2018 ජුලි 21 වන සෙනසුරාදා

අපි මේ ආණ්ඩුව කඩලා දානවා - හිටපු ඇමති එස්. බී. දිසානායක

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

♦ මහින්ද රාජපක්ෂ සාධකය ඡන්දයකදී තීරණාත්මකයි

♦ ආණ්ඩුවෙ ගැටේට අපි අහුවුණා

♦ විජයකලා විග්නේෂ්වරන් අල්ලලා හිරේ දාන්න ඕනෑ

♦ මම ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති කෙනෙක් නොවෙයි

♦ මහ බැංකුවේ මගඩියට එජාප තනතුරු දරන අයත් සම්බන්ධයි

♦ ගම්පෙරළිය කියලා ගෙනාවේ ලලිත් සමරකෝන්ගේ වැඩසටහනයි

♦ 16 දෙනාගේ කණ්ඩායමේ සමහරුන්ට ප්‍රශ්න තියෙනවා

 - හිටපු ඇමති එස්. බී. දිසානායක

ඔබ හරියටම ඉන්නේ දැන් කොයි පැත්තෙද?
(සිනාසෙයි) ඔබ කොයි පැත්තෙද කියලා අහන්නේ.....?

ඔබ ඉන්න පක්ෂයක් පැහැදිලිව පේන්නේ නෑනේ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම ඉන්නේ. හැබැයි අපි විපක්ෂයට ගිහින් ඒකාබද්ධ විපක්ෂය සමඟ වැඩ කරනවා.

ඔය කියන 16 කණ්ඩායමේ සමහර අය කියනවා අපි ඉන්නේ ශ්‍රීලනිපයේ. ඒකාබද්ධයට යන්නේ නෑ කියලා.
ඒකාබද්ධය කියන්නේ පක්ෂයක් නෙමෙයි. ඒක පක්ෂ එකතුවෙලා හදාගත්ත සංවිධානයක්. ඒකට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තය. අන්න ඒ සංවිධානයත් එක්ක අපි එකතුවෙලා වැඩ කරනවා.

දැන් ඔය 16 දෙනාව ආණ්ඩුවේ ඉඳලා එළියට ගන්න කපුකම කළේ ඔබ. එහෙම එළියට ගත්තට දැන් ඒ 16 දෙනත් එක එක පාරවල්වල යනවා. විවිධ අදහස් තියෙන්නේ?
කණ්ඩායමක් හැටියට වැඩ කිරීමේදී සමහර අයට අත්දැකීම් නෑ. ඒ නිසා මෙවැනි ප්‍රකාශ එළියට එනවා. මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට එනකොට හිතුවේ 16ටම හරියි කියලා. හැබැයි එහෙම වෙලා තිබ්බේ නෑ. මේ 16 දෙනාට ප්‍රශ්න තියෙනවා. එකක් තමයි ශ්‍රීලනිපයත් එක්ක ප්‍රශ්න තියෙන අය ඉන්නව. ඊට අමතරව ඒකාබද්ධයේ අය නොයෙකුත් දේවල් කියනවා. සමහර අය අපිව කඩලා වෙනම පක්ෂවලට ගන්න හදනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා.

හැබැයි අපිට පේන්නේ නම් 16ට අරමුණක් නෑ කියලා?
නෑ. අපේ අරමුණ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳිමින් ඒකාබද්ධය සමඟ වැඩකරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට ගන්න එක.

ඔය 16 ඉන්න දයාසිරි මන්ත්‍රීවරයා නැවත ආණ්ඩුවට යන්න හදනවා නේද? ඔහුගේ කතාවලින් තේරෙනවා?
මෙහෙමයි. විපක්ෂයට ගිය 16 දෙනාගේ කණ්ඩායම විටින් විට කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් දයාසිරි මන්ත්‍රීතුමාට යම් ගැටලුවක් තිබ්බා. ඒ නිසයි ඔහු එවැනි ප්‍රකාශ කරන්නේ.

ඔය විරෝධතාවයම ජෝන් සෙනෙවිරත්න මහත්තයටත් තියෙනවා?
එහෙම නෑ. ඔය 16 දෙනාගේ කණ්ඩායම පැවැත්වූ සාකච්ඡා හතරටම එතුමා සහභාගි වුණා. අපේ අරමුණ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට ගන්න එක.

විපක්ෂයට අරගෙන මොනවද කරන්නේ?
මොනවා කරන්නද.... මේ ජාතික ආණ්ඩුව කඩලා දානවා මිසක්.

තවම ඒකාබද්ධයට ගියේ නෑ.....?
අපි ඒකාබද්ධයේ රැස්වීම්වලට සහභාගී වෙනවා.

හැබැයි ඔබ සන්ධානයේ මහ ලේකම් වෙන්නත්, දයාසිරි මහත්තයා ශ්‍රීලනිපයේ මහ ලේකම් වෙන්නත් සටනක් තියෙනවා කියලා ආරංචියි?
මම නම් ඒ කතාවේ සත්‍යතාවයක් තියෙනවා කියලා හිතන්නේ නෑ. ඒ මොකද ඔය සන්ධානයේ ලේකම් වගේම ශ්‍රීලනිපයේ ලේකම් පත් කරද්දී එතුමා පෞද්ගලිකවම මගෙන් ඒ ගැන විමසුවා. ඒ නිසා මට ශ්‍රීලනිපයේ හෝ සන්ධානයේ ලේකම්කම ගන්න බලාපොරොත්තුවක් නෑ. දයාසිරිට ලැබුණොත් හොඳයි. මොකද අපේ කණ්ඩායමේ එකකෙනෙක්නේ. හැබැයි රෝහණ ලක්ෂ්මන් කියන නව ලේකම්වරයා මගේ සමීප මිත්‍රයෙක්. මා එක්ක කාලයක් වැඩකළ අයෙක්. ඒ නිසා ඔහුත් මේ තනතුරට සුදුසු අයෙක්.

ඔබට හදිසියේ බාරදුන්නොත්?
ඔව්. එහෙම ජනාධිපතිතුමා බාරදුන්නොත් බලනවා. එහෙම නැතුව කැමැත්තක් නෑ.

ඇයි මේ හදිසියේම එළියට බැස්සේ?
මෙහෙමයි මේ ආණ්ඩුව දූෂණය ගැන කතා කළා. හැබැයි ඊට වඩා තුන්ගුණයක හොරකම් කළ ආණ්ඩුවක්. රට නිර්වස්ත්‍ර කරන වැඩපිළිවෙළක් වෙච්ච රාජ්‍ය දේපල විකිණීමත් කිසිම ලැජ්ජාවක් බයක් නැතුව කළා. ඔය මහබැංකු කොල්ලයට මුල එක්සත් ජාතික පක්ෂයේම තනතුරු දරන අය සම්බන්ධයි. ඔය පක්ෂයේ අය මුදල් සෙවීමේ විකෘති ආශාවක පෙළෙනවා. ඒකනේ ආර්ථික කමිටුව හදාගත්තේ.

ඒ වුණාට ජනාධිපති ඒක නවත්තලා ආර්ථික කවුන්සිලේ හැදුවේ?
ඔව් හැදුවා. ආර්ථික විශේෂඥයෙක් වෙච්ච ලලිත් සමරකෝනුත් ගෙනාවා. ඔහු ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළක් සැකසුවා. ඒක අමාත්‍යවරුන්ට පෙන්නන්න පොඩි වැඩසටහනකුත් හැදුවා. දවසක් ඔහු අමාත්‍යවරු කැඳවලා පෙන්නන්න පටන් ගත්ත විතරයි මලික් සමරවික්‍රමලා කරන්න දුන්නේ නෑ. “හරි හරි වැඩේ ඕකේ” කියලා නැවැත්තුවා. අපේ අයත් බලන් ඉන්නකොට. අද වෙනකන් මේ කවුන්සිලයට වැඩ කරන්න දෙන්නේ නෑ.

ඇයි එහෙම කරන්නේ?
මම දෙයක් කියන්නම්. ඔය ග්‍රාමීය සංවර්ධනය ගොඩනගන්න ලලිත් සමරකෝන් වැඩපිළිවෙළක් ලෑස්ති කරලා නිලධාරීන්ට ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යංශ නිලධාරිනුත් ආවා. ඒක සමරකෝන් ඉදිරිපත් කරලා ගිය පහුවෙනිදා මුදල් අමාත්‍යංශයෙන් නැවත ඉදිරිපත් කරනවා. පස්සේ ඒකට නම දානවා ගම්පෙරළිය කියලා. ඒ ලලිත්ගේ වැඩසටහනක්.

ඔබ කියන්නේ මේ රට අස්ථාවර වෙන්න මේවද හේතු?
පැහැදිලිවම. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්ති.

හැබැයි ඔබ ඔහොම කිව්වට රටේ නායකයා. ශ්‍රීලනිපයේ සභාපති වෙච්ච මෛත්‍රීපාල මහත්තයා. ඔහුට ඒවා පාලනය කරන්න බැරිද?
මේ ජනාධිපති අනෙකුත් ජනාධිපතිගේ කෝණයෙන් බලන එක වැරදියි. මේ ජනාධිපති 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ තටු කපපු විධායක ජනාධිපති කෙනෙක්. ඒක කැමැත්තෙන් කළේ. ඒක කරද්දි අගමැතිතුමා සමත් වුණා ඇස් වහලා එතුමා ඇරෙන්න ඕන කෙනෙක් ඉවත් කරන්න පුළුවන් විදිහට වැඩේ කරන්න.

දැන් ඔබ කියන්නේ ජනාධිපති ඇතුළු ශ්‍රීලනිපයේ හිටිය ඔබතුමාලා අහුවුණා කියලාද?
ඔව් අපි අහුවුණා. පැහැදිලිවම. අපේ 16 දෙනා අතරේ 8 දෙනෙක් නීතිඥයෝ ඉන්නවා. ඔවුනුත් කියනවා අහුවුණා කියලා. හැබැයි අගමැති ඉවත් කරන්න පුළුවන්. ඒක අනෙකුත් දේවල් වගේ පැහැදිලි නෑ. ඒත් පුළුවන්. හැබැයි ඒවා හංගල ගහපුවා. ඒ නිසා ඉස්සර වගේ ජනාධිපතිට අගමැති පාලනය කරන්න බෑ.

ඉතින් ඇයි ආණ්ඩුවේ ඉන්න අනෙක් ශ්‍රීලනිප ඇමැතිවරැන්ට ඒවා නොතේරෙන්නේ?
පළාත් පාලන ඡන්දය ප්‍රතිඵලත් එක්ක කට්ටිය ජනාධිපති හම්බවුණායින් පස්සේ ඔය දුමින්දලා ඇතුළු කට්ටියම කිව්වා අගමැති එක්ක බෑ කියලා. මොකද මේ වෙනකොටත් අපි වැඩකරපු අමාත්‍යංශවලට විශාල කෙනෙහිලිකම් කරලා තිබ්බේ. ඔය ආණ්ඩුවේ ඉන්න අය අපිටත් වඩා එහා ගිහින් බෑ කියලා කිව්වේ. ඒ නිසාම තමයි ජනාධිපති කිව්වේ රනිල් වික්‍රමසිංහට අයින් වෙන්න කියලා. දෙවැනි වතාවේ පක්ෂයේ කට්ටියට එන්න කියලත් අයින් වෙන්න කියලා. මට වගේ නම් එහෙම කරන්න අමාරුයි. අන්තිමේදී විශ්වාසභංගය ගෙනාවා. ඒත් සල්ලි දීලා වැඩේ දින්නා එතුමා.

ශ්‍රීලනිපයේ අයටත් සල්ලි දුන්නද?
නෑ. එතනදි වුණේ ජනාධිපතිතුමා ස්වාධීන වෙලා පක්ෂයට තීන්දුවක් ගන්න දුන්නා. ඒ නිසා බෙදුණා.

ඔබ කියන්නේ ජනාධිපතිවරයාගේ වරදින් පැරදුණේ?
නෑ. එතුමා ඒ වෙලාවේ අසරණ වුණා. හේතුව අට දෙනෙක් හිටියා අගමැතිතුමාට පක්ෂව ඡන්දය දෙන්න. ඒ නිසා අසරණ වුණා එතුමා.

එතකොට මේ ඇමැතිවරු එන්නේ නැත්තේ ඇයි එළියට?
මම හිතෙන්නේ එක එක ව්‍යාපෘතිවලින් ගුලි දීලා මේ අයව අල්ලගෙන ඉන්නේ.

ගුලි කන්න ඒ අය පොඩි ළමයිද? ඔබලා ජ්‍යෙෂ්ඨයො වෙලත් බැරිවුණාද?
සොක්‍රටීස් කියනවා ලෝකය පවතින්නේ ධනය, බලය සහ කාම ආශාව නිසා කියලා. ඒ මතය අදටත් එහෙමයි.

මේ රටේ පරිහානියට ඔබලත් වගකියන්න ඕනේ නේද?
මෙහෙමයි. කැබිනට් එකේ දවසට කැබිනට් පත්‍රිකා 20ක් විතර එනවා. ඒ අස්සේ ඔය විකුණන කරන ඒවත් තියෙනවා. කවුද දැන් ඒවා බලන්නේ. නෑ කවුරුත් බලන්නේ. හැබැයි කැබිනට් පත්‍රිකාව පාස්. ඇස් වහලා කරන්නේ.

රටේ ජනතාව කෙතරම් ආර්ථික පරිහානියට පත්වෙලාද කියනවා නම් සමෘද්ධිය තවත් ලක්ෂයකට දෙන්න යනවා. දුගී බව තුරන් වෙලා නෑ නේද?
මම ඉන්නකොට හඳුනගෙන තිබ්බා විශාල පිරිසකට සමෘද්ධිය අවශ්‍ය නෑ කියලා. ඒත් ඒක කරන්න හම්බවුණේ නෑ රටේ නැති බලපෑම් නිසා. මම ඒක යම් නිසි පිළිවෙළකට හදාගෙන ආවේ. මම පිළිවෙළකට දෙයක් කරන කෙනෙක්. මම වැඩකරපු කාලේ තමයි ලෝක කුසලානය දින්නේ. ක්‍රීඩකයෝ ඔලිම්පික් ගියේ. මම සමෘද්ධියෙනුත් විශාල වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වුණා. ඒත් හැම ආණ්ඩුවකම මට ඒක අහිමි වුණා.

මේ සියලු දේවල් මැද්දේ ජනාධිපති අපේක්ෂක සටනක් පටන් අරගෙන. ගෝඨාභය කියනවා, බැසිල් කියනවා, මෛත්‍රී කියනවා, රනිල් කියනවා, පොදු අපේක්ෂකයෙක් කියනවා. කවුද ඔබ හිතන හොඳම අශ්වයා?
ජනාධිපති කෙනෙක් වෙන්න බෑ හැමෝටම. හැබැයි මේ රටේ ජනතාව අංශක 180 හැරිලා මහින්ද රාජපක්ෂ ගැන විශ්වාසයක් ගොඩනැගිලා තියෙන්නේ. ඒක පෙන්නුවේ ශ්‍රීලනිපයේ අපි. යූ.ඇන්.පී.ය එක්ක ආණ්ඩු කිරීමේ වරද පෙන්වීමක්. ඒ නිසා රටේ බලගතු පක්ෂය බවට පොදුජන පක්ෂය ආවා. ඒක කළේ බැසිල් රාජපක්ෂ. ඒ වගේම නගර සංවර්ධනය කළ ගෝඨාභය රාජපක්ෂ. හැබැයි මට ජනාධිපති අපේක්ෂකයා කවුද කියන කාරණය වැදගත් නෑ.

ඔබ හිතන්නේ කවුරු තීරණාත්මක වෙයිද කියලා?
අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ සාධකය තීරණාත්මකයි. හැබැයි පහුගිය ඡන්ද එක්ක බලද්දි ශ්‍රීලනිපය සුළු ජාතික ඡන්ද වැඩිවීමක් තියෙනවා. ඒ නිසා ඊළඟ අපේක්ෂකයා දෙගොල්ලටම එකතු වෙන්න ඕන. ඒ නිසා මට අපේක්ෂකයා වැඩක් නෑ. දැන් මට පේනවා රාජිත, චම්පික වගේ අයගෙත් අදහස් තියෙනවා. හැබැයි ඒ අයත් වැඩේට නුසුදුසු අය නෙවෙයි. අපේ අරමුණ තියෙන්නේ මේ හැමෝම එකතු කරගෙන අලුත් ගමනක් යන්න.

සමහර අය කියනවා ඒකාධිපති පාලනයක් ඕනෙලු. හිට්ලර් කෙනෙක් ඕනේ වගේ කතා?
මම කොහොමත් ප්‍රජාතන්ත්‍රවාදයට කැමති කෙනෙක් නෙමෙයි. ඉස්සර ඉඳන්ම කිව්ව දෙයක්. ලෝකයේ කඩාවැටුණු රටවල් කෙලින් කළේ ආඥාදායකත්වයක් තියෙන නායකත්වය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. හැබැයි ශක්තිමත් නායකයෙක් අවශ්‍යයි.

ශ්‍රීලනිපයේ අපේක්ෂකයා මෛත්‍රිපාල මහත්තය කියලා....
එතුමා ඉල්ලුවත් ශ්‍රීලනිපයෙයි, ඒකාබද්ධයෙයි එකතු වෙන්න ඕන. මොකද එතුමට ඊළඟ පාර යූ.ඇන්.පී.ය එක්ක ගමනක් නෑ.

ජනාධිපතිවරයාටත් මහින්ද රාජපක්ෂගේ ආශීර්වාදය ඕනෙද?
පැහැදිලිවම. ඒ දෙන්නා එකතුවෙන්න ඕන.

ජ්‍යෙෂ්ඨයෙක් වෙච්චි ඔබත් ඇයි රාජපක්ෂවරුම නායකයෝ වෙන්න ඕනේ කියලා හිතන්නේ?
මම එහෙම හිතන්නේ නෑ. හැබැයි රටේ මිනිස්සු විශ්වාසය තිබ්බේ රාජපක්ෂවරු ගැන නේද? ඒ ජනමතයට පයින් ගහන්න බෑනේ. මොන චෝදනා කළත් මිනිස්සු රාජපක්ෂවරු උස්සලා තියෙනවා. ඒකපුද්ගල ආදායම ඩොලර් 700 ඉඳලා 4000ට අරගෙන ගිය මිනිස්සු. රාජපක්ෂවරු කියන්නේ. පුංචි දෙයක් නෙමෙයි.

ඒ කියන්නේ රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වුණොත් කොන්දේසි විරහිතව උදව් කරනවා?
මම එහෙම කියන්නේ නෑ. හැබැයි මේ පොදුජන පක්ෂය සමඟ අපි එකතුවෙලා ශ්‍රීලනිපයත් එකතු කරගෙන මේ ගමන යනවා. ඇත්තට මේ පක්ෂය ගොඩනැගීමේ ගෞරවය, විමල්, ගම්මන්පිල, දිනේෂ්, වාසුලට යන්න ඕනේ. ඔවුන් පටන් ගත්ත මහින්ද සුළඟ නිසයි ජනතාව එකතු වුණේ.

හැබැයි ඒකාබද්ධයේ අය කියනවා ඊළඟට ඡන්දය කරන්නේ පොහොට්ටුවෙන් කියලා?
ඒක කමක් නෑනේ. අතෙන්ද, පුටුවෙන්ද කියලා. ඒක ප්‍රශ්නයක් නෑ.

ඔබ කියනවා මෛත්‍රීට මහින්ද රාජපක්ෂ සමඟයි යන්න වෙන්නේ කියලා. ඒත් මෛත්‍රී එළියට බැස්සේ මහින්දට විරුද්ධව. ජනතාව කැමති වෙයිද?
දැන් ජනතාව කැමති මහින්දට නෙමෙයිද? මෛත්‍රීට රනිල් වික්‍රමසිංහට වඩා අවුරුදු ගාණක් එකට හිටිය මහින්ද ළඟයි, බැසිල් ළඟයි. මෛත්‍රී වමේ මිනිහෙක්. රනිල් එක්ක යන්න බෑ....

කොච්චර ළඟ වුණත් දෙන්නව එකතු කරන්න බෑනේ?
ඒක ඔය බලය සම්බන්ධයෙන් තියෙන ස්වරූපයක්.

සමහර ශ්‍රීලනිප අය කියනවා රාජපක්ෂවරු සමඟ වැඩ කරන්න බෑ කියලා?
ඔව් සමහර අය ඉන්නවා. ඒ අය කොහොමත් දැනටම එජාපයට ගිහින් ඉවරයි. ඒ වගේම දැන් ඒ අයට ඒ අයගේ දිස්ත්‍රික්කවල වැඩ කරන්න අමාරුයි. මොකද දැන් තියෙන තත්ත්වයත් ඒකයි.

දැන් පාතාලය, කුඩු වගේ දේවල් හිස ඔසවලා. ඒ අස්සේ මරණීය දණ්ඩනයත් ගේන්න හදනවා?
මම කිව්වේ.... මේ වගේ රටකට යම් ආඥාදායකත්වයක් බලපානවා. නැත්තම් පාලනය කරන්න අමාරැයි. පහුගිය කාලයේ ක්‍රියාත්මක වුණේ නෑ. ඔය පාතාලය විතරක් නෙවෙයි උතුරේ එල්.ටී.ටී.ඊ.ය ගොඩනගන්න හදන විජයකලාව අල්ලලා හිරේ දාන්න ඕනේ. රජයේ සේවකයන්ට විස්තර දෙන්න එපා කියලා තර්ජනය කරන මහ ඇමැතිව හිරේ දාන්න ඕන. මේ අය ද්‍රෝහියෝ.

► ගයාන් ගාල්ලගේ