2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ඊසිකෑෂ් ජාවාරම්කාරයෝ

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 61

ඊසිකෑෂ් යනු සිංහල භාෂාවේ වචනයක් නොවේ. එහෙත් කවදාවත් ඉංග්‍රීසි භාෂාව හදාරා නැති අයකුට වුවද මේ වචනය දැන් ඇතැම් සිංහල වචනයකටත් වඩා හුරුපුරුදුය. තාක්ෂණය සමග සිංහල භාෂාවට එකතු වන අමුතු අලුත් වචන අතරට ඊසිකෑෂ් එකතු වී දැන් කලක් ගතවී තිබේ.

ඇතැම් රහ දේවල් කලක් ගතවන විට වහ වන බව ව්‍යවහාරයේ පවතින්නකි. ඊසිකෑෂ් වචනයටද අද උදාවෙමින් තිබෙන්නේ එවැනි කලදසාවකි. රටේ පාරිභෝගික ජනතාවට ගනුදෙනු පහසුවෙන් ඉටුකර ගැනීමේ මාර්ගයක් වශයෙන් තාක්ෂණයද මුසුකොට ජංගම දුරකතන උපයෝගී කරගනිමින් ඊසි කෑෂ් ක්‍රමය භාවිත කළ හැකිය. එහෙත් එම තාක්ෂණය, පහසු ක්‍රමය ජාවාරම්කරුවන්ට එළා දුන් පාවාඩයක් බවට පත්ව තිබෙන බව සඳහන් කළ යුත්තේ කනගාටුවෙනි.

අපගේ දේශය පුවත්පතේ මෙවර කලාපයේ එක් ප්‍රධාන ලිපියකින් පැවැසෙන්නේ ඊසිකෑෂ් ක්‍රමය, මිනිසුන් රවටන එසේ රවටා මුදල් ගරාගන්නා ජාවාරමක් බවට ඇතැමුන් විසින් හරවාගෙන සිටින බවය. එය කනගාටුවට කාරණයක් බව සැබෑයි. නමුත් ඊට වඩා කනගාටු විය යුත්තේ මෙවැනි වංචාකරුවන්ට රැවැටෙන මිනිසුන් අපේ රටේ තවමත් සිටින බව හෙළිවන විටය. මෙසේ මුළා වී මුදල් අහිමි කර ගන්නා සියලු දෙනා අධ්‍යාපනයක් නැති, සමාජ ආශ්‍රයක් නැති හුදෙකලා පුද්ගලයන් නොවේ. රැකියා කරන, වෙළහෙළඳාම් කරන යමක් කමක් දන්නා උදවියද මේ අතර වෙති. අපගේ ගවේෂණාත්මක ලිපියෙන් හෙළිවන්නේ මේ ආකාරයට හාල් මෝල් වෙළෙඳුන් ගණනාවක් මුළාකොට ලක්ෂ ගණනක් මුදලක් වංචා කළ පුද්ගලයකුද සිටින බවය. මේ අසු වූ එක් අයෙකි. තවත් මෙවැනි අමන වැඩ කරන ජාවාරමුන් මේ රටපුරාම කරක් ගසමින් සිටින බව සියලුදෙනාම දැන සිටීම අවශ්‍යය.

ඊසි කෑෂ් ක්‍රමයට මේ ජාවාරම්කරුවන් එකවරම පිවිසෙන්නේ නැති බවද ඒ සමඟ සඳහන් කළ යුතුය. ඔවුහු බොහෝවිට තෑග්ගක් ඇදුණු කතාවක් හෝ වෙනත් ව්‍යාපාරික කටයුත්තක් හෝ ඉදිරියට දමාගෙන, සබඳතා ඇතිකරගෙන අවසන් මොහොතේ ඊසිකෑෂ් ඉල්ලීමට ප්‍රවේශය හදා ගනිති. තෑග්ගක් ඇදී ඇතැයි කී පමණින් සිහිකල්පනාව අහිමි පුද්ගලයන් බවට පත්වෙන බොහෝ දෙනා ඊළඟ දවසේ නින්දෙන් අවදිවන්නේ රුපියල් දහස් ගණනක් ඇතැම් විට ලක්ෂ ගණනක් අහිමිවීමේ දුක් වේදනාද සමඟිනි. මෙවැනි ජාවාරම් මැඩ පැවැත්වීමට නම් මහජනතාවගේ සහාය ඒ පිළිබඳව විමර්ශනය කරන පොලිස් නිලධාරීන්ට ලබාදීම අවශ්‍යය. අඩුම තරමින් පොලිසියට පැමිණිල්ලක් හෝ කිරීම අවශ්‍යය. නමුත් සමහරු තමන්ට විඳීමට සිදුවන ලජ්ජාව හේතුවෙන් කරුණු සඟවති. කාටත් නොකියා සිටිති. මේ බව වඩාත් හොඳින් දැන සිටින්නේ ජාවාරම්කාරයෝය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ඊළඟ දවසේත් තවත් අහිංසකයකු ඊට ගොදුරු වීමය.

පොලීසියද අදාළ ජංගම දුරකථන සේවා සපයන සමාගම්ද මෙවැනි ජාවාරම් මැඩ පැවැත්වීමට කටයුතු කරන බව සැබෑවකි. එහෙත් ඊසි කෑෂ් හොරු තවමත් නිදැල්ලේ මේ ජාවාරම් මෙහෙයවමින් ජනතාවගේ මුදල්වලට විදිති. ඔවුන් එවැනි ජාවාරම් මෙහෙයැවීමට පුවත්පත්වල දැන්වීම් පවා පළකරති. පොලීසියේ ඇස මේවට යොමුවීම අවශ්‍ය යැයි අපි සිතමු. විශේෂයෙන්ම මුදල් ලක්ෂ ගණනින් ණයට ලබාදීමට, මුදල්වලට නොයෙකුත් සේවා සැපයීමට, තෑගි ක්‍රමවලට පුද්ගලයන් පෙළඹවිමට ඉදිරිපත්වන ආයතන වල දැන්වීම් පුවත්පත්වල පළකෙරෙන අවස්ථා තිබේ. ඒවායේ දුරකථන අංකයක් හෝ අංක කීපයක් මිස පුද්ගලයකුගේ නමක් සඳහන් නොවීම විශේෂය. කුමක් හෝ බොරු ආයතනයක නමක් බොහෝවිට ඒවායේ සඳහන්ය. මෙවැනි දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීමට යාමේදී ප්‍රවේසම් වීම අවශ්‍ය බව ඇතැමුන් සිතන්නේ නැත. ජාවාරම්කාරයන්ගේ කරල පැහෙන්නේ එවැනි පුද්ගලයන් සමාජයේ හිඟ නොවන බැවිනි.

මීට ටික කලකට පෙර විවිධ දුරකතන ජාල සේවා ලබාගන්නා බොහෝ දෙනකු මුහුණ දුන් ඇබැද්දියක්ද විය. එයද ඇබැද්දියක්ම නොව එක්තරා ආකාරයක තාක්ෂණික ජාවාරමකි. ඊට උපයෝගී කරගෙන තිබුණේද දුරකථන ජාල පහසුකම්ය. එම ජාල හරහා ගනුදෙනුකරුවන්ට විවිධ සේවා සපයන බව කියමින් ඒ සඳහා මාසිකව රුපියල් 30ක හෝ 50ක වැනි සුළු ගාස්තුවක් හෝ පණිවුඩයකට රැපියල් 5ක් හෝ වැනි මුදලක් අයකරන බවට සඳහන් නිවේදනයක් ජංගම දුරකථනයට යොමුවෙයි. ඊට පිළිතුරු යොමුකළත් නොකළත් ඊළඟ බිල්පතෙන් අදාළ ආයතනයට සේවා ගාස්තුවක් අයකරගෙන තිබෙනු දැකිය හැකි විය. මේ පිළිබඳව ගනුදෙනුකරුවන් විශාල පිරිසකගෙන් පැමිණිලි ලැබීමෙන් පසුව අදාළ දුරකථන සමාගම් ඒවා අවලංගු කිරීමට කටයුතු කළද ඒ හරහා මිලියන ගණනින් මුදල් ගරාගත් පිරිසක්ද සිටිති. තවමත් ඇතැම් විට මෙවැනි පණිවුඩ යොමුවන බව දැකිය හැකිය. ඒවා වළක්වා ගැනීමට පාරිභෝගික ජනතාවද විමසිල්ලෙන් සිටීම අවශ්‍ය බව සඳහන් කළ යුතුය. නිසි සොයාබැලීමකින් තොරව ලැබෙන ලැබෙන සෑම තාක්ෂණික පහසුකමක්ම බාරගැනීම සුදුසු නැත.

අලුත් තාක්ෂණික මෙවලම් සහ සේවා සමඟ කටයුතු කිරීම ජීවිතයට බොහෝ පහසුවක් බව සැබෑවකි. එහෙත් ඒ සමඟ එන ජාවාරම්වල ගොදුරු බවට පත්වීමට තිබෙන ඉඩකඩ ගැනද සැලකිලිමත් වීම අවශ්‍යය. ජනතාවගේ පොකැට්ටුවට තට්ටු කරන මෙවැනි කම්බා හොරුන්ට කිසිදු බුරුලක් දිය යුතු නැත.