2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ආර්ථික සිහින

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

රටේ එදිනෙදා සිදුවන කතාබහ මේ දිනවල අවසාන වන්නේ ආර්ථිකය ගැන කරන සඳහනකින් බව පැවසීම බොරැවක් නොවේ. කොහොම, කොතැන කළත් ආර්ථිකේ නම් ගන්න දෙයක් නැහැ යන වචන කිහිපය අවසානයේදී සඳහන් වන්නේ පුරුද්දකට මෙනි. රැකියා කරන ප්‍රජාව තමන්ට ජීවත් වීමට තිබෙන අමාරැකම් ගැන කතා කරද්දී ව්‍යාපාරික ප්‍රජාව කියන්නේ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට තිබෙන අපහසුකම් ගැනය. ආයතන කඩා නොවැටී පවත්වා ගැනීමට දරණ වෙහෙස මහන්සිය ගැනය. අපේ රට නිදහස ලබා වසර හැත්තෑවක් ගතවීමෙන් පසුවත් ඇහෙන්නේ මේ කතාව නම් එහි කොතැනක හෝ බරපතළ වැරැද්දක් තිබිය යුතුය.

අද ආණ්ඩුව ගත්තත් විපක්ෂය ගත්තත් කතා කරන්නේම ආර්ථිකය සම්බන්ධයෙනි. ආණ්ඩුව පවසන්නේ තමන් ආර්ථිකයේ පුනරැදයක් ඇති කරන බවත්, එහි ප්‍රතිඵල 2025 වසර වනවිට රටේ සියලුම ජනතාවට දැනෙනු ඇති බවත්ය. ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් සමඟ තමන් රට සමෘද්ධිමත් කිරීමේ ආර්ථික ක්‍රියාවලියකට අත ගසා සිටින බවද ආණ්ඩුවේ නායකයෝ කියති. එහෙත් විපක්ෂය කියන්නේ අද තරම් මේ රට ආර්ථික වශයෙන් කඩා වැටුණු යුගයක් මින් පෙරදී නොතිබූ බවයි. අද සාමාන්‍ය මිනිසාට එදිනෙදා ජීවත් වීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවත් අතට ගන්න පඩිය ඒ පැත්ත මේ පැත්ත බලන පරක්කුවෙන් වාෂ්ප වී යන බවත් කියන විපක්ෂය ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර බංකොළොත් වීම වළක්වා ගැනීමට දැඩි වෙහෙසක් දරන බවත් කියයි. එසේම ඔවුන් කියන්නේ රටේ ව්‍යාපාර පැළැන්තියම දැන් හාන්සියි කියාය. ආණ්ඩුවට එම ගැටලුවලට කිසිම විසඳුමක් නැති බවට ද ඔවුහු චෝදනා කරති.

ඉහත කරුණු සියල්ලම දේශපාලන කතා යැයි සලකමින් මඳකට පසෙකින් තබා ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ කුමක්දැයි විමසා බලමු. මහ බැංකුවේ වාර්තාවලට අනුව අද රටේ වාර්ෂික ආනයනය ඩොලර් බිලියන 20ත් ඉක්මවා ගොසිණි. ඒ කියන්නේ වසරකදී රට තුළට  ඩොලර් බිලියන 20ක් වටිනා බඩු භාණ්ඩ ගෙන්වා තිබේ. මෙහිදී තෙල් ගෙන්වීමේදී ගෙවන බිල පැත්තකට කළත් ඉතිරි මුදල් වැය කොට ගෙන්වා ඇත්තේ මොන වගේ බඩු දැයි සැලකිලිමත් වීම වටී. පිටි, සීනි, අල, ලූනු, පරිප්පු, කිරි පිටි, ටින් මාළු පමණක් නොව ලංකාවේ හොඳට වැවෙන ගම්මිරිස් ඇටේ පවා අද පිටරටින් ගෙන්වන බව කියයි. පළතුරු, ඇතුළු වෙනත් කෑමබීම වර්ග ද රටින් ගෙන්වන බඩු ලැයිස්තුවට ඇතුළත්ය. පිටරටවලින් කිසිදු ආහාර ද්‍රව්‍යයක් නොගෙන්විය යුතු යැයි කියන කිසිවකුත් නැත. ඒවා ගෙන්වීම අවශ්‍යය. එහෙත් සීමාවක් තිබිය යුතුය. ආණ්ඩුවේ ඇමතිවරයකුගේ හෙංචයියකුට අවශ්‍ය නිසා එසේත් නැතහොත් මැති ඇමැතිවරැන්ගේ පවුලේ ව්‍යාපාරයක් වීම නිසා රටට අවශ්‍ය නොවන ආහාර වර්ග ගෙන්වීම ගැටලුවකි. එය මෙරට නිෂ්පාදන අධෛර්යමත් කරන වැඩපිළිවෙළක් විය හැකි බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. අසීමිතව පිටරටට ඇදී යන මුදල් සම්භාරය මේ රටේ ආර්ථිකයේ හෙනහුරකු බවට පත්ව ඇතැයි පැහැදිලිය. ඒ තත්ත්වය වළක්වා ගැනීමට ආණ්ඩුව ගන්නා පියවර පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දීම අවශ්‍යය.

ආහාර ද්‍රව්‍ය පමණක් නොව, විදුලි උපකරණ සහ මෝටර් රථ වාහන ගෙන්වීමට ද අපි අති විශාල මුදලක් වැය කරන්නෙමු. මේ වෙනුවෙන් වෙන් කරන මුදල් නිතරම ඉහළ යනවා මිස පහළ යාමක් දැකිය නොහැක. ගැටලුව වන්නේ ආණ්ඩුව තමන්ගේ අයවැය බැලන්ස් කරගැනීම සඳහා නිෂ්පාදනය ඉහළ දැමීමට අර්ථවත් ක්‍රියාමාර්ග නොගෙන වැට් බදු ඉහළ නැංවීමය. පසුගිය සතියේ නිකුත් වූ අලුත්ම බදු ගැසට් නිවේදනයට අනුව විදුලි භාණ්ඩ ඇතුළු ආනයනික භාණ්ඩ 200කට අධික ප්‍රමාණයක් වැට් බද්දට යටත් කර තිබේ. මේ හේතුවෙන් එකී සියලු භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්විය නොහැක. නමුත් එක්තරා ප්‍රමාණයකින් භාණ්ඩ මිල නැංවූ විට ඒවායේ අලෙවිය පහළ වැටීම බලාපොරොත්තු විය යුත්තකි. පුංචි කාර් අලෙවියට දැන් සිදු වී ඇති හානිය එයට එක් උදාහරණයකි. දැන් සිදුවන්නේ ආර්ථික අහේනිය හේතුවෙන් ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය දැඩි ලෙස පහළ බැසීමය. හැම භාණ්ඩයකටම මිල වැඩි වෙන විට ජනතාව අවශ්‍යම බඩු ටික පමණක් මිලදී ගන්නා තැනට තල්ලු වෙති. කන බොන ද්‍රව්‍ය පවා පාලනය කරනු හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නැත. එදිනෙදා කරන කතාබහේ හැම අවසානයම ආර්ථික කටගැස්මෙන් අවසන් වන්නේ එබැවිනි.

ආර්ථික ප්‍රශ්න උග්‍ර වනවිට ජනතාව කෙළින්ම දෝෂාරෝපණය කරන්නේ තමන්ට බව ආණ්ඩුව බලාපොරොත්තු විය යුතුය. දහසක් පොරොන්දු දී බලයට ආවත් ඒවා අමතක කොට තමන්ගේ වෙනත් න්‍යාය පත්‍රවලට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමේ ආදීනව අද ආණ්ඩුව විඳිමින් සිටින බව පෙනෙන්නේ ඩොලරය හමුවේ රැපියල බාල්දු වෙන තරම දෙස බලන විටය. මේ වනවිට ඩොලරය රුපියල් 162 ද ඉක්මවා ගොසිණි. ආණ්ඩුව කුමක් කිව්වත් මේ සංඛ්‍යා ලේඛන බොරු කළ නොහැක. රුපියල කඩා වැටීම පැහැදිලිව පෙන්නුම් කරන්නේ රටට ඩොලර් ගලා නොඑන බවය. අපනයනය අඩු වී ඇති බවය. එනම් සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට රජය අසමත්ව සිටින බවත් රට තුළ නිෂ්පාදනය ප්‍රමාණවත් කරමින් ඉහළ දැමීමට රජයට නොහැකි වී ඇති බවත්ය. මේ ලෙඩේට බෙහෙත් සොයා ගැනීමට රජයට නොහැකි නම් ආර්ථිකය සුවපත් කිරීම සිහිනයක් පමණක් වනු ඇත.