පස් කැපීම, වගුරු ඉඩම් ගොඩකිරීම, සරුසාර පොල්වතුවල ගස් කපා මිනිසුන් පදිංචිකරවීම වැනි දෑ මේ රටේ හැමදාමත් සිදුවිය. දැනුත් සිදුවෙමින් පවතී. එසේ වුවද දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල සීමාවට අයත් අකරගම සිදුවන පස් කැපීම මුළු රටම කතා කරන සිද්ධියක් බවට පත්වීමට ගතවූයේ වචන කීපයක පමාවක් පමණි. හෙණ ගහපං සමඟ තවත් වචන කීපයක් එයට ඇතුළත් විය. මේ වචන පිටවූයේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිගේ කටිනි.
රන්ජන් රාමනායක මහතා දේශපාලන භූමියේ රඟපෑමට එක්වන්නේ සිනමාවේ රඟපෑම්වලින් පසුවය. දේශපාලනයට එකතු වුවද ඔහු සිනමාවෙන් ඈත්වුණේ නැත. දිගටම රඟපෑවේය. අදටත් ඔහු සැලකෙන්නේ සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් වශයෙනි. මේ නිසා ඔහුට තම කටින් පිටවන වචනවල දිග පළල ගැන හොඳ වැටහීමක් තිබිය යුතුය. සිනමාවේදී නම් මොනම රඟපෑමක් වුවද පසුව සංස්කරණය කොට ඉවත් කර දැමිය හැකිය. එහෙත් දේශපාලනයේදී සංස්කරණය සිදුවෙන්නේ අධ්‍යක්ෂවරයාගේ අතින් නොව මහජනතාවගේ ඡන්දයෙනි. දෙබස් වුවද එසේමය. අධ්‍යක්ෂවරයාට අවශ්‍යනම් ඕනෑම දෙබසක් කට් කර දැමිය හැකිය. වෙනස් කළ හැකිය. එහෙත් දේශපාලනයේදී එසේ කළ නොහැක. පිටකළ වචනයක් ආපසු කැඳවීමට හැකියාවක් නැත. නිලධාරීන් ඉදිරිපිට, මහජනතාව ඉදිරිපිට යමක් කිව්වොත් කිව්වාමය. දේශපාලනඥයකුගේ කටින් පිටවන මතභේදකාරී කියුම් කෙරැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට පෙර අසුර සැණෙකින් සමාජ වෙබ් අඩවි හරහා සමාජගත වෙන්නේ සජීවී සාක්ෂිද සමගිනි. එහිදී කට් කට් කියා කෑගසන්නට අධ්‍යක්ෂවරයකු නැත. සංස්කරණයක්ද නැත.
මහජනතාව මුහුණදෙන ගැටලුවකදී ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වීම දේශපාලනඥයකුගේ යහපත් ලක්ෂණයක් බව සැබෑය. එසේ වුවද මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී රාජ්‍ය නිලධාරියකුට පරුෂ වචනයෙන් බැණ වැදීමට කිසිදු දේශපාලනඥයකුට අයිතියක් නැත. එම අවස්ථාව ඔහු ජනතාව ඉදිරියේ වීරයාගේ චරිතයට පණ පෙවීමක් සිදුකළද රාජ්‍ය නිලධාරී පැළැන්තියටත් රටේ සෙසු ජනතාවටත් එය දුෂ්ඨයාගේ චරිතයක් වීම වැළැක්විය නොහැක. අද රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා මුහුණදී සිටින්නේ එම අවස්ථාවට බව පැහැදිලිය. ඒ හේතුවෙන් රජයේ පරිපාලන නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වී සිටීම ගැටලුව සංකීර්ණ තත්ත්වයට පත්කර තිබේ. ඔවුන් පවසන්නේ නියෝජ්‍ය ඇමැතිවරයා නිලධාරිනියගෙන් සමාව ගතයුතු බවය.
නියෝජ්‍ය ඇමැතිවරයා පවසන්නේ තමන් කිසිසේත් සමාව නොගන්නා බවකි. එසේ සමාව ගැනීමට නම් අකරගම ප්‍රදේශයේ පස් කැපීම නවතා දැමීමට පියවර ගතයුතු බවත් කපා ඉවත් කළ පස් ටිපර් හැටඑක්දාහම ආපසු ගෙනැවිත් දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. තමා නිලධාරිනියට අවමන් සහගත ලෙස කතා නොකළ බවද පස් කැපීම නවතා දැමීමට පියවර ගන්නැයි ඉල්ලීමක් කළ බවද ඔහු කියයි.
අදාළ නිලධාරිනියට හෙණ ගහපං යනුවෙන් පැවසීමත් සාක්ෂි නොමැතිව සොරකු බවට චෝදනා කිරීමත් ඔහුගේ එම ප්‍රකාශය සමඟ ගැලපෙන්නේ නැත. නමුත් මේ වාග් සටන හේතුවෙන් අමාරුවේ වැටෙන්නේත් පීඩාවට පත්වන්නේත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් දහසකුත් එකක් රාජකාරි ඉටුකරගැනීමට පැමිණෙන මහජනතාව බව දෙපාර්ශ්වයම දැනගත යුතුය. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කාර්යාල 13කම නිලධාරීන් පසුගිය සඳුදා දිනයේ රාජකාරිවලින් බැහැරව සිටීම හේතුවෙන් එදින දහස් ගණන් ජනතාව අපහසුතාවලට මුහුණ දුන්හ. සිකුරාදා (03) වනවිට සමාව ගැනීමට නියෝජ්‍ය ඇමැතිවරයා කටයුතු නොකළහොත් තමන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවද රාජ්‍ය පරිපාලන නිලධාරී සංගමය අනතුරු අඟවා තිබිණි. පවතින තත්ත්වය පිළිබඳව අවබෝධයකින් යුතුව ක්‍රියාකොට ප්‍රශ්නය වැඩිදුර නොයවා විසඳා ගැනීමට කටයුතු කිරීම සියලුදෙනාගේම වගකීම බව අපි සිතමු.
මෙම සිද්ධියට අදාළව රජයේ ඇතැම් මැති ඇමැතිවරැන් කියා තිබුණේ රාජ්‍ය නිලධාරීන් එකම ස්ථානයක වසර පහකට වැඩියෙන් රාජකාරි කිරීම නිසා ඔවුන් දූෂිතව කටයුතු කිරීමට පෙළඹෙන බවය. නමුත් ඉතාම කලාතුරකින් හැර මේ කියන ආකාරයට දූෂිතව ක්‍රියා කිරීමට රාජ්‍ය නිලධාරීන් පෙළඹෙන්නේ නම් ඒ පසුපස දූෂිත දේශපාලනඥයන් සිටින බව යථාර්ථයයි. දේශපාලනඥයන්ගේ නීති විරෝධී නියෝගවලට පිටුපා ක්‍රියා කිරීමට පෙළඹෙන නිලධාරීන්ද සිටින නමුත් බොහෝ විට දේශපාලනඥයන්ගේ බලකිරීම් මැද නීතියට එකඟ නැති, හෘදය සාක්ෂියට එකඟ නැති දූෂිත කටයුතුවලට හවුල්වීමට නිලධාරීන්ට බලකෙරෙන අවස්ථා තිබේ. නැතහොත් අඩුම වශයෙන් එවැනි දූෂිත ක්‍රියා දැක දැකත් අහක බලාගෙන සිටීමට එම නිලධාරීන්ට බල කෙරෙයි. එසේ නැතිව නීතියට අනුව රාජකාරි කරන්නට යාමේ ප්‍රතිඵලය ඈත පළාතකට ලැබෙන දඬුවම් මාරුවක් විය හැකිය. නැතහොත් තනතුරින් ඉවත් කිරීමක් විය හැකිය. රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අවි අමෝරන්නට පෙර මේ තත්ත්වය ගැනද දේශපාලනඥයකුට අවබෝධයක් තිබීම අවශ්‍යය.
සිද්ධියට අදාළ රාජ්‍ය නිලධාරිනිය අතින් කුමන වැරැද්දක් සිදුවීදැයි අපි නොදනිමු. එහෙත් වැරැද්දක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව නියෝජ්‍ය ඇමැතිවරයාට දැනුමක් තිබිය යුතුය. එසේ නැතුව කටට ආ පළියට දෙබස් කීම හේතුවෙන් ජනතාව ඉදිරියේ වීරයකු වීම කෙසේ වෙතත් රට ඉදිරියේ පීචං වීමට නම් හොඳටම ඉඩ තිබෙන බව නියෝජ්‍ය ඇමැතිවරයා දැන සිටීම අවශ්‍යය.