ඉන්දියාවේ මෝදි අගමැති හැටියට ලංකාවට මුලින්ම ආවේ 2015 මාර්තු මාසේ 15 වැනිදාය. ඒ වනවිට යහපාලන ආණ්ඩුව පිහිටුවා ගත වී තිබුණේ මාස දෙකක් පමණ කාලයකි. මෝදි ලංකාවට එන්න ඔන්න මෙන්න කියා තිබියදී මහින්ද හොංකොං මූලික කරගත් සවුත් චයිනා මෝනිං පෝස්ට් සහ ඉන්දියාවේ ද හින්දු පුවත්පත්වලට සාකච්ඡාවක් ලබා දුන්නේය. මාර්තු 13 වැනිදා පළ වූ එම සාකච්ඡාවේදී මහින්ද ඉන්දියාවට සැරටම දෙහි කැපුවේ තමාගේ පරාජය පිටුපස ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සිටින බවට බරපතළ චෝදනාවක් කරමිනි. ඔහු මෙසේ කියා තිබුණි.
මගේ පරාජය පිටුපස්සේ ඉන්දියාවේ රෝ එක හිටි බව හැමෝම දන්න දෙයක්. ඉන්දියාව පමණක් නෙවෙයි. අමෙරිකාව, නෝර්වේ, යුරෝපය පවා හිටියා. ඉන්දියාවේ රෝ එක මා පරාජය කිරීමට මෙහෙම වැඩ කළේ ඇයි කියලා මම දන්නේ නෑ. අපේ භූමිය තුළ පිටස්තර රටවලට මේ ආකාරයට ඇඟිලි ගැසීමට ඉඩ ලැබුණේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්.
ඉන්දියාව ගැන එදා සවුත් චයිනා පුවත්පතට සහ ද හින්දු පුවත්පතට එහෙම කියපු මහින්ද මෙදා ඉන්දියාවට ගොස් හින්දු පත්‍රයට කියන්නේ මෙහෙමය.
2015 ජනාධිපතිවරණයට පෙරත් පසුවත් අප අතර බොහෝ වැරදි වැටහීම් ඇති වුණා. ඇත්ත වශයෙන්ම ඉදිරියට යාමට කාලය ඇවිත්.
එය ඉන්දියාව ගැන පමණක් නොවෙයි. මා එහිදී ඉන්දියාව ගැන පමණක් සඳහන් කළේ නැහැ. කවුරැවත් කාගෙවත් මැතිවරණවලට මැදිහත් නොවිය යුතුයි. එය රටක අභ්‍යන්තර කරුණක්. බලයට පැමිණිය යුත්තේ කවුදැයි කියලා ජනතාව තමයි තීරණය කරන්නේ. එයයි මගේ ඔළුවේ තිබුණේ.
මහින්ද මෙවර ඉන්දියාවට ගියේ රාජ්‍ය නායකයා වශයෙන් නොවුණ ද ඔහුට ඉන්දීය අගමැති මෝදි සමඟ සුහද පිළිසඳරක යෙදීමටත් ඡායාරෑප ගැනීමටත් අවස්ථාවක් ලැබුණි. (එහිදී සාකච්ඡා වූ කරැණු &පොලිටිකල් රහස් තීරයේ පළවෙයි.)
කොහොම වුණත් 2015දී ඡන්දය පරාජය වූ ගමන් මහින්ද සවුත් චයිනා මෝනිං පෝස්ට් සහ හින්දු පුවත්පත්වලට කියූ ජාත්‍යන්තර දේශපාලනයට අදාළ කාරණාව දැන් ආපසු කරකවා තිබෙන බව පැහැදිලිය. තමන්ගේ පරාජයට ඉන්දියාවේ රෝ ආයතනය වගකිව යුතු බව ද එදා කිව් මහින්ද අද ඉන්දියාවට කියන්නේ වැරදි වැටහීම් නැතිකර ගනිමු කියාය. මහින්ද මේ නොකියා කියන්නේ ඊළඟට තිබෙන ජනාධිපතිවරණයේදී තමන්ට ඉන්දියාවේ සහාය අවශ්‍ය බවද? ඉන්දියාවේ සහාය නැතිව මේ රටේ රාජ්‍ය නායකයා වීම අසීරු යැයි පිළිගන්නා බවද? ප්‍රශ්න බරපතළ වුණත් මහින්දගේ දේශපාලනයට ඒවා අදාළ නැත. ඔහුට අවශ්‍ය වී තිබුණේ ඔහුට හිතවත් ඉන්දීය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි විසින් කරන ලද ආරාධනාව ඉන්දියාවේ අගමැති නිල නිවෙස දක්වා දිගු කර ගැනීමය. එම ඉලක්කය මහින්ද ජය ගත්තේය. මෝදි සමඟ තමාත් තම පුත් නාමල් රාජපක්ෂත් ගන්නා ලද ඡායාරූප දැන් රටේ කතාබහට ලක් වෙමින් තිබේ. මහින්දට අවශ්‍ය වුණේ මීළඟ ජනාධිපතිවරණයේදී ඉන්දියාව තමන්ට එරෙහිව නොයන බවට පණිවුඩයක් මේ රටේ දකුණේ සහ උතුරේ ජනතාවට ලබාදීම නම් එය ඉටු වී තිබේ. හැබැයි ඒ පණිවුඩය එක්කම මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා රාජපක්ෂ කෙනකුම බවට දුන් පණිවුඩය බූමරංගයක් බවට පත්වෙන ලකුණු පහළ වෙමින් තිබේ.
එහිදී හින්දු පුවත්පත ඇසූ ප්‍රශ්නයත් ඊට මහින්ද ලබාදුන් පිළිතුරත් මෙසේය.
මීළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔබේ පවුලේ අයෙක්ද? නැතිනම් ඔබ වෙනත් අයෙක් සලකා බලනවද?
19 වැනි සංශෝධනය තිබුණත් මට ඉදිරිපත් වෙන්නත් පුළුවන් කියා මතයකුත් තිබෙනවා. එය අධිකරණයේදී අභියෝගයට ලක්කළ හැකි බවටත් මතයක් තිබෙනවා. එම අවදානමට මුහුණ දෙනවාද යන්න මා තීරණය කළ යුතුයි. මගේ පුතා නාමල් රාජපක්ෂට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්න බැහැ. අවම වයස 35ක් කරලා නිසා. කලින් එය 30යි.
ඒ නිසා 2019දී ඔහු සලකා බලන්න බැහැ. මගේ සහෝදරයකු නිසැකයෙන්ම තරගකරැවෙක්. එහෙත් ජනතාවට අවශ්‍ය කවුද කියලා පක්ෂය සහ සන්ධානය තීරණය කළ යුතුයි.
මහින්ද කියන කතාව අනුව මීළඟ ජනාධිපතිවරණයේදී ඔහුගේ තේරීම වන්නේ රාජපක්ෂ කෙනෙකු පමණි. මහින්ද නැත්නම් ගෝඨාභය හෝ චමල් විය යුතුය. බැසිල් තම අමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සූදානම් නැති හෙයිනි. මේ අනුව තමන්ට නව පක්ෂයක් තිබෙන බවත් එම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපතිවරණයට ඉදිරිපත්වන බවත් මහින්ද ඉන්දියාවේදී කෙළින්ම කිව්වේ තම සොහොයුරෙකු එහි ජනාධිපති අපේක්ෂකයාද වන බව හෙළිකරමිනි. ලංකාවේදී කෙළින්ම කියන්න අකැමැති වූ තම සොහොයුරකුගේ ආගමනය ගැන කියන්න මහින්ද ඉන්දියාවම තෝරාගත්තේ ඇයිදැයි එකවරම තේරැම් ගැනීම අපහසු වුණත් එය ඉන්දියාවේ ඉඳන් ලංකාවට මුට්ටිය දමා බැලීමක් වීමට බොහෝදුරට ඉඩ තිබේ.
මුට්ටිය දැමිල්ලක් නම් ඒ මුට්ටියට කුමාර වෙල්ගම දෑත බදා පහරක් දී එය කුඩු කර දමා තිබේ. පෞද්ගලික රේඩියෝ චැනලයකට වොයිස් කට් එකක් දෙමින් වෙල්ගම කිව්වේ මෙහෙමය.
“පවුල් වාදය පක්ෂයකට රටකට සුදුසු නැහැ. මහින්ද මහත්තයා 2015 දී ජනාධිපතිවරණයෙන් පැරුදුණෙත් පවුල් වාදය නිසයි. ඔහු පවුලේ සාමාජිකයන්ට වෙනම සැලකුවා. දේශපාලන පක්ෂයක් පවුලකට විතරක් සීමා කරන්න බැහැ. එහෙම කරන්න ගිහිල්ලා පහුගිය ජනාධිපතිවරණයෙදී ඇමැතිවරැන් වැඩ කළේ අනෙක් පැත්තට. මහින්ද මහත්තයට වැඩ කරපු අයත් යටින් අනික් පැත්තට වැඩ කළා. පැරැදුණේ ඒ නිසයි. ප්‍රේමදාසට, ජේ.ආර්. නිකම් දුන්නේ නෑ ගත්තා. චන්ද්‍රිකා මහින්දට නිකම් දුන්නේ නෑ ගත්තා. සිරිසේන මහත්තයා එහාට ගියේ එයාට පක්ෂය තුළ නිසි තැන නුදුන් නිසයි. මම දැඩිව මේ ප්‍රකාශය හෙළා දකිනවා. තවත් සිරිසේන කෙනෙක් බිහි කරන්න හදනවද කියන ප්‍රශ්නයක් තියෙනවා.
දැන් මහින්ද මහත්තයා ඉන්නවා. පුතා නාමල් ඉන්නවා. හුඟක් හොඳයි. මම ඉන්නවා. මගේ පුතත් ඉන්නවා. ඒකත් හොඳයි. දැන් චමල් ඉන්නවා. ඒකත් ඉතාම හොඳයි. හැබැයි පක්ෂයක් කියන්නේ පවුලකට නොවෙයි. මේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්න බව කවුරැත් දන්නවා.
මේ ප්‍රකාශය දේශපාලන වශයෙන් මහින්දගේ මතයට කෙළින්ම එරෙහිව යන්නකි. වෙල්ගම විරුද්ධවන්නේ මහින්දගේ නායකත්වයට නොව රාජපක්ෂවරුන් පමණක් පක්ෂයේ නායකයෝ විය යුතුය යන අදහසට බව පැහැදිලිය. මහින්දට මේ බව තවමත් වැටහී නැතැයි කියා යමකු සිතනවා නම් එය ලොකු වැරදීමකි. එසේම මේ වගේ කතා කිව්වත් අන්තිමට මේ ඔක්කොම තමා කියන අපේක්ෂකයාට සහාය දෙනු ඇතැයි කියා මහින්ද හිතනවා නම් එයත් ලොකු වැරදීමකි.
මහින්දගේ කතාවට හරියක් දැම්මේ උදය ගම්මන්පිල පමණක් වීමද මෙහිදී කැපී පෙනෙයි. උදය ගම්මන්පිල කියා තිබුණේ රාජපක්ෂ සොහොයුරකු ජනාධිපතිවරණයේ අපේෂකයා වශයෙන් නම් කරනු ලැබීම බලාපොරොත්තු ඉටුවීමක් බවය. එහෙම වුණත් ඒකාබද්ධයේ හෝ පොදුජන පෙරමුණේ හෝ වෙනත් කිසිදු ජ්‍යෙෂ්ඨයකු මේ සම්බන්ධව අදහසක් පළ කිරීමෙන් වැළකී සිටීම අළු යට ගින්නක් වීමටද ඉඩ තිබේ. මේ අළුයට ගිනි පුපුරු එකට එකතු වී ගිනි මැලයක් වීමට පෙර මහින්ද කිසියම් පියවරක් ගත යුතු බව දැනට පේන්න තිබෙන තත්ත්වයයි. ගෝඨාභයගේ පැමිණීමට මුලසිටම අකැමැත්ත පළකළ වාසුදේව කියා තිබුණේ මහින්ද මහතා මේ කියන්නේ චමල් රාජපක්ෂ ගැන කියාය. එය “සිත නිවන කතාවක්* පමණක් බව පැහැදිලිය.
අවසානයේ පේන්න තිබෙන්නේ මහින්දගේ ඉන්දියා ගමන ජාත්‍යන්තර ප්‍රශ්නවලට පිළිතුරක් විය හැකි නමුත් ඇතුළේ ප්‍රශ්න අවුල් කර දැමූ බවය. හරියට කිව්වොත් 2015 ප්‍රශ්නයම යළිත් මතුවෙමින් තිබෙන බවය. රාජපක්ෂ පවුලේ බල පරාක්‍රමය හේතුවෙන් ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රධාන ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයෙන් කැඩීගොස් පොදු අපේක්ෂකයා වී ජනාධිපතිවරණය ද ජයගත් බව වෙල්ගම කියන්නේ නිකම් කට කහනවාට නොවන බව පැහැදිලිය. ඔහු තනි අශ්වයකු නොවන බවද ඔහුගේ සහායට තවත් පිරිසක් පැමිණීමට ඉඩ ඇති බවද පැහැදිලිය. මහින්ද 2015 දී කළ වැරුද්දම 2019 දීත් කරන්නේ නම් යළිත් “සිරිසේන” කෙනෙකු බිහිවීමටත් බැරි නැත. ඒ “සිරිසේන* වෙල්ගම දැයි කියන්න තවම වේලාසන වැඩිය.
ශශීන්ද්‍ර