ශ්‍රීලංකන් ප්‍රධාන විධායක වැටුප
ශ්‍රීලංකන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්ත එම තනතුරට පත් වී සුළු කාලයක් ඇතුළතදීම ගුවන් නියමු සංසදය සමඟ ගැටුම් ඇති කරගත්තේය. වෘත්තියෙන් ගුවන් නියමුවකු වන සුරේන් රත්වත්ත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා විට සේවය කරමින් සිටියේ කටාර් එයාර්වේස් සමාගමේය. ඔහුට විශාල වැටුපක් ගෙවන බවත් එසේ වුවත් ආයතනය පණ ගැන්වීමට ඔහුගෙන් ඉටුවන සේවය ගැටලුවක් බවත් දිගටම සඳහන් විය.
මේ අතර වැටුප් සම්බන්ධ ප්‍රශ්නවලදී ගුවන් නියමු සංසදය මගින් කොතරම් ඉල්ලුම් කළත් සුරේන් රත්වත්තගේ වැටුප කිසිදාක හෙළිදරව් නොකෙරිණි. කෙසේ වුවද තොරතුරු දැනගැනීමේ පනත යටතේ 2017 ජූනි මාසයේදී ගුවන් නියමු සංසදය මගින් කරන ලද ඉල්ලීමට එම වැටුප්, දීමනා සහ වෙනත් දිරිගැන්වීම සම්බන්ධ සියලු තොරතුරු හෙළිදරව් කරමින් පසුගියදා පිළිතුරැ ලැබිණි. පාකිස්තාන් ගුවන් සේවය සමඟ කරන ලද කල්බදු ගිවිසුමට අදාළ සියලු තොරතුරු, ලාබ පාඩු සහ හානි හා ගිවිසුම අහෝසි කිරීම, A350 වර්ගයේ එයාර් බස් ඇනවුම අහෝසි කිරීමට තුඩු දුන් හේතු, සුරේන් රත්වත්ත මහතාට A350 ජෙට් යානා පුහුණුව ලබාදීම සඳහා ශ්‍රී ලංකන් වැය කළ මුදල පිළිබඳ විස්තරද ඔවුන්ගේ විමසුම් ලිපියේ සඳහන් විය.
තොරතුරු පනතට අනුව පසුගිය සතියේ නිකුත් කළ නිවේදනයේ සඳහන් පරිදි සුරේන් රත්වත්ත මහතාගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 32.7 කි. (ශුද්ධ වැටුප 2.140,884), ජෙට් යානා පුහුණුව සඳහා වැයකර ඇති මුදල අමෙරිකානු ඩොලර් 23,568 (රුපියල් ලක්ෂ 37.4) ඒ හැර සමාගම මගින් නඩත්තු කරන වාහනයක්, රියදුරු, ඉන්ධන සහ ඕනෑම සමාජ ශාලාවක් සඳහා වසරක සාමාජික ගාස්තුද වෙනත් දීමනා අතර විය.
ශ්‍රීලංකන් ආයතනය එයාර් බස් A350 වර්ගයේ ගුවන් යානා 4ක කල්බදු ගිවිසුම අහෝසි කිරීම වෙනුවෙන් ශ්‍රීලංකන් ආයතනය අමෙරිකානු ඩොලර් 161,770,000 (රැපියල් 25,698, 782,200) ක මුදලක් ගෙවීමටද එකඟ වී ඇතැයිද එම ලියැවිලිවල සඳහන්ය.
- සන්ඩේ ටයිම්ස්
ජනාධිපතිගේ කාලය විනාශ වීම
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෑතකදී සිදුකළ විදෙස් සංචාර දෙක මෙරට බොහෝදෙනාගේ දෙබැම ඉහළ නැංවීමට සමත් විය. ඉතාලියේ සහ ජෝර්ජියාවේ පැවැති අදාළ රුස්වීම් දෙකම රාජ්‍ය නායක මට්ටමේ ඒවා නොවීය මේ සංචාර දෙක සිදුකරන ලද්දේ ජ්‍යොතිෂමය හේතුව පදනම් කරගෙන දැයි සමහරු ප්‍රශ්න කළහ. එය මෙරට බොහෝ ජනාධිපතිවරැන්ට සහ අගමැතිවරුන්ට සම්බන්ධ කුප්‍රකට හේතුවකි.
රෝමයේ පැවැති රුස්වීම එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් සංවිධානය කෙරැණකි. ජෝර්ජියාවේ රැස්වීම විවෘත රාජ්‍ය සහයෝගිතාව මගින් සංවිධානය කරන ලදී. එය හිටපු අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා සහ ඔහුගේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් මුලපිරෑ සංවිධානයකි. තමන්ගේ වරමට සහාය දක්වන රටවල්වලට පෙරළා සහාය දැක්වීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් මේ සංවිධානය සැකසිණි.
කෙසේ වුවද ජෝර්ජියාවේ ටිබ්ලිස් අගනුවර මෙවර පැවැති එම රැස්වීම නිලධාරි මට්ටමේ ක්‍රියාකාරී රුස්වීමක් පමණි. මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිසි ආකාරයට දැනුම්වත් වීමක් සිදුවන්නේද යන්නය. 2016 වසරේ මෙක්සිකෝවේ පැවැති විවෘත රාජ්‍ය රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කළේ එකල විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාය. මේ රැස්වීමට සහභාගි වීමෙන් ඇමෙරිකා පාලනයේ හොඳහිත දිනාගත හැකි වේ යැයි ජනාධිපතිවරයා සිතන්නේ නම් එය ජනාධිපතිවරයාගේ කාලයත් බදු ගෙවන්නන්ගේ මුදලත් දෙකම නාස්ති කිරීමකි.
- සන්ඩේ ටයිම්ස්
ඡන්දය ගැන මැකො කියයි
දිගින් දිගටම කල් යමින් තිබෙන පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් අදහස් පළකරන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්දය පවත්වන්නේ කුමන ආකාරයටදැයි තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව බව කියයි.
ඡන්දය පැවැත්විය යුත්තේ පරණ ක්‍රමයටද අලුත් මිශ්‍ර ක්‍රමයටද යන්න තීරණය කර නීතිමය තත්ත්වය නිරාකරණය කරදීමකින් තොරව ඡන්දය පැවැත්විමට කොමිසමට හැකියාවක් නැතැයිද ඒ මහතා සඳහන් කරයි.