2018 ජුලි 21 වන සෙනසුරාදා

ප්‍රංශයට ජය

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

මා මේ ලිපිය ලියන අතර ප්‍රංශ රූපවාහිනිය සිය රටේ පාපන්දු ක්‍රීඩකයින්ගේ ජයග්‍රාහී ආපසු ගමන වාර්තා කරයි. මොස්කව් නුවරදී ක්‍රෝඒෂියාව පරදා ලබාගත් කුසලාන ද රැගෙන ඔවුන් ගුවන්යානයකින් පැරීසියට පැමිණි වෙලේ පටන් මුලු ප්‍රංශයම ජයපැන් බොමින් රටපුරාම නොයෙක් ප්‍රීති සම්භාෂණ පවත්වයි. විවෘත බස් රථයකට නැගුන ක්‍රීඩකයින් ජනතාවට ආචාර කරමින් සෙමෙන් සෙමෙන් නගරය මැද පිහිටා ඇති ජනාධිපති මන්දිරය වෙත ඇදෙයි.

පැරීසියේ සුප්‍රසිද්ධම මාවත නම් කර ඇත්තේ “චෝන්ස් එලිසේ” යනුවෙනි. එහි සිංහල පරිවර්තනය නම් සුරපුරයට යන මාවත යන්නයි. ජනාධිපති මන්දිරය නම් කර ඇත්තේ “එලිසේ පැලස්” යනුවෙනි. එහි වාච්‍යාර්ථය නම් “සුරපුරෙහි මාලිගාව” යන්නයි. එය ප්‍රංශ දේශපාලනයේ මර්මස්ථානයයි. ජනාධිපති එමැනුවල් මැක්රොන් සහ එම මැතිනිය ජනපති මන්දිරයේ පඩිපෙළින් බැස පාපන්දු වීරයන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටී. ඔවුන් එවැනි ගෞරවයක් සාමාන්‍යයෙන් යොමු කරන්නේ තමන් හමුවීමට එන බලගතු රාජ්‍ය නායකයන්ට පමණය. 

“චෝන්ස් එලිසේ” මාවත අතුරු සිදුරු නැතිව පිරී තිබේ. එම මාවත ආරම්භ වන්නේ “ජයග්‍රහණයේ තොරණ” යැයි නම් කරන ලද විශාල දොරටුව අසලිනි. යුදවලින් මියගිය ප්‍රංශ රණවිරුවන් සමරමින් දැල්වෙන “නොනිමෙන ගිනි සිලුව” එහි තිබේ. එය අසල දැවැන්ත රතු, නිල් හා සුදු ප්‍රංශ ජාතික කොඩිය ලෙලදෙයි. එම මාවත දෙපැත්තේ ඇත්තේ දර්ශනීය වෙළඳ කුටියි. ඒවා ලෝකයේ උසස්ම කාර්, නිමි ඇඳුම්, ආලේපන, අත් ඔරලෝසු ආදිය මනස්කාන්ත ලෙස ප්‍රදර්ශනය කරන කුටිය. වෙනදා නම් ඒවා දෙස නෙත් යොමාගෙන සිටින පැරීසියේ වෙසෙන්නන් හා සංචාරකයින් අපට දැකගත හැකිය. නමුත් මෙදා ඒවා සියල්ල වැසෙන ලෙස ගලා යන ජන ගංඟාවකි.

මීට පෙර මෙවැනි පාපන්දු ජයග්‍රහණයන් ප්‍රංශයට හිමිවූයේ 1988දීය. එහිදී ප්‍රංශය නියෝජනය කළ ක්‍රීඩකයකු වූ ඩෙශෝම්ස් මෙවර කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ලෝක වාර්තාවක් තැබුවේය. ජයග්‍රහණයෙන් පසු කණ්ඩා‍යමේ ක්‍රීඩකයින් සියලුදෙනාම එක්වී තමන්ගේ පුහුණුකරැව ෂැම්පේන්වලින් නෑව්වෝය. එය ඔවුන්ගේ ආදරයත්, ආඩම්බරයත් ප්‍රදර්ශනය කළ අවස්ථාවක් විය. එමෙන්ම 1988 තරගයේ වීරයා වූ ඇල්ජීරියානු සම්භවයෙන් යුත් ෂිඩාන් නමැති අග්‍රගණ්‍ය ක්‍රීඩකයා පසුගිය යුරෝපීය කුසලාන තරගයේ දී “රියල් මැඩ්රිඩ්” නමැති සුපතල ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු හැටියට එම කුසලාන දිනා ගැනීමට සමත් විය. ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රෝන් ශූර දේශපාලනඥයෙකි. ඔහු බලයට පත් වූයේ ප්‍රංශයේ ප්‍රධාන දේශපාන පක්ෂ දෙකම පරාජය කරමිනි. ඒ දුෂ්කර කාර්යය සඳහා ඔහු යොදාගත්තේ සිය තාරුණ්‍යයි.   මුලු යුරෝපයේම පාහේ දක්ෂිණාංශික ජාතිවාදීන් හිස ඔසවන අවදියක මැක්රෝන් හා ජර්මනියේ ඇන්ජෙලා මර්කල් තම රටවලට ආ කළු සංක්‍රමණිකයින්ට වඩාත් මිත්‍රශීලී අයුරින් සැලකුවෝය. මැක්රෝන් අවසාන ජනාධිපති වටය තරග කළේ ජාතිවාදී, වර්ගවාදී, දක්ෂිණාංශික නියෝජිතවරියක් වූ මාරි ල පෙන් සමඟය. ඇගේ දේශපාලන ප්‍රතිපත්තිවලට එරෙහි වූ ප්‍රංශයේ වැඩිදෙනෙක් ප්‍රබල පක්ෂයක් නොතිබුණ මැක්රෝන් වටා පෙළ ගැසුණෝය.

ප්‍රංශ දේශපාලන විචාරකයින් පවසන අයුරු ලෝක පාපන්දු තරගය මැක්රෝන්ට ලැබුණ අගනා තෑග්ගක් බඳු විය. ඔහු එම අවස්ථාව තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට ඉතාම සූක්ෂම ලෙස යොදා ගත්තේය. ප්‍රංශය අවසන් වටයට තේරැණාත් සමඟම ඔහු මොස්කව් නගරයට පැමිණ තම කණ්ඩායම උනන්දු කළ අතර ඒ දර්ශන දිනපතා ප්‍රංශ මාධ්‍යයට නිකුත් කරන ලදී. එපමණක් නොව ඔහු සම්මතය කඩමින් ක්‍රීඩකයින්ගේ කාමරයද ආක්‍රමණය කර ඔවුන්ව දිරිමත් කරමින් ප්‍රංශ ජනතාව තුළ හොඳ නමක් දිනා ගත්තේය.  තරගය නැරඹීමට ඔහු රුසියානු ජනපති පුටින් හා ක්‍රෝඒෂියාවේ ජනාධිපතිනි කොලෙන්ඩා සමඟ එකම මැදිරියේ රැඳෙමින් මුලු ලෝකයටම සුහද පණිවිඩයක් යැවීය.  නායකයින් තුන්දෙනාම ඇසිල්ලෙන් ලක්ෂ සංඛ්‍යාත නරඹන්නන් අතර සුහදත්වය හා මිනිසත් බව ප්‍රදර්ශනය කළෝය. ප්‍රංශය ගෝලයක් ගැසූ විටම යෞවනයෙක් මෙන් මැක්රෝන් උඩ පැන පැන නටන්න පටන් ගත්තේය. එම රූපය මුලු ලොව පුරාම නරඹන්නන්ගේ සිත් සතන් තුළ නොමැකෙන චිත්‍රයක් සටහන් කළේය. ක්‍රෝඒෂියානු ජනාධිපතිනියද ඔහුට කරට කර ලෝක නරඹන්නන්ගේ ජනප්‍රියත්වයට පාත්‍ර විය.  ලංකාවටත් කුඩා ජනගහනයක් ඇති ඇගේ රට ලෝකයේම සුරතලුන් බවට පත්වූයේ ඇගේ ලයාන්විත හැසිරීම නිසාය. පුටින්ද රටේ නායකයා පමණක් නොව සුහද ජාත්‍යන්තර ආදරවන්තයකුගේ චරිතයට පණ පෙව්වේය. ධාරානිපාත වැස්ස නොතකා මේ නායකයින් තිදෙනා ක්‍රීඩකයන් වැළඳගන්නා හැටි නැරඹීම තුළින් තරගයේ ජය පරාජය අභිභවා යන මිනිසත්කමේ අගය පිළබඳ පාඩමක් ලොවට දුන්නෝය. පුටින් ඉන් පසු දිනක ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ විට ඔහුට තෑග්ගක් වශයෙන් ලෝක මාධ්‍යය ඉදිරියේ පාපන්දුවක් පිරිනැමීය. මාධ්‍යය අවධානය දිනා ගන්නා හැටි අතැඹුලක් සේ දන්නා ට්‍රම්ප් වුවද එතැනදී දෙවැනි තැනට පුටින් විසින් තල්ලු කරන ලදී.

ප්‍රංශයට මේ ජයග්‍රහණය ආවේ තීරණාත්මක කාලකයදීය. දැන් අවුරුදු දෙකක් පමණ ප්‍රංශයේ විවිධ පළාත්වල ත්‍රස්තවාදී ක්‍රියා වාර්තා විය. ඇතැම් මාරාන්තික ප්‍රහාර එල්ල කරන ලද්දේ පැරීසියේ හදවත හැටියට සැලකිය යුතු ප්‍රදේශවලය. එපමණක් නොව නොයෙක් සංක්‍රමණික කල්ලි සහ මුස්ලිම්වරැන් ප්‍රංශයේ විවිධ පළාත්වල පදිංචි වන්නට පටන් ගත්තේය. යුරෝපයේ නායකයින් අතුරින් එවැනි සංක්‍රමණිකයින් වෙත සානුකම්පික මුහුණක් දැක්වූයේ ඇන්ජෙලා මර්කල් හා මැක්රෝන් පමණි. ඒ සඳහා ඔවුන්ට අනාගතයේ සැලකිය යුතු දේශපාලන වන්දියක් ගෙවීමට සිදුවිය හැකිය. 

ක්‍රෝඒෂියානු ක්‍රීඩකයන් සියලුදෙනාම පාහේ සුද්දන් වූ අතර ප්‍රංශ කණ්ඩායම රටේ විවිධ ජන කොටස් නියෝජනය කළහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කළු අප්‍රිකානු සම්භවය ඇති වු අය වීම සුවිශේෂ ලක්ෂණයකි.  කැමරෑන්, කොන්ගෝ, නයිජීරියා වැනි රටවලින් ආ පවුල් වලින් උපන් තරැණ ක්‍රීඩකයින් ප්‍රංශය නියෝජනය කළ අතර ජනාධිපති මැඳුරේ දී ප්‍රංශ ජාතික ගීය ගායනා කිරීමට ඔවුන් ඉදිරිපත් වීම ඓතිහාසික සංසිද්ධියකි. ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ බාලයා මෙන්ම සුරතලා දහනව හැවිරිදි කිලියන් බාපාය. අවසාන තරගයේ දී ඔහුගේ දර්ශනීය ගෝල් පාර විචාරකයින් සම කළේ පාපන්දු ඉතිහාසයේ අමරණීය නාමයක් දිනු බ්‍රසීල ජාතික පේලේ ක්‍රීඩකයාගේ කෞෂල්‍යයටයි. කිලියන්ගේ පියා කළු අප්‍රිකානු ජාතිකයකු වන අතර මව ඇල්ජීරියානු ජාතික කාන්තාවකි. ඔහු තුළ සංකලනය වී ඇත්තේ ප්‍රංශයේ ප්‍රධාන සංක්‍රමණිකයින්ගේ ජානයන්ය. ඔහුගේ ජනප්‍රියත්වය දිගු කලක් රුඳෙනු ඇතැයි අපට අනුමාන කළ හැකිය. කිලියන් බඳවා ගැනීමට අද ලෝකයේ ධනවත්ම පාපන්දු කණ්ඩායම් අතර තරගයක් පටන් ගෙන තිබේ.  එසේම අලුත්ම පුවත වන්නේ  කිලියන් ලෝක කුසලාන සටනේ තරග  කිරීම වෙනුවෙන් ඔහුට ලැබුණ සියලුම මුදල් ආබාධිත දරැවන්ගේ අභිවෘද්ධිය සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි.  ඒ තුළින් ඔහු ප්‍රංශ ජනතාවගේ හදවතට තවත් ළං වනු ඇත.

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00