2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගේ කට වසයි 

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කට වසා මාධ්‍යවලට කතා නොකරන්නැයි නියෝගයක් පැනවී තිබේ.

මේ අපූරු නියෝගය පැමිණ ඇත්තේ වෙන කාගෙන්වත් නොව අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ ගෙනි.

නිලමාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුලදෙණිය මාධ්‍යවේදීන්ට දැන් කියන්නේ තමාට ප්‍රකාශ නිකුත් කළ නොහැකි බවත් මේ නිසා තමන් සමඟ සම්බන්ධ නොවන ලෙසත්ය.

අතුකෝරළ ඇමැතිවරිය ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍ය එක්කෝ තමන් ඇමැතිය යුතු බවය. නැතහොත් තම අමාත්‍යාංශ නිලධාරීන් අමතන ලෙසය.

කෙසේ වුවත් අතුකෝරාළ ඇමැතිනිය සම්බන්ධ කරගැනීමට තරම් මාධ්‍යවේදීන් හැමවිටම වාසනාවන්ත නැත. ඇය දුරකථනයෙන් සම්බන්ධකර ගත් අවස්ථාවලදී පවා ලැබෙන දරදඬු පිළිතුර වන්නේ තමාට කතාකළ නොහැකියි යනුවෙනි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට එවැනි නියෝගයක් පනවා ඇති බව ඇමැතිනිය සනාථ කරයි විනිවිදභාවයක තරම!

- සන්ඩේ ටයිම්ස්

මංගල්‍ය උත්සවවලට හිටපු ජනපතිට ලොකු ඉල්ලුමක් 

ජනාධිපතිවරණ, මහමැතිවරණ ළඟඑන සමයක හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දිනපතා ක්‍රියාකාරකම් ඉහළ යමින් පවතී.

දේශපාලන වැඩකටයුතුවලට අමතරව ඔහුගෙන් කෙරෙන ලොකුම ඉල්ලීමක් වී ඇත්තේ විවාහ මංගල්‍යවල සාක්ෂිකරැවකු වීමටය. සති කිහිපයකට පෙර එක්දිනක් තුළදී හිටපු ජනපතිට විවාහ මංගල්‍ය උත්සව 13කට සහභාගී වීමට නියමිත විය. මනාලියගේ හෝ මනාලයාගේ හෝ පාර්ශවයෙන් මේ ඉල්ලීම් පැමිණ තිබිණි.

මේ අතුරින් පසුගිය මාසයේ වෙනස් ආකාරයේ ඉල්ලීම් දෙකක් ස්ථාන දෙකකින් ලැබිණි. එහිදී රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව ඒ සඳහා නැකැත් වේලාවන් දෙකක් සොයාගනු ලැබීය. විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවෙසේ දී එම නැකැත් වේලාවන් දෙකට අනුව ඔහු විවාහ ලේඛන දෙකේ අත්සන් තැබීය.

- සන්ඩේ ටයිම්ස්

ශ්‍රී ලංකාව ආදර්ශයට ගත යුතු මෙක්සිකෝව

මෙරට සුප්‍රකට ආර්ථික විද්වතකු වන අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ආර්ථික සංවර්ධන ජාතික සභාවේ විධායක අධ්‍යක්ෂවරයකු වන ආචාර්ය රොහන්ත අතුකෝරළ පසුගියදා නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කළේය. වේදනාත්මක වුවත් රටක ආර්ථික වර්ධනයේ හොඳම මාවත වන්නේ නිදහස් වෙළෙඳ ගිවිසුම් බව ඔහු එහිදී සඳහන් කළේය. “මේ සඳහා හොඳින්ම සැලකිල්ලට භාජනය කළ හැක්කේ මෙක්සිකෝවයි. එරට වෙනත් රටවල් 46ක් ආවරණය වන නිදහස් වෙළෙඳ ගිවිසුම් 11ක් ඇති කරගෙන තිබෙනවා. එය අද වනවිට ඩොලර් ට්‍රිලියන 1.1 ආර්ථිකයක්. අපනයනය ඩොලර් බිලියන 409ක් ඉක්මවා ගිහින්. නමුත් මේ සඳහා ශක්තිමත් සහ විශ්වාසදායී නායකත්වයක් අවශ්‍ය වෙනවා.*ඔහු කියයි. 
ආචාර්ය අතුකෝරළ මේ බව සඳහන් කළේ කොළඹ කොටස් වෙළෙඳපොළේ Toast Masters Club හි පැවැත් වූ දේශනයේදීය.

- ඩේලි එෆ්.ටී.

වියට්නාමයයි අපියි 

වියට්නාමය අද සිටින තත්ත්වය බැලූවිට තමන්ට ඇඬෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනක ප්‍රකාශ කර තිබිණි. මීට වසර 20කට පමණ ඉහතදී ඍජු විදේශ ආයෝජන සොයාගන්නේ කෙසේදැයි ශ්‍රී ලංකාවේ නායකයන්ගෙන් විමසූ වියට්නාමය අද වන විට ශ්‍රී ලංකාව පසුකර බොහෝ දුරක් ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.

වියට්නාමයේ මෑත ඉතිහාසය දෙස සොයා බැලීමට මේ කතාවත් සමඟ අපට පෙළඹීමක් ඇතිවිය. එය කෙටියෙන් සඳහන් කළොත් මෙසේ සඳහන් කළ හැක.

චීනය, ලාඕසය, කාම්බෝජය, මියන්මාරය මායිම් කරගත් වියට්නාමය බොහෝ කාලයක් අමෙරිකාව සමඟ යුදවැදී එයින් ජයග්‍රහණය කළේය. නමුත් ඉන් පසුව රටට සැබෑ සාමයක් උදාවූයේ නැත. දැඩි මතධාරී කොමියුනිස්ට් පාලන යුගයකින් පසුව ඔවුන් තේරුම් ගත්තේ එම මාර්ගයේ යාමෙන් තමන්ට ආර්ථික විමුක්තිය උදාකරගත නොහැකි බවය.

එරට නායකයෝ 1986 වසරේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ රටට හඳුන්වාදීමට පියවර ගත්හ. තම රටට ඍජු විදේශ ආයෝජන ලබාගත හැක්කේ කෙසේදැයි සෙසු රටවලින් විපරම් කර බැලුවේ ඒ කාලයේය. ඒ වන විට චීනයද ප්‍රබල ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබිණි. එහි රස්නයද වියට්නාමයට දැනෙන්නට ඇත.

ඔවුහු ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා පමණක් නොව රටේ ජනතාවටද එහි අගය වටහා දුන්හ. වැඩවර්ජන ගැන අහන්නවත් ලැබුණේ නැත. නායකයන් ඉතා ශක්තිමත්ව තීන්දු ගත් අතර දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ජනතාවගේ චෝදනා එල්ල වූයේද නැත. අමෙරිකාව ප්‍රමුඛ රටවලින් ඍජු විදේශ ආයෝජන ගලා ආවේය.

වසර 2000 වන විට වියට්නාමයේ ආර්ථික වර්ධන වේගය ලෝකයේ ඉහළින්ම සටහන් වූ රටක් විය. 2011 වන විට ලෝකයේ වර්ධනය වෙමින් පැවැති ආර්ථිකයක් හිමි රටවල් 11 අතරේ වියට්නාමයද තිබිණි. මේ වන විට ආසියාවේ ඒකපුද්ගල ආදායම අතින් 04 වැනි ස්ථානයේ සිටින වියට්නාමයේ එම අගය ඩොලර් 6000 කි. (ශ්‍රී ලංකාවේ ඩොලර් 4000ක් බව කියයි.) 2025 වසර වන විට එම අගය ඩොලර් 10,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වියට්නාමයේ සාර්ථක කතාවෙන් බිඳක් පමණි. ශ්‍රී ලංකාව?