2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

ගණන් උස්සන පුංචි කාර්

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

මේ ආණ්ඩුව බලයට එන්නේ දහසක් පොරොන්දු ලබාදෙමිනි. ඒ අතරින් එකක් වූයේ වාහනයක් ගත නොහැකිව ලතවෙන ජනතාවට වාහන මිලට ගත හැකි තත්ත්වයක් ඇති කරන බවය. විශේෂයෙන් පුංචි කාර් එකක මිල වැඩි දෙනකුට දැරිය හැකි මට්ටමකට පහත දමන බවට පොරොන්දු ලැබිණි. එය ආකර්ෂණීය පොරොන්දුවක් වූ බවට සැකයක් නැත.

ආණ්ඩුව බලයට පත් වී පළමු දින සියය වැඩසටහන තුළදී පුංචි කාර්වල මිල අඩු කෙරැණේය. පෙට්රල්, ඩීසල් මිලද ඇඟට දැනෙන මට්ටමට පහත දමනු ලැබීය. පුංචි කාර් රටට ගෙන්වීම දෙගුණයකට ආසන්න ප්‍රතිශතයකින් වැඩිවිය. පුංචි කාර් පමණක් නොව මැති ඇමැතිවරුන් සඳහා අලුතින්ම ඩියුටි ෆ්‍රී පහසුකම යටතේ විශාල මිලක් වන අධි සුඛෝපභෝගී වාහනද ඒ සමඟ රටට ආවේය. මෙසේ වාහන රට තුළට පැමිණීම මගින් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල මාර්ග තදබදය ඉහළටම දමනු ලැබීය. මේ වනවිට පොදු ප්‍රවාහන සේවා මෙන්ම පෞද්ගලික වාහනද මහාමාර්ගවල තදබද වේලාවලදී ඉදිරිය ඇදෙන්නේ පැයට කි.මී. 6ක් පමණ අඩු වේගයකිනි. පුංචි කාර්වල මිල ගණන් ලක්ෂ තුනකට ආසන්න ගණනකින් ඉහළ දැමෙන්නේ මේ පසුබිමේය.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ එන්ජින් ධාරිතාව 660 වාහන මිල ගණන් රුපියල් දෙලක්ෂ හැටදහසකින් පමණ ඉහළ ගොස් ඇති බවය. මෙරට මෑත කාලයේදී ජනතාව අතර මහත් ජනප්‍රියත්වයට පත්ව තිබූ වැගන් ආර් රථයක මිල රුපියල් ලක්ෂ හතර හමාරකින් පමණ වැඩිවීම මෙහිදී කැපී පෙනේ. එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා අයකරන නිෂ්පාදන බද්ද පසුගිය 01 වැනිදා සිට ඉහළ නැංවීම මේ තත්ත්වයට හේතු වී තිබේ. ධාරිතාව 1000ට අඩු වාහන යනු මේ ආණ්ඩුව බලයට පත්වීමේදී අඩුකරන බවට පොරොන්දු වූ වාහනයි. මේ අනුව ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දුවක් සම්පූර්ණයෙන්ම කනපිට හරවා තිබේ. තවදුරටත් පුංචි කාර් එකක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටි පිරිසට එම බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවන තරමට මිල ගණන් ඉහළ ගොස් ඇති බව පැහැදිලිව පෙනී යයි.

පුංචි කාර් මිල ගණන් වැඩිවන්නේ බදු ඉහළ දැමීම හේතුවෙනි. මෙවැනි තීන්දුවලින් තමන්ගේ ජනප්‍රියත්වය (තවදුරටත් ඉතිරි වී ඇත්නම්) පහළට වැටෙන බව රජය නොදන්නවා නොවේ. මෙවැනි ජනප්‍රිය නොවන, ජනතාවගේ බලවත් අප්‍රසාදයට හේතුවන තීරණ රජයට ගැනීමට සිදුව ඇත්තේ මුහුණ දී සිටින දැඩි ආර්ථික කඩා වැටීම හේතුවෙන් බව පැහැදිලිය. මුල සිටම ක්‍රමවත් ආර්ථික දැක්මක් නොමැතිව වැඩ කිරීමේ ප්‍රතිඵල අද රජයට විඳීමට සිදුව තිබේ. එහි පීඩනය කෙළින්ම වැටෙන්නේ ජනතාවගේ කර මතය. බිඳී යන්නේ ජනතාවගේ බලාපොරොත්තුය.

මේ ගැටලුවේ තවත් පැති ගණනාවක්ම තිබේ. අපේ රටේ ජනතාව අතුරින් බොහෝ දෙනකු තමන්ගෙන් රටට වන සේවය පිළිබඳව ඇත්තේ අල්ප මාත්‍ර හැඟීමකි. ඔවුන් නිරතුරුවම බලන්නේ තමන්ට රජයෙන් ලැබෙන්නේ මොනවාද කියාය. බැලූ බැලූ ක්ෂේත්‍රවල වැටුප් ප්‍රශ්න, දීමනා ප්‍රශ්න හේතුවෙන් හැමදාම ඇසෙන්නේ වැඩවර්ජන පිළිබඳ ගෝරනාඩුය. ආණ්ඩුව කුමක් වුවත් තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටුකරන අවංක සේවකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දිනම පහත වැටේ. එය කනගාටුදායක තත්ත්වයකි.

තවත් අතකට වාහන මිල ගණන් ඉහළ දැමීමෙන් රජය බලාපොරොත්තු වන්නේ රටතුළට ඇදී එන වාහන සංඛ්‍යාව අඩුවීමත් ඒ මගින් පිටරටට ඇදී යන අපේ රටේ මුදල් ඉතිරි කර ගැනීමටත්ය. එහි වරදක් දැකිය නොහැක. නමුත් නිවැරුදි ආර්ථික දැක්මක් ඇතිව මුලසිටම කටයුතු කළා නම් රජය මෙවැනි අපහසුතාවයකට මුහුණ නොදෙන බවත් ජනතාව මෙතරම් දැඩි ආර්ථික පීඩනයකට පත් නොවන බවත් සඳහන් කළ යුතුය. රට තුළට ඩොලර්, පවුම් ගලා එන ආකාරයේ ප්‍රබල ආර්ථික වැඩපිළිවෙළක් රජයට මුලසිටම නොතිබිණි. ඉදිරි කාලයේදී තවදුරටත් බදු වැඩි වී ජනතාවගේ ආර්ථික පීඩනය ඉහළ යාම නියතයක් බවත් එය වැළැක්වීමට රජයට ඉලක්කගත වැඩපිළිවෙළක් නොමැති බවත් පෙනෙන්නට තිබෙන යථාර්ථයයි.

තමන්ගේම කියා වාහනයක ගමන් බිමන් යාමට අකැමැති කිසිවකුත් නැත. ආණ්ඩුවේ මේ තීරණයෙන් පහර වදින්නේ ජනතාවගේ එම කැමැත්තටය. එහෙත් ආර්ථික වශයෙන්  හෙම්බත්ව සිටින රටක ජනතාවගේ කැමැත්තට වටිනාකමක් නොලැබෙන බවත් තේරුම් ගැනීම අවශ්‍යය. මේ ගැටලුව වඩාත් දැඩිව දැනෙන්නේ අපේ රටේ පොදු ප්‍රවාහන සේවාවද බරපතළ පිරිහීමකට ලක්ව තිබීම හේතුවෙනි. බොහොමයක් මිනිසුන් තමන්ට හැකි පමණින් මෝටර් සයිකලයක්, ත්‍රීවීලරයක් හෝ පුංචි කාර් එකක් මිලදී ගැනීමට පෙළඹෙන්නේ එකී හේතුවෙනි. රටක ආර්ථිකයේ ප්‍රගතිය මැනිය හැක්කේ ඒ රටේ තිබෙන පෞද්ගලික වාහන ප්‍රමාණය අනුව නොවේ. පොදු ප්‍රවාහන සේවයේ ප්‍රමිතිය අනුවයි. ඒ අතින් මේ ආණ්ඩුවටත් ඇත්තේ ඍණ ලකුණු බව කනගාටුවෙන් වුවද පැවැසිය යුතුය.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00