යහපාලන ආණ්ඩුවට හදිස්සියේම පසුගිය සිකුරාදා (17) වසර තුනක් පිරුණි. හදිසියේම යැයි කිව්වේ පසුගිය සති කිහිපය තුළ ආණ්ඩුව සිටි තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. වැඩවර්ජන තර්ජනවලින් ආණ්ඩුවට අඩුවක් තිබුණේ නැත. පුංචි කාර් ඇතුළු පොඩි මිනිසාට බලපාන බොහොමයක් භාණ්ඩවලට අත දිගහැර ගහන බදු හේතුවෙන් රට තුළ දිනෙන් දින රජයට එරෙහිව විරෝධතා එකතුවෙමින් තිබේ. එහෙම බලන විට ආණ්ඩුව මේ වසර තුන සමරන්නේ &මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය ආකාරයට බව පෙනෙන්නට තිබේ.
විශේෂයෙන්ම ජනාධිපතිවරණය පෙනෙන දුරක තිබෙන මට්ටමට කතා කරන ආණ්ඩුවකට වසර තුනක් සපිරීම යනු තමන්ගේ හොරණෑව පිඹගැනීමට තිබෙන හොඳම අවස්ථාවකි. එවැනි රටට දැනෙන අවස්ථාවක් ආණ්ඩුව සිතමතා මගහරින්නට ලොකු හේතුවක් හෝ හේතු ගණනාවක් තිබිය යුතුය. හැබැයි ආණ්ඩුව තමන් නිකම්ම නොසිටි බව කියන්න මහජන රැස්වීමක් යොදා නොගත්තාට පුවත්පත් දැන්වීම් හරහා ඒවා ප්‍රසිද්ධ කර තිබුණි. ඒ දැන්වීම්වල මෙසේ සඳහන් වී තිබුණේය. තේමාව හැටියට හුස්ම ගත්ත වසර තුනක්* වශයෙන් ආණ්ඩුව කලින්ම මේ දිනය නම්කර තිබිණි.
වසර 2025 වන විට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත්කිරීම රජයේ දැක්මයි. ඒ සඳහා අවශ්‍ය දැනුම පදනම් කරගත් සමාජය ආර්ථිකමය පසුබිමක බලාත්මක කිරීමට රජය කැපවී සිටී. එසේම සියලු ජනතාවට ඉහළ ආදායමක් සහ හොඳ ජීවන තත්ත්වයක් උදාකරවිය හැකි පරිසරයක් තැනීම සඳහා රජය සිය සැලසුම් ක්‍රියාත්මක කොට ඇත.
මෙහෙම පටන්ගෙන තිබූ දැන්වීමේ රජයේ ප්‍රධාන කාර්යයන් 08 ක් පෙන්වා තිබුණි. එහි උඩින්ම තිබුණේ 1990 සුවසැරිය ගිලන්රථ සේවය නොමිලේ ලබාදීමය. ඉන් පසුව ඖෂධ වර්ග 48ක මිල පහළ දැමීම, 17,000කට ශිල්ප සවිය ලබාදුන් ඉදිකිරීම් පුහුණුව, වැව් 300 ක් තැනීම, උදාගම් 107 ක් තැනීම, ළඟම පාසල, හොඳම පාසල වැඩපිළිවෙළ, ස්ටෙන්ට් නොමිලේ ලබාදීම, සුරක්ෂා සිසු රක්ෂාවරණය සහ මහපොළ ශිෂ්‍යත්වය දෙගුණයක් කිරීමද සඳහන් විය. ඒ හැර සංවර්ධන සැලසුම් රාශියක් ගෙවුණු වසර තුන තුළ දියත් කර ඇති බවද කියා තිබිණි.
වසර තුනක ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව මෙය නම් අවුරැදු තුන පිරීමේ සැමරුම නිකම්ම අතහැර දැමීම සම්බන්ධයෙන් පුදුමවීමට දෙයක් නැත. මේ වැඩසටහන් අතුරින් තුනක්ම අධ්‍යාපනයට සම්බන්ධ සුබසාධන කටයුතුය. අනෙක් වැඩසටහන්ද සුබසාධනවලට සම්බන්ධය. ආර්ථික වශයෙන් රට ඉදිරියට යන බව පෙන්නුම් කරන එකම වැඩසටහනක්වත් මේ අතරේ නැත. සංවර්ධන ව්‍යාපාර දියත් කළ බව ප්‍රකාශ කර තිබුණත් අඩුම වශයෙන් වැඩ නිමකළ ඉතා වැදගත් ව්‍යාපෘතියක් වූ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ගැන වචනයක්වත් සඳහනක් නැත. අඩුම වශයෙන් ඡායාරෑපයක් හෝ නැත. තුන් වසරක මහ මෙහෙවර වශයෙන් මේවා ඉදිරිපත් කර තිබුණත් බැලූ බැල්මට පෙනීයන්නේ අවුරුදු තුනේ මහ ලොකු වැඩක් සිදුවී නැති බවය. අඩුම වශයෙන් මේ සැමරැම රටේ ජනතාවට ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාවක් හැටියට රජයට යොදාගැනීමට තිබුණේය. එහෙත් එය සිදුනොවුණේ කියන්න තරම් දෙයක් නොමැති නිසා යැයි කෙනකුට කිව හැකිය. කොටින්ම ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම ගහන ගැහිල්ලට ආණ්ඩුවට කටඋත්තර නැති වී තිබේ.
ඒ වෙනුවට රටට පෙනෙන්න තිබෙන්නේ ආණ්ඩුවේ නායකයන් මැජික් පෙන්වන්න හදන බවකි. ජන ජීවිතයට දැඩිව බලපෑ දුම්රිය වැඩවර්ජනය එහි සමිති නායකයන් පොළොන්නරැවට කතා කර විසඳූ බව කියයි. එහෙම කිව්වේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. එහෙත් වෘත්තීය සමිති නායකයන් කොළඹ එනවිට අසන්න ලැබෙන්නේ වෙනම කතාවකි. දැන් ආණ්ඩුවේ ඇමැතිවරුන් කියන්නේ රටේ සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් ප්‍රශ්න විසඳීමට කොමිෂන් සභාවක් පත්කරන බවය. මාස දෙකකදී වාර්තාවක් ලබාගෙන ගැටලුව විසඳන බවත් කියයි. එය නොකෙරෙන දීගයට කෝඳුරු තෙල් සෙවීමකි. මාස දෙකකදී රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සොයා වාර්තාවක් දිය හැකිනම් එය මැජික් පෙන්වීමකටත් වඩා විශ්වකර්ම වැඩකි. එහෙම වුණත් දැන් රටට අවශ්‍ය වන්නේ විශ්වකර්ම වැඩ නොව ඇහැට පෙනෙන රට දැනෙන වැඩය. නමුත් ජනතාවට දැනෙන්නේ ඒ වැඩට වඩා යටින් ගහන ගේම් වැඩි බවය. බැඳුම්කර වංචාවේ පටන් අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ගෙවන ලක්ෂ දෙකේ දීමනා දක්වා රටට දැනුණේ ඒ තත්ත්වයයි. ඒවා වැළැක්විමට මැජික් පෙන්වීම පමණක් මදිය.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරොන්දු පත්‍රිකාව ආණ්ඩුවේ නායකයන් කාගේ හෝ අතේ තිබේ නම් එය යළිත් කියවා බැලුවොත් ජනතාව දැන් ඉන්නේ හුස්මගන්න පුළුවන් තත්ත්වයකදැයි දැනගත හැකිවනු ඇත. ජනතාව අතේ මේ පොරොන්දු පත්‍රිකාව නැති වුණත් ඔවුන්ට ලබාදී ඇති පොරොන්දු කටපාඩම්ය. වැටුප රුපියල් දහදාහකින් වැඩිකරන බවට වූ පොරොන්දුව ඉෂ්ඨ කළත් එය රටට දරාගත නොහැකි ආර්ථික බරක් එකතු කර ඇති බැවින් එහි සම්පූර්ණ වාසිය ගැනීමට රජයට හැකි වී නැත. කොටින්ම දැන් රටේ ජනතාව කතා කරන්නේ වැඩිකළ පඩිය ගැන නොව වැඩිවෙන බදු හේතුවෙන් හැම පැත්තකින්ම ඉහළ යන ජීවන වියදම ගැනය. මේ රජය කොතරම් අදූරදර්ශීව වැඩකර ඇතිදැයි කිවහොත් වැඩිකළ වැටුපට වඩා කිහිප ගුණයකින් වැඩි මුදලක් අද ජනතාවට අහිමි වෙමින් තිබේ. ආර්ථිකය හරිහැටි මෙහෙයවීමට මුලසිටම දැක්වූ දුර්වල බව මෙයට ප්‍රධානම කාරණය බව පැහැදිලිය. අන්තිමට සිදුව ඇත්තේ &අපි දහදාහකින් පඩිය වැඩිකළා යන කියමනට දැන් කිසිම වටිනාකමක් හිමි නොවීමය. කොටින්ම ඉටුකළ එක් ඡන්ද පොරොන්දුවක වටිනාකම බින්දුවට බැස තිබීමය.
අනෙක් අතට ආණ්ඩුව දවසින් දවස පළාත් සභා ඡන්දය කල් දමමින් සිටීම පවතින තත්ත්වය තවත් උග්‍ර කරමින් තිබේ. ආණ්ඩුව පිටතින් පෙන්වන්නේ තමන් ඕනෑම මොහොතක ඡන්දයට සූදානම් බවකි. එහෙත් ඇතුළත තත්ත්වය ඊට වඩා වෙනස් බව හොඳින්ම පැහැදිලිය. ගෙවුණ වසර 40ක පමණ කාලය තුළදී බලයේ සිටි කිසිම ආණ්ඩුවක් පළාත් සභා, පළාත් පාලන ඡන්ද කල් දැම්මේ නැත. අප මේ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ රටේ පාලනය ආරම්භ වීමෙන් පසුව ගෙවුණු කාලය ගැනය. විධායක බලතල අතේ තබාගෙන පළාත් සභා ඡන්ද කරන්න ගොස් අමාරුවේ වැටෙන්න ගියේ චන්ද්‍රිකා පමණි. චන්ද්‍රිකාගේ කාලයේ වයඹ පළාත් සභා ඡන්දය තීරණාත්මක එකක් වී තිබියදී විධායක බලතලවල මහිමය පෙන්වා එය ජය ගත්තාය. රටේ චන්ද ඉතිහාසයට එය කළු පැල්ලමක් එක්කළද ඡන්දයට චන්ද්‍රිකා බය නැතුව මුහුණ දුන්නාය. හැබැයි චන්ද්‍රිකාගේද සහාය ඇතිව බලයට පත් යහපාලන ආණ්ඩුව අද ඡන්දයකට මුහුණදීම මග හැරීමට උත්සාහ දැරීමෙන් ආණ්ඩුව දුර්වල එකක් කියා ජනතාව දකින එක සාධාරණය.
අද ආණ්ඩුවේ තත්ත්වය පෙන්නුම් කරන්නේ තදින් සහ කල්පනාකාරීව තීන්දු ගන්නා නායකයන් ඕනෑකර තිබෙන බවය. රටට අවශ්‍ය වන්නේ ගැලපෙන තීන්දුගෙන ඒ මත පිහිටා කටයුතු කරමින් එන තත්ත්වයට මුහුණ දෙන නායකයන්ය. කැබිනට් එකේදී ගන්නා තීන්දුවක් ඉන්පසුව වෙනස් වෙයි නම් කොතැනක හෝ බලවත් වැරැද්දක් තිබෙන බව එයින් පැහැදිලි වෙයි. තෙල් මිල, වැටුප් විෂමතා, වෙළෙඳ ගිවිසුම් මේ ඕනෑම එකක් ගැන තීන්දු ගත යුත්තේ ආණ්ඩුවක් වශයෙන් ඒකමතිකවය. එහෙත් මේ ආණ්ඩුව නොකරන්නේම එයයි. ප්‍රධාන පක්ෂ දෙකම විරුද්ධව සිටීම නිසා රට ආපස්සට ගිය බව ප්‍රකාශ කරමින් වසර තුනකට පෙර පිහිටුවා ගත් සම්මුතිවාදී ජාතික යහපාලන ආණ්ඩුවට වසර තුනකට පසුව කළ වැඩ හරියට කියන්න තිබෙන්නේ සුබසාධන වැඩ කිහිපයක් පමණක් නම් එය දුර්වල ප්‍රගතියක් බවත් සම්මුතියෙන් කිසිම වැඩක් වී නැති බවත් පෙන්නුම් කරයි. හරි වෙලාවේ හරි තීන්දුවක් ගත හැකි තැනක ආණ්ඩුව නැත්නම් එතැන යහපාලනයක් තිබිය නොහැක. ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කළ සියලු දෙනාටම අද කනගාටුව සහ කලකිරීම පමණක් ඉතිරිව තිබෙන්නේ එනිසාය.
මේ කලකිරීම පැහැදිලිව පෙන්නුම් කළ අවස්ථාවක් වූයේ ආණ්ඩුව බලවත් අකැමැත්තෙන් පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදීය. 2018 වසරේදී පළාත් පාලන ඡන්දය සඳහා ඡන්දය දීමට 2017 ඡන්ද ලැයිස්තුව හරහා සුදුසුකම් ලබාසිටි මිලියන 15.7ක් වූ ඡන්දදායකයන් අතුරින් ඡන්දය භාවිත කර තිබුණේ මිලියන 11.2ක් පමණි. මිලියන 4.5කට ආසන්න පිරිසක් පුංචි ඡන්දය වර්ජනය කර තිබිණි. කුමන තත්ත්වයක් යටතේ වුවද එය පවතින ක්‍රමයට නිහඬව දැක්වූ ප්‍රබල විරෝධයකි.
පුංචි ඡන්ද අමතක කර ජනාධිපතිවරණයක් ගැන කතා කරන, බලාපොරොත්තු තබා සිටින වර්තමාන දේශපාලන පක්ෂ සහ නායකයන් සියලුදෙනාම තේරැම්ගත යුත්තේ රටේ ජනතාව පවතින තත්ත්වය ගැන දැඩි ලෙස කලකිරී සිටින බවය. ඒ වගේම ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින, ආණ්ඩුවේ වැඩ අනුමත නොකරන පිරිසේ කැමැත්ත දිනා ගැනීමට ඒකාබද්ධය ඇතුළු විපක්ෂයේ නායකයන්ද අසමත්ව සිටින බවත් ඔවුන් තේරැම් ගත යුතුයි. තමන්ගේ ඡන්ද පදනම ශක්තිමත්ව තිබෙන පළාත්වල ජනතාවගේ කැමැත්ත පමණක් ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් හෝ දිනවන්නේ නැත. ඒ සඳහා අලුතෙන් එකතු වන ඡන්ද, සුළු ජාතික ඡන්ද, පාවෙන ඡන්ද මේ සියල්ලම අවශ්‍යය. මේ එක පිරිසක්වත් අඩුවෙන් තක්සේරු කළයුතු නැත. එසේම පවතින සැබෑ තත්ත්වය තේරුම් ගනිමින් රට ඉදිරියට තල්ලු කරගෙන යා හැකි නායකයන් ඉදිරිපත් වීමද අවශ්‍යය.
වසර තුනක් පිරුණු වත්මන් යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරීමට හේතු ගණනාවක් තිබෙන බව පැහැදිලිය. එහෙම වුණත් ඒ අතුරින් කැපී පෙනෙන්නේ ආණ්ඩුව අලුතින් යහපාලන ලේබල් ගසා ගත්තත් පරණ බඩගොස්තරවාදී සම්ප්‍රදායෙන් මිදීමට ඔවුන් තුළ තිබූ අකැමැත්තය. ඉදිරියේදී යහපාලනය පෙරළා බලය ගන්න හදන පිරිසත් පරණ පාරේම යන්න සූදානම් බව දැනුණොත් ජනතාව මොන වගේ තීන්දුවක් ගනු ඇතිදැයි හිතන්නත් අමාරුය.
ශශීන්ද්‍ර