2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

රවීට එරෙහිව නඩුව සහ යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයෝ

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීම ඔහුගේ හිටපු ඇමැති සගයන් අතර කැළඹීමක් ඇතිකිරීමට සමත්ව තිබේ. මෙය එක්සත් ජාතික පක්ෂය ඇතුළේ අර්බුද යළි නැගිටීමක් ලෙස පෙනෙන්න තිබේ.

මේ අතුරින් සමහරක් දෙනාට ඔහුට එරෙහි චෝදනා ගොනුකිරීමේ වගකීම පැවැරෙන බවට පැතිරෙන කතාබහ මැද ජාත්‍යන්තර වෙළෙඳ සහ සංවර්ධන උපාය මාර්ග ඇමැති මලික් සමරවික්‍රම මහතා රවී කරැණානායක මහතාට දුරකතන ඇමතුමක් ලබාදුන් බව යූ.එන්.පී. ආරංචි මාර්ගයක් ප්‍රකාශ කළේය. චෝදනා ගොනු කිරීමට තමාගේ කිසිම සම්බන්ධයක් නැතැයි සහතික වන බව ඔහු එහිදී කියා තිබිණි.

අවස්ථා ගණනාවකදී උණුසුම් ලෙස බහින් බස් වූ දෙදෙනකු වශයෙන් කරුණානායක සහ සමරවික්‍රම මහත්වරැන් දෙදෙනාම ප්‍රසිද්ධව සිටිති.

කරුණානායක මහතාට කතා කළ තවත් එක් ඇමැතිවරයෙකු වූයේ මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතාය. ඔහුද හිටපු විදේශ ඇමැති (කළින් මුදල් ඇමැති) වරයාට සහතික වූයේ චෝදනා ගොනු කිරීමට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවය.

මීට පෙර වෙනත් අවස්ථාවකදී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී චෝදනාත්මක ප්‍රකාශ කළේ “හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන කාලය තුළදී 2000දී ඍණ ආර්ථිකයක් කරා රට මෙහෙයවූ පක්ෂග්‍රාහී ආර්ථික මෙහෙයවන්නන් කිහිපදෙනකු අද රට පාලනය කරන” බවයි. “වත්මන් රජය අමාරැවෙන් වර්ධනය කරගත් ආර්ථිකය පහසුවෙන්ම විනාශ කර දැමීමට ඔවුන්ට ඉඩදී තිබෙනවා.” යැයිද ඔහු කීය.

ඔහු නම් වශයෙන් නොකිව්වද එම ප්‍රකාශය වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර සම්බන්ධයෙන් කරන ලද බව පැහැදිලිය. ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් වත්මන් මුදල් අමාත්‍යංශයේ ක්‍රියාකාරීත්වය කරැණානායක මහතාගේ විවේචනයට හසුවී තිබේ.

හිටපු ඇමැති රවීට එරෙහිව මහබැංකු මගඩිය සම්බන්ධ විමර්ශන කොමිසමේදී චේතනාන්විතව බොරැ සාක්ෂි ලබාදුන් බවට චෝදනා එල්ල විය. කෙසේ වුවද ඉකුත් සතියේ සිකුරාදා ඒ මහතාට එරෙහි චෝදනා විභාග කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අත්හිටුවන ලදී.

- සන්ඩේ ටයිම්ස්

මාධ්‍ය නිදහසින් පහර කෑම ගැන අගමැති කියයි

“අප සියලු දෙනාම මාධ්‍ය නිදහසේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටියා. එය ශ්‍රී ලංකාව තුළ හොඳින්ම පෙනෙන සාධකය බවට පත්වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ කෙළින්ම හෝ වක්‍රව හෝ වඩාත්ම පරිභවයට ලක්වෙන්නේ මම වීමයි.”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහන කළේ පසුගිය බ්‍රහස්පතින්දා (27) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඇරැඹුණ මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ 20 වැනි සැමරැම් උත්සවයේ සමාරම්භක සැසියේදීය.
“මට කියන්න සිදුවෙනවා. පැරැණි ප්‍රංස කියමනක සඳහන් වෙනවා වාගේ... මට පරිභව කිරීම සඳහා ඔබට තිබෙන අයිතිය රැකදීමට මගේ අන්තිම ලේ බින්දුව දක්වා සටන් කරන බව.” යැයිද අගමැතිවරයා එම කතාවේදී සඳහන් කළේය.

පසුගිය කාලය තුළදී රටේ මාධ්‍ය නිදහස් අරගලය වෙනුවෙන් දිවිපිදූ මාධ්‍යවේදීන් සම්බන්ධව ද අගමැතිවරයා මෙහිදී සිහිපත් කළේය. “අපි ආපසු බැලුවොත් මෙතැන සිටින ඔබ බොහොම දෙනෙක් මාධ්‍ය නිදහස ස්ථාපිත කර ගැනීමේ මාර්ගයේ එකට ගමන් කළ අයයි. අප අතර දැන් නොසිටින කිහිපදෙනෙකු ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත පවා පරිත්‍යාග කළ අයයි.” යැයිද අගමැතිවරයා සඳහන් කළේය.

- ඩේලි එෆ්.ටී.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පසුබෑමක

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ 2018 ආර්ථික වර්ධන බලාපොරොත්තු තත්ත්වයෙන් පහත දමා තිබේ. ඔවුන් නිකුත් කළ අලුත් වාර්තාවේ 2018 දළදේශීය නිෂ්පාදිතය 4.2% සිට 3.8% දක්වා පහත දමා ඇති අතර 2017 දී වාර්තා වූ ආර්ථික වර්ධන වේගය 3%ක් විය. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යෝජනා කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය එකඟ වූ අතර ඊට අරමුදලේ සහාය ලබාදෙනු ලැබීය. වඩා ඉහළ තිරසාර ආර්ථික වර්ධනයක් එමගින් අපේක්ෂා කෙරිණි.

2019 වසර සඳහා ඉලක්ක ගතවූ 4.8%ක වර්ධන වේගය 4.5% දක්වා පහත දමා ඇති අතර එය උපමහද්වීපය තුළ ඇස්තමේන්තු ගත ආර්ථික වර්ධනයට වඩා පහළ අගයකි.

කෙසේ වුවද දකුණු ආසියාව තුළ ආර්ථික වර්ධන වේගයේ ගැම්ම 2018 දී 7%කත් 2019 දී 7.2%ත් රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

- ඩේලි එෆ්.ටී.