2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

යහපාලනයේ දත් ගැලවීම

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 166

මහින්දගේ ආණ්ඩුවේ පී.බී. ජයසුන්දර ප්‍රබල චරිතයක් විය. භාණ්ඩාර ලේකම් වශයෙන් කටයුතු කළ පී.බී. මහින්දගේ සමීපතම උපදේශකයකු වූ අතර ආණ්ඩුවේ ආර්ථිකය හැසිරවීමේ ඉදිරියෙන්ම සිටි නිලධාරියා විය. ආණ්ඩු වෙනසින් පසුව කුරුණෑගල තම ගම් ප්‍රදේශයේ වගා ව්‍යාපාරයක් කරමින් ජාත්‍යන්තර බැංකුවක උපදේශක පදවියක් දරමින් සිටි පී.බී.ට පසුගිය දවසක මහින්දගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. කොළඹට පැමිණ තමා හමුවන්නැයි මහින්ද පී.බී. ගෙන් කළ ඉල්ලීම විය.

තමා හමුවීමට ආ පී.බී. සමඟ මහින්ද පැය එකහමාරක් පමණ කතා කළේය. එම කතාබහවල ප්‍රධානම මාතෘකාව වූයේ ආණ්ඩුව ගත්තොත් කරගෙන යන්න පුළුවන්ද යන කාරණාවයි. මෙහෙම කතාවකට මගපෑදුණේ පසුගිය සති දෙක තුන තුළදී රට තුළ පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ බල පෙරළියක් සිදුකර ආණ්ඩුව බාරගන්නැයි මහින්දට දිගින් දිගටම එල්ල වෙන බලපෑමය. ශ්‍රීලනිප ඇතුළු පොහොට්ටුවට සම්බන්ධ සෙසු නායකයන් පිරිසකගෙන් මහින්දට ආණ්ඩුව බාරගන්නා ලෙසට බලපෑම් එල්ල වෙමින් තිබුණි.

හැබැයි පී.බී.ගේ උපදේශය වී තිබුණේ මේ අවස්ථාවේදී රජය බාරගෙන කරගෙන යාම අපහසු බවය. පවතින වාතාවරණය හමුවේ තමාට දිය හැකි පිළිතුර බැහැ යන්න බව පී.බී. කියා තිබුණි. නමුත් මහින්ද ඒ ගැන කොහොම හිතනවාද කියා බැලිය යුත්තේ ආර්ථික කෝණයකින් නොව දේශපාලන කෝණයෙනි. දේශපාලන මහින්ද නම් ආණ්ඩුව අතට ගත්තොත් එය කරන්න බැහැ කියා දමා යන පුද්ගලයකු නොවන බව රටේ නොදන්නා කෙනකු නැත.

මහින්දට ආණ්ඩුව ගන්නවා නම් සැලැස්මක් තිබිය යුතුය. මේ සැලැස්ම හැදීම සිදු කෙරෙන්නේ බැසිල් අතිනි. බැසිල් ශ්‍රීලනිපය අමතක කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා අත වෙනුවට පොහොට්ටුව හඳුන්වා දී මහින්දට සැලැස්ම හදා දුන්නේය. ආණ්ඩුවත් හොල්ලමින් පුංචි ඡන්දයෙන් අලුත් පක්ෂය ගත්ත ගැම්ම පෙන්වා දුන්නේ අවස්ථාවක් ආවොත් ජනමතය සූදානම් බවය. එහෙම ජනමතය හැදූ බැසිල් නැතිව මහින්ද දේශපාලන තීන්දුවක් නොගන්නා බව පැහැදිලිය. මේ වාතාවරණය මෙහෙම හැදෙද්දී බැසිල් නියමිත දිනට කලින්ම ලංකාවට ආපු හේතුව සිතා ගැනීම අපහසු නැත. හේතුව කුමක් වුණත් දැන් තැටිය රත්වෙමින් තිබෙන බවට ලකුණු පහළවෙමින් තිබීම ඊට හේතුවයි. ඒක තහවුරු වුණේ පසුගිය බදාදා රාත්‍රියේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂත් අතර සිදුවූ රහසිගත හමුවත් සමඟය.

මේ හමුවට මගපෑදුණේ බැසිල් ආපසු පැමිණීමෙන් පසුව බව පැහැදිලිය. මේ අනුව ඔහු මෙරටට කලින්ම ආවේ මහින්දගේ ඉල්ලීමක් පරිදි වීමට හොඳටම ඉඩ තිබේ. පොලිස්පති සම්බන්ධව ආණ්ඩුව ඇතුළේ පත්තු වී තිබෙන ආරවුල දිගින් දිගටම ඇදී යන තත්ත්වය තුළ ජනාධිපතිවරයා ආණ්ඩුවේ අගමැතිට වඩා හිටපු ජනාධිපතිවරයාට සමීප වී සිටීම වඩාත් යහපත් යැයි සිතුවා වන්නට ඇත. බැසිල් තනිව හමුවීමට දැරූ වෑයම හරි නොගිය තැන මහින්දත් බැසිලුත් දෙදෙනාම හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වීම පැහැදිලිවම මේ රටේ ඉදිරි දේශපාලන කරළිය තුළ මහා පෙරළියක් සිදුවීමේ පෙරනිමිත්තකි. සාකච්ඡාවේ වැඩි විස්තර එළියට නොපැමිණියද මේ තිදෙනා හමුවූයේ ආගිය තොරතුරු කතාකොට විසිර යාමට නොවන බව සහතිකය. විස්තර එළියට එනවිට ප්‍රතිඵලයක් දෙකක් නිකුත් වී තිබීමටත් ඇත්තේ ලොකු ඉඩකඩකි.

මේ සාකච්ඡාව සිදුවෙන්නේ අගමැති රනිල් රටින් පිටව සිටින අවස්ථාවකදීය. සිතාමතා මෙවැනි දිනයක් යොදා ගත්තාදැයි කියන්න දන්නේ නැත. එහෙත් මහින්ද හමුවීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව පසුගිය සතිය පුරා කතාබහට ලක්වූ මාතෘකාවක් විය. එය අගමැති රනිලුත් හොඳින් දැන සිටින්නට ඇත. ආණ්ඩුව ඇතුළත තිබෙන තත්ත්වය අනුව මහින්දත්, ජනපතිත් අතර ඇතිවන්නට යන සම්බන්ධතාව ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට ලොකු බලපෑමක් සිදුකරනු ඇති බවට අගමැතිට නොදැනුණා නම් පුදුමය.

කෙසේ වුවත් පසුගිය දිනවල වූ සිදුවීම් සියල්ලම යහපාලන ආණ්ඩුවේ පැවැත්ම අභියෝගයට ලක්කළ ඒවා පෙනෙන්නට තිබේ. ආසන්නම සිදුවීම වන ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් යූ.එන්.පී. මන්ත්‍රී කණ්ඩායම දක්වන උදාසීන ප්‍රතිචාරය ජනාධිපතිගේ බලවත් උදහසට ලක් වී තිබෙන බව පැහැදිලිය. අවස්ථා ගණනාවකදී මේ කුමන්ත්‍රණ කතාව සම්බන්ධයෙන් නම ගෑවුණු ඩී.අයි.ජී. නාලක සිල්වා පොලිස්පතිගේ සමීපතමයකු බව සඳහන් වුවද යූ.එන්.පී. මැති ඇමැතිවරුන් විසින් දිගින් දිගටම පොලිස්පති ආරක්ෂා කරනු ලැබීම ජනපතිගේ විරෝධයට ලක්වී තිබේ. පොලිස්පතිගේ ඇතැම් චර්යාවන් විවේචනය කරන යූ.එන්.පී. ඇමැතිවරැන් සැමවිටම කියන්නේ යම් යම් ගැටලු තිබුණත් පොලිස්පතිවරයා තමන්ගේ රාජකාරිය හොඳින් ඉටුකරන නිලධාරියකු බවය. පසුගියදා පුත්තලමේදී පැවැති උත්සවයකදී පොලිස්පතිගේ රාජකාරිවලට යම් සහතිකයක් ලබා දුන්නද ඉන්පසුව පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පොලිස්පති යනු ජෝකරයකු බවය. පසුව පැතිර ගිය කතාව වූයේ පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවනු ඇති බවය. ඊටපසුව ඔහුට විශ්‍රාම ගන්නැයි යෝජනා කෙරුණ බවත් ප්‍රකාශ විය. එහෙත් පොලිස්පතිවරයා මේ කිසිවකටත් ප්‍රතිචාර දක්වන්නේ නැත. එසේ නොකරන හේතුව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත.

කොහොම වුණත් පොලිස්පතිගේ ක්‍රියාකලාපය විසින් යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමනට නැංගුරමක් දමා තිබේ. මෙරට දේශපාලන ඉතිහාසයේ ආණ්ඩුවක් ඇතුළත නිලධාරියකු නිසා මේ ආකාරයට බෙදී ගිය අවස්ථාවක් දැකගන්නට නැත. ඇතැම් දේශපාලන විචාරකයකුගේ අදහස වී තිබෙන්නේ පොලිස්පතිගේ ක්‍රියාකලාපය රඟපෑමක් බවත් ඒ හරහා ආණ්ඩුවේ ප්‍රශ්න මහජනතාවට අමතක වී පොලිස්පති මාතෘකාවක් බවට පත්වී ඇති බවත්ය. නමුත් මෙය කෙලින්ම පිළිගැනිමට නොහැකි තත්ත්වයකි. එසේ වුවත් ආණ්ඩුව ඇතුළත කිසියම් විරසක බවක් ඇති කිරීමට පොලිස්පති යොදවා ගත්තාදැයි යන සැකයද බැහැර කළ නොහැක. මේ කාරණා කෙසේ වුවත් ජනාධිපතිවරයා තවදුරටත් පොලිස්පති සේවයේ තබා ගැනීමට කිසිදු කැමැත්තක් නොදක්වන බව පෙනෙන්නට තිබෙන සත්‍යයයි. අගමැති ප්‍රමුඛ යූ.එන්.පී. පාර්ශ්වය පොලිස්පතිගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිප පාර්ශ්වය පොලිස්පති ජෝකරයකු ලෙස හඳුන්වා දීමෙන් මේ බව පැහැදිලි වෙයි.

ජනාධිපතිවරයාගෙන් ලැබුණු පණිවුඩවලට පිළිතුරු දීම මගහැර සිටි මහින්ද ජනාධිපති හමුවීමට තීරණය කරන්නේ මේ පසුබිමේය. ඒ තීන්දුව සමඟ මෙතෙක් රජයේ පාර්ශ්වයක්ව සිටි ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ගැලවීමට තිබෙන ඉඩකඩ තවදුරටත් පුළුල් කර තිබේ. කොහොමත් ආණ්ඩුව එපා වී එහෙත් ජනාධිපතිවරයා අතහැර යාමට අකැමැතිව සිටින 23 දෙනකුගෙන් යුත් මේ මැති ඇමැති කණ්ඩායම ඉදිරියේදී තම අනාගතය පිළිබඳ තීරණයකට එළඹුණොත් එය නිසැකවම ආණ්ඩුවේ පැවැත්මට ඇති කරන්නේ ලොකු බලපෑමකි.

දැනට තිබෙන සංයුතිය අනුව මහින්දට සහ ජනාධිපතිට පාලනය කළ හැකි මන්ත්‍රීන් සංඛ්‍යාව 96 දෙනෙකි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ බලය හුවමාරුවකට අවශ්‍ය වන්නේ 17 දෙනකු පමණි. මෙහිදී මෙතෙක් අවශ්‍ය අවස්ථාවලදී රජයට සහාය දැක්වීමේ භූමිකාවක් ඉටුකළ ජවිපෙ දේශපාලන වශයෙන් කිසියම් නිහඬ බවක ගිලී සිටින බවද පෙනෙන්නට තිබේ. ඔවුන් ඊළඟට සිදුකිරීමට සැලසුම් කරන්නේ ආණ්ඩු විරෝධී ජනරුල්ලක් ඇති කිරීමටය. ඒ සඳහා රැස්වීම් ගණනාවක් පැවැත්වීමටද තීරණය කෙරැණු බවද සඳහන් විය. ශ්‍රීලනිපය ඉවත් වන තත්ත්වය හමුවේ ජවිපෙත් පාර්ලිමේන්තුව තුළ නිහඬ වුවහොත් ආණ්ඩුව පවත්වාගෙන යාමට සිදුවන්නේ යූ.එන්.පී. කණ්ඩායමේ 106 දෙනා සමගිනි. එවැනි සුළුතර ආණ්ඩුවක් නොවැටී බේරා ගැනීමට නම් ඔවුන් යැපිය යුත්තේ ටී.එන්.ඒ. මන්ත්‍රී කණ්ඩායමෙනි. එය කොතරම් දුරට ප්‍රායෝගික වනු ඇතිදැයි කල්තබා කීම අපහසුය.

යූ.එන්.පී. පාර්ශ්වය දිගින් දිගටම කියන්නේ තනිවම ආණ්ඩුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය බවය. තමන් කුමක් කරන්න හැදුවත් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම කකුලෙන් අදින බව ඔවුන්ගේ අදහස වී තිබේ. නමුත් ශ්‍රීලනිප පාර්ශ්වය කියන්නේ තමන් විරැද්ධ වන්නේ රටට අහිතකර යෝජනා සම්බන්ධයෙන් පමණක් බවය. මේ සියලු ගැටලු අතර ප්‍රධානම ගැටලුව වන රටේ ආර්ථිකයේ පිරිහීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය කෙළින්ම චෝදනා කරන්නේ යූ.එන්.පී.යටය. පසුගියදා මහින්ද සමරසිංහ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ රටේ සියලු ආර්ථික ප්‍රතිපත්ති තීන්දු තීරණ ගන්නේ අගමැතිවරයා ප්‍රමුඛ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව මගින් බවය. පසුගිය වසර තුන තිස්සේම ජනාධිතිවරයා එම තීරණවල ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවද ඇමැතිවරයා කියා තිබුණි. මේ අනුව රටේ සියලු ආර්ථික ප්‍රශ්නවල වගකීම ආණ්ඩුවට නොව ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වයට ශ්‍රීලනිපය විසින් පවරන බව පැහැදිලිය.

මෛත්‍රීපාල ජනාධිපතිවරයාත් මහින්ද හිටපු ජනාධිපතිවරයාත් බැසිල්ද සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට ඇති බවට සැකයක් නැත. ආර්ථිකය මේ තරම් පල්ලමට වැටී නොතිබුණා නම් සමහර විට මේ හමුව මේ තරම් ඉක්මනට සිදු නොවීමටත් ඉඩ තිබුණි. පී.බී. ජයසුන්දර විසින් ලබාදෙන ලද උපදෙස්ද මහින්ද සාකච්ඡාවට එක් කරගන්නට ඇති බවත් එහිදී ආර්ථික තීන්දුවලට වඩා දේශපාලන තීන්දුවලට වැඩි තැනක් ලැබෙන්නට ඇති බවත් උපකල්පනය කළ හැකිය.

අගමැති රනිල් එතෙර ගොස් ආපසු ඇවිත් යළි විදෙස් ගතවීමට නියමිතය. අමෙරිකා ගොස් ආපසු ආ ජනාධිපතිවරයාද ලබන සතියේ දින කිහිපයකට විදෙස්ගත වෙයි. මහින්ද නම් ඉන්නේ ලංකාවට වෙලාය. හැබැයි රට යන නායකයන් දෙදෙනාම ගන්නා තීන්දු තීරණවලට වඩා මේ දවස්වල රටම ඇහැ ගහගෙන ඉන්නේ මහින්ද ගන්නා තීන්දුව දිහා බව නම් සහතිකය.

 ශශීන්ද්‍ර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00