2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ජේ.වී.පී. රැස්වීමට මට යන්න බැරි මොකද?

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 04:00 252

මොකද්ද මේ සීමා නීර්ණය කියන තැනින්ම කතාව පටන් ගනිමු..?
මැතිවරණ පවත්වපු ක්‍රම දෙකක් ලංකාවේ තිබුණා. සමානුපාත හා කොට්ඨාස ක්‍රමය. මේ දෙකටම නියමිත කොට්ඨාස බෙදා වෙන් කරන්න ඕන. එහෙම බෙදා වෙන් කිරීමට තමයි සීමා නීර්ණය කියන්නේ.

දැනට තියන සමානුපාත ක්‍රමය හරිම අංජබජල් කියලා කියැවෙනවා. ඇත්තද ඒ කතාව..?
එතෙන්දි වෙන්නේ දිස්ත්‍රික්කයක් පදනම් කරගෙන යම් පක්ෂයක් දිස්ත්‍රික්කයට ලැයිස්තුවක් දානවා. පස්සේ ඒ පක්ෂය ගන්න ඡන්ද සංඛ්‍යාව අනුව අනුපාතය සලකලා දිස්ත්‍රික්කයට නියමිත මන්ත්‍රීවරැ ගණන බෙදනවා. පක්ෂයට යම් මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලැබුණාට පස්සේ ඒ අයව ලැයිස්තුවෙන් තේරීම මුලින් කළේ පක්ෂ ලේකම්. පස්සේ එකට මනාප ක්‍රමයක් හඳුන්වා දුන්නා.

ඔබ කොහොමද මේ සීමා නීර්ණයට පටලැවෙන්නේ..?
මම අවුරුදු 13ක් විතර මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙක් විධියට වැඩකළා. ඒ දැනුම නිසා රජය හිතන්න ඇති මාව මේකට තෝරගන්න.

කවුද ඔබට මේකට ආරාධනා කළේ. තව කවුද මේකේ ඉන්නේ..?
පත්කරන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා. මට කිව්වේ එතුමාගේ ලේකම්තුමා. මම හැරැණාම තව සිව් දෙනෙක් ඉන්නවා. ඔවුන් නම් කරන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින්. එක්සත් ජාතික පක්ෂයෙන් පත්කළේ එස්. මිස්බා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සාලිය මැතිව්. ජනතා විමුක්ති පෙරමුණෙන් උපුල් කුමරප්පෙරැම. අනෙක් සාමාජිකයා තමයි මහාචාර්ය බාලසුන්දර පිල්ලෙ. මාව ස්වාධීනව පත්කරනවා.

කවද්ද මේ කොමිසමේ වැඩ බාරගත්තේ..?
2015 අවුරුද්දේ දෙසැම්බර් පළවෙනිදා 

එදා බාරගනිද්දි හිතුවේ කොපමණ කාලයකින් මේක කරලා අවසන් කරන්නද..?
අපිට කල් දුන්නේ මාස තුනයි.

පැෆරල් නඩුවේදී නීතිපති සහයවත් අපට ලැබුණෙ නැහැ

මාස තුන ඇයි දැන් මාස 13ක් වුණේ..?
අපි මුලින් මාස තුනකට තමයි ලැහැස්ති වුණේ. පළවෙනි මාසේ මහජනතාවගේ පැමිණිලි අරගන්නවා. දෙවෙනි මාසේ මේවා විභාග කරනවා. තුන්වෙනි මාසේ වාර්තාව ලියනවා. මාස දෙකක් විතර යද්දි අපිට තේරුණා මේ කාලය මදි කියලා. මේක ඒ වෙද්දි මහජනතාව අතරට ගිහිල්ලත් නෑ. අපි දෙසැරයක් මාධ්‍යවල දැන්වීම් පළකරලා මහජනතාව දැනුම්වත් කළා. අපිට තේරුණා මේක ජූනි මාසේ අවසන් වෙද්දි ඉවරකරන්න පුළුවන් කියලා. ඒ අතරේ ජනාධිපතිතුමා කිව්වා 2015 අවුරුද්දේ පළාත් පාලන මැතිවරණය තියන්නේ නෑ කියලා. ඒ නිසා අපි හිතුවා අපි වේගෙන් දුවන්න ඕන නෑ. අපිත් ටිකක් හෙමින් යනවා කියලා.

ඔබේ කොමිසමට තියෙන සැබෑ නම සීමානීර්ණය විමර්ශන කොමිසම* යන්න. මොකද්ද මේ විමර්ශන කොමිසම කියන්නේ..?
ඔව්. ඒක හොඳ ප්‍රශ්නයක්. අපිට බාර වුණේ සීමානීර්ණය සිද්ධ කරන්න නෙවෙයි. හදපු වාර්තාවක් වෙනස් කරන්නයි අපිට තියෙන්නේ. ඒකයි ඔය විමර්ෂණ කමිටුව කියලා කියන්නේ.

ජල සම්පාදන ඇමැතිට බැහැ කීවම පැයෙන් මාරු කළා

කාගේ වාර්තාවද වෙනස් කරන්නේ..?
කොට්ඨාස ක්‍රමයට පළාත් පාලන මැතිවරණය තියන්න රජය තීරණය කරලා ඒකට අදාළ 2012 අංක 22 පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා. ඒ පනත අනුව ලංකාව කොට්ඨාසවලට බෙදන්න ඕන. ඒ බෙදීම සඳහා රවී ජයලත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. කමිටුව පත්කළේ හිටපු ජනාධිපති වුණාට ඒ ගොල්ලන්ගේ වාර්තාව ගැසට් කළේ මේ වර්තමාන ජනාධිපතිතුමා. ඒ ගැසට් කළාට පස්සේ ඒ ගැන මොනවා හරි විවේචන ගැටලු ඇතිවෙනවා නම් අන්න ඒ ගැටලු ගැන විමර්ශනය කරන්න පත්කළ විමර්ශන කමිටුව තමයි අපි.

රවි ජයලත් දිසානායක මහත්තයාට සීමා නීර්ණය අලුතින්ම සිද්ධ කරලා ඒ වාර්තාව හදන්න කොපමණ කාලයක් ගත වුණාද..?
ඒකට අවුරුදු 3ක් විතර ගතවෙලා තියෙනවා.

පළාත් පාලන ඇමැති කියන විදිහට නෙවේ අපි වැඩ කළේ ස්වාධීනවයි

මේ ඔබේ සීමානීර්ණ විමර්ශන කොමිසමට එතකොට සීමානීර්ණයක් කරන්න තිබුණේ නැද්ද..?
නෑ. අපිට යම් සීමිත වැඩ කොටසක් හමයි පැවරුණේ. අර රවී ජයලත් වාර්තාවේ හදලා තියෙන කොට්ඨාසවල නම වෙනස් කරන්න, කොට්ඨාස අංකය වෙනස් කරන්න, මායිම් වෙනස් කරන්න වගේ දේවල් තමයි අපිට කරන්න පුළුවන්. ඒත් අර මුල් වාර්තාව පිළිබඳ පැමිණිලි හා චෝදනා නැගිලා තියෙන කොට්ඨාස සම්බන්ධයෙන් විතරයි.

ලංකාවේ කොට්ඨාස කොපමණ තිබෙනවාද හා ඒවාට අදාළව කොතරම් චෝදනා ආවාද..?
රවී ජයලත් වර්තාව අනුව කොට්ඨාස 4833ක් තියෙනවා. ඒවා අතරින් දෙදාස් ගණනකට වගේ චෝදනා යෝජනා ආවා.

දැන් මේ වාර්තාව හදලා එදා දෙසැම්බර් 27 වැනිදා ඔබට නියමිතව තිබුණා අමාත්‍යවරයාට බාර දෙන්න. හැබැයි ඔබ කියනවා අපි වාර්තාව දෙන්න ගියා අමාත්‍යවරයා හිටියේ නැති නිසා දෙන්න බැරිවුණා කියලා. ඔබේ කාර්යාලයට අල්ලපු ගොඩනැගිල්ලේ තමයි ඇමැතිතුමා ඉන්නේ. ඔහු කාර්යාලයේ නැද්ද ඉන්නවද කියලා ඔබ නොදැන ඉන්නවා කියන්නේ බොරුවක් නේද..?
දෙසැම්බර් 27 මේක බාරදෙන්න ඕන කියලා යොදාගත්තේ බොහොම කලින්. වාර්තාව එදාට බාරදෙන්න ඕනෑ කියලා අමාත්‍යවරයත් දන්නවා. හැබැයි ඔය කියන දවසට කලින් අමාත්‍යවරයා රටෙන් පිටවෙලා යනවා. මම දන්නවා ඔහු කාර්යාලයේ නෑ කියලා. මම වාර්තාව අරගෙන ගිහිල්ලා ඔහුගේ කාර්යාලයේ ඔහු නෑ කියලා 27වෙනිදා ආපහු හැරිලා ඒම නෙවෙයි වුණේ.

පරිවර්තකයෝ දහයක් ඉල්ලුවම දුන්නෙ දෙන්නයි

ඇයි ඔබට වාර්තාව නියෝජ්‍ය අමාත්‍යවරයාට දෙන්න බැරිවුණේ..?
මම පියංකර ජයරත්න නියෝජ්‍ය ඇමැතිතුමාව ‍දන්නවා. ඒ නිසා මම 26 වෙනිදා දුරකථන ඇමැතුමක් දීලා මේ සිද්ධිය කිව්වා. කියලා 27 වාර්තාව බාරගන්නවද ඇහුවා. එතුමා හරි බාරගන්නම් කිව්වා. මෙන්න 27 වෙනිදා උදේ එතුමා නියෝජ්‍ය ඇමැතිකමෙන් ඉල්ලා අස්වුණා. දැන් කාටද වාර්තාව දෙන්නේ..

ඔබ ජාතික මාධ්‍යවලට කියලා තිබුණා ඇමැතිතුමා මේක අදින්න කිව්වා කියලා. දැන් දැන් පේන්න තිබෙන්නේ ඔබේ කොමිසම හා අමාත්‍යවරයා අතර සීතල ගැටුමක් තියෙනවා කියලා. මොකද මේ..?
ඔව්. ඒ ප්‍රශ්නේ ඇතිවුණේ මෙහෙමයි. මේක පොඩ්ඩක් හෙමින් කරන්න කියලා පොඩි පොඩි ඇඟවීම් තිබුණා. මේ අතරේ පැෆරල් එකෙන් නඩුවක් දැම්මා. අපි වාර්තාව බාරදෙන්නේ නෑ කියලා. අපේ කොමිසම දේශපාලනික කොමිසමක් කියලා නීතිපති දෙපාර්තමේන්තුව අපි වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ කිව්වා.

අලියා, සිංහයා ඇර තවත් සතුන්ගෙ නම්වලින් රිචඩ් පතිරණ කතා කළා

ඇමැතිවරයාට පුළුවන්කමක් තිබෙනවාද නීති සහාය නීතිපති දෙපාර්තමේන්තුවෙන් අරගෙන දෙන්න..?
ඇති. පුදුමෙ කියන්නේ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්වත් කළේ නෑ ඒකට. ඇමැතිතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්තයා තමයි අපිටත් කතා කළේ. එයා උසාවියට යන්න කලින් අපිත් එක්ක කතා කළා දැන් මේ වාර්තාව සකස්වෙමින් යනවා කියලා කියමු කියලා. මෙන්න මෙයා උසාවියට ගිහින් එක පාරට කිව්වා අපේ කොමිසම තමයි වැරදි, එයාලා මේ වාර්තාව බාරදෙන්නේ නෑ කියලා.

ඊට පස්සේ..?
අධිකරණය තීරණය කළා මේ නඩුව අහන්න. ඊට පස්සේ තමයි ඇමැතිතුමා එක්ක මතභේදයක් එළියට පැන්නේ.

ඊටපසුව ඔබ ඇමැතිවරයාගෙන් කොයි වෙලාවක හරි ඇහුවද ඇයි ඔබේ නීතිඥයා එහෙම දෙයක් කළේ ඔබේ අනුදැනුම ඇතිවයි අපි මේ වැඩ කරන්නේ කියලා..?
නෑ. අපි එයාගෙන් අහන්න ගියේ නෑ. ඊට පස්සේ ඉඳලා අපි එතුමාගේ මතවලට එකඟ වෙන්නේ නැතිව අපි ස්වාධීනව කටයුතු කරගෙන යන්න පටන් ගත්තා.

එතෙක් ඔබ ස්වාධීනව නෙවෙයිද හිටියේ එතකොට..?
ස්වාධීනව තමයි. හැබැයි අපි ඇමැතිවරයා එක්ක මතගැටුම්වලට ගියේ නෑ.

අමාත්‍යවරයා පසුගිය දවසක පවසලා තිබුණා මේක පස් දෙනෙකුගේ කමිටුවක්. ඔබට තනියම එක එක හිතුවක්කාර ප්‍රකාශ සිදු කරන්න අයිතියක් නෑ කියලා...?
මම මේවා තනියම කිව්වාට ඒ කියන මතවලට අනිත් හතරදෙනාම එකඟයි.

ඇමැතිතුමා ඔබෙන් මේ වාර්තාව බාරගත්තේ කරටත් අතදාලා..?
ඔව්. ඒ බාරගත්තට පස්සේ. දේශපාලනඥයෝ එහෙම තමයි.

දැන් මේ වාර්තාව අමාත්‍යවරයාට බාරදීලා. නමුත් එය ගැසට් නොකර තියෙන්නේ දෙමළ පරිවර්තනයේ ඇලපිල්ලක් අල්ලගෙන කියලා ඔබ පහුගිය සතියේ පුවත්පතකට කියලා තිබුණා..?
අපි ඕක බාරදෙන්න කලින් පරීක්ෂා කළා. වැරදි මොකුත් නෑ. වැරදි නැතත් ආපහු පරීක්ෂා කළාට කමක් නෑ. වැරදි නැතිව ගැසට් කරන්න පුළුවන් නම් තමයි වැදගත්. ගැසට් නොකර සිටීම සඳහා මේක ආයුධයක් කරගන්න හොඳ නෑ. කලින් ගැසට් කළ රවී ජයලත් වාර්තාවේ සිංහල පිටපතේ පමණක් වුණත් අතිවිශාල වැරදි ප්‍රමාණයක් තිබෙනවා.

ඔබ කියලා තිබුණා මේ කටයුත්තට භාෂා පරිවර්තකයෝ පවා අරගෙන එන්න ඔබට සිද්ධවුණා කියලා. නමුත් දේශය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීම ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පැවසුවා ඔබේ කොමිසමට අවශ්‍ය සියල්ලම. ඉල්ලපු සියල්ලම දුන්නා කියලා..?
අපිට පරිවර්තකයෝ දෙන්නයි දුන්නේ. ඒ දෙන්නා හොඳටම මදි. මම අමාත්‍යංශ ලේකම් හරහා තව දෙන්නෙක් ඉල්ලුවා. දුන්නේ නෑ. අපි ඊට පස්සේ පරිවර්ථනය අවසන් කරලා ඒක පරීක්ෂා කරන්න දහ දෙනෙක් විතර ඉල්ලුවා. එක්කෙනෙක්වත් හම්බවුණේ නෑ.

ඔබ පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙක්. ඇයි ඔබ පහුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවකට ගොඩ වුණේ..?
ඇයි මට බැරිද..?

අපි කියන්නේ නෑ ඔබට බෑ හෝ පුළුවන් කියලා. අපි ඇහුවේ ඇයි එහෙම කළේ කියලා..?
මම දැන් රාජ්‍ය නිලධාරියෙක් නෙවෙයි. මම දැන් විශ්‍රාමිකයි. වාර්තාවත් ඔය රැස්වීම වෙද්දි බාරදීලා ඉවරයි.

හැබැයි ඔබ කියලා තිබුණා මම මේ කතාව කළාට පස්සේ හෙට මට මොනවා වේවිද දන්නේ නෑ කියලා..?
ඔව් ඉතින්. කාටද කියන්න පුළුවන් තමන්ට හෙට මොනවා වේවිද කියලා..

ඔබ හිතනවාද මේ විදිහට දේශපාලකයෝ එක්ක ගැටෙමින් වැඩ කරන්න රාජ්‍ය නිලධාරියෙක්ට පුළුවන් කියලා..?
නෑ. ගැටීම නෙවෙයි. මම අමාත්‍යාංශ තුනක ලේකම් විදියට වැඩ කළා. ඇමැතිවරැ අපිට කරන්න බැරි වැඩ කියනවා. අපි ගිහිල්ලා ඒක ඔහුට පෙන්නලා දුන්නාම ඔහු පිළිගන්නවා.

ඇමැතිවරයා කියන දේ නොකළොත් ඔබේ රුකියාවට බලපෑමක් කරන්න ඇමැතිවරයාට පුළුවන්. එහෙම දේවල් වෙලා තියෙනවාද..?
අපෝ ඔව්. ජලසම්පාදන අමාත්‍යංශයේ ඇමැතිවරයා හිටියේ අතාවුල්ලා ඇමැතිතුමා. මම ටෙණ්ඩර් ලියවිල්ලකට අත්සන් කරන්න බෑ කිව්වා කියලා මාව පැයක් ඇතුළත ජලසම්පාදන අමාත්‍යාංශ ලේකම් තනතුරේ ඉඳලා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට මාරුකළා.

ඔබ කියලා තිබුණා රිචර්ඩ් පතිරණ අමාත්‍යවරයා ඒ කාලේ සත්තුන්ගේ නම් කියමින් නිලධාරින්ට කතා කළා කියලා..?
ඒක හරිම ප්‍රසිද්ධ කතාවක්. ඒක එකල රාජ්‍ය සේවයේ ඔහු එක්ක වැඩ කළ අය දන්න පොදු කාරණයක්. ඔහු සතුන්වත්තේ ඉන්න සත්තුන්ගේ අලියා සිංහයා කියන වචන දෙක විතරයි කියලා නැත්තේ.

ඔබටත් එහෙම කතා කළාද..?
නෑ. මට කතා කළා නම් මම අහනවනේ ඇයි ඇමැතිතුමා එහෙම කළේ කියලා.

ඒ වගේ ඇමැතිවරු ඊට පස්සෙත් හමුවුණාද..?
මට කියන්න බෑ ඒක.

දැන් මේ කියවෙන සීමා නීර්ණ වාර්තාව ගැසට් කළා කියමු. ඊටපස්සේ මොකද වෙන්නේ.?
මේක ඇතුලේ 30 ක සමානුපාත ප්‍රමාණයක් තියෙනවා. ඒකත් අර එක්කම ඇමැතිතුමා ගැසට් කරන්න ඕන. සෑම සභාවකම 30 ක් පත්වෙන්නේ ඉදිරියට මේ ක්‍රමය ඇතුළෙත් සමානුපාත ක්‍රමයට.

මෙච්චර මහන්සිවෙලා ගේන්න හදන කොට්ඨාස ක්‍රමය ඇතුළෙත් ඇයි තවදුරටත් සමානුපාත ක්‍රමය කවලම් කරලා තියෙන්නේ..?
මම නම් ඒකට කැමැතියි. නැත්තම් සුළු දේශපාලන පක්ෂවලට ලොකු අවාසියක් වෙනවා. ඔවුන් නැත්තටම නැතිවෙලා යන්න පුළුවන්. රටේ ද්විපක්ෂ ක්‍රමයක් ඇතිවෙන්න පුළුවන්.

දැන් මේ ඔබේ වාර්තාවෙන් වෙන්නේ පළාත් පාලන මැතිවරණයට කොට්ඨාස සැකසීම පමණයි. ඉදිරියේ පැවත්වෙන්නට නියමිත් පළාත් පාලන මැතිවරණයට එහෙමත් කොට්ඨාස සකස් කිරීමක් සිද්ධ වෙනවාද..?
අපි නම් හදන්නේ නෑ. හැබැයි දැන් ජාතික සීමානීර්ණ කොමිටිය කියලා එකක් තියෙනවානේ. ඒ ගොල්ලෝ ඒක කරාවි.

මැතිවරණ කොමසාරිස්වරයා වරක් ප්‍රකාශකළා පළාත් පාලන පනතේ දෝෂ පනස් ගණනක් තියෙනවා කියලා. ඒ දෝෂ නිරාකරණය නොකර මැතිවරණය පවත්වන්න බෑ කියලා. ඔබේ වාර්තාවට පස්සේ මේක අල්ලාගෙන මැතිවරණය තව කල්දාවි ද..?
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත කියලා පනතක් තිබුණා. ඒක මේ කොට්ඨාස ක්‍රමයට ඡන්දය තියන්න ඕන නිසා 2012 අංක 22 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත කියලා පනතක් ආවා. මේ පනතේ හඳුනාගෙන තියෙනවා තාක්ෂණික වැරදි 58ක්. මැතිවරණය තියන්න නම් ඒ 58 හදන්න ඕන.

මේකෙන් පස්සේ ඊළඟට ඕක අල්ලාගනීවිද.?
එහෙමත් ඉඩ තියෙනවා.

 ප්‍රසාද් අබේවික්‍රම

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00