2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

මණ්ඩලේ කචල්

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 262

මෛත්‍රීපාලත් රනිලුත් අතර වැඩි ඇයි හොඳැයියක් නැති බවට කතා පැතිරුණේ දැන් ටික කාලයක සිටය. එය වැඩිදියුණු වී දෙදෙනා අතර කතාබහක් සිදුනොවන තරමට වැඩේ දුරදිග ගියේ ඩී.අයි.ජී. නාලක සිල්වා වටේ ගෙතුණු ජනපති සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණ කතාව එළියට ඇදුණු අවස්ථාවේදී බව පැහැදිලිව පෙනුණි. ඝාතන කුමන්ත්‍රණ කතාව සම්බන්ධයෙන් රනිල්ගේ ප්‍රතිචාරය උදාසීන එකක් වීම මෛත්‍රීපාලගේ දැඩි නොකැමැත්තට හේතු වී තිබිණි. පොලිස්පතිවරයා ද ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අතසෝදා ගැනීමේ තැනකට තල්ලු වී සිටීමත් නීතිය හා සාමය අමාත්‍යංශය මගින් පොලිස්පතිවරයා හරිහැටි මෙහෙයවන්නේ නැති බවට කතා පැතිරීමත් තත්ත්වය වඩාත් බරපතළ තැනකට තල්ලු කළේය. අවසානයේ එක උත්සවයකට දෙදෙනා එකට නොපැමිණෙන තරමට වැඩේ අවුල් විය.

එහෙම තිබියදී පසුගිය බ්‍රහස්පතින්දා (11) මෛත්‍රීපාල සහ රනිල් එකට මුණගැසී සිනහමුසු මුහුණින් පිළිසඳරක යෙදෙන ඡායාරැප මාධ්‍යවල පළවිය. කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති ඉන්දියානු සාගරය - අපගේ අනාගතය නිර්වචනය කිරීම නමැති සමුළුව ඊට නිමිත්ත වී තිබිණි. මෛත්‍රීපාල ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම බාර වී තිබුණේ අගමැති රනිල්ටය. මේ සමුළුව පැවැත්වෙන්නේද රනිල්ගේ අදහසකට අනුව බව සඳහන්ව තිබුණි. ඉන්දීය සාගරය ආශ්‍රිත ගැටලු ගැන කතා කිරීමට වේදිකාවක් හදා ගැනීමට රනිල් හදිසියේම පෙළඹුණේ ඇයිදැයි පැහැදිලි නැත. එහෙත් මේ සමුළුව නායකයන් දෙදෙනා අතර තිබූ විරසකභාවය මඳක් තුනී කරන්නට හේතු වූ බව මතුපිටින් පෙනෙන්නට තිබිණි. එහෙම වුණත් අභ්‍යන්තරයේ තිබෙන තත්ත්වය අනුව නම් යහපාලන ආණ්ඩුව තව කොපමණ කලක් ඉදිරියට යනු ඇතිදැයි පවතින්නේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකි.

මේ සමුළුවට පෙර මෛත්‍රීපාල සහ මහින්ද අතර බැසිල්ගේද සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාව හේතුවෙන් රත් වී ගිය දේශපාලන කරළිය තුළ මෛත්‍රීපාල සහ රනිල් අතර යළි සුහද පිළිසඳරක් ඇතිවීම කෙසේ විස්තර කෙරෙනු ඇතිද යන්න පැහැදිලි නැත. එහෙත් ආණ්ඩුව නම් දැන් සිටින්නේ මහ රළු මුහුදක කුණාටුවකට මැදි වූ අබලන් නැවක තත්ත්වයෙන් බව නම් කිව හැකිය. මේ කුණාටුවේ තරම මෛත්‍රී - මහින්ද කතාවෙන් පසුව රටේ දේශපාලන වේදිකාව මත ඇති වූ දෙදරීමෙන් පැහැදිලිය. එම හමුව මෛත්‍රීපාල තමන්ගේ ආණ්ඩුව වෙනස් මඟකට හරවා ගැනීමට කළ උත්සාහයක් වශයෙන් පෙනී ගියද එය මේ රටේ දේශපාලන වේදිකාවේ අදටත් ලොකුම ඉල්ලුම ඇති දේශපාලන නායකයා තමා බව රටට පෙන්වාදීමට මහින්දට ලැබුණු අවස්ථාවක් විය. මහින්ද කවදාවත් තමන්ගේ අතට එන &උඩපන්දු* අතහරින්නෙක් නොවන බව නොදන්නා කෙනකු නැත.

මහින්ද දැන් කියන්නේ සභාග ආණ්ඩුවක් හැදීම සම්බන්ධයෙන් තමන් ප්‍රතිචාර දක්වන්නේ මෛත්‍රීපාල නිල වශයෙන් ඒ ගැන දැනුම්දීමක් කිරීමෙන් පසුව බවය. එය මහින්ද තමන්ගේ බලය තවදුරටත් පෙන්වූ අවස්ථාවක් විය. මේ කියන සභාග ආණ්ඩුව යනු ව්‍යවස්ථාවේවත් නැති අපභ්‍රංසයක් බව මේ වනවිට සියලු දේශපාලන නායකයෝ දැන සිටිති. කරනවා නම් කළ හැක්කේ අගමැතිවරයා දැනුවත් නොකර ඇමැති මණ්ඩලය වෙනස් කිරීමක් වුවද ඉන්පසුව උද්ගතවන තත්ත්වය ජනාධිපතිවරයාට වාසි වනු ඇතිදැයි කීමට තවම හැකියාවක් නැත. කොහොම වුණත් අදාළ සිදුවීම් වලින් පසුව ජනාධිපති මෛත්‍රීපාල දේශපාලන වශයෙන් සිටින්නේ අතුරේ ගමනක බව නම් පැහැදිලිය.

මහින්ද හමුවීමෙන් පසුව මෛත්‍රීපාලට දැන් රජය තුළ තිබෙන සහාය මන්ත්‍රීවරැන් 23 දෙනා දක්වාම පහළ බැස තිබෙන බව යථාර්ථයයි. මේ 23 දෙනාගෙන් තවත් කිහිප දෙනෙකු ඒ පැත්තට හෝ මේ පැත්තට පනින්න තිබෙන ඉඩකඩද ඉතා පුළුල් වෙමින් තිබේ. දැන් යූ.එන්.පී. මන්ත්‍රී කණ්ඩායම කතා කරන්නේ 2020 ජනාධිපතිවරණයේදී තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැනය. යූ.එන්.පී. ඡන්දවලින් ජනපතිවරණයක් ජයගැනීම දැන් මෛත්‍රීපාලට සිහිනයක් පමණි. ආණ්ඩුව තුළ යූ.එන්.පී. මන්ත්‍රී පිරිසගේ සහාය අහිමි වී තිබියදී තමන්ට සහාය දක්වන ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසද කඩාගෙන ගියොත් මෛත්‍රීපාල පත්වන්නේ යහපාලන අපේක්ෂා ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් කිසිම බලාපොරොත්තුවක් තබාගත නොහැකි තැනකටය. ඒ අනුව මහින්ද හමුවී අමතක කරලමු පැරුණි කතා යනුවෙන් පැවසීම හැර මේ වෙලාවේ ජනාධිපතිවරයාට වෙනත් විකල්පයක් ගැන සිතීම අපහසු බව සැබෑවකි. අදාළ හමුවීම මාධ්‍යයට ලීක් වීම ජනාධිපතිවරයා කෝප ගැනීමද සාධාරණ වන්නේ මේ පසුබිම යටතේය.

ජනපති සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණ කතාව සම්බන්ධයෙන් සියලු වෙරයොදා පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලීම කළයුතු වුණත් ජනාධිපතිවරයා ඒ හේතුවෙන් අගමැති රනිල් ඇතුළු යූ.එන්.පී.යේ මන්ත්‍රී කණ්ඩායම සහමුලින් දුරස් කර ගැනීම මේ වෙලාවේ දැකිය හැකි වන්නේ අඬුව තියෙද්දී අත පුච්චා ගැනීමක් හැටියටය.

මෛත්‍රිපාල සහ රනිල් අතර විරසක භාවයක් මුලින්ම දැකගත හැකි වූයේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කළ අවස්ථාවේය. එහිදී දෙදෙනාගේ අදහස් පරස්පර විය. නමුත් එය තාවකාලිකව යටපත් වූයේ ඒ කාලය යහපාලනයේ මධුසමය වීම හේතුවෙනි. අනෙක් අතට බැඳුම්කර සිද්ධිය රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකර තිබිණි.

හැබැයි එදා පටන් ඇරැඹුණු විරසකභාවය එන්න එන්නම වැඩිවූවා මිස අඩුවක් වුණේ නැත. ටිකක් කල්ගත වනවිට බැඳුම්කරය පිටින් ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වයට දරුණු පහර ගැසීම් සිදුවිය. රවි කරුණානායකට මුදල් ඇමැති පදවියද ගහලා ගියේය. තිලක් මාරපනටද ඇමැති පදවියෙන් අස්වෙන්නට සිදුවිය. මේ සියලු හැලහැප්පීම් මැද ආණ්ඩුව ඉදිරියට ගියත් පක්ෂ දෙක අතර බෙදිම එළියටම ආවේය.

මහින්දගේ ගණන් බැලීමට අනුව යහපාලන ආණ්ඩුව බිඳ දැමීමට නම් පක්ෂ දෙක අතර සමගියට පහරදිය යුතු විය. මහින්ද සුළඟ හරහා ඒ වනවිට රටතුළ ජනතාවට අවශ්‍ය නායකයකු බවට පත්වෙමින් සිටි මහින්ද ඒ වැඩේට අත තියන්නත් පෙර සිටම බැඳුම්කර සිද්ධිය එයට පාර කපා දුන්නේය. ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය මුළු වැර යොදා යූ.එන්.පී.යට පහර ගසන විට මහින්ද මැදමුලනට වී බලා සිටියේ සිනාසෙමිනි. තමන්ගේ මිනිසුන් කළ යුතු දේ ආණ්ඩුවේම පිරිසක් කරන විට මහින්දට තිබුණේ ඊළඟ සැලැස්ම හැදීම පමණි. ඒ සැලැස්ම බැසිල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදා ඒ හරහා ක්‍රියාත්මක කළේය. මේ සියල්ල සිදුවන විට මෛත්‍රීපාල තමන්ගේ මිනිස්සු කන්ට්‍රෝල් කරගැනීම සඳහා වැයමක් ගත්තේ නැත. වරින්වර රනිල් නම් තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමට කිව්වේ ශ්‍රීලනිප පාර්ශ්වයට පහර නොදෙන ලෙසය. එහෙම වුණත් විවිධ වෙබ් අඩවි හරහා මෛත්‍රීපාලටත් ඔහුගේ සමීපතමයන්ටත් පහර ගැසීම සිදුවිය. ඒවාට ජනාධිපතිවරයා දැක්වූයේ තද ප්‍රතිචාරයක් බවත් පෙනෙන්නට තිබිණි.
සියල්ල මෙසේ සිදුවෙමින් තිබියදී රනිල්ට අගමැති පදවියෙන් ඉවත් වෙන්නැයි ජනාධිපතිගෙන් බලපෑම් එල්ල වූ බවද සඳහන් වූයේ වරක් දෙවරක් නොවේ. පෙබරවාරි 10 වැනිදා පුංචි ඡන්දයේ ප්‍රතිඵලය එහි ආරම්භය විය. හැබැයි පුංචි ඡන්දයේදී මහින්දගේ කණ්ඩායම අංක 01ට පැමිණි බවත් රනිල් කණ්ඩායම අංක 02ට පැමිණි බවත් තමන්ගේ කණ්ඩායම අංක 03ට වැටුණු බව ජනාධිපතිවරයා අමතක කර තිබිණි.

අගමැතිකමෙන් අස්වෙන්නැයි රනිල්ට කළ බලපෑම අවසානයේ නතර වූයේ ඔහුට එරෙහිව ගෙනා විශ්වාසභංගයෙනි. ඒ තරගෙන් රනිල් දිනන විට මෛත්‍රීපාල සිටියේ නිහඬවය. ඔහුගේ නිහඬ බව මහින්දලාට ප්‍රශ්නයක් විය. නමුත් සමහරුන්ගේ මතය වූයේ රනිල් එතැනදී පරාජය වූවා නම් මෛත්‍රීපාල ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු එම ධුරයට පත් කිරීමට ඉඩක් තිබූ බවය. එහෙම වනවිට අදටත් මහින්දලාගේ කණ්ඩායම මෛත්‍රීපාලගේ ඉල්ලීමක් දෙස සැකයෙන් බැලීම ගැන පුදුම විය යුතු නැත. එවැනි සැකයක් තිබුණත් මෛත්‍රීපාල තමන්ගේ බලය රුකගැනීම සඳහාත් ඊළඟ වාරයේ ගන්නා තීරණයට ශක්තියක් ලබාගැනිම සඳහාත් හැරිය යුත්තේ මහින්ද දෙසටය. දැන් වෙනත් මාවතක් නැත.

පළාත් සභා ඡන්ද පැවැත්වීම තවදුරටත් පමා නොකළ යුතු බවට යූ.එන්.පී.ය හඬ නගන්නේ මේ පසුබිම යටතේය. යූ.එන්.පී. නායක රනිල් තම ජ්‍යෙෂ්ඨයන්ට කියා තිබුණේ ආණ්ඩුවේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ට කතාකර පළාත් සභා ඡන්ද පැවැත්වීමේ ස්ථාවරය ගැන දැනගන්නා ලෙසටය. පවතින තත්ත්වයේ හැටියට මේ වෙලාවේ පළාත් සභා ඡන්දයකට යාම වැඩියෙන්ම ප්‍රතික්ෂේප කරනු ඇත්තේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා බව පැහැදිලිය. ඡන්දයකට යාම කෙසේ වෙතත් ජනාධිපතිවරයා යූ.එන්.පී. සමඟ ශ්‍රීලනිපය දක්වන සම්බන්ධතාව පිළිබඳව කිසියම් කරුණු සොයා බැලීමක් සිදුකිරීමට තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ.

මේ වෙලාවේ ඡන්දයකට යාමට වඩාත්ම කැමැත්තක් දක්වනු ඇත්තේ මහින්ද බවට විවාදයක් නැත. ඔහු යළිත් සුපුරැදු ජනප්‍රිය දේශපාලනයේ තරුවක් බවට පත්වී සිටියි. රටේ දිගින් දිගටම ගොඩගැසෙමින් තිබෙන බරපතළ ගැටලුවලට ඔහු සතුව ඇති විසඳුම් මොනවාදැයි පැහැදිලි නැත. පී.බී. ජයසුන්දර සහ ලලිත් වීරතුංග දෙදෙනාම පසුගිය දිනවල කැඳවා ඔවුන් සමඟ පැය ගනණාවක් මහින්ද සාකච්ඡා කළේ ඒ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට දැයි කියන්න දන්නේ නැත. නමුත් මහින්ද බලයට ආවොත් ඔහු කුමක් හෝ සිදුකර රට තිබෙන තැනින් උඩට ගනු ඇතැයි යන විශ්වාසයක් ජනතාව තුළ ඇතිවෙමින් තිබේ. එහෙත් මහින්ද තමන් වටේ සිටින බරපතළ දූෂණ චෝදනා ලැබූ පිරිස් දිගින් දිගටම සුද්ද කරන්නට යාම තුළින් එම විශ්වාසයට හානි කරගැනීමටද ඉඩ තිබෙන බවත් පෙනෙන්නට තිබේ. එසේම රනිල්ද රටේ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට අපොහොසත් පිරිසක් සමඟ ආණ්ඩු කරන්නට යෑමේ ආදීනව විඳිමින් සිටී. රටේ ජනතාවට දැන්නම් කිසියම් වෙනසක් අවශ්‍ය බව හැම පැත්තෙන්ම පෙනෙන්නට තිබේ. ඒ වෙනස සිදුවෙන්නේ විපක්ෂයෙන්ද ආණ්ඩුවෙන්ද යන්න තවම හිතාගැනීමට බැරිය.

 ශෂින්ද්‍ර