රුපියල ගැන මංගලගේ අනතුරු ඇඟවීම
පසුගිය දින කිහිපය තුළදී වාර්තාගත ලෙස පහත වැටුණු ශ්‍රී ලංකාවේ රුපියලේ අවප්‍රමාණය වීම පාලනය කරගැනීම සහ ආනයන වර්ධනය පමණ ඉක්මවා යාම වළක්වා ගැනීම මේ දක්වා සාර්ථක කරගෙන ඇතැයි රජය පවසයි. මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාට අනුව විවිධ ප්‍රමාණයේ අස්ථාවර ආර්ථිකයන් තිබෙන වෙනත් බොහොමයක් රටවලට වඩා ශ්‍රී ලංකාවට ඇත්තේ අඩු බලපෑමකි. එහෙත් ඉදිරියේදී රුපියල තවදුරටත් අවප්‍රමාණ වනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.
2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 18 වැනිදා දක්වා ශ්‍රී ලංකා රැපියලේ අවප්‍රමාණය වීමේ ප්‍රතිශතය 7.4%යි. මේ කාලසීමාව තුළදී ඉන්දියාවේ රැපියල 13.5%කින්ද පාකිස්තාන් රුපියල 12.1%කින්ද ඉන්දුනීසියානු රැපියා 9.5%කින්ද අවප්‍රමාණය වී තිබෙන අතර රුසියානු රූබලය 18.2%කින්ද බ්‍රසීල රියාල් 24.8%කින්ද පහළ බැස තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළදී තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
මංගල තවදුරටත් ප්‍රකාශ කළේ ඊටත් වඩා නරක අන්දමින් මුදල් ඒකකය අවප්‍රමාණය වූ රටවල්ද තිබෙන බවය. තුර්කියේ ලීරා 68%කින් සහ ආර්ජන්ටිනාවේ 112%කින්ද පහළ බැස තිබීම ඊට උදාහරණ වශයෙන් පෙන්වා දෙන මංගල ප්‍රකාශ කරන්නේ එම දෙරටම පසුගිය කාලයේ ගන්නා ලද වැරදි ආර්ථික තීන්දු හේතුවෙන් මේ ව්‍යසනයට මුහුණ දී ඇති බවය.
රැපියල අවප්‍රමාණය වීම ආර්ථිකයේ ඇදවැටීමක් ලෙස පෙන්නුම් කිරීමට උත්සාහ දරණ අයට පිළිතුරක් වශයෙන් මංගල පැවැසුවේ එය එසේ නම් අමෙරිකානු ඩොලරයකට තම රටේ මුදල් ඒකකය වන ඩොං 33,300ක් ගෙවන වියට්නාම් ආර්ථිකය මේ වනවිට සුනුවිසුණු වී තිබිය යුතු බවය. එහෙත් 2017 දී ඩොලර් බිලියන 36ක ආයෝජන ආකර්ෂණය කරගත් වියට්නාමය ඩොලර් බිලියන 250ක අපනයන ඉලක්කය සපුරාගත් බවත් ඉන්දුනීසියාවද දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 01ක ඉලක්කය සපුරාගත් බවත් ඔහු සඳහන් කළේය.
- ඩේලි එෆ්.ටී.
මහින්ද - මෝදි සහ කරු
කථානායක කරු ජයසූරිය මහතා දේශපාලන පක්ෂ දූත පිරිසක් කැටුව පසුගියදා ඉන්දියාවේ සංචාරයක යෙදුණු අවස්ථාවේ නවාතැන් ගෙන සිටියේ නවදිල්ලේ අශෝක් හෝටලයේය. රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වෙන් කෙරුණු කාමරයක නවාතැන් ගෙන සිටි කරැ ජයසූරියට දුරකථන ඇමැතුමක් ආවේය.
එම ඇමතුම ලැබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙනි. නවදිල්ලියේම පිහිටි මැරියට් එයරෝ සිටි හෝටලයේ නැවතී සිටි මහින්දගෙන් ලැබුණු ඇමතුමට කථානායකවරයා පිළිතුරු දීමෙන් පසුව ඇතිවූයේ සැහැල්ලු විනෝද කතාවලින් පිරි සංවාදයකි. කථානායක සහ ඔහු කැටුව ගිය දූත පිරිස එහි සිටියේ ඉන්දීය රජයේ අමුත්තන් වශයෙනි.
රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබුණේ පාලක භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි විසිනි. නවදිල්ලියේ රැඳී සිටි රාජපක්ෂ මහතා එහිදී දේශනයකටද සහභාගී විය. අගමැති මෝදි ද හමුවිය.
ඉන්දීය සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි රාජපක්ෂ මහතා විපක්ෂයේ තම සමීපතමයන්ට කියා තිබුණේ ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් අගමැති මෝදි හොඳින් දැනුවත්ව සිටින්නේ යැයි පෙනෙන බවය. වෙන්නෙ මොකක්ද කියලා මට ඔහුට කියන්න දෙයක් තිබුණෙ නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට ඔහු කීය.
සැහැල්ලුවෙන් සන්සුන් අයුරකින් සිටි අගමැති මෝදි කුමන දේශපාලන වෙනස්කම් තිබුණත් අපි තවමත් මිත්‍රයෝ යැයි ප්‍රකාශ කළ බවද කී රාජපක්ෂ මහතා ඉන් අනතුරැව හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසට හැරී ඉන්දියාව ඔබේ දෙවැනි නිවහනයි. ඕනෑම වෙලාවක ඔබව අපි පිළිගන්නවා. යැයි ප්‍රකාශ කළ බවද කීය. මහත් උනන්දුවකින් අගමැති මෝදි තමන් සමඟ කතා කළ බවද රාජපක්ෂ මහතා කීය.
- සන්ඩේ ටයිම්ස්
නීතිය හා සාමය අමාත්‍යංශය ජනපති යටතට ගන්නලු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිය හා සාමය අමාත්‍යංශය තමන් යටතට පවරා ගෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉවත්කළ යුතු යැයි ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙක් ප්‍රකාශ කරති.
පසුගිය බ්‍රහස්පතින්දා (20) කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මේ ප්‍රකාශය කළේ ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක සහ තිලංග සුමතිපාල මන්ත්‍රීවරුන් තිදෙනාය.
ඔවුන් ප්‍රකාශ කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ ජිවිත තර්ජනයක් එල්ල වී තිබෙන බවය. පොලිස් ඔත්තුකරැ නාමල් කුමාරගේ හෙළිදරව්වෙන් එය පැහැදිලි වන බවද ඔවුහු පැවසූහ.
එජාපයේ සහ රජයට සම්බන්ධ වී සිටින ශ්‍රීලනිප මන්ත්‍රීන් 23දෙනා මෙම කුමන්ත්‍රණය සැහැල්ලුවට බාරගෙන ඇති බවද ජාතික ආරක්ෂාවට සහ රටේ ප්‍රජාතාන්ත්‍රික පාලනයට මේ හේතුවෙන් තර්ජනයක් එල්ල වුවද මේ මන්ත්‍රීවරුන් පිරිස ඒ ගැන වචනයක්වත් කතා නොකරන බවද ඔවුහු ප්‍රකාශ කළහ.
මේ හේතූන් නිසා පොලිස්පති පූජිත් ජයසුන්දර ඉවත්කළ යුතු බවටත් ඩී.අයි.ජී. නාලක සිල්වා වහාම අත්අඩංගුවට ගත යුතු බවටත් ජනාධිපති සිරිසේන මහතා යටතට නීතිය හා සාමය අමාත්‍යංශය පවරාගත යුතු බවටත් තමන් දැඩිව ඉල්ලා සිටින බවද මේ මන්ත්‍රීවරු පැවසූහ.
- ඩේලි මිරර්