ආණ්ඩුවක් ඇතුළේ විපක්ෂයක් හැදෙන්නේ සාමාන්‍යයෙන් ඒ ආණ්ඩුවේ ඔක්සිජන් ටික අවසන් වීගෙන යද්දීය. එහෙම හැදෙන විපක්ෂය අන්තිමට ආණ්ඩුව ගෙදර යවා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගන්නය. වැඩි ඈතක නොගියත් 2014 නොවැම්බරය වනවිට රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දී සිටි තත්ත්වය දෙස බැලීමෙන් පමණක් මෙය අවබෝධ කරගත හැකිවනු ඇත.
රාජපක්ෂ පාලනය යටතේ දිගින් දිගටම කොන් කිරීම්වලට ලක්වෙමින් සිටි ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක්ම සිටියහ. ඒ අතුරින් මෛත්‍රීපාල කාලයක සිටම පැත්තකින් තබා තිබුණි. තවත් කිහිප දෙනකුටම කැපිලි කෙටිලි ආවත් ඒ අය බොහෝ දේ ඉවසා දරාගෙන සිටීම නිසා රාජපක්ෂ ආණ්ඩුව හිතුවේ තමන්ගේ පාලනය කවදාවත් නොපරදින බවය. මේ නිසා ආණ්ඩුව ඇතුළේ හැදෙමින් තිබූ විපක්ෂය දෙස මහින්දලාගේ ඇස යොමුවුණේ නැත. කනිං කොනිං ඇසුණත් ගණන් ගත්තේ නැත. වැඩි ආරක්ෂාවට මහින්ද ෆයිල් ටිකක් එකතු කරගෙන ළඟින් තියාගෙන හිටියේය. නමුත් මෛත්‍රීපාල ආණ්ඩුව ඇතුළේ විපක්ෂ නායකයා වී කිහිප දෙනෙකු සමඟ එළියට ආවේය. ඒ අයගේ ෆයිල් මං ගාව තිබෙනවා කියා මහින්ද ආණ්ඩුව අතේ තබාගෙන කිව්වත් වැඩේ හරි ගියේ නැත. සති 08කට පසුව මහින්ද කැඳවපු ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල ජනාධිපති විය. ආණ්ඩුව ගෙදර ගොස් ආණ්ඩුව ඇතුළේ විපක්ෂය රජ විය.
මහින්දගේ ආණ්ඩුව ඇතුළේ විපක්ෂයක් හැදෙන්න අවුරුදු 10කට ආසන්න කාලයක් ගියේය. ටිකක් මුලදී මංගල සහ ශ්‍රීපති විපක්ෂයේ වාඩිවූ විට මහින්ද මැදමුලන රාජපක්ෂ හැටියට ක්‍රියා කරමින් තත්ත්වය පාලනය කර ගත්තේය. ඊටපස්සේ යුද්ධයේ රස්නය තදින්ම දැනෙන්නට පටන්ගත් නිසා මහින්දට ආණ්ඩුව කිරීම ලොකු ප්‍රශ්නයක් වුණේ නැත. යූ.එන්.පී.යේ ඇවිත් තිබූ කණ්ඩායමත් සමඟ ශක්තිමත් වූ මහින්දට ඇතුළේ විපක්ෂයක් ගැන ගැටලුවක් ආවේ නැත. හැබැයි අවුරැදු නවයක් ගෙවෙන විට ආණ්ඩුව ඇතුළේ විපක්ෂයක් හැදී තිබුණේ මහින්දටත් හොරෙනි. මේ විපක්ෂයේ සමහරු මහින්දගේ ආණ්ඩුවේ ලොකුම කෙරැම්කාරයන්ගේ මුහුණටම හිතේ තිබෙන කේන්තිය පිටකළ බවද ඒ කාලයේ කතා පැතිරුණේය. අන්තිමට මහින්ද විපක්ෂයට තල්ලු වී මහින්දගේ විපක්ෂය ආණ්ඩුව විය. දැන් මේ ගෙවෙන්නේ ඒ ආණ්ඩුවේ වසර තුනයි.
හැබැයි වසර තුනක් යනවිට මේ ආණ්ඩුව ඇතුළේ විපක්ෂ කණ්ඩායම් කිහිපයක්ම හැදී තිබෙන බව පැහැදිලිය. මෛත්‍රීපාල ජනාධිපතිවරයාට එය ලොකුම හිසරදයකි. පිටින් බලන කෙනෙකුට මේ තත්ත්වය පෙනෙන්නේ ආණ්ඩුව ඇතුළේ ගැටුමක් හැටියටය. ආණ්ඩුවේ ගැටුම් ගැන පසුගිය කාලය තිස්සේම බොහෝ කාරණා ලියැවී තිබේ. සමහරැන්ගේ මතය වී තිබෙන්නේ මේ ආණ්ඩුව උපත ලැබුවේම ඇතුළේ විපක්ෂයක් හදාගෙන බවය. දැන් ගැටලුව වී තිබෙන්නේ ආණ්ඩුව ඇතුළේ විපක්ෂය එළිපිටම වැඩ පෙන්වීමට පටන් ගැනීමයි. පළාත් සභා සීමා නිර්ණය කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට යාමේදී ආණ්ඩුවේ පනතකට ආණ්ඩුවම විරුද්ධවීම පෙන්වන්නේ මේ යථාර්ථයයි. හරියට බැලුවොත් දැන් තිබෙන්නේ විපක්ෂයක් මිස ආණ්ඩුවක් නොවන බවට කෙනෙකුට තර්ක කළ හැකිය. හැබැයි ආණ්ඩුව ඇතුළේ තවත් ආණ්ඩුවක් තිබෙන බවක්ද තව කෙනකුට කිව හැකිය. එහෙම වෙන්නේ කොහොමද?
පළාත් සභා පනත පමණක් නොව විගණකාධිපතිගේ පඩි වැඩි කිරීම ආණ්ඩුව මගින් ඉවත දැමීම මේ ආණ්ඩුව එළියට පැන්න අවස්ථාවයි. රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා පිළිබඳව තීන්දු ගත යුත්තේ පාර්ලිමේන්තුවෙනි. මුලසිටම ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුව විසින් විගණකාධිපතිට කැපිලි දැමීම් තිබූ වග පැහැදිලිය. විගණන කොමිසම පත් කිරීම ආණ්ඩුව පත්වීමේදී ලබාදුන් පොරොන්දුවක් වුවද කොමිසම පත්කළේ එය බලගන්වන පනත ක්‍රියාත්මක නොකළ තත්ත්වයක් යටතේය. එය එසේ වූයේ තමන් අකැමැති නිලධාරියකු එම ධුරයට පත් කිරීම නිසාදැයි කෙළින්ම කිව නොහැක. එහෙත් ගාමිණී විජේසිංහ මහතා ආණ්ඩුවේ එක් පාර්ශ්වයක දැඩි දෝෂ දර්ශනයට ලක්වී සිටි බව නම් පැහැදිලිය.
මෙකී යෝජනාව ඉවත් කර ගනිමින් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (23) කීවේ ඒක තමන්ගේ වැඩක් බවය. තමන් කියන්නේ ආණ්ඩුවයි. මෙහිදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ මෙය පළිගැනීමක් විය හැකි බවය. විගණකාධිපති අද ආණ්ඩුවට හිසරදයක් වී ඇතැයි චෝදනා කළ අනුර කුමාර දිසානායක මෙහෙම කරන්නේ ලොකු වැඩ කොටසක් කරන විගණකාධිපති අධෛර්යමත් කරන්නදැයි ප්‍රශ්න කළේය. කොහොම වුණත් අවසානයේදී වුණේ ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුව මගින් තමන්ට අවශ්‍ය දේ ඉටුකර ගැනීමය. රජයේ විගණකාධිපතිවරයාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන් සිදුකෙරැණු බවද මෙහිදී සඳහන් විය යුතුය.
දැන් රටේ ආණ්ඩුවක්, ආණ්ඩුව ඇතුළේ විපක්ෂයක් සහ ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවක් තිබෙන බව ගෙවුණු වසර තුනක කාලය තුළදී යහපාලන රජය මගින් පෙන්වා දී තිබේ. එය මහජනතාව කවර ආකාරයකින් දකිනු ඇතිදැයි දැන්ම කියන එක නම් අමාරැය. එහෙත් තව මාස කිහිපයකදී ආණ්ඩුව තමන් යන්නේ විපක්ෂයටද කියන එක නම් තීරණය කිරීම අවශ්‍යය. මොකද ඊළඟ ජනාධිපතිවරණ සටන ආණ්ඩුව ඇතුළේ &විපක්ෂයක්* හැදෙන එක අවුරැදු 09ක් තිස්සේ නවත්වාගෙන සිටි මහින්දත් සමඟ කෙරෙන සටනක් බව හැමඅතින්ම ලකුණු පහළ වෙමින් තිබීමය.
මහින්දගේ සමීපතමයන් මහින්දට තුන්වැනි පාරටත් ඉල්ලන්න පුළුවන් කතාව කියන්නේ ඒ සටනේම කොටසක් හැටියට බව බැලූ බැල්මට පෙනේ. 19 වැනි ව්‍යවස්ථාව යටතේ මහින්දට යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියැයි යන මතය රට තුළට ගෙනයාම බොහෝ දේශපාලන විචාරකයන් දකින්නේ ප්‍රචාරක උපක්‍රමයක් වශයෙනි. 19 වැනි ව්‍යවස්ථාව ජනාධිපති ධූර කාලයට බල පවත්නා ආකාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වසර මුලදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමක් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමක් කළ හැක්කේ රටේ ජනාධිපතිවරයාට පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වේ. 19 වැනි ව්‍යවස්ථාව යටතේ තරග කිරීමට මහින්දට හැකියාවක් තිබෙනවාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෝ වෙනත් උසාවියකින් හෝ විමසීමට මේ රටේ කිසිදු පුරවැසියකුට අයිතියක් නැත. ඒ බව රටේ ජනාධිපති ධුරය දෙවරක් ඉසිලූ මහින්ද නොදන්නවා විය නොහැක. කෙසේ වූවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණේ 19 වැනි ව්‍යවස්ථාව මේ සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි බවය. එනිසා මෛත්‍රීපාල ජනාධිපතිට බලපාන්නේ 19 වැනි ව්‍යවස්ථාව යටතේ ඇති ප්‍රතිපාදන බවය. මේ නිසා මහින්දටද බලපාන්නේ 19 වැනි ව්‍යවස්ථාව බව පැහැදිලිය. එසේ නම් මහින්ද ඇයි මේ 19 වැනි ව්‍යවස්ථාව අල්ලාගෙන මේ තරම් දඟලන්නේ කියා කෙනකුට හිතෙන්න පුළුවන. ඒ ගැන අදහසක් ගන්න ප්‍රේමදාස යුගයට යා යුතුය.
ප්‍රේමදාස ජනාධිපතිවරයා අගමැති ධුරය ඉසිලූ කාලයේ පටන් පමණක් නොව නාගරික මන්ත්‍රී, ඇමැති කාලයේ සිටම ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳව ලොකු උනන්දුවක් දැක්වූ දේශපාලනඥයෙකි. ඔහු ඒ සඳහා වෙනම ටීම් එකක් පවා සූදානම් කරගෙන සිටියේය. ඔහු අගමැති වී ඉන්පසු ජනාධිපති වීමෙන් පසුවද ප්‍රචාරක කටයුතු ගැන දැක්වූ සැලකිල්ල ටිකක්වත් අඩුකර ගත්තේ නැත. ඈත පිටිසර උදාගම් හදා විවෘත කරන බව දැක්වූ අලංකාර පෝස්ටර් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල තාප්ප වසා ගත්තේ ඒ හේතුවෙනි. අතගසන හැම වැඩක්ම ඔහුගේ ප්‍රචාරක යන්ත්‍රයේ කොටසක් බවට පත්කර ගත්තේය. ප්‍රචාරය කොහොම ලැබුණත් එහි වැරැද්දක් නුදුටු ඔහු වරක් මෙසේ කීවේය. &දේශපාලනඥයකුට මොනම නරක ප්‍රචාරයක් වුණත් ඒක ඔහුට ප්‍රචාරයක්.
මහින්ද දැන් අනුගමනය කරන්නේ ප්‍රේමදාසගේ ඒ උපක්‍රමයදැයි හරියට කියන්න දන්නේ නැත. ඒ වුණත් 19 වැනි ව්‍යවස්ථාව ගැන කවුරු කතා කළත් තමන්ගේ නම කියැවෙන්නේ නම් එයින් ඔහුට ලැබෙන්නේ ප්‍රචාරයකි. ඔහු හැමදාම මේ දිනවල 19ත් සමඟ කියැවෙන නම බවට පත්වී සිටියි. 19 වැනි ව්‍යවස්ථාව යටතේ තමන්ට 3 වැනි වරට තරග කිරීමට නීතියෙන් ඉඩක් ඇතත් නැතත් මහින්ද කවදාවත් මේ 19 අත්හරින්නේ නැත. ඒ ගැන කතා කරන තරමට තමන්ගේ දේශපාලන ගමනට හොඳ බව මහින්ද දැන සිටී.
ආණ්ඩුව ඇතුළේ තවත් ආණ්ඩුවක් සමඟ විපක්ෂයකුත් හදාගෙන ඉන්න යහපාලන රජය හැබෑ ප්‍රචාරයක තිබෙන දේශපාලන වටිනාකම ගැන මහින්දගෙන් පාඩම් ඉගෙන නොගත්තාට කමක් නැත. එහෙම වුණත් අඩුම තරමින් ප්‍රේමදාස යුගයෙන් හෝ ඒ පාඩම ඉගෙනගත යුතුය. නැතිනම් මහින්දගෙන් ඊට වඩා ලොකු පාඩමක් ඉගෙන ගැනීමට සිදුවිය හැකිය.
ශෂීන්ද්‍ර