2018 ජුලි 21 වන සෙනසුරාදා

ගාල්ලේ ක්‍රිකට් අවනඩුව

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

ගාලු ක්‍රීඩාංගණය සැලකෙන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ වාසනාවන්තම ක්‍රීඩාංගණය ලෙසිනි. එහි මෙතෙක් පවත්වා තිබෙන ටෙස්ට් තරග 31කින් 18ක්ම අවසන් වී ඇත්තේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්පත් කර දෙමිනි. තරග 5ක් ජයපරාජයකින් තොරව අවසන් වනවිට පරාජය වී ඇත්තේ තරග 7ක් පමණි. ක්‍රීඩංගණයේ ශ්‍රී ලංකාවට තිබෙන වාසිය විස්තර කිරීමට වෙනත් සංඛ්‍යා ලේඛන අවශ්‍ය නැත. මෙවන් වාසනාවන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අතහැර දැමීමට ශ්‍රී ලංකාව සූදානම් වෙනවානම් එය සෙසු ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල්වලට පස්ස පැත්තෙන් හිනාවෙන කාරණයක් වීම වැළැක්විය නොහැක.

එවන් තීන්දුවක් ගැනීමට හේතුව බව කියන ගාල්ල කොටු පවුර ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකාවට බව සත්‍යයකි. ලෝක උරුමයක් වශයෙන් කිසියම් ස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් යුනෙස්කෝව මගින් නම් කිරීම සැලකෙන්නේ එම ස්ථානය ලෝකයේ සමස්ත ජනතාවගේම වස්තුවක් බවට පත්වන බවය. එය අදාළ රටට ලැබෙන ගෞරවනීය පිළිගැනීමක් ද වන අතර නිසැකවම සංචාරක ව්‍යාපාරයට ප්‍රබල උත්තේජනයක් ද සපයයි. මේ නිසා ගාලු කොටුවට හිමිවන තැන කිසිවකුට හෝ පැහැර ගැනීමට ඉඩ දිය යුතු නැත. එසේ වුවත් ගාලු කොටුව ආරක්ෂා කළ යුත්තේ රටේ සියලු ගෞරව කාබාසිනියා වන අන්දමට නොවන බවද තේරැම් ගැනීම අවශ්‍යය.

ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව යනු ලෝක උරැමයක් තරම්ම වටිනා සම්පතකි. අපේ රටේ අභිමානය ඉදිරියේ ක්‍රීඩාවක් ගැන ඉහළින්ම සටහන් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවය. අපි මේ ලෝකයට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවක් බිහි කළ රටක් නියෝජනය කරමු. ඔවුන්ගේ දක්ෂතාවල වාර්තා ගණනාවක් ලියැවී ඇත්තේ දැන් ගලවා දැමීමට සැරසෙන ගාලු ක්‍රීඩාංගණයේ බව එම තීන්දුව ගන්නා දේශපාලනඥයන් ද දැන නොසිටිනවා නොවේ. එසේ නම් ඉවක් බවක් නැතිව රටටම අවශ්‍ය ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ ආකාරයට විනාශ කිරීමට ගෙන ඇති තීරණය දේශපාලන හේතු මත ගනු ලැබ ඇති බවට සැක පහළ වීම සාධාරණය.

ගාලු ක්‍රීඩාංගණය වටා සිදු කර ඇති ඉදිකිරීම් හේතුවෙන් ලෝක උරැමයක් ලෙස ආරක්ෂා කළ යුතු ගාලු කොටු පවුර ආවරණය වී තිබීම යුනෙස්කෝ සම්මුතිය බිඳ දැමීමට හේතු වී ඇතැයි ද එම වැරැද්ද යළි සැකසීම සඳහා ප්‍රධාන ක්‍රීඩාගාරය සහ එය දෙපස ඇති ගොඩනැගිලි කඩා දැමීමේ තීන්දුවක් ගෙන ඇතැයිද කියති. ක්‍රීඩාගාරයක් සහ පරිවාර ගොඩනැගිලිවලින් තොරව ටෙස්ට් ක්‍රිකට් පිටියක් තබා ටෙනිස් පිටියක්වත් පවත්වා ගෙන යා නොහැකිය. කොටින්ම එම ගොඩනැගිලි කඩා දැමීම යනු ගාලු ක්‍රීඩාංගණයේ අවසානයයි.

ලබන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන එංගලන්ත කණ්ඩායම සමඟ ගාල්ලේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය පවා නොපැවැත්වෙන තරම් ඉක්මන් තීරණයක් මේ සම්බන්ධයෙන් ගෙන ඇති බවද දැනගන්නට තිබේ. ලෝක පූජිත පන්දු යවන්නකු වන මුරලිදරන් තමන්ගේ 800 වැනි ඓතිහාසික කඩුල්ල බිඳ හෙලූ ගාලු ක්‍රීඩාංගණය ඊළඟට මෙරටින් බිහිවී සිටින දක්ෂතම දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් තරගය පැවැත්වීමට ද නියමිත විය. ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලා ඇති වමත් පන්දු යවන්නා වන රංගන හේරත්ට මේ තීන්දුව මහත් වේදනාකාරී වන බවට සැකයක් නැත. රටේ සම්පත්වල වටිනාකම හරිහැටි හඳුනාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන සමයක රංගන හේරත් එහි වින්දිතයකු බවට පත්වීම මෙරට සියලු ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි කනස්සල්ලට හේතු වන බව ද සඳහන් කළ යුතුය.

කෙසේ වුවද අපට දැනගන්නට ලැබී තිබෙන අන්දමට ගාලු ක්‍රීඩාංගණය එතැනින් උදුරා දැමීමට කැස කැවීම යට දේශපාලන කෝන්තරයක් ද තිබේ. එහි ක්‍රීඩාංගණය නම් කර තිබෙන නාමයත් දකුණේ දේශපාලන ප්‍රබලයන් කිහිපදෙනකුගේ අවශ්‍යතාත් මීට යටින් තිබෙන කාරණා බවට කතා බොහොමයකි. මෙහි ප්‍රධාන ගොඩනැගිල්ලක් වන මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ඉදි කරනු ලැබුවේ 2007 වසරේදීය. ඒ සඳහා ගාලු උරුමය පදනම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසි අවසරය ලබා දී නැති බවද කියති. එසේ වුවද මේ දක්වා වසර 11ක් තිස්සේ යුනෙස්කෝවට ලොකු ප්‍රශ්නයක් නොවූ ගාලු කොටුව ආවරණය වීම දැන් හදිසියේම ප්‍රබල ගැටලුවක් බවට පත් වූවේ දේශපාලන හේතු මත මිස වෙන කිසිදු හේතුවක් මත නොවන බව ජනතාව කියනු ඇත.