2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

දේශපාලකයෝ සහ සංගක්කාරලා

සති ගණනාවක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර දේශපාලනයට එක්වනු ඇති බවට කතා පැතිරුණි. එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට සංගක්කාර කටයුතු කළත්, ඔහු වැනි චරිතයකට දේශපාලනයට පැමිණෙන්නැයි කෙරෙන ආරාධනාවක් වටා ගොඩනැගෙන කතාබහ කළ සැඟවුණු අදහසක්ද වෙයි. දේශපාලන පක්ෂ සහ මහජනතාව වෘත්තීය දේශපාලන නායකයකුට වඩා සංගක්කාර වඩාත් ආකර්ෂණීය අපේක්ෂකයකු වශයෙන් සලකන බවය.

දේශපාලනඥයකු නොවන්නකු ඡන්දයකට ඉදිරිපත් වීම අලුත් දෙයක් නොවේ. ලොව වටා එසේ බිහිවූ නායකයෝ වෙති. ඒ අතුරින් දැනට වඩාත් ප්‍රකට නායකයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වුවත් ඊට පෙරද දේශපාලන දැනුමක් නොමැති සිවුදෙනෙක් ජනාධිපති පදවිය ඉසිලූහ. සකාරි ටේලර්, යුලිසස් එස්. ග්‍රාන්ට්, හර්බට් හූවර් සහ ඩ්වයිට් ඩී. අයිසන්හවර් එම සිවුදෙනා වූහ. මේ බොහෝ දෙනා ඊට පෙර රජයේ ප්‍රමුඛ ධූර දැරුවෝ වූහ. හූවර් වාණිජ ලේකම් වූ අතර ටේලර්, ග්‍රාන්ට් සහ අයිසන්හවර් තිදෙනාම විවිධ යුද්ධවලදී අමෙරිකාවට ජයග්‍රහණය ලබාදුන් සෙන්පතියෝ වෙති.

කිසිදු රජයේ නිලයක් හෝ හමුදාවේ තනතුරක් හෝ නොදැරූ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අතුරින් සම්පූර්ණ පිටස්තරයා වෙයි. අනපේක්ෂිත ලෙස ඔහු බලයට පත්වූයේ නිලධාරිවාදය බිඳදමන බවටත් දශක ගණනාවක් අමෙරිකාව අනුගමනය කළ සමාජ-ආර්ථික සම්ප්‍රදායයන් වෙනස් කරන බවටත් ලබාදෙන ලද පොරොන්දු අමෙරිකානු ජනතාවගේ ආකර්ෂණයට ලක්වීමේ හේතුවෙනි. පිලිපීනය, වෙනිසියුලාව, තුර්කිය සහ හංගේරියාව රටවල්වල ප්‍රබල දේශපාලන නායකත්වයක් තිබුණත් දේශපාලන පළපුරුද්ද හැමදෙනාටම නැත. ප්‍රංශයද ජනාධිපති වශයෙන් තෝරාගනු ලැබුවේ තවම නායකයකු වශයෙන් පරීක්ෂාවට ලක් නොවූ නවක දේශපාලනඥයෙකි. 

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් මීට පෙර දිගටම විශ්වාසය තබා ඇත්තේ ශක්තිමත් දේශපාලන නායකයන් කෙරෙහිය. එම ප්‍රවණතාව දිගටම පවත්වා ගැනීමට ඔවුන් නැඹුරුවක් දක්වන බව පෙනේ. එසේ වුවද පවතින දේශපාලන තත්ත්වය කෙරෙහි කලකිරීම හේතුවෙන් ප්‍රධාන දේශපාලන ධාරාවෙන් ක්‍රමයෙන් ඉවත්ව ගොස් සිටින ජනතාව යළි තමන් වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රසිද්ධ පුද්ගල චරිත දේශපාලනයට කැඳවාගෙන ඒමට නායකයෝ උත්සාහ දරති. නළු නිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයන් සහ වෙනත් ජනප්‍රිය චරිත දේශපාලනයට ආවේ එබැවිනි. එහෙත් මෙරට දේශපාලනයේ කැපී පෙනෙන වෙනසක් කිරීමට ඔවුන්ට මෙතෙක් හැකි වී නැත.

- ඩේලි එෆ්.ටී.

දයාන්ගේ තානාපති තනතුරට ජනපතිගෙන් තල්ලුවක්

රුසියාවේ නව රුසියානු තානාපතිවරයා ලෙස ආචාර්ය දයාන් ජයතිලකගේ පත්වීම ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (09) අනුමත කරනු ලැබීය. පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව මගින් මේ අනුමැතිය ලබාදීම සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනෙකුටම කතාකර අදාළ පත්වීම අනුමත කිරීම අවශ්‍ය බවට දැනුම්දීමෙන් පසුවය. ඊට පෙර කමිටුව මගින් අදාළ පත්වීමට තමන්ගේ විරෝධය ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබිණි.

කෙසේ වුවද කමිටු සාමාජිකයන් සිවුදෙනකු (අනන්‍යතාව හෙළි නොවූ) ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ විරෝධය සටහන් කළ යුතු බවය. ඔවුන් ජවිපෙ මන්ත්‍රීවරුන් සිවුදෙනා බවද කියති.

ඒ අනුව කතානායක කරු ජයසූරිය මහතා ඔවුන්ගේ අකැමැත්ත සටහන් කර ගැනීමෙන් පසුව එම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබේ.

වෘත්තීමය තානාපතිවරයකු නුවූවද ආචාර්ය ජයතිලක මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළදී ජිනීවා සහ පැරිසියේ තානාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.

- සන්ඩේ ටයිම්ස්

බැඳුම්කර වංචාවේ තවත් වෙළුම් 10ක්

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ තවත් වෙළුම් දහයක් නීතිපති දෙපාර්තමේන්තුව මගින් කතානායකවරයා වෙත යවා තිබේ. මේ බව ඉකුත් සතියේ අඟහරුවාදා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළේ, එම වෙළුම් මන්ත්‍රීවරුන්ට නිකුත් කිරීමට හැකිදැයි නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් විමසන ලෙසට කෙරුණු ඉල්ලීම සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා නීතිපති ජයන්ත ජයසූරිය මහතාට බ්‍රහස්පතින්දා කතාකළ බවය. එහිදී නීතිපතිවරයා උපදෙස් දී තිබුණේ කිහිපයක් හැර සෙසු කොටස් නිකුත් කළ හැකි බවය. දැනට සිදුකරන විමර්ශන සම්බන්ධ කොටස් එසේ නිකුත් නොකරනු ඇත.

- සන්ඩේ ටයිම්ස්