හදිසියේ ජනාධිපතිවරණයක් කැඳවීමට ඉඩකඩ පවතින බව දැන් ටික දවසක සිට දේශපාලන කරළියේ සිදුවන පෙරළිවලින් ඉඟියක් ලැබී තිබේ. ජනාධිපතිවරයා පොළොන්නරුවේ රුපියල් කෝටි හයදාහක් වටිනා සංවර්ධන වැඩ විවෘත කෙරුවේ පසුගිය 04 වැනිදාය. ඉන්පසුව කොළඹ පැමිණ ජාතික තිරසර සංවර්ධන කෙටුම්පත සමාජගත කළේය. ඊළඟට පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අධීක්ෂණ මන්ත්‍රීන්ට නිල වාහන සහ කාර්ය මණ්ඩල ලබාදීමට ඉදිරිපත් වූ කැබිනට් යෝජනාවක් ප්‍රතික්ෂේප කළේය. කොටින්ම පසුගිය කාලයේදී මහින්දලාගේ දේශපාලන වැඩ ගැන රටේ තිබූ අවධානය තමන් වෙත හරවා ගන්නට ජනාධිපතිවරයාගේ මේ ඇතැම් කටයුතු හේතු විය.
ජනාධිපතිවරයා රටේ අවධානය වඩාත්ම යොමුකරගත් කතාවක් කළේ පොළොන්නරුවේදීය. ඔහු පොළොන්නරුවට යනවිට මන්ත්‍රීවරුන්ගේ වැටුප සීයට දෙසීය තිස්පහකින් එනම් දෙගුණයකටත් වඩා වැඩිකර ගැනිමේ කතාවට පියාපත් ලැබී තිබුණි. මන්ත්‍රීවරුන් අතරේ මේ කතාව සිදුවෙන විට ජනාධිපතිවරයා සිටියේ එය නොදන්නා ගාණටය. මන්ත්‍රී වැටුප් කතාව යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් අතර පමණක් නොව ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් අතරද මාතෘකාවක් බවට පත්වී වැඩේ කෙරෙන්න ඔන්න මෙන්න කියා තිබියදී එයට මුලින්ම හරස්වුණේ මංගලය. හැබැයි ඊළඟ දවසේදී එය ජනාධිපතිවරයා සටන් පාඨයක් බවට පත්කර ගත්තේ පොළොන්නරැවේදී මෙහෙම කියමිනි.
මම දැක්කා අපට හිතවත් ඇමැතිතුමෙක් කියලා තියෙනවා පක්ෂ නායකයෝ ඔක්කොම එකතුවෙලා පඩි වැඩිකරන්න තීන්දුවක් ගත්තා කියලා. ඇමැතිවරුන්ගේ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ මන්ත්‍රීවරැන්ගේ ශත පහක් වැඩිකරන්න දෙන්නෙ නෑ මම. මැති ඇමැතිවරුන්ගේ පඩි තීන්දු අරගෙන කැබිනට් මණ්ඩලයට එන්න ඕනෑ. කැබිනට් මණ්ඩලයේ ඔය වැටුප් සම්මත කරගන්න මම ඉඩ දෙන්නෙ නෑ. මේක මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකරන කාලයක් නෙවෙයි.
මෙහෙම කියපු ජනාධිපතිවරයා 2015 සිට මන්ත්‍රීවරැන්ගේ වැටුප් සහ දීමනා වැඩි කළ ආකාරය ගැනත් විස්තර කියා ජනාධිපතිගේ පඩිය මේ වනවිට රුපියල් අනූපන් දාහක් වුණත් මන්ත්‍රීවරුන් වැටුප් හා දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 04කට වඩා ගන්නා බවද කිව්වේය. මේ කතාව නිසා මන්ත්‍රීවරුන් තමන්ට බණිනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ කතාව අවශ්‍ය නම් ජනාධිපතිවරයාට මීට කලින්ම කිව හැකිව තිබුණි. ඒ පඩි යෝජනාව පිළිබඳව ඇතැම් මැති ඇමැතිලා මාධ්‍ය හරහා මුට්ටිය දමා බැලූ අවස්ථාවේය. එතැනදී ජනාධිපතිවරයා කිසිවක් කියන්න ගියේ නැත. ඔහු ඇඟිලි ගනිමින් සිටින්නට ඇත්තේ හරි වෙලාවෙදි. ඒ කියන්නේ තමන්ට වැඩියෙන්ම ලකුණු වැටෙන වේදිකාවකදී මේ බව කියා දැමීමටය. පිබිදෙන පොළොන්නරැව ඔහුට ඒ සඳහා හොඳම අවස්ථාවක් විය. කොළඹදී පැවැත්වෙන උත්සවයකදී මන්ත්‍රීවරුන්ට සත පහක් පඩි වැඩිකරන්න තමන් ඉඩ දෙන්නේ නැතැයි කියනවාට වඩා පොළොන්නරුවට ගොස් සංවර්ධන යෝජනා ක්‍රම විශාල ගණනක් විවෘත කරන වෙලාව ඊට හොඳ වේදිකාවක් බව ජනාධිපතිවරයා දැන සිටියේය. මේ ඕනෑම තීරණයක් කැබිනට්ටුව ඇතුළේ කියා දැමීමට හැකියාව තිබුණත් ජනාධිපතිවරයා පොළොන්නරුවේ නාඩිය අල්ලා ඒක කිව්වේ වෙන හේතුවක් නිසා නොව ජනාධිපතිවරණයේ රස්නය ඇඟට දැනිලාදැයි හරියටම කිව නොහැක. එහෙම වුණත් රටේ ජනතාවගේ දැඩි කෝපයට හේතුවිය හැකිව තිබූ මන්ත්‍රී පඩි වැඩි කිරීමේ යෝජනාව ඉටුකර ගැනීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීමෙන් ජනාධිපතිවරයා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකුම බිම දමාගත් බවක්ද පෙනී යයි.
එකක් යූ.එන්.පී,යට ගැහිල්ලය. අනෙක මහින්දලාගේ ගැංසියට ගැහිල්ලය. පඩි වැඩි යෝජනාව පිටුපස යූ.එන්.පී. ඉන්න බව අමුතුවෙන් සඳහන් කිරීමක් අවශ්‍ය නොවීය. ජනාධිපතිවරයා කියූ අපේ හිතවත් ඇමැතිවරයා යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයකු වන ලක්ෂ්මන් කිරිඇල්ලය. මේ නිසා පඩි වැඩි කිරීමට යූ.එන්.පී.ය සම්බන්ධ බවට සැකයක් නොතිබුණි. ඊළඟට මේ යෝජනාව පසුපස ඒකාබද්ධ විපක්ෂය සිටින බවද රහසක් නොවීය. දිනේෂ් ගුණවර්ධන දිගටම කිව්වේ මේ පඩි වැඩි කිරීම තමන්ටද අවශ්‍ය බවය. ඔවුන්ගේ මතයට එරෙහිව යාමට මහින්දටත් බැරිය. ඔහුගේ වටේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ටද පඩි වැඩිවීමේ අවශ්‍යතාව තිබෙන බව මහින්දත් දැන සිටියේය. ඔහු නිහඬව සිටියේ ඒ නිසාය.
කෙසේ හෝ මේ අවස්ථාවෙන් නිසි ඵල නෙළාගත්තේ ජනාධිපතිවරයා බව පැහැදිලිය. ඔහු යූ.එන්.පී.යටත් මහින්දලාටත් ෂොට් එකක් දුන්නේ මතක හිටින්නටය. ඒ බව ඊට පසුවදාම පෙනෙන්නට තිබුණේ අගමැතිවරයා කළ ප්‍රකාශය හේතුවෙනි. පසුගිය සඳුදා (06) පැවැති එ.ජා.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් තමා වෙත හෝ කැබිනට් මණ්ඩලය වෙත හෝ ඉදිරිපත්ව නැති බවය. මන්ත්‍රීවරුන්ගේ කාර්යාල වියදම් වැඩි වී තිබෙන බැවින් ඒ සම්බන්ධව පියවරක් ගැනීමට මාස කිහිපයකට පෙර පක්ෂනායක රුස්වීමේදී ඉල්ලීමක් ඉදිරිපත් වුවත් ඒ ගැන භාණ්ඩාගාරයෙන් විමසා තීරණයක් ගත හැකි බව තමා දැනුම්දුන් බවත් කියා තිබූ අගමැතිවරයා කතානායකවරයාගෙන් විමසූ විට ඔහු දැනුම් දුන්නේ මේ ගැන පක්ෂ නායකයන් අතර සාකච්ඡා පැවැත්වුණත් අවසන් තීරණයක් නැතැයි යනුවෙන් බවද කීය.
මෙය එක්තරා ආකාරයක ඩැමේජ් කන්ට්‍රෝල් කතාවක් විය. යූ.එන්.පී.යට මන්ත්‍රී වැටුප් වැඩිකිරීමේ කතාවෙන් සිදුවිය හැකිව තිබූ හානිය වැළැක්වීම එයින් අදහස් කරන්නට ඇත. එය කොතරම් දුරට සාර්ථක වී දැයි දැන්ම කිව නොහැකිය. එහෙත් පේන්න තිබෙන්නේ වැඩි පඩි බෝලය දැන් මහින්දගේ ගැංසියේ නැවතී තිබෙන බවය. විපක්ෂනායක ධුරය ලබාගැනීමේ සටනට පණ පොවා සිටින මහින්දලා මේ ගැන දිගටම නියඬව සිටිනු ඇතිදැයි ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.
ජනාධිපතිවරයා තමන්ගේ ස්ථානය සවිමත් කර ගැනීමේ ඊළඟ අදියරට පිවිසුණේ අඟහරුවාදා (07) පැවැති කැබිනට් රැස්වීමේදීය. ගම්පෙරළිය පිළිබඳ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට හත් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්, නිල වාහනයක් ඇතුළු පහසුකම් ලබාදිය යුතු බවට වූ යෝජනාවක් ජනාධිපතිවරයා කපා දැම්මේය. එම යෝජනාවට දැඩිව විරෝධය පළකර තිබූ ජනාධිපතිවරයා ජනතාවගේ ප්‍රශ්න නොවිසඳා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳන්නට යාම ගැටලුවක් බව කියා එයට ඉඩදිය නොහැකි යැයි කියා තිබුණි. මේ යෝජනාවද ඇවිත් තිබුණේ යූ.එන්.පී.යෙනි. ඒ වනවිට වැඩි පඩි එපා යැයි යූ.එන්.පී. පසුපෙළ මන්ත්‍රීන්ගේ විශාල හඬක් නැගෙමින් තිබුණි. ඒ හඬට වඩා රටට ඇසුණේ අධීක්ෂණ මන්ත්‍රීන්ට ලබාදෙන පහසුකම් වැඩි කිරීමට ජනාධිපතිවරයා විරැද්ධ වූ බවය. කොටින්ම ජනාධිපති කළේ ජනතාවගේ කැමැත්තට හේතුවන තීන්දු ගැනීමය.
යූ.එන්.පී.ය ඉන්පසුව කියා තිබුණේ එම ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප නොකළ බවය. මේ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද්දක් බවත් එය තවදුරටත් අදාළ වැඩසටහන සම්බන්ධව කෙරෙන අධ්‍යයනයකින් පසුව ලබන සතියේදී කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බවත් කියා තිබුණේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාය. ඒ ගැන තවමත් ඇත්තේ මත දෙකක් බව පෙනේ. මේ මත දෙක ආණ්ඩුව ඇතුළේ තිබෙන ප්‍රබල මත ගැටුම ප්‍රසිද්ධියේම ප්‍රදර්ශනය වූ අවස්ථාවක් හැටියටද සැලකිය හැකිය. පොළොන්නරුවේදී මන්ත්‍රී වැඩි වැටුපට ඉඩ නොදෙන බව කියා කොළඹදී අධීක්ෂණ මන්ත්‍රීන්ට පහසුකම් ලබාදිය නොහැකි බව කියූ ජනාධිපතිවරයා ඊළඟට කියන්න යන්නේ කුමක්දැයි කවුරැත් දන්නේ නැත. හැබැයි ඒ ගැන මේ දවස්වල වැඩියෙන්ම සෙවිල්ලෙන් ඉන්නවා ඇත්තේ මහින්දලා නොවේ, යූ.එන්.පී.ය බව නම් සහතිකය.
මේ අතර ආණ්ඩුව ඇතුළේත් ඒකාබද්ධ විපක්ෂය ඇතුළේත් මතගැටුම් දිගින් දිගටම ඇදෙමින් පවතින බව පෙනේ. ආණ්ඩුව ඇතුළේ රාජිත සහ මංගල අතරද ඒකාබද්ධය ඇතුළේ වෙල්ගම සහ මහින්දානන්ද අතරද මත ගැටුම් සිදුවූයේ ප්‍රසිද්ධියේමය. මහින්දානන්දට එරෙහිව වෙල්ගමගේ වාග් ප්‍රහාරය තරමක් දැඩි එකක් වීම මහින්දගේ කනස්සල්ලට හේතු වී තිබෙන බවද පැහැදිලිය. සමහර විට මහින්දානන්ද වෙල්ගමට ගහන්න ඇත්තේ තනියම සිතා මතා නොවීමට හොඳටම ඉඩකඩ තිබේ. කාගේ හෝ හයියක් නැතුව වෙල්ගම වැනි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකුට මහින්දානන්ද පහර දෙන්නේ නැත. මහින්ද සුළඟ මුල් කාලයේදීද මහින්දානන්ද බැසිල් ඉදිරියට ගන්නවාට හරහට සිටියේය. ඒ වෙලාවේ විමල් වීරවංස හිටියේත් මහින්දානන්ද එක්කය. මේ මත ගැටුම් තරමක් දුරට සමතයකට පත් වුණත් පසුගිය දිනවල වෙල්ගම මාධ්‍ය හරහා ගෝඨාභයට නම නොකියා පහරදීම කෙසේ හෝ නැවැත්වීමට මහින්දට උවමනාව තිබෙන්නට ඇත. නමුත් සිදුවුණේ වෙල්ගම තවත් දැඩිව තමන්ගේ අදහස් මාධ්‍ය ඉදිරියේ කියා දැමීමය. අවසානයේ මේ දෙදෙනාටම අවවාද කර ගැටුම් සමතයකට පත් කිරීමට මහින්දට සිදුවිය. හැබැයි මේ සමතය මහින්ද අපේක්ෂා කළ මට්ටමේ එකක් නොවීමට හොඳටම ඉඩ තිබේ. තමන්ගේ ටීම් එක වේලාව එනතුරු එක මිටට තියා ගැනීම මහින්දට ඇතැම් විට දුෂ්කර වීමට ඉඩ තිබේ. වෙල්ගමගේ පිපිරීම පෙන්වා දෙන්නේ එම දුෂ්කර බවේ ඝනකමයි.
ඇමැතිලාගේ හැලහැප්පීම් අතරට කඩාවැදුණු දුම්රිය වර්ජනයද ආණ්ඩුවට ලොකු හිසරදයක් වන ලකුණු පහළ වී තිබුණි. සිකුරාදා සවස් වනවිටත් එය සමතයකට පත්ව නොතිබිණි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අත රැඳි යහපාලනයේ සුක්කානම මංගල තමන්ගේ අතට අරගෙන ඇති බවක්ද මෙහිදී දැකගත හැකිය. මේ ගැටලුව පටන් ගනිද්දීම මංගල කියා තිබුණේ මේ ආණ්ඩුවට කොන්දක් නැතැයි කියාය. මංගල හදන්නේ එහෙ මෙහෙ පැද්දෙන යහපාලන කෝච්චිය හරි පීල්ලට දමා ගැනීමටද නැත්නම් පීලි පැන්නීමටදැයි කියන්න දන්නේ නැත.
- ශශීන්ද්‍ර