2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

චීන ගොවියාට පර්චස් දහයක්

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

වාමාංශික බක පණ්ඩිතයන් කුමක් කීවත් නව චීනය ලෝක බලවතෙක් වූයේ ඩෙං සාවෝ පිංගේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිවෙත නිසයි. එම නව පිළිවෙතේ හරය වූයේ චීනය වෙළෙඳපොළ ආර්ථිකයකට මාරුවීමයි. එම තීරණය අනුව චීනය ඉතා ඉක්මණින් සෑම ක්ෂේත්‍රයකම නිෂ්පාදනය ඉහළ නැංවූ අතර ඊට සමගාමීව අපනයන ආර්ථිකයකටද මාරු විය. චීන ජාතිකයන් සතුව තිබෙන වැඩ කිරීමට ඇති හැකියාව හා වෙළහෙළඳාම්වලට ඇති රුචිය ඉහළ තලයකට ගෙන ගිය හැක්කේ වෙළෙඳපොළ ආර්ථිකයක් තුළින් පමණක් බව චීන ආර්ථික විශේෂඥයෝ නිගමනය කළෝය. මේ සංකල්පීය වෙනස නිසා චීනය ලෝක ආර්ථිකයේ ආශ්චර්යය බවට පත්විය. 

දශක තුනක් තිස්සේ ඔවුන් ඉතා උසස් ආර්ථික වර්ධනයක් ලබාගත් අතර අද ලෝකයේ දෙවැනි ප්‍රබලතම ආර්ථිකය බවට පත්වී සිටී. චීන නිෂ්පාදන හැකියාව සීඝ්‍රයෙන් ඉහළ නැංවීම හමුවේ සාම්ප්‍රදායික බටහිර ධනපති ආර්ථිකයන්ට පසුබෑමට සිදුවිය. චීනයේ අඩු නිෂ්පාදන වියදම් සමඟ තරග කිරීමට සමාජ සුබසාධනයේ වෙලී සිටි ධනපති රාජ්‍යයන්ට නොහැකි විය. ඔවුහු රජයේ නොමිලේ දෙන ප්‍රතිලාභ භුක්ති විඳිමින් දිනෙන් දින තවත් කම්මැලි වූහ. තරග කිරීමට නොහැකි වූ බටහිර කම්හල් වසා දැමිණ. බටහිර කම්කරැවන්ගේ රැකියා අහිමි විය. ඒ රටවල පාරිභෝගිකයන් ලාභ චීන, ජපන් හා  කොරියානු භාණ්ඩ ආනයනය කරමින් සිය නිෂ්පාදන දුර්වලතා සඟවා ගත්තෝය. ඔවුන්ගේ දේශිය ආදායමෙන් පමණක් කවදාවත් අත්පත් කරගත නොහැකි වූ සැපවත් ජීවිතයක් නිර්මාණය කර ගත්තෝය. 

අමෙරිකන් ආර්ථිකයේ මර්මස්ථානය හැටියට සළකන ලද මෝටර් කාර් නිෂ්පාදනය බිඳවැටුණ අතර අමෙරිකන් ජාතිකයන් මිලට ගත්තේ අඩු මුදලකට ලබාගත හැකි හොන්ඩා, මිට්සුයි, මිට්සුබිෂි වැනි කාර් වර්ගයි. දුරකථන උපකරණ ආවේ චීනයේ හුවාවේ නැත්නම් කොරියාවේ සැම්සුන් කර්මාන්ත ශාලාවලිනි. එවැනි ආර්ථික හුවමාරුවලට අර්ථශාස්ත්‍රඥයන් දුන් නම ගෝලීයකරණයයි. අපේ වාමාංශිකයෝ ගෝලීයකරණය තදින් විවේචනය කළහ. පෙළපාලි ගියහ. රතු කමිස පැළඳගෙන සංදර්ශන පැවැත්වූහ. එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්ද? 

ගෝලීයකරණයට බැට දෙන්නේ අන් කවුරුත් නොව ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඔහුගේ ඡන්ද සටන් පාඨය වූයේ ගෝලීයකරණයට තිතතියනු යන්නයි. බලය ලබා පැය කීපයකින් ට්‍රම්ප් ගෝලීයකරණයේ පදනම වන වෙ‍ළෙඳ ගිවිසුම් අහෝසි කළේය. බ්‍රිතාන්‍යයේ අගමැතිනියද ඒ අනුව යමින් කියා සිටියේ බ්‍රිතාන්‍ය වෙළෙඳාමට අහිතකර වෙළෙඳ ගිවිසුම් අහෝසි කළ යුතු බවයි. ඔවුන්ගේ නිෂ්පාදන සියයට පනහක් පමණ මිලදී ගන්නා යුරෝපයට පිටුපෑමට පවා එම අගමැතිනිය පසුබට නොවන බව ප්‍රකාශ කළාය. එසේනම් දැන් ගෝලීයකරණය අත්‍යාවශ්‍යයැයි කියන්නේ කවුද? ලෝක ධනපතියන්ද? නැත. එම හඬ ඉතාම ප්‍රබලව ඉදිරිපත් කළේ අන් කිසිවෙක් නොව චීන අගමැති ශී ජිං පිංය. සාමාන්‍යයෙන් චීන ජනාධිපතිවරයෙක් නොගන්නා තීරණයක් ගනිමින් ඔහු ධනවාදයේ ප්‍රධානම වාර්ෂික සම්මන්ත්‍රණය වන ඩාවොස්හි පැවැත්වෙන රැස්වීමට පැමිණ ගෝලීයකරණය හා ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්‍යාවශ්‍ය බව තදින් කියා සිටියේය. ගෝලීයකරණයට අද දැඩි ලෙස බැටදෙන කෝටිපතියන්ගේ හඬ අතරේ චීන ජනාධිපතිගේ ඉල්ලීම හිම කඳු අතරේ වාෂ්ප වී ගියේය. දැන් වාමාංශිකයන් ඉන්නේ කාගේ පිලේදැයි ඇසීමට සිදුවේ. ගෝලීයකරණයට බැටදෙන බටහිර ධනපතියන් සමඟද? නැතහොත් ගෝලීයකරණය අත්‍යාවශ්‍යයැයි කියන චීන කොමියුනිස්ට් පක්ෂය සමඟද? 

චීනය ගැන හොඳම ආප්තෝපදේශය වනුයේ ප්‍රංශ යුද සෙනෙවි හා අධිරාජ්‍යයා වූ නැපෝලියන්ගේ වචනයයි. “චීන යෝධයාට නිදන්න ඉඩ දෙන්න :  එයා නැගිට්ටදාට ලෝකයම හොල්ලයි”. 1978 දී කරන ලද සංචාරයේ දී ඩෙං ශියා පෙං යටතේ චීන යෝධයා අළු ගසා නැගිටින්න පටන් ගත්හැටි අපට සියැසින් බලාගැනීමට පුළුවන් විය. එම වෙනස අප මුලින්ම දුටුවේ ගැමි ආර්ථික හා සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේය. ඩෙංගේ ප්‍රතිසංස්කරණයට පෙර චීන අර්ථශාස්ත්‍රඥයන්ගේ අදහස් ප්‍රතික්ෂේප කරමින් මාඕ විසින් වෙළෙඳපොළ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පිටුදැක තිබුණේය. තවමත් අපේ ඇතැම් යල්පැනපු දේශපාලනඥයන් මෙන් ඔහුත් පළ කර සිටියේ දේශීය ආර්ථිකය හා සමූපකාර නිෂ්පාදන ක්‍රමයක් චීනයේ ස්ථාපිත කළ යුතු බවයි. එහෙත් ඒ සංකල්පය අනුව සකස් කරන ලද “මහා ඉදිරි පිම්ම” හා “සංස්කෘතික විප්ලවය” අතිශයින් අසාර්ථක විය. දිනෙන් දින චීන ජනතාව දුර්භික්ෂයක් හා නිද්‍රාශීලී නිෂ්පාදන ව්‍යුහයක් වෙත තල්ලු කරන ලදී. එහි ප්‍රතිඵලය වුයේ චීනය තුළ මර්දනකාරී පොලිස් රාජ්‍යයක් බිහිවීමයි. චීනයේ ජනප්‍රිය නායකයෙක් වූ චූ එන් ලායිට පවා බෙහෙත් නොදී ඔහුව අකල් මරණයකට ලක් කරන ලදී. හිටපු ජනාධිපති ලී ශාවෝ චී රුසියන් ඔත්තුකරුවකු ලෙස හංවඩු ගසා බෙහෙත් නොදී මැරෙන්නට ඉඩ හරින ලදී. මේවා සුරංගනා කතා නොව වර්තමාන චීන දේශපාලන සාහිත්‍යයෙන් සනාථ කරන ලද කරුණුය.

1978 දී අප දුටුවේ මාඕගේ සමුපකාර ක්‍රමයේ මූලික ඉරි තැලීමයි. මීට පෙර ගමේ (කොමියුන්) සියලුම නිෂ්පාදන - එළවළු, වී, තිරිඟු, ඌරු පැටවුන්, කුකුළන් ආදිය - සියල්ලම සමූපකාරයට භාරදීමට අණ කරන ලදී. ගමේ ඉඩම් සියල්ලම වගා කරන ලද්දේ සාමූහිකවය. බීජිං නුවර මධ්‍යගත සැලසුම් අනුව ඔවුන්ට නිෂ්පාදනය තීරණ ගැනීමට සිදුවිය. ඒ නිෂ්පාදන ඉලක්ක සම්පූර්ණ කළ නොහැකි වූ ගැමියන්ට දඬුවම් පමුණුවනු ලැබීය. ඔවුන්ට ලබාදෙන ආහාර සලාකය අඩු කරන ලදී. ඉන් එහාට විවේචනය කළ අය රහස් පොලීසිය විසින් “අංකුර ධනපතියන්” හැටියට අත්අඩංගුවට ගන්නා ලදී.

මේවායේ ප්‍රතිඵලය වූයේ ගැමියන් උකටලී වීමයි. ඔවුන් අවම නිෂ්පාදන ඉලක්කවලට යමින්, කොමියුනිස්ට් නිලධාරීන්ට හා කේඩරයන්ට සාප කරමින් කාලය ගත කළෝය. 1977 දී ඩෙං මේ ක්‍රමය වෙනස් කර සෑම ගැමියකුට පර්චස් දහයක ඉඩමක පෞද්ගලික අයිතිය දුන්නේය. සමූපකාරයට දෙන ඌරු පැටවුන්, කුකුළන්, හාවුන්ගේ සලාකයට වඩා නිෂ්පාදනය කළහොත් ඒ සතුන් ගැමියන්ට පෞද්ගලිකව රැකගැනීමට හෝ විකිණීමට අයිතිය දෙමින් නීතිය සංශෝධනය කරන ලදී. අප දුටු ප්‍රතිඵලය විශ්මය ජනක විය. ගමේ සමූපකාර ගොවිපළ අවම නිෂ්පාදනයක් පිළිඹිබු කළ අතර පෞද්ගලික ඉඩම් අස්සක් මුල්ලක් නෑර සාර්ථකව වගා කරන ලදී. ගොවි පවුල් තම පෞද්ගලික ඉඩම් උනන්දුවෙන් දියුණු කරනා හැටි අපි දැක්කෙමු. අලුතෙන් ඇතිවූ අතිරික්තය නිසා එළවළු, සහල් හා සතුන් විකුණන කුඩා පොළවල් රට පුරා ඇතිවිය. ඌරු පැටවුන් කුදලාගෙන කදවල් කරේ තියාගෙන වෙළෙඳපළට යන අලුතින් නිදහස් වූ ගොවියන් අපට දිස්විය.

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00