ජනපති - අගමැති එක් නොවුණොත් ආණ්ඩුව අසාර්ථක වේවි
ජනතාව දුන්න වරමෙන් අපි කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නෑ
ජනතාව දුන්න වරමෙන් අපි කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නෑ
රාජපක්ෂලා මාර්කටින් දන්නවා. අපේ දෙන්නට මාර්කටින් බෑ
අර්ජුන්ලාගෙන් මේ අර්ජුන සල්ලි ගත්තේ නෑ
දයාසිරියි ෆයිසරුයි ක්‍රිකට් නැතිකළා
මේ ආණ්ඩුව පත්වෙලා දැනට අවුරුදු තුනක් ගෙවිලා. ඒත් කිසිම ස්ථාවර බවක් තවමත් පේන්න නෑ. කොයි මොහොතෙත් ගැටලු. ඇයි මෙහෙම?
ස්ථාවර බව ගැන කතා කරද්දී ඒක පේන්නේ අපි ගන්න තීරණවල ස්ථිර බවක් නෑ. මට නම් පැහැදිලිව පේන්නේ සමහර අමාත්‍යවරු තමන්ගේ විෂය පථය ගැන හොයන්නේ නැතුව අනුන්ගේ දේවල්වලට මැදිහත් වෙනවා. ඒ වගේම ඒ අස්ථාවරභාවය පේන්න ගත්තේ එක්තරා කල්ලියක් විසින් අගමැතිවරයා ඉවත් කරන්න ලෑස්ති වුණා. ඒ අය එහෙම කළේ තනතුරු තානාන්තර සඳහා. ඒකෙන් වුණේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් අමාරුවේ වැටිච්ච එක. ආර්ථිකයත් අස්ථාවර වුණා. සමහර ආයෝජකයෝ අපි හම්බවෙලා ගිහිල්ලා ආයිත් ආවේ නෑ. ඒ අය මේ අස්ථාවරභාවයට බය වෙලා. මේ සියලු දේවල් වුණේ කකුලක් එහා පැත්තේ තියාගෙන දේශපාලනය කරපු කණ්ඩායමක් නිසා. ඒක තමයි මේ රටට වෙච්ච ලොකුම විනාසය.
ඔබ කියනවා කල්ලි කණ්ඩායම් තමයි ස්ථාවරභාවය කැඩුවේ කියලා. ඒත් අපිට පේන විදිහට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරවත් ස්ථාවරභාවයක් නෑනේ?
පහුගිය අවුරුදු දෙකහමාර තුළ මේ දෙදෙනා එකතුවෙලා ඉතා හොඳින් වැඩකටයුතු ටික කරගෙන ගියා. හැබැයි පහුගිය කාලයේ යම් යම් අතපසුවීම් වුණා. ඔවුන් දෙන්නා පරිණත දෙන්නෙක්. ඔවුන් කතා කරලා විසඳගෙන ඉදිරියට යයි. එකක් මතක තියාගන්න ඕනේ ජනාධිපතිවරයාව ජනාධිපති කළෙත් අගමැතිතුමාව අගමැති කළෙත් පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිහින්. ඒක ගොඩක් දෙනෙක්ට අමතක වෙලා. සමහර ඇමැතිවරුන්ටත් අමතක වෙලා. ජනතාව ඡන්දය දුන්නේ පක්ෂ දෙකට නෙමෙයි. මේ දෙන්නට එකතුවෙලා රට හදන්න කියලා. අන්න ඒ දෙයින් අපි අසාර්ථක වෙලා. මේ දේවල්වලට වගකියන්න ඕන අය ඉන්නවා.
හැබැයි මොනදේ අසාර්ථක වුණත් රට හදන වැඩේ පැත්තකින් තියෙලා හැමෝම ජනාධිපතිවරණයට නම් ලෑස්ති වෙනවා.
නෑ බලන්න පහුගිය අවුරුදු දෙකහමාර ඇතුළේ අපි විශාල වැඩ කොටසක් සිදුකළා. හැබැයි අපි ඒ දේවල් මාධ්‍ය මගින් ප්‍රචාරණය කළේ නෑ. ඒක තමයි විශාල වරද අපි කරපු. අපි මුදල් ඉතුරු කරගන්න කියලා කරන වැඩෙන් මහජනතාවට යන්නේ නෑ කිසිම තොරතුරක්. මම වුණත් හිතනවා මුදල් වියදම් කරද්දි මේ රටේ ජනතාවගේ මුදල් නේද කියලා. ඒ වුණාට සමහර ඇමතිවරු ඉන්නවා පත්තරවල පිටු ගණන් පුරවන අය. මට එක වෙලාවකට හිතනවා අපි කරන දේත් හරිද කියලා. කොහොම වුණත් පක්ෂවලින් විතරයි ඊළඟ ජනාධිපති ගැන හීන දකින්නේ. ඒත් ඊළඟ ජනාධිපතිවරණයේදී ජනතාව විශාල තීරණයක් ගනී.
මොනදේ කළත් පහුගිය අවුරුදු තුනක කාලය තුළ කැබිනට් එකේ ඔළුගෙඩි ටික නම් මාරැ කළා?
මෙච්චරයි මට දැනට පේන්නේ ඉතිරි මාස 18 කාලය තුළවත් ජනාධිපතිතුමාත් අගමැතිතුමාවත් එකතු නොවුණොත් අපේ ආණ්ඩුව කොහොමත් අසාර්ථක වෙයි. කොහොම වුණත් අපිට දුන්න වරමෙන් අපි කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නෑ. ඒක තමයි අපිට වැරදුණ තැන. එහෙම නැතුව ඔළුගෙඩි මාරු කරලා තේරුමක් නෑ. විෂය පථය හරි විදිහට අමාත්‍යවරු අතර බෙදෙන්න ඕනේ. අපි කතාවුණේ පක්ෂ දේශපාලනයෙන් තොරව යන්න. ඒත් පක්ෂ දේශපාලුවෝ ටිකක් ඇවිත් මේක කුජීත කළා. ඡන්ද පදනමක් නෑ ඔවුන්ට.
ඔබලට වඩා ඒ කට්ටියට ආණ්ඩුවේ මාර්කට් එකක් හැදිලා ඔබ කියන හැටියට. ඒ කොහොමද?
නෑ ඉතිං ඒ අය ගිහින්නේ වැඩියෙන් මාධ්‍ය ඉස්සරහා කතා කරන්නේ. ඔය කෑ ගහන අයගේ විෂය පථයන් බලන්න. ඒ අය මොනවද කරලා තියෙන්නේ කියලා බලන්න. ඒ අය කළේ අනුන්ගේ දේවල් හොයපු එක. මේ අයව ඊළඟ ඡන්දයෙදී ගෙදර තියන්නේ ජනතාව.
කවුද මේ අය? එජාපයේද? ශ්රීලනිපයෙද?
නෑ එක්සත් ජාතික පක්ෂයේ එහෙම තත්ත්වයක් තිබ්බේ නෑ. ශ්‍රීලනිපයෙත් ඉතා සුළු පිරිසක් ඉන්නවා හොඳ කට්ටියක්. එක්තරා පිරිසක් තමයි තමන්ගේ වාසිය වෙනුවෙන් මේ වැඩ කරන්නේ. මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂය කිසි වෙලාවක ජනාධිපතිතුමාව අසරණ කළේ නෑ.
දැන් ඔබලා බලයට එනකොට රාජපක්ෂ ආණ්ඩුවටයි, රාජපක්ෂ පවුලටයි දැඩි විවේචනයක් කළා. ඒත් අවුරුදු දෙකහමාරක් යනකොට ඒ රාජපක්ෂලටම ඡන්දයකින් පැරදුණා. ශ්‍රීලනිපයේ 16කුත් දැන් රාජපක්ෂවරු හොඳයි කියනවා. දැන් කාටද වැරදුණේ?
නෑ මෙච්චරයි කිසිම ප්‍රතිපත්තියක් නැති දේශපාලනඥයෝ ඔවුන්. ආණ්ඩුවේ අඩුපාඩු නිසානේ රාජපක්ෂවරු හැමෝටම හොඳ වුණේ. මම දකින හේතුව තමයි රාජපක්ෂලා මාර්කට් කරන්න දන්නවා. ඒත් අපේ දෙන්නා මාර්කට් කරන්න දන්නේ නෑ. ඒකයි වෙනස. මහින්ද රාජපක්ෂ මහත්තයා වැඩක් නොකළත් විශාලව පෙන්නනවා. දැක්කනේ හම්බන්තොට වරායට වතුර පුරවන වෙලාවේ බිලියන ගාණක් වැය කළා. ඒත් දෙවැනි වතාවේ මම ඇමැතිවරයා හැටියට වතුර පුරවද්දි දහදාහයි වියදම් වුණේ. මොකද අපි බොරු ෂෝ දාන්නේ නෑ. රාජපක්ෂ පාලනයම බොරු ෂෝ එකෙන් යන්නේ.
රටේ මුදල් ඉතුරු කරන්න ෂෝ එක නැතිවුණාට මහ බැංකුවෙන් සිදු කරපු හොරකම පොඩි නෑනේ. ඒ සල්ලි කොටසක් මැති ඇමැතිවරුන්ටත් ගිහින්.
නෑ ආණ්ඩුවේ අය විතරක් නෙමෙයිනේ විපක්ෂයේ අයත් අරගෙන තියෙන්නේ. මම කියන්නේ ප්‍රතිපත්තියක් හැටියට ඒ ගත්ත අයගේ නම් එළියට දාන්න. එතකොට ගත්ත නැති අයගේ නමුත් එළියට එයි. යාළුවෝ ඉන්න පුළුවන්. ඒත් එක්කෙනෙක් දෙන්නෙක්ගේ නම් එළියට දාලා හරියන්නේ නෑ.
ඔබට කෙළින්ම කියන්න පුළුවන්ද ඇලෝසියස්ගෙන් සතයක් ලැබුණේ නෑ කියලා?
ඔව් මට කියන්න පුළුවන් මට සතයක් දුන්නේ නෑ. මෙතන හොඳම කාරණය මේ ඔක්කොම අර්ජුන්ලා. අර්ජුන්ලා දැන් අර්ජුන වෙලා. ඒක මටත් ලැජ්ජයි. ඒ මටත් මගේ මැතිවරණයේදී විවිධ ව්‍යාපාරිකයෝ උදව් කරනවා. හැබැයි මම සල්ලි ගන්නේ නෑ. මේ අය මගේ මිත්‍රයෝ.
මේ කාරණයෙන් එක දෙයක් පැහැදිලියි නේද? ජනතා නියෝජිතයෝ කියන්නේ කළු සල්ලි සුදු කරන මැෂින් නේද?
ඒක වෙලා තියෙන්නේ මේ ක්රම්වේදයේ ප්රශ්නය. සල්ලි නැතුව දේශපාලනය කරන්න බෑ කියන තැනට ගිහින් තියෙනවා. මේක මේ 1977 ආව ක්‍රමවේදයේ අවුල. ආසන ක්‍රමය අත් හැරිය නිසයි මේ තත්ත්වය.
දේශපාලනය වගේ තමයි රටේ ක්‍රිකට් ක්‍රීඩාවත් අස්ථාවර වෙලා. මොකද මේ?
ක්‍රිකට්වලට නුසුදුසු පුද්ගලයන් පැමිණීම. අපි මේ ගැන මානව හිමිකම් එකට පවා පැමිණිලි කළා. ඒත් වෙච්ච දෙයක් නෑ. ඒක වැහුවා. අනික අද ක්‍රිකට් පරිපාලනයේ ඉන්නේ සූදුකාරයෝ කියලා රටම දන්නවා. එහෙම සම්බන්ධ අයගේ ගෙවල්වලට ගිහින් කාලා බීලා ඒ දේවල්වලට අනුමැතිය දෙන අය ඉන්නවා. උදාහරණයක් හැටියට තිලංග සුමතිපාල මහත්තයා ගන්න. එයාගේ පවුලම ඔය ව්‍යාපාරයට සම්බන්ධයි කියලා රටම දන්නවා. ඒ විතරද ක්‍රීඩා ආයතනයේ ලේකම් මැච් පාවාදීම්වලට අහුවෙලා. අද වෙනකල් කරපු දෙයක් තියෙනවද? ක්‍රීඩා ඇමැතිවරු සද්ද නෑ.
ඇයි මේ අර්ජුන කියන දේට තැනක් නැත්තේ?
මෙහෙමනේ හිටිය ක්‍රීඩා ඇමැතිවරුයි, දැන් ඉන්න ක්‍රීඩා ඇමැතියි මට වඩා ක්‍රිකට් ගැන දන්නවා. එයාලා ගහලා තියෙනවා. මමත් දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහගන්නවා. ඇත්තම කතාව මම මේ රටේ ජනාධිපති වුණානම් අර්ජුන රණතුංගට කියනවා මේ ක්‍රිකට් හදලා දෙන්න කියලා. අගමැතිතුමා නම් කීප වතාවක් කිව්වා.
කවුද මේ තත්ත්වයට ක්‍රීඩාව වට්ටන්න වගකියන්න ඕනේ?
සම්පුර්ණයෙන් වගකියන්න ඕනේ දයාසිරි ජයසේකර. ඉතුරු පවට කරගහන්න වෙන්නේ ෆයිසර් මුස්තාෆාට.
අලුතින් යෝජනා කරලා තියෙනවා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියලා.
ඕක අවුරුදු ගාණක් තිස්සේ කියන දෙයක්. කාලයක් මොකද කළේ සංගලා මහේලලා දාලා කණ්ඩායමක් හැදුවා. ඒක හරි ගියේ නෑ. දැන් ෆයිසර් ඇවිල්ලත් ඒ දේම කරනවා. දැන් මේ වෙනකොට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෝ බොහොමයක් අත් ඇරලා තියෙන්නේ. මම සන්තෝෂ වෙනවා මේ සූදුකාරයන්ටයි, කුඩුකාරයන්ටයි ක්‍රීඩකයෝ යටත් නොවීම ගැන. දැන් බලන්න පාසල්, ක්‍රීඩා සංගම්වලට සතපහක් වියදම් නෑ. ඒත් ඡන්දය තියෙන ක්‍රීඩා සංගම්වලට පුදුම වියදමක්. මම හෙට අනිද්දා තව දෙයක් මුදල් ඇමතිට ලියනවා බංගලාදේශය සහ සිම්බාබ්වේ මැච්වලින් අපේ රටේ බුකීකාරයෝ කීයක් හම්බකරලද කියලා. මේවා එළියට ආපු දවසට ඔය මිනිස්සුන්ට පාරෙවත් යන්න වෙන්නේ නෑ.
මීළඟ අවුරුදු පහටම එංගලන්තය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගයක් නෑ.
ඔව් ඉස්සරහට යනකොට සිම්බාබ්වේ එක්කලාවත් හම්බවෙයිද දන්නේ නෑ. දැන් අපේ මාර්කට් එක අඩුයිනේ. ඒ නිසා ඒ අය කැමති නෑ දවස් තුනක් සෙල්ලම් කරන්න. එන්නම ඕනේ නම් ඔය කැළේක කොහේ හරි දෙයි. හැබැයි ඔය තත්ත්වය මහින්ද රාජපක්ෂ කාලයේ තිබ්බේ නෑ. හේතුව සූදුකාරයන්ට එන්න දුන්නේ නෑ. ඒත් අපි ආපු ගමන් සූදුකාරයන්ට බලය දුන්නා. ඒ නිසා ඉතිහාස ගතවෙයි යහපාලන යුගයේදී ක්‍රිකට් විනාශ වුණා කියලා. හැබැයි මාස 18න් ඕක ගොඩගන්න පුළුවන්.
ඔබ කියන්නේ ඔබට දෙන්න කියලද?
නෑ මට දෙන්න කියන්නේ නෑ. හැබැයි දුන්නොත් හදනවා. හදනවට කවුරුත් කැමති නෑ. මම දෙයක් කියන්නම්. ඊළඟ පාර ආණ්ඩුව පරදින්නේ ක්‍රිකට් නිසා.
දිනේෂ් චන්දිමාල්ගේ සිද්ධියේ අපි දැක්කා ක්‍රීඩකයෝ තනිවෙලා.
ඔව් අද ක්‍රිකට් පරිපාලනයක් නෑ. තියෙන්නේ හම්බ කිරීමේ පරමාර්ථය විතරයි. මුරලිගේ ප්රශ්නය වෙලාවේ ටීම් එක ඇතුළේ තියලා මමයි එළියට ගියේ. මම දන්නවා මොනවා හරි වුණොත් මටයි ඒ ප්‍රශ්නේ එන්නේ කියලා. ඒ එහෙම කළේ මම දන්නවා නීති පොතේ කොච්චරක් දුරට යන්න පුළුවන්ද කියලා. ඔය කතා කරන සභාපතිවරු නීති පොත ගැන දන්නේ නෑ. දන්නේ සූදු ගැන විතරයි. චන්දිමාල්ගේ ප්රශ්නය වුණත් මීට වඩා ගොඩින් බේරගන්න තිබ්බා. ඒත් එහෙම උපදෙසක් දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා මේ අයව ඒ තැන්වලින් ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්තන් ඉවරයක් වෙන්නේ නෑ.
ඉවරයක් නෑනේ. ඒ අයම නැවත ඒ පුටුවලට තරග කරනවා.
මෙහෙමනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඉල්ලන්න කියන්න සභාපතිකමට. පරදිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයට ඉල්ලන්න කියන්න. එයත් පරදිනවා. ඔය සභාපතිතුමාට බොරැල්ලෙන් ඡන්දය ඉල්ලන්න කියන්න. නගර සභාවටවත්. කිසිම ඡන්ද පදනමක් නෑ. මම කියන්නම් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දිව්වේ අතුරු පාලක මණ්ඩලය තිබ්බ කාලේ. හේතුව තියෙන්නේ අතුරු පාලක මණ්ඩලය තියෙන කාලේ ඔය ඡන්දය තියෙන අයට සල්ලි දෙන්න ඕනේ නෑ. ඒ අයට තියෙන්නේ ක්‍රිකට් හදන්න විතරයි.
මේ වෙනකොට රාජපක්ෂ කණ්ඩායම විසින් මීළඟ අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කරලා. ඔබ හිතන්නේ මොකද?
මුහුද හත් ගව්වක් තියන් අමුඩේ ගහන්න ඕනේ නෑනේ. අර ශ්‍රීලනිප 16 දෙනත් ඉන්නේ රාජපක්ෂ කෙනෙක් ඊළඟට ඡන්දයට ඕනේ කියන තැන. ඒ 16 දෙනාව නැති කළෙත් අර ක්‍රිකට්වලට සම්බන්ධ පුද්ගලයම තමයි. ඔහු රටේ නැති දේවල් කරලා විරසක කරලා ඒ කට්ටිය එළියට ගත්තා. අර ඇමැතිවරු ඇමැතිකම් අත්ඇරියට ඔය පුද්ගලයා ක්‍රිකට් අත ඇරියද නෑනේ. ඒ හිටිය අය වැඩක් කරන්න පුළුවන් කට්ටියක්. ඒත් අරයගේ වැඩේට අහුවුණා.
ගොඩක් අය කියනවා මිලිටරි පාලනයක් හරි ගෙනත් මේ රට හදන්න කියලා.
ඒකට මම එකඟ නෑ. හැබැයි තීරණ ගන්න පාලනයක් අවශ්‍යයි. හැබැයි හිට්ලර් කෙනෙක් රටට වඩා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට අවශ්‍යයි.
ඔබේ සහෝදරයා ඉන්නෙත් එවැනි පාලනයක් අවශ්‍යයි කියලා.
දේශපාලනය වෙනයි සහෝදරකම් වෙනයි. ප්‍රසන්න මල්ලි හිතන්නේ රාජපක්ෂවරු හොඳයි කියලා. හැබැයි මම කියන්නේ හරි නායකයෙක් හොඳයි කියලා. ගෝඨාභය මහත්තයා ලොකු වැඩ කොටසක් රටට කළා. යුද්ධය දිනන්න ඔහුගෙන් විශාල දායකත්වයක් ලැබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධය දිනන්න විශාල දේශපාලන නායකත්වයක් දුන්නා. ඒ දේවල් අපිට අමතක කරන්න බෑ. නමුත් අපි අමතක නොකළ යුතු දේ තමයි ඒ කාලේ අපි ජීවත් වුණේ කොහොමද කියන එක. හැබැයි කොයි ලෙසකින්වත් මිලිටරි පාලනයක් ඕනේ නෑ. ඉස්සරහට ඕනේ පක්ෂ පැත්තකින් තියෙලා රට ගැන හිතන නායකත්වයක්.
එවැනි නායකත්වයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගන්නවා නම් ඔබට ආරාධනා කළොත් බාර ගන්නවද?
නෑ. ඒකට කල් තියෙනවනේ.
►ගයාන් ගාල්ලගේ