විශේෂ කැබිනට් රැස්වීම
පසුගිය බ්‍රහස්පතින්දා (13) හදිසියේ කැඳවනු ලැබූ විශේෂ කැබිනට් රැස්වීම දේශපාලන කරළියට උණුසුම් මාතෘකාවක් සැපයීය. අගමැතිද නැතිව කැඳවනු ලැබූ රැස්වීම ආන්දෝලනාත්මක වනු ඇති බවටද ආරංචි පැතිර තිබිණි. අගමැති නැතිව කැබිනට් රැස්වීම් පැවැත්වීම විශේෂයක් නොවේ. පසුගිය අඟහරුවාදා (11) සාමාන්‍ය පරිදි කැබිනට්ටුව රැස් කෙරුණේද අග්‍රාමාත්‍යවරයා නොමැතිවය. එහෙත් හදිසියේම කැබිනට් රුස්වීමක් අගමැති නොමැතිව කැඳවනු ලැබීම ඉහළ නිලධාරීන්ගේද දෙබැම ඉහළ නැංවීමට සමත් වුවද ජනාධිපතිවරයා ඒ පිළිබඳව කිසිදු තැකීමක් කළේ නැත. තම ලේකම්වරයාට ජනාධිපති දැනුම් දී තිබුණේ සියලුම ඇමැතිවරුන්ට දුරකථනයෙන් රැස්වීම පිළිබඳව දැනුම්දෙන ලෙසය.
එම රැස්වීමේදි ජනාධිපතිවරයා තදින්ම අවධාරණය කර තිබුණේ ත්‍රිවිධ හමුදාවේ ලොක්කන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස ඔවුන් අත්අඩංගුවට ගෙන පීඩාවට පත් නොකළ යුතු බවය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැඩිව අප්‍රසාදය පළකළ බවත් සඳහන්ය.
මෙහිදී සාකච්ඡා කළ කරුණු මාධ්‍යවලට නොදීමට එහිදී එකඟතාවක් ඇතිකරගෙන තිබුණත් බී.බී.සී. සිංහල වෙබ් අඩවිය එහිදී සාකච්ඡා කළ කරුණු කිහිපයක් හෙළිකර තිබිණි. පසුගිය දිනවල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාපති සහ හමුදාවේ කටයුතු සම්බන්ධයෙන් විවේචනාත්මකව පළකළ අදහස් සම්බන්ධව ජනාධිපතිවරයා සිදුකළ කරුණු දැක්වීමේදී ඇමැතිවරැන් බොහොමයක් නිහඬව ඊට සවන්දී සිටි බව එහි සඳහන් විය.
එසේම මෙහිදී චම්පික රණවක සහ මංගල සමරවීර අතර දැඩි මත ගැටුමක් සිදුවූ බවද දැනගන්නට තිබේ. නිශ්චිත හේතුවක් නැතිව හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම දැඩිව විවේචනය කර තිබූ චම්පික ඇමැතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවි විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම දැඩිව හෙළා දැක තිබිණි. මංගල සමරවීර ඇමැතිවරයාගේ මතය වී තිබූ බව කියන්නේ නීතිය කාටත් සමානව ක්‍රියාත්මක විය යුතුය යන්න බවද සඳහන්ය. නමුත් චම්පික ඇමැතිවරයා දැඩිව කියා ඇත්තේ හමුදා ප්‍රධානීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉතා සංවේදී විය යුතු බවයි. වැරදි ඇත්නම් ඊට එරෙහිව නීති මගින් කටයුතු කළත් හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම අනුමත නොකරන බවද චම්පික කියා තිබිණි.
කතුවරුන් හමුව
සිකුරාදා (14) උදෑසන ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ මාධ්‍ය ප්‍රධානීන්ගේ සාකච්ඡාවද එම කැබිනට් රැස්වීමේම දිගුවක් බවට පත්ව තිබිණි. එදින උදෑසන 8.45ට පමණ ඇරුඹි රැස්වීම අවසන් වූයේ 10.10 පමණය. පුවත්පත් ප්‍රධාන කතුවරුන් ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් සහභාගී වූ එම රුස්වීම ජනාධිපතිවරයා විසින් අමතන ලද්දේ තරමක බැරෑරුම් ස්වරෑපයකිනි. එහිදී ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී ඉදිරිපත් කරන යෝජනාව, ආරක්ෂක හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම, සරත් ෆොන්සේකා මහතා හමුදාව විවේචනය කිරීම, ඝාතන කුමන්ත්‍රණය, තෙල් මිල සූත්‍රය, උතුරේ හමුදා කඳවුරු සහ සිංගප්පූරු ගිවිසුම යන කරුණු ගැන ජනාධිපතිවරයා අදහස් දැක්වීය.
දැනට ආන්දෝලනයකට ලක්ව සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවි විජේගුණරත්නට එරෙහිව තරුණ ළමුන් 11 දෙනකු මරා දැමූ බවට චෝදනාවක් නැතැයිද ඔහුට ඇත්තේ සැකකරුට රැකවරණ ලබාදීමක් පිළිබඳ චෝදනාවක් පමණක් යැයිද සඳහන් කළ ජනාධිපතිවරයා ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන උසාවියට වාර්තා කිරීම ප්‍රමාණවත් යැයි තමන් දැනුම් දී ඇති බවද සඳහන් කළේය. යුද හමුදාවේ දෙවැනියා වශයෙන් සිටි මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අත්අඩංගුවට ගෙන මාස 5ක් තිස්සේ චෝදනාවක් ඉදිරිපත් නොකර, නඩු පැවරීමකින් තොරව රඳවාගෙන සිට නිදහස් කරන ලද බවත් කියූ ජනාධිපතිවරයා මෙය හොඳ තත්ත්වයක් නොවන බව කීය. 2015 සිට මේ දක්වා වසර තුනක් ගතවී ඇතත් කිසිම ආරක්ෂක හමුදා නිලධාරියකුට එරෙහිව නඩු පවරා නැති අතර අත්අඩංගුවේ රඳවා තබාගෙන ඉඳ පසුව ඇප දී ඇතැයිද නාවික හමුදාවේ දසනායකද මේ ඉරණමට මුහුණ දුන් බවද ඔහු සඳහන් කළේය. මෙය හොඳ තත්ත්වයක් නොවන බව කියූ ජනාධිපතිවරයා සී.අයි.ඩී.යට, පොලිස්පතිට, නීතිපතිට කොතරම් මේ ගැන කිව්වත් පළක් නොවූ බවත් රණවිරැ දඩයම යන චෝදනාව ආණ්ඩුවට එල්ල වන්නේ මේ කරැණු නිසා බවත් කීය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි ලෙස දොස් පැවරීය.
මේ හැර ලසන්ත ඝාතනය, කීත් නොයාර් සිද්ධිය සහ එක්නැලිගොඩ අතුරුදන් කිරීම වැනි ආන්දෝලනයට ලක්වූ සිදුවීම් සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතියක් නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙරට හොඳ විනයගරුක අභිමානවත් හමුදාවක් සිටියදී සමහරැන් නින්දෙන් නැගිට්ටා වාගේ චෝදනා එල්ල කරන බවත් හමුදාව ප්‍රතිසංවිධානය කිරීම ආරක්ෂාව අඩු කිරීමක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ සමහරැන් හමුදාවේ සිටි කාලයේ පටන් සිතේ තබාගෙන සිටින කුහකකම් දැන් එළියට දමා බව ප්‍රකාශ කරමිනි. සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධුරයේ වගකීම් දැරීමට හැකියාවක් තිබේදැයි තීරණය කළ යුතුව ඇතැයිද ජනපති කීය. කැබිනට් සාමූහික වගකීම පිළිබඳව සෑම ඇමැතිවරයකුම දැන සිටිය යුතු බවද ඔහු සඳහන් කළේය.
තැන තැන සෙට් වෙන මන්ත්‍රීලා
මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගේ ක්‍රියාකලාපය පිළිබඳවද සඳහන් කළේ ඔවුන් වැඩි දෙනකු පාර්ලිමේන්තු රුස්වීම්වලට සහභාගී නොවීමත් පාර්ලිමේන්තු පුස්තකාලය පරිහරණය නොකිරීමත් ගැන කනස්සල්ල පළ කරමිනි. ජනාධිපතිවරයා මෙසේද කීවේය.
මේ සමහර මන්ත්‍රීවරැ ගෙවල්වලට කියලා එනවා අපි පාර්ලිමේන්තු යනවා කියලා. එහෙම ඇවිල්ලා වෙන වෙන තැන්වලදී වෙන වෙන කට්ටිය එක්ක සෙට් වෙනවා. හැබැයි දීමනා ටික නම් ඔක්කොම ගන්නවා.