2018 ජුනි 30 වන සෙනසුරාදා

ඡන්ද කල්දැමිල්ල

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

ලංකාවේ මැතිවරණ පැවැත්වීම එකම ජංජාලයක් බවට පත්වෙමින් තිබේ. පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ කතානායක කරැ ජයසූරිය මහත්වරැන් අතර පැවැති සාකච්ඡාව ඵලදායක ලෙසින් අවසන් වූ බවට එක් වාර්තාවකින් පළවෙද්දී අනෙක් වාර්තාවකින් කියැවෙන්නේ පක්ෂ හතරක කඹ ඇදිල්ලක් හේතුවෙන් දින නියමයක් නැතුවම ඡන්දය කල් යාමට ඉඩ තිබෙන බවකි. මේ සියලු කඹ ඇදිලිවලින් හිරවෙන්නේ රටේ ප්‍රජාතාන්ත්‍රික දේහයේ බෙල්ල බව මේ දේශපාලන පක්ෂ කිසිවක් තේරැම් නොගැනීම හැබෑම කරුමයකි.

හරියට බැලුවොත් පළාත් සභා හයක මැතිවරණය මේ වසර අවසන් වීමට පෙර පැවැත්විය යුතුව තිබේ. දැනටම විසිර වී තිබෙන උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා තුනක් සහ ලබන ඔක්තෝබර් මාසයේදී විසිරයාමට නියමිත වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් තුනක් සම්බන්ධ මැතිවරණය පැවැත්වීම එකම දිනයකදී සිදුකිරීමටත් දෙසැම්බරයේ පැවැත්වෙන අපොස (සා.පෙ.) විභාගයට පසුව සහ නත්තල් දිනයට පෙර කාලසීමාවේ දිනයක් ඒ සඳහා යොදාගැනීමටත් තීරණය කර ඇතැයි මහින්ද දේශප්‍රිය මහතා එම සාකච්ඡාවෙන් පසුව ප්‍රකාශ කර තිබිණි. එසේම පළාත් සභා මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් සභාපතිවරයාත් කතානායකවරයාත් දැඩි ලෙස කනස්සල්ල පළ කර ඇති බවත් දැනගන්නට තිබේ. එසේ නම් ඡන්ද කල්දැමීමට අවශ්‍යව තිබෙන්නේ කාටද? මහජනතාවට නම් විය නොහැකි බව සහතිකය.

කෙසේ වුවද ඉන් පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර පැවැති සාකච්ඡාවේදී ලොකු වලියක් ඇදුණු බවද කියති. පළාත් සභා සීමා නිර්ණය කමිටුවේ නිර්දේශ සහ ඒ අනුව මැතිවරණය පැවැත්විය යුත්තේ පරණ ක්‍රමයටද අලුත් ක්‍රමයටද යන කාරණයට අදාළව පක්ෂ හතරක අතර ඇති මතගැටුම ඊට හේතු වී ඇතැයි අපගේ මෙවර අපගේ දේශය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් හෙළිකර තිබේ. ශ්‍රීලනිපය සහ ජවිපෙ කියන්නේ අලුත් ක්‍රමය හොඳ බවය. රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරුන්ගේ පක්ෂ දෙක කියන්නේ පරණ ක්‍රමය හොඳ බවකි. කාසියක් උඩ දමා නෝනාද පොල්ලද කියා විසඳාගත හැකි ප්‍රශ්නයක් රටේ සෙසු සියලු ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියට හරස් කපන මහා ගැටලුවක් බවට පත් කරගත යුතු නැත. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කොතරම් කනස්සල්ලට පත්ව සිටීද යත් තමන්ගේ තනතුර අහෝසි වුවද ඡන්දය කල්දැමීමට ඉඩ නොලැබෙන වැඩපිළිවෙළකට යන බවට ප්‍රකාශයක් කර ඇති බවද සඳහන් වේ. ඔහුගේ අභිලාෂය යහපත්ය. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය රැකදීමට සමත්ය. එහෙත් කොතරම් දුරකට එය ප්‍රායෝගික වන්නේද යන්න නම් ගැටලු සහගතය.

2015 ජනවාරි 08 සහ අගෝස්තු 17 පැවැති ප්‍රධාන මැතිවරණ දෙකින් පසුව මේ රජය මුහුණ දුන්නේ එක් මැතිවරණයකට පමණි. එයින්ද අත්වූයේ ප්‍රබල පරාජයකි. එකී පරාජයට බලපෑ විවිධ හේතු තිබිය හැකි වුවද එම පළාත් පාලන මැතිවරණය කලට වෙලාවට නොපැවැත්වීමද ඊට බලපෑ ප්‍රධාන සාධකයක් බව රජයට අමතක විය නොහැක. පළාත් සභා මැතිවරණය කල්දැමීමට අදාළ බලධරයන් විසින් විවිධ හේතු සොයනවා නම් එයින් හැඟෙන්නේ පළාත් පාලන මැතිවරණයේ අමිහිරි පාඩම තවම රජය ඉගෙන ගෙන නැති බව මිස වෙන කුමක්ද?

කලට වෙලාවට නියමිත මැතිවරණ පැවැත්වීම රජයේ හෝ විපක්ෂයේ හෝ අයිතියක් නොව රටේ මහජනතාවගේ අයිතියකි. මැතිවරණ කොමිසම මගින් ඉටුකරන්නේ එහි නීතිමය සහ තාක්ෂණික කාර්යභාරය පමණි. එසේ වුවත් මැතිවරණය නියමිත වේලාවට පවත්වාගැනීමට කොමිසම දක්වන උනන්දුවේ සහ උද්යෝගයේ ප්‍රමාණයෙන් සීයට දශමයක්වත් රටේ ඇතැම් නායකයන්ට නොතිබීම කනගාටුවක් බව පැවැසිය යුතුය. හරි නම් ඡන්දයට රට හැඩගැස්විය යුත්තේ රටේ පාලක පක්ෂයයි. පසුගිය රාජපක්ෂ පාලන යුගයේදී මේ හැඩගැස්වීම උවමනාවටත් වඩා තිබෙනු අපි දැක්කෙමු. කාලෙන් කාලෙට විවිධ මැතිවරණ පැවැත්වුණේ ජනතාවගේ උවමනාවටත් වඩා ආණ්ඩුවේ උවමනාවටය. නමුත් ඡන්ද වැඩිපුර තැබීම පිළිබඳ ජනතාව විරෝධය දැක්වූයේ නැත. කඩින් කඩ ඡන්ද පැවැත්වීමෙන් සිදුවූ රජයේ අරමුදල් හානිවීම සම්බන්ධයෙන් විරෝධය පැමිණියද ඡන්ද පැවැත්වීම ගැන කිසිවකුටත් විරුද්ධ විය නොහැකි විය. එය එදා වැරැද්දක් හැටියට දැක්කා නම් පැවැත්විය යුතු ඡන්ද නොපැවැත්වීම බරපතළ වැරැද්දකි. ජනතාවගේ අයිතිය පැහැර ගැනීමකි.

මැතිවරණ කොමිසම කොතරම් කතා කළත් මැතිවරණ පැවැත්වීමේ නීති පැනවීම සිදුවිය යුත්තේ පාර්ලිමේන්තුවෙනි. මැතිවරණය පැවැත්වීමට හෝ එය කල්දැමීමට වැඩපිළිවෙළ සැකසීම පාර්ලිමේන්තුවේ වගකීමකි. එම වගකීම හරියට නොවුණොත් එහි ප්‍රතිඵලද විඳගැනීමට සිදුවනු ඇත්තේ ආණ්ඩුවටමය.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00