ධම්මික පෙරේරාත් ජනාධිපති අපේක්ෂකයෙක්?
ජනාධිපතිවරණය දැන් රටේ ප්‍රධාන මාතෘකාවකි. පළාත් සභා ඡන්දය තියාගැනීමේ උත්සාහයේදී අඩියක් පස්සට තබන ආණ්ඩුවේ ඇතැම් නායකයෝ ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් පිළිබඳව මහත් ඕනෑකමකින් කතා කරති. මෙතෙක් පැවැති ජනාධිපතිවරණ සටන් සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් පමණක් නොව අලුත් අපේක්ෂක මුහුණු ගැනද කතාබහ සිදුවෙයි. මේ කතාබහවලදී මෑතකදී රටේ ප්‍රධානම ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතාගේ නම සඳහන් වීම අලුත් තත්ත්වයකි.
ධම්මික පෙරේරා මහතාගේ නම යෝජනා කරනු ලැබුවේද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකයකු වන ඇක්සස් සභාපති සුමල් පෙරේරා මහතා විසිනි. මේ බව වාර්තා කරන ඩේලි එෆ්.ටී. පුවත්පත සඳහන් කරන්නේ ධම්මික පෙරේරා මහතාගේ අපේක්ෂකත්වයට තමන් සහාය පළකරන බව සුමල් පෙරේරා මහතා පැවසූ බවයි.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික වෙළෙඳ මන්ත්‍රණ සභාව, සිමා ශ්‍රී ලංකා ආයතනය සහ ඩේලි එෆ්.ටී. මගින් සංවිධානය කරන ලද Fireside chat තුන්දින ව්‍යාපාරික සමුළුවේදී මේ ප්‍රකාශය සිදුවිය.
මේ සමුළුව සඳහා හයිද්‍රාමනී සමූහ අධ්‍යක්ෂ සහ හිටපු සභාපති ජනක් හයිද්‍රාමනී, ස්ටැසන් සභාපති හැරී ජයවර්ධන, එම්.ජේ.එෆ්. සමාගම් නිර්මාතෘ සහ සභාපති මෙරිල් ජේ. ප්‍රනාන්දු සහ සොෆ්ට් ලොජික් හෝල්ඩිංස් නිර්මාතෘ සහ සභාපති අශෝක් පතිරගේ මහත්වරුද සහභාගි වී සිටියහ.
සුමල් පෙරේරා මහතා ඇතුළු තම සගයන්ගේ අදහසට විරුද්ධ නොවුණද ධම්මික පෙරේරා මහතා එහිදී සඳහන් කළේ දේශපාලනයට එක්වීමට තමන් තුළ කිසිදු කැමැත්තක් නැති බවය. නමුත් ඉල්ලීමක් ලැබුණොත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සකස් කරන්නන් හට ණය කළමනාකරණයේ සිට සියලු දේ සම්බන්ධයෙන් අවබෝධ කර දීමට තමන් තුළ ඇති දැනුම ලබාදීමට සූදානම් බව ඔහු සඳහන් කළේය. තම සගයන්ගෙන් වරින්වර ලැබුණු උද්‍යෝගිමත් අත්පොළසන් මැද කතා කළ ධම්මික පෙරේරා මහතා රටේ පවතින වත්මන් දේශපාලන සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කනස්සල්ලට පත් නොවන්නැයි ඔවුන්ට උපදේශයක් ද දුන්නේය.
රිෂාද් ඇමැතිගේ වාහන ගැන අගමැති කාර්යාලය සොයයි
රිෂාද් බදුයුදීන් ඇමැතිවරයා විසින් තමන්ට අනුමත වාහන සංඛ්‍යාවට වඩා වාහන සංඛ්‍යාවක් භාවිත කරන බවට සඳහන් මාධ්‍ය වාර්තා කෙරෙහි ඉකුත් සතියේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ අවධානය යොමුවිය.
අදාළ ප්‍රවෘත්තිය අපගේ සහෝදර පුවත්පතක් වන ලංකාදීපය මගින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉදිරිපත් කළ අයැදුම්පතකින් ලබාගන්නා ලද තොරතුරැ මත පදනම් වී තිබිණි. එම තොරතුරැ අනුව පළවූ ප්‍රවෘත්තියේ ඇමැතිවරයා තමන්ට හිමි වාහන සංඛ්‍යාවට වඩා වාහන භාවිත කරන බව සඳහන් විය.
පුවත පළවූ වහාම ඇමැතිවරයා සම්බන්ධ කරගත් අග්‍රාමාත්‍ය කාර්යාලය සිද්ධියට අදාළව වැඩිපුර භාවිත කරන වාහන සම්බන්ධයෙන් තොරතුරු විමසීය. ඇමැතිවරයා කියා තිබුණේ තමන් භාවිත කරන්නේ අනුමත වාහන සංඛ්‍යාව පමණක් බවත් තොරතුරැ දැනගැනීමේ අයදුම්පත්‍රයට තොරතුරු සැපයූ නිලධාරියා වැරැදි තොරතුරු ලබාදී ඇති බවත්ය.
එහිදී අගමැති කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ ඇමැතිවරයා නිර්දෝශී නම් වැරදි තොරතුරැ ලබාදුන් නිලධාරියාට එරෙහිව පියවර ගත යුතු බවය. කෙසේ වුවද ඇමැතිවරයා භාවිත කරන වාහන පිළිබඳ තොරතුරු තමන්ට ලබාදෙන්නැයි ද අගමැති කාර්යාලයෙන් උපදෙස් ලැබිණි.
- සන්ඩේ ටයිම්ස්
ජනාධිපති ධූරයේ වාර ගණන: ඔබාමා කියූ කතාව
මෙරට ජනාධිපතිවරයකුට ධූරය දැරිය හැකි වාර ගණන දැන් මේ රටේ ප්‍රසිද්ධ විවාදයකට තුඩු දී තිබේ. අමෙරිකාව එරට ජනාධිපති ධූරයේ වාර ගණන 2ක් බවට සඳහන් ව්‍යවස්ථාව සම්මත කළේ 1951 වසරේදී 22 වැනි සංශෝධනය වශයෙනි. බැරක් ඔබාමා හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා සිය දෙවැනි ධූර කාලය අවසානයේ ජනාධිපති ධූර වාර ගණන සම්බන්ධයෙන් කළ සංවේදී කතාවක් වෙයි. එහි මෙසේ සඳහන් විය.
මේ මගේ දෙවැනි ධූර කාලයයි. අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීම මා ලද අතිවිශේෂ වරප්‍රසාදයක්. මීට වඩා විශිෂ්ට වූ ගෞරවයක් හෝ වඩාත් උනන්දුවෙන් කළ හැකි කාර්යයක් ගැන මට සිතාගැනීමටවත් බෑ. මම මගේ රාජකාරියට ආදරය කරමි.
එහෙම වුණත් අපගේ ව්‍යවස්ථාවට අනුව මට යළිත් වරක් තරග කළ නොහැකියි. යළිත් බැහැ. මා ඇත්තටම හිතන්නේ මම හුඟක් හොඳ ජනාධිපතිවරයකු හැටියටයි. යළිත් වරක් තරග කළොත් මට ජයගත හැකියි. අමෙරිකාව වෙනුවෙන් මට තවත් බොහෝ දේ කළ හැකියි. එහෙම වුණත් නීතිය නීතියමයි. කිසිම පුද්ගලයෙක් නීතියට ඉහළින් නෑ. ජනාධිපතිට වුණත් එහෙමයි
නමුත් මට තේරුම්ගත නොහැකි කාරණය නම් ඇයි ඇතැම් පුද්ගලයන්ට හුඟක් කල් ඉන්න අවශ්‍ය කියන එකයි. විශේෂයෙන් ඔවුන්ට ඇති තරම් මුදල් තිබෙන විට.
කිසිවකු හෝ ජීවිත කාලයටම ජනාධිපති නොවිය යුතුයි.
මේ ඔහුගේ එක් ප්‍රසිද්ධ කතාවකින් කළ උපුටාගැනීමක් පමණි. එහි ශ්‍රී ලාංකිකයන්ටද උගත හැකි පාඩමක් තිබෙන බව පැහැදිලිය.