2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

සුප් එකේ ෂොක් එක

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 247

ලෝකයේ රාජ්‍ය නායකයන් හමුවී ආපසු ලංකාවට එන මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි කාලය මහත් තීරණාත්මක බව නොදැනෙනවා නම් පුදුමය. අනෙක් දේශපාලන ප්‍රශ්න කොහොම වුණත් එක්සත් ජාතීන්ගේ සමුළුවට යනවිට රුපියල් 165 තිබූ ඩොලරය ආපසු එනවිට රුපියල් 170ක් තරමට වැටී තිබේ. පසුගිය සති කිහිපය තුළදීම මේ වැටීම එකදිගට පෙනෙන්නට තිබුණු අතර එහි බලපෑම රටට තදින්ම දැනෙමින් තිබේ. දැනටමත් දේශපාලන කරළියේ උණුසුම් සටන් පාඨයක් බවට පත්ව තිබෙන රුපියල තව ටික දවසක් යනවිට ආණ්ඩුවට තදින් රිද්දන කසකාරයකු බවට පත්වෙන ලකුණු පහළ වෙමින් තිබේ.

ආසියාවේ හැම රටකටම සිදුවුණාක් මෙන්ම ශ්‍රී ලංකාවද සති 8ක පමණ කාලයක් තිස්සේ ඩොලරයේ පීඩනයෙන් හෙම්බත් වෙමින් සිටින බව යථාර්ථයයි. රුපියල මේ තරම් කඩාවැටීමට පෙර සිටම ආණ්ඩුව රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පොදු ජනතාවට අදාළ සියලුම භාණ්ඩවලට බදු වැඩිකිරීම හේතුවෙන් ඒවායේ මිල ඉහළ ගොස් තිබුණි. බඩු පමණක් නොව සේවාවලද මිල ගණන් වැඩිවිය. දුම්රිය ගාස්තු එයට අලුතින්ම එකතුවන සේවා ගාස්තු වැඩිවීමය. එහෙම තිබියදී රුපියල් තවදුරටත් අවප්‍රමාණ වෙමින් පැවැතීම රජයට මහත් හිසරදයක් වීම වැළැක්විය නොහැක. මේක නම් කොට්ටෙ මාරුකර සහනයක් ලබාගත හැකි හිසරදයකටත් එහා ගිය එකක් බව ආණ්ඩුව හොඳින් දැන සිටී.

ආණ්ඩුවේ උත්තරය සෑම ආසියානු රටක්ම මේ තත්ත්වයට මුහුණදී සිටින බවය. එහි සත්‍යයක් තිබුණද දකුණු ආසියාවේ වෙනත් රටවල් ඩොලරයේ පීඩනය දරාගැනීමට හැකිවන සේ රටේ ආර්ථිකය කාලයක සිට හැඩගස්වාගෙන සිටීමේ වාසිය ඔවුන්ට තිබෙන බව සැඟවිය නොහැකි කාරණාවය. වත්මන් රජය වසර තුනහමාරක් ගතවී තිබියදීත් රටේ ආර්ථිකයේ කැපී පෙනෙන වෙනසක් සිදුකිරීමට අපොහොසත් වීම ඩොලරයේ පීඩනය දරාගැනීමේ හැකියාව දැඩිව බාලකර තිබේ. කොටින්ම රට තුළට ඩොලර් ගලාගෙන එන ඍජු විදෙස් ආයෝජන ගෙන්වා ගැනීමට ආණ්ඩුවට නොහැකි විය.

ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සියල්ල ලබාදී තිබෙන බව රජය ප්‍රකාශ කළත් ඇතැම් ආයෝජකයන් ආපසු හැරී යන තරමට වැඩ සිද්ධවෙන බව යථාර්ථයයි. පසුගිය සතියේදී මේ පිළිබඳව රජයට දැඩි චෝදනාවක් එල්ල කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් මේ රටට ලැබීමට නියමිතව තිබූ ඩොලර් කෝටි ගණනක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් රජයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුගේ බලපෑම් හේතුවෙන් නොලැබී ගොස් ඇතැයි ප්‍රකාශ කර තිබුණි.

මේ කතාවේ සත්‍ය අසත්‍ය බව කෙසේ වුවත් මෙවැනි චෝදනා ගණනාවක් මීට පෙරද එල්ල විය. එහෙත් ඒ චෝදනා සම්බන්ධයෙන් ගත් පියවර ගැන දැනගන්නට නැත. විශේෂයෙන් විදේශ ආයෝජකයන් අධෛර්යමත් කරන වැඩපිළිවෙළකට තල්ලු වී සිටින මැති ඇමැතිවරුන් සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා එවැනි කටයුතු නවතා දැමීමට රජය පියවර ගැනීම අවශ්‍යය. විශ්වාසනීයත්වය නැති වී ගියවිට ආයෝජකයන් රටට එන්නේ නැත. අද ඩොලරයේ පීඩනය අපේ රටට මේ තරම් දැඩිව දැනෙන්නේ ඩොලර් හිඟකම හේතුවෙනි.

මහින්දගේ රජය කාලයේත් රුපියල වැටුණු බවට සමහරු තර්ක කරති. එය සැබෑවකි. හැබැයි ඒ කාලයේ ඩොලරයේ පීඩනය වැඩිවන විට එම රජය භාණ්ඩාගාරය, මහ බැංකුව හොඳින් කළමනාකරණය කර ගැනීමට සමත් වූ බව පෙනෙන්නට තිබිණි. ඩොලර් වෙළෙඳපොළට නිකුත් කර එම තත්ත්වය පාලනය කළ බවට චෝදනා නැගුණේය. එහෙත් දැනට වඩා විධිමත් ලෙස එදා තත්ත්වය පාලනය කළ බව පැහැදිලිය. ඊට ලෝක තත්ත්වයද බලපෑ නමුත් කෘෂි ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමේ වාසිය එදා ලංකාවට තිබුණේය. එහෙම වුණත්, ලෝකයේ ඩොලරයට මේ තරම් ඉල්ලුමක් නැතුව තිබියදීත් ඩොලර් වැයකරමින් කෘත්‍රිම ලෙස රඳවාගෙන තිබූ රැපියලේ අගය එම පාලනය අත්හළ වහාම කෙටි කලකින්ම ලොකු කඩා වැටීමකට ලක්විය. රුපියල් 112ක පමණ තිබූ ඩොලරය මාස දෙක තුනකදී රුපියල් 132 පමණ දක්වා වැඩිවිය. නමුත් ඒ අවස්ථාවේදී රටේ කෘෂි ආර්ථිකය ශක්තිමත් ලෙස පැවැතීමේ වාසියෙන් ආණ්ඩුව ජාම බේරාගත්තේය. එදා එහෙම කළා නම් අද බැරි ඇයි?

ඊට හේතුව අද මේ ආණ්ඩුව අරක්කැමියන් වැඩි වී සුප් එක නරක් වීමේ තත්ත්වයට පත් වී සිටීමය. මහින්දගේ කාලයේ මුදල්, ආරක්ෂාව, ආයෝජන ඇතුළු මේ හැම සුප් එකකටම සිටියේ එකම අරක්කැමියෙකි. ඒ මහින්දය. මහින්ද හදන සුප් ගැන කතාකරන්න ඒ දවස්වල කවුරුත් හිටියේ නැත. හැබැයි මහින්ද තමන්ගේ සුප් එක හදන්න සහායට කිහිප දෙනකුම එක්කරගෙන සිටියේය. බොහෝ දේවල්වල හරි වැරැද්ද, ටේස්ට් එක මහින්ද දැනගෙන සිටි නිසා ප්‍රශ්නයක් වූයේ නැත. මහින්ද තීන්දුවක් ගත්විට ඒ ගැන ප්‍රශ්න කරන්න කවුරුත් හිටියේ නැත. ඒ හැම තීන්දුවම හරියට හරි, නිවැරුදි තීන්දු නොවූ බව සැබෑවකි. එහෙත් මහින්ද අවුරුදු 10ක් රට පාලනය කළේ, යුද්ධය දිනුවේ, හැකි තරම් කාලයක් ආර්ථිකය අල්ලාගෙන ගියේ තමන්ගේම වට්ටෝරැවකට අනුව රටට හදාදුන් සුප් එකෙන් බව පැහැදිලිය.

යහපාලන ආණ්ඩුවට දැන් සිදුවී ඇත්තේ අරක්කැමියන් වැඩි වීම බව සමහර දේශපාලන විචාරකයන්ගේ අදහසය. එක් අයකුට ලුණු මදි වනවිට තව කෙනෙකුට ඇඹුල් මදිය. ලුණු, ඇඹුල් දෙකම තිබෙන විට තව කෙනකුට දිය ගතිය වැඩිය. මේ නිසා සිදුව ඇත්තේ රටට ගැලපෙන සුප් එකක් හදා ගැනීමට තවමත් අපොහොසත් වීමයි. බදු කතා, බඩු මිල කතා, රැපියලේ කතා, ආයෝජන කතා මේ ඔක්කොම කතාවලට හේතුව තීන්දු ගැනීමේදී ආණ්ඩුව තුළ ඒකමතික බවක් නොතිබීමය. සිංගප්පූරුව සමඟ ඇතිකරගත් වෙළෙඳ ගිවිසුම මෙයට හොඳම උදාහරණයකි.

සිංගප්පූරු-ශ්‍රී ලංකා ගිවිසුම දැන් ක්‍රියාත්මකව පවතින බව රජයේ එක් පාර්ශ්වයක් කියද්දී තවත් පාර්ශ්වයක් කියන්නේ එහෙම ගිවිසුමක් ගැන තමන් නොදන්නා බවය. ගිවිසුම ගැන සෙවීමට කමිටුවක් පත් කරන බවය. එහෙත් අනෙක් පාර්ශ්වය කියන්නේ දැන් එම ගිවිසුම ක්‍රියාත්මක බවය. මහින්දගේ ආණ්ඩුවත් රටවල් ගණනාවක් සමඟ ගිවිසුම් ගැසුවේය. චීන ජනාධිපති රටට පැමිණ ගැසූ ගිවිසුම් ඊට හොඳම උදාහරණයකි. එහිදී අත්සන් කළ ගිවිසුම් මොනවාදැයි ප්‍රශ්න කළ කිසිවකුත් එදා සිටියේ නැත. ඒවා අත්සන් කරන බව කිව්වේත් ඒවා අත්සන් කළේත් මහින්දය. එතැන සිටි එකම අරක්කැමියා මහින්ද නිසා සුප් එකට ප්‍රශ්නයක් වුණේ නැත.

යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිවෙන විට රටේ ජනතාව සිතන්නේ තමන්ගේ ආදායම් මාර්ග තරවෙනු ඇත කියාය. පෞද්ගලික අංශය සිතන්නේ තමන්ගේ බිස්නස් ටික ඉහළටම තල්ලුවෙනු ඇත කියාය. මේ දෙකම යහපාලන ආණ්ඩුව යටතේ සිද්ධ වූයේ නැත. අද ජනතාව සිටින්නේ ජීවන බරෙන් මිරිකෙමිනි. පෞද්ගලික අංශයේ බිස්නස් වල දියුණුවක් පෙනෙන්නට නැත. සමහර කුඩා ව්‍යාපාර වැසී යමින් පවතී. අලුත් ව්‍යාපාර මහා පරිමාණයේ ඇරුඹෙන බවක්ද නොපෙනේ. මේ හැම දෙයකම වගකීම ඩොලරය මතටත් අමෙරිකාව මතටත් දැමීම පමණක් ප්‍රමාණවත් නැත. ආර්ථික සුප් එක හරියට හදාගැනීමට තවමත් ආණ්ඩුවට නොහැකි වී තිබෙන බව මේ හැමදෙයකින්ම පෙනී යයි.

හරියට බැලුවොත් අද ලංකාව සිටින්නේ බරපතළ ආර්ථික පිරිහීමකය. ආනයනය සහ අපනයනය අතර වැඩිවෙමින් පවතින පරතරය තවත් පුළුල් වෙමින් පවතී. මේ පීඩනය රුපියලට ඇතිකර තිබෙන බලපෑම කොතරම්ද කියනවා නම් රුපියල මේ සැප්තැම්බර් මාසය තුළ පමණක් 4.6%කින් අවප්‍රමාණ වී තිබේ. පසුගිය මාසයේ එය 1.2%ක් පමණි. මේ වසර තුළ මේ දක්වා වැටීමේ ප්‍රමාණය 10%ක් බව එක් ආර්ථික විශ්ලේෂකයකු පෙන්වා දී තිබිණි.

අප මුලින්ම සඳහන් කළ පරිදි අපනයනය සහ ඍජු විදෙස් ආයෝජන මත පදනම් වූ ආර්ථිකයක් හැකි ඉක්මණින් ගොඩනගා ගැනීම තුළින් හැර මේ ගැටලුවට වෙනත් විසඳුමක් නැත. ඒ සඳහා මුලින්ම පියවර ගත යුත්තේ ආණ්ඩුවයි. නමුත් පසුගිය වසර තුනහමාර තිස්සේම සිදුකළ ආකාරයට බඩ ගාගෙන යන අන්දමේ පියවර ගැනීමකින් නම් මේ ඉලක්කය ළඟා කරගැනීම අපහසු වනු ඇත. අඩුම තරමින් රැපියල කඩා වැටීම හෝ සැලකිල්ලට ගනිමින් ඉක්මන් තීරණ ගැනීමට ආණ්ඩුව තුළ පෙළඹීමක් තිබීම අවශ්‍යය. එවැනි ඉක්මන් වීමක් ආණ්ඩුව තුළින් නම් දැකගන්නට නැත.

මෛත්‍රීපාල සිරිසේන මහතා අමෙරිකාවේ සිට ඩොලර් මල්ලක් සහ මැලේසියාවේ ආයෝජන පොරොන්දු රැගෙන එන්නේ සුප් එක නරක් කරගත් අරක්කැමියන් සිටින රටකට බව බැලූ බැල්මට පෙනෙන සත්‍යයයි. මේ තත්ත්වය දැන් හෝ වෙනස් කරගෙන ජනතාව බලාපොරොත්තු වෙන ගමන යාමට ආණ්ඩුව සූදානම් නැත්නම් රටේ ජනතාව සුප් එක හරියට හදාගැනීමට අලුත් අරක්කැමියකු සොයාගැනීමට ඉඩ තිබේ.

 ශශීන්ද්‍ර