේය.
ඥානසාර හිමියන් දේශපාලන කරළියේ උණුසුම් භූමිකාවක් නිරෑපණය කළ චරිතයක් වුවද සිරගත වීමට ආසන්න කාලයේදී හෝ සිරගත වන දිනයේදීත් එවැනි භූමිකාවකට පණපෙවීමට උත්සාහ ගත්තේ නැත. උන්වහන්සේ නිහඬවම බන්ධනාගාරයට ගිය අතර දේශපාලනඥයන් අතුරින් හමුවීමට අවසර ලැබුණේ උදය ගම්මන්පිල සහ දුමින්ද දිසානායක ඇමැතිවරුන්ට පමණි. සමහරුන්ගේ මතය වී තිබෙන්නේ ගම්මන්පිල නීතිමය කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීමටද දුමින්ද ජනාධිපතිවරයාගේ පණිවුඩ පිළිබඳව දැනුම් දීමටද උන්වහන්සේ හමුවූ බවය. කැපීපෙනෙනම කාරණය නම් දේශපාලන කරළියේ පෙරළිකාර චරිතයක් වූ ඥානසාර හිමියන් සිරගෙදරදී ඉතාම නිහඬව කල්ගෙවීමට තීන්දු කර සිටීමය. එය නීති උපදෙස් මත සිදු වූ දෙයක්ද නැතහොත් දේශපාලනමය කාරණාවක්ද යන්න තවම පැහැදිලි නැත. මෙවැනි අවස්ථාවලදී පැල් බැඳගෙන බලන්න එන පිරිස්වලට උන්වහන්සේගේ අවසරය නොලැබුණු බව පෙනී යයි.
ඥානසාර හිමියන්ට ලැබුණේ නඩු තීන්දුවක් වුවද උන්වහන්සේ සිරගතවීම ආණ්ඩුවේ ප්‍රතිරූපයට අයහපත් ලෙස බලපාන බව නිසැකය. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙය හඳුන්වන්නේ ආණ්ඩුවේ භික්ෂු දඩයම වශයෙනි. ආණ්ඩුව මුල සිටම පෙන්වන සන්නිවේදනයේ දුර්වලකම මෙහිදී හොඳින්ම කැපීපෙනිණි. භික්ෂූන්ගේ විරෝධයට හේතු වූ ජම්පර ඇන්දවීමේ කතාවට පිළිතුරැ වශයෙන් අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ යවා තිබූ ලිපිය කරුණු ගොනුකිරීම අතින් තිබුණු දුර්වල තත්ත්වය එය පෙන්නුම් කරයි. අර්බුදකාරී තත්ත්වයකදී රජයෙන් යැවෙන ලියුම් ඉහළම මට්ටමකින් සම්පාදනය වීම අපේක්ෂිත වුවද මෙහිදී එම අවශ්‍යතාව ඉටුනොවීමේ අවාසිය ආණ්ඩුවට බලපානු ඇත. ඒ අතින් ඒකාබද්ධ විපක්ෂය නම් මේ කාරණයේදී ඉදිරියට නොපැමිණ තමන්ට වාසි ගැනීම සඳහා සෑහෙන බලපෑමක් සිදුකළ බව පැහැදිලිය.
මේ සියලු කතා අවසානයේදී ගැටගැසෙන්නේ 2020 ජනාධිපතිවරණයටය. වසර එකහමාරකටත් එහා තිබෙන ජනාධිපතිවරණයක් ගැන කතා කිරීමේ තේරැම කුමක්දැයි වරක් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රශ්න කළත් දැන් සිදුකරන හිට්ලර් කතාවලින් පෙනෙන්නේ ඒවා මැතිවරණය ඉලක්ක කරගනිමින් කරන බවය. ඒකාධිපති කතාවට ජනාධිපතිවරයා අන් සියල්ලටම කලින් උත්තර දීමට හේතුවද එයම විය හැකිය.
ජනාධිපතිවරණය හත් ගව්වක් තියා ඒ ගැන උණුසුමක් මතුවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ සම්ප්‍රාප්තියත් සමඟ බව සැඟවිය නොහැකි යථාර්ථයයි. රටේ මීළඟ නායකයා වීමට ශ්‍රීලනිපය, ඒකාබද්ධය, පොදුජන පෙරමුණ ඇතුළු සියලු යූ.එන්.පී. විරෝධී බලවේගවල තේරීම රාජපක්ෂ කෙනකු නම් ඒ රාජපක්ෂ ගෝඨාභය බව දැනට මතුවී පෙනෙන තත්ත්වයයි.
ෂැංග්‍රිල්ලා හෝටලයේදී පසුගිය දිනයක වියත් මග පළමු වර්ෂ පූර්ණ හමුව මෙහිදී කැපීපෙනෙන හැරවුම් ලක්ෂයක් විය. එය ගෝඨාභය රජ කරවීමට වෙර දරණ පිරිසගේ සාර්ථක මෙහෙයුමක් වුවද ඒ සමඟ රාජපක්ෂ පවුලේ බලවත් සංවිධායකවරයා වන බැසිල්ගේ නොකැමැත්තටද එය හේතු වී තිබිණි. එය බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. මහින්ද පාර්ශ්වයට අයත් ශ්‍රීලනිපය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් තම දේශපාලන අනාගතය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක සිටියදී ඔවුන් එක රැහැනකට ගොනුකොට අලුත් බලාපොරොත්තුවක් ඇති කළේ පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව දණගැස්සූ ප්‍රතිඵලය මගිනි. එම ප්‍රතිඵලයට මහින්දගේ කිසිදා ගිලිහී නොයන ජනප්‍රියත්වය ප්‍රධාන සාධකය හේතු වූ බව සැබෑය. එහෙත් බැසිල්ගේ සංවිධාන ශක්තිය නොවන්නට එවැනි ජයක් ලබාගැනීම දුෂ්කර කාර්යයක් වීමට හොඳටම ඉඩ තිබිණි. බැසිල් සහ ඔහුට සහාය දක්වන පිරිස් ගෝඨාභයගේ වියත් මග දෙස වෙනත් ඇසකින් බලන්නට පෙළඹෙන්නේද මේ යථාර්ථය හේතුවෙනි. බැසිල් පක්ෂය ඇතුළත වැඩි පිරිසකගේ ඩාලිං කෙනකු නුවූවද ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුගේ ශක්තිය මහින්දගේ ජනප්‍රියත්වය සමඟ එකතු වීම ජයග්‍රහණයකට අවශ්‍යම සාධකයකි. ගෝඨාභයට රටේ මහා සඟරැවනේ ආශීර්වාදය ඉහළින්ම ලැබෙන බව පසුගිය මාස කිහිපය තුළදී පැහැදිලිව පෙනිණි. එහෙත් හිට්ලර් වැනි ඒකාධිපතියකු රටට අවශ්‍ය බවට ඇතැම් ස්වාමීන් වහන්සේලා විසින් ප්‍රකාශ කිරීම එම ආශීර්වාදයට සිදුකරන බලපෑම කුමක්දැයි ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.
ජනාධිපතිවරණය ගැන කතා කිරීමේදී තවත් පිරිසකගේ ප්‍රශ්නය වී ඇත්තේ යූ.එන්.පී. විරෝධී අපේක්ෂකයකු තෝරා ගැනීමේදී එය රාජපක්ෂවරයකු අතුරින්ම කෙනකු විය යුත්තේ ඇයිද යන්නය. මහින්දට ව්‍යවස්ථාමය හේතූන් මත ජනාධිපතිවරණ අපේක්ෂකයා විය නොහැකි වුවද එම කැම්පේන් එක මෙහෙයවිය යුතු වන්නේ එනම් ඡන්ද මැෂිම ක්‍රියාත්මක කළ යුතු වන්නේ මහින්දමය. ඔහු අගමැති අපේක්ෂකයා හැටියට එය ඉටුකරයිද නැතහොත් වෙනත් ඉහළ මට්ටමකට යාමට සැලසුම් කරමින් ඡන්ද කැම්පේන් එක කරයිද යන්න ප්‍රශ්නාර්ථයකි. වෙනෙකක් තබා රාජපක්ෂලා අතුරින් ඊළඟ අපේක්ෂකයා කවුදැයි තීරණය කරන්නේද මහින්ද බව පැහැදිලිය. මෙහෙම බලන විට සිදුවෙන්නේ රාජපක්ෂ කෙනෙකු විසින් රාජපක්ෂවරයකු තෝරාගෙන තවත් රාජපක්ෂවරයකුගේ සංවිධාන ශක්තියෙන් ජනපතිවරණය ජයගැනීමට ක්‍රියාකිරීමය. එය ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සෙසු යූ.එන්.පී. විරෝධී බලවේගවල නායකයන් සියලුදෙනා අනුමත කරයිද කියා හරියටම කීමට තවම වේලාසන වැඩිය.
ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිස ආණ්ඩු විරෝධී පාර්ශ්වයේ තත්ත්වය එසේ වනවිට ආණ්ඩුව කරවන යූ.එන්.පී.යද මේ වනවිට ගමන් කරමින් සිටින්නේ අර්බුද මැදය. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සිත් සැනසීම සඳහා නියෝජ්‍ය ඇමැති පදවි, රාජ්‍ය ඇමැති පදවි ලබාදුන්නත් ඇතුළත මත ගැටුම් ඉවර නැත. ඒ අතරේ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් දැඩි ලෙස පෙනී සිටි සුජීව සේනසිංහ සහ රංගේ බණ්ඩාර සද්ද වහගෙන ඉන්න තැනකට තල්ලු වී සිටීම අගමැති රනිල්ට නම් සැනසිල්ලක් විය හැක.
එහෙත් යූ.එන්.පී.යේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් දිගටම කියන්නේ ජනාධිපතිවරණයේ යූ.එන්.පී. අපේක්ෂකයා රනිල්ම බවය. කෙසේ වුවද ඩේලිමිරර් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී නායකත්ව වෙනසක් ගැන පක්ෂයේ මතු වූ ගැටලු සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට නවීන් දිසානායක ඇමතිවරයා දුන් පිළිතුරක සඳහන් වූයේ තමන්ගේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය පිළිබඳව අලුත් සංකල්පයක් ඔස්සේ කටයුතු කරමින් සිටින බවය. සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු, හිටපු ඇමැති රවි කරුණානායක සහ තමා ඇතුළත් වන කණ්ඩායමකට නායකත්ව වගකීම් පැවරීම ඒ අනුව සිදුවනු ඇතැයි නවීන් කියා තිබිණි.
අපි සියලුදෙනා පක්ෂය ඉදිරියට ගෙන යා හැකි කණ්ඩායමක්. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැන් වයස 70ට ළඟයි. ඕනෑම සංවිධානයක නායකත්වය කාලය සමඟ වෙනස් විය යුතුයි. කිසිම නායකයකුට ධුරය අතහැර පිටවී යා නොහැකියි. එය ක්‍රමානුකූලව සිදුවිය යුතු දෙයක්. නායකත්වයේ මීළඟ මට්ටම පිළිබඳව දැන් පක්ෂය තුළ සාකච්ඡා පැවැත්වෙනවා. ඔහු කියයි. ඊළඟ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා තරග කළයුතු බවත් එසේ නොවන්නේ නම් ඊළඟ හොඳම අපේක්ෂකයා පක්ෂය විසින් තෝරාගත යුතු බවත් නවීන් කියා තිබිණි.
මේ යන විදියට ඇතැම් විට 2020 දී පැවැත්වෙන්නේ ශ්‍රීලනිපය නැති ජනාධිපතිවරණයක් වීමට හොඳටම ඉඩ තිබේ. කොහොම වුණත් හිට්ලර් කෙනකු බිහිකිරීමට නම් රාජපක්ෂලා හෝ වික්‍රමසිංහලා හෝ කටයුතු නොකළ යුතු බවට කතා දෙකක් නැත.
ශශීන්ද්‍ර