2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

වර්ජන උණ

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

හිටිගමන් සහලවා උණ ගන්නා සේ අමුතුම ක්‍රමයේ වැඩ වර්ජන දැන් අපේ රටේ ද ක්‍රියාත්මකය. එහි එක් ආනිසංසයක් වශයෙන් උදේට දුම්රියෙන් වැඩට එන සේවකයාට සවසට ගෙදර යාමට දුම්රියක් නැත. මේ ලෙඩේට හැකි ඉක්මනින්ම බෙහෙතක් නොදුන්නොත් රටේ සමස්ත ජාතික දේහයම අසාධ්‍ය වර්ජන රෝග හේතුවෙන් මියැදෙන්නට බැරිකමක් නැත.

වෘත්තීය සමිති යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ එක් බලකණුවකි. අදාළ සේවකයන්ගේ අයිතිවාසිකම් රැකදීමට ඒ වෙනුවෙන් සටන් කිරීමට පමණක් නොව. යම් යම් ජාතික ගැටලුවලදී ද ඉදිරියට ඇවිත් සටන් කිරීමට පවා වෘත්තීය සමිතිවලට අයිතිය තිබේ. එහෙම සටන් කරන සැබෑ වෘත්තීය සමිති කෙරේ ඕනෑම රටක ජනතාව දක්වන්නේ ආදරයකි. සලකන්නේ තමන්ගේ ගැලවුම්කාරයකු වශයෙනි. එහෙත් මේ රටේ සිදුවන ඇතැම් වැඩ වර්ජනවල හැටියට නම් ඒවා මෙහෙයවන වෘත්තීය සමිති රටේ සමස්ත වැඩ කරන ජනතාවට පෙනෙන්නේ තමන්ගේ වෛරක්කාරයන් හැටියටය. තමන්ගේ සියලු ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් උදුරාගන්නා මහා අසමජ්ජාති පිරිසක් හැටියටය. පසුගිය දිනවල හිටිගමන් සිදුකළ දුම්රිය සේවක වැඩ වර්ජනය වැටෙන්නේ ඒ ගණයට බව කනගාටුවෙන් වුවද කිව යුතුව තිබේ.

වැඩ වර්ජනයක් වුවද සිදු කළ යුතු ක්‍රමවේදයක් තිබේ. තමන්ගේ ගැටලුව විසඳා ගන්න තිබෙන්නේ රජය සමඟ නම්, එය විසඳා ගැනීමට රජය කිසි ලෙසකින්වත් සහාය නොදෙන්නේ නම් වෙනත් කිසිඳු විසඳුමක් නැත්නම් වැඩ වර්ජනය අවියක් කරගැනීම සම්බන්ධයෙන් කිසිවකුත් විරුද්ධ විය නොහැක. නමුත් එවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සිදුවිය යුත්තේ රටේ මහජනතාවගෙන් පළිගැනීමක් වශයෙන් නොවේ. උදේට තම රැකියාවට, විභාගයට, විවිධ අවශ්‍යතාවලට කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලට පැමිණෙන වැඩිහිටියන්, දරුවන් ආපසු නිවෙස්වලට යාමට නොහැකි වන ලෙසට ඔවුන් ප්‍රාණ ඇපයට ගැනීම වැඩ වර්ජනයේ අරමුණක් නොවිය යුතුය.

හදිසි වර්ජනයක් හේතුවෙන් දුම්රියෙන් කොළඹට ඇවිත් ආපසු ගෙදර යාගත නොහැකි වනවිට ජනතාව වැටෙන්නේ අලි අමාරුවකය. ඔවුන්ගේ එම අමාරැව කෝපයක් බවට හැරෙන්න එතරම් වෙලාවක් යන්නේ නැත. කෝච්චි පමණක් නොව බස් රථ පවා කොළඹ කොටුවෙන් පිටත් කර යැවීමට හමුදාවේ පොලීසියේ ආරක්ෂාව අවශ්‍ය වන තරමට වැඩේ දිග්ගැස්සුණේ ඒ හේතුවෙනි. මෙවැනි අත්තනෝමතික, දරදඬු, අමානුෂික ලෙස ක්‍රියාත්මක වන වැඩ වර්ජනවලට තමන්ගේ විරෝධය පළකළ දුම්රිය මගීන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම එහිදී ප්‍රදර්ශනය විය. දුම්රිය සේවක සමිති මගීන්ගේ මේ සංඥාව නිවැරදිව තේරුම් ගත්තා නම් මෙවැනි වර්ජන යළිත් අනාගතයේදී ක්‍රියාත්මක නොවනු ඇත. තමන්ගේ දෛනික ක්‍රියා වැඩ වර්ජන සහ උද්ඝෝෂණ හේතුවෙන් හැමදාම අවහිර වෙනවාට ජනතාව අකමැති බව දුම්රිය ඇතුළු සියලු වෘත්තීය සමිති තේරැම්ගත යුතුය. මෙවැනි වැඩ වර්ජන සිදු කරන තරමට හානි සිදුවන්නේ මහජනතාවගේ අත්‍යාවශ්‍ය සේවාවලටය.

හිටිගමන් වැඩ වර්ජන කරන දුම්රිය වෘත්තීය සමිති තමන් මේ රටේ භාණ්ඩාගාරය මඟින් නඩත්තු කෙරෙන රාජ්‍ය සේවාවක සේවක පිරිසක් බව අමතක කිරීම ද අවාසනාවකි. අපේ රටේ දුම්රිය සේවය යනු රැපියල් බිලියන ගණන් වාර්ෂිකව පාඩු ලබන ආයතනයකි. එය මහජන සේවාවක් වශයෙන් පවත්වාගෙන යායුතු බැවින් මේ පාඩුව පිළිබඳව බොහෝ දෙනා කතා කරන්නේ නැත. එහෙත් එම බිලියන ගණන් පාඩුව තමන්ගේ බදු මුදලින් ගෙවා දමන මේ රටේ මහජනතාවට, දුම්රිය මගීන්ට මේ ආකාරයට සැලකීම යුක්ති සහගත නොවන බව අපි තරයේම කියා සිටිමු. එපමණක් නොව. මේ දුම්රිය සේවකයන් ඉල්ලා සිටින වැටුප් විෂමතා දුරු කිරීම, වාර්ෂික වැටුප් වැඩිවීම් වැනි වරදානවලට මුදල් සැපයිය යුත්තේ ද මහජනතාවගේ බදු මුදලිනි. එකී ජනතාව මේ තරම් කැත විදිහට අමාරුවේ දැමීම සාපරාධී ක්‍රියාවක් මිස වෙන කුමක්ද?

මේ රටේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනවලින් ද පහර වදින්නේ රටේ අඩු ආදායම් ලබන, වරප්‍රසාද අහිමි අසරණ ජන කොට්ඨාසයටය. සල්ලි ඇත්නම් ලංකාවේ රෝහල් නැති වුණත් සිංගප්පූරැවේ මවුන්ට් එළිසබෙත් රෝහලට යාමෙන් හෝ ලෙඩේ සනීප කරගත හැකිය. නමුත් අඩුම වශයෙන් වෛද්‍යවරුන් වර්ජනය කරන විට ඒ බව කලින් දැනුම් දීම සිදු කරයි. ඔවුහු අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමද සිදු කරති. ඒ කොහොම වුණත් වෛද්‍ය වැඩ වර්ජනයේදී පවා තැලෙන්නේ, පොඩිවෙන්නේ අසරණ රෝගීන් සහ ඔවුන්ගේ සමීපතම ඥාතීන්ය. වෛද්‍ය සංගමය සිංගප්පූරු ගිවිසුමේ හතර කොන අල්ලාගෙන වර්ජන දියත් කරද්දී අසරණ ලෙඩ්ඩු මැරි මැරී ජීවත් වෙති. අප වැනි ඉතා දුර්වල ආර්ථිකයක් තිබෙන රටකට මේවා කෙසේවත් ඔරොත්තු දෙන්නේ නැත.

අප මේ සටහන තැබුවේ වෘත්තීය සමිති අයිතිවාසිකම්වලට එරෙහිව නොවන බවද සඳහන් කරමු. නමුත් රටේ මහජනතාවගේ අයිතිවාසිකම් පාගා දමන වැඩ වර්ජනවලට අප කවදත් විරුද්ධය. දහසක් අපහසුකම් මැද දුම්රියේ ගමන් ගන්නා මගීන්ට මේ ආකාරයට සැලකීම නින්දාවක් බවද කියමු.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00