2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

කොකා පෙන්නීම

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 247

දේශපාලනය තුළ හැලහැප්පීම් වැළැක්විය නොහැක. එය අපේ රටට පමණක් නොව ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අදාළය. එකම පක්ෂයක් තුළ වුවද මතගැටුම් ඇති වනවා නම් පක්ෂ දෙකක් එකතු වී ආණ්ඩුවක් කරන විට වඩාත් හැලහැප්පීම් බලාපොරොත්තු විය යුතුය. වඩාත් වැදගත් වන්නේ ඒ මතගැටුම්, හැලහැප්පීම්වලට පක්ෂයක් හෝ ආණ්ඩුවක් හෝ මුහුණ දී එයින් ගොඩ එන ආකාරයයි. හැබැයි බොහොමයක් දේශපාලන පක්ෂ ඇතුළේ බරපතළ මතගැටුම් හටගත් විට ඒවා අවසාන වන්නේ එම පක්ෂයද පෙරළාගෙනය. සමහරවිට පක්ෂය තිබියදී නායකයෝ විසිවෙති. නැතහොත් පක්ෂය නැතිවී නායකයෝ වෙනතකින් මතුවෙති. අද ලංකාවේ දේශපාලනයද මුහුණ දී සිටින්නේ මේ තත්ත්වයටය.

කොහොම වුණත් පක්ෂයක් තුළ හෝ පක්ෂ හවුලක් තුළ හෝ ගැටුම් හටගන්නේ විපක්ෂයට වැටුණායින් පසුවය. එහෙත් අද මේ ආණ්ඩුව සිටින්නේ ඊට සම්පූර්ණයෙන්ම විරැද්ධ පැත්තේය. බලය අතැතිව සිටියදී ආණ්ඩුව අර්බුද, මතගැටුම් ගොන්නක හිරවී සිටී. කලින් ඇතුළේ පමණක් සිදුවූ ගැටුම් දැන් සිදුවෙන්නේ එළිපිට කරළියේය. දෙපාර්ශ්වයම වැඩ කරන්නේ එකිනෙකා අතර තරගයක් ඇතිවන මට්ටමකිනි. එක් පාර්ශ්වයක් පොලිස්පති යැවිය යුතු යැයි කියද්දී අනෙක් පාර්ශ්වය ඔහු රැකගනියි. එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ ඇමැතිවරුන්ගේ විෂය කරුණුවලට අදාළව තීරණ ගන්නා විට ඔවුන් කරන්නේ එම තීරණ ක්‍රියාත්මක කිරීමට අවහිර කිරීමය. තවත් අවස්ථාවක ඇමැතිවරයකු මාධ්‍ය සාකච්ඡාවක් තබා ආණ්ඩුවේම අනෙක් පාර්ශ්වයේ ලොක්කන්ගේ රෙදි ගලවයි. මේ හැම දෙයකින්ම පෙන්නුම් කරන්නේ රටේ පාලනය සිල්ලර මට්ටමට වැටී තිබෙන බවය.

බොහොමයක් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබෙන්නේ හවුල් ආණ්ඩුවක් ඇතිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුව ඇතුළේ සටන් ඇවිලී යන බවය. නමුත් අපේ ඉතිහාසය පෙන්වා දී තිබෙන්නේ මේ රටේ පළමු මැතිවරණයෙන් පසුව පැවැති හැම මැතිවරණයකදීම පාහේ බලයට ඇවිත් තිබෙන්නේ හවුල් ආණ්ඩු බවය. 56 බණ්ඩාරනායක ආණ්ඩුව පක්ෂ කිහිපයකින් සෑදුණු හවුලක් විය. ඉන්පසුව කෙටිකාලීනව ඇතිවූ ආණ්ඩු හැර සිරිමාවෝගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවද හවුලක් වූ අතර එම ආණ්ඩුව රාජාසන කතාව පැරුදුණේ ඔවුන්ගේ හවුලෙන් කිහිපදෙනකු කැඩීයාම හේතුවෙනි.

ඉන්පසුව 65 දී බලයට පත්වූ ඩඩ්ලිගේ ආණ්ඩුව හත්හවුලක් විය. හැබැයි මේ හත්හවුල නම් අවුරැදු 05ම ආණ්ඩුව ගෙන යාමට සමත් විය. 70 මහ මැතිවරණයේදී ඔවුන් පරාජය වූයේ සිරිමාවෝගේ නායකත්වයෙන් යුත් තුන්හවුල් රජය බලයට පත් කරවමිනි. එහි ආයු කාලය වසර 02කින් දික්කර ගත්තත් අවසන් අවුරුදු දෙකේදී තුන්හවුලෙන් පක්ෂ 02ක්ම ගැලවී ගියේය. තුන්හවුල් රජය ඡන්දයෙන් පැරදුණේ වාර්තාගත ආකාරයකටය. කොටින්ට ඔවුන්ට විපක්ෂ නායකකමද අහිමි විය.
ඊළඟට ජේ.ආර්. ද බලය ගත්තේ තොණ්ඩමන් සමඟ හවුලකට ගොසිනි. ඒ ආණ්ඩුව පාර්ලිමේන්තු ක්‍රමයෙන් විධායක ජනාධිපති ක්‍රමයට පාලන ක්‍රමය වෙනස් කොට ධුර කාල දෙකකට ගියත් එය අවසන් වූයේ උතුරේත් දකුණේත් සිවිල් යුද්ධ තත්ත්වයක් ඇති කරමිනි. ඊටපසු ප්‍රේමදාසත් තොණ්ඩමන් සමඟ හවුලේ ආණ්ඩුවක් ඇතිකරගෙන වසර 04ක් පාලනය ගෙන ගිය අතර චන්ද්‍රිකා 94 දී ආණ්ඩුව පිහිටවූයේ අෂ්රොෆ් මූලික මුස්ලිම් කොංග්‍රසය සමඟ හවුල් වීමෙනි. චන්ද්‍රිකාද ධුර කාල 02ක් සිටි අතර 2001 දී රනිල් ආණ්ඩුවක් පිහිටවූයේද මුස්ලිම් කොංග්‍රසය සමඟ හවුලේය. 2005න් පසුව මහින්ද පක්ෂ ගණනාවක් සමඟ හවුලේ සන්ධානගත වී ආණ්ඩු කළ අතර ඊටපසු මෛත්‍රී යුගය ඇරුඹෙන්නේ රනිල් ප්‍රමුඛ යූ.එන්.පී.යත් සමඟ හවුලේය. දැන් වඩාත්ම බරපතළ අවුලක් බවට පත්ව තිබෙන්නේ මේ මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුවය.

හැබැයි මෙවර හවුලේ වෙනසක් මුලසිටම තිබුණේය. මෙතෙක් අපේ දේශපාලනය සකස් වී තිබුණේ වමේ හෝ දකුණේ දේශපාලන කඳවුරැ දෙකේ පක්ෂ වෙන වෙනම එකතු වී හවුල් හදාගැනීමය. මෙවර සිදුවූයේ වමේ - දකුණේ කඳවුරැ දෙකේ ලොකුම පක්ෂ දෙක එකතු වීමය. එකම කඳවුරක පක්ෂවලටත් හවුල් ආණ්ඩුවක් ගෙන යාම මේ තරම් අමාරැ නම් කඳවුරු දෙකේ ලොකුම පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් කොහොම කරන්නදැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න නම් මේ ආණ්ඩුවේ උප්පත්තිය සොයා බැලිය යුතුය.

යහපාලන ආණ්ඩුව බිහිවුණේ ඉතිහාසයේ කවදාවත් නැති අලුත් පෙරළියක් සිදුකරමින් බව ප්‍රකාශ කෙරුණේ වරක් දෙවරක් නොවේ. මේ සඳහා මුල සිටම මඟ පෙන්වීම කළ මාදුළුවාවේ සෝභිත හිමියන් මෙය හැඳින්වූයේ තැටිය රත් කළා දැන් රොටිය පුච්චාගන්න කියාය. මේ පෙරළියට මගපෙන්වන පොදු වැඩපිළිවෙළක්ද මේ පක්ෂ දෙකට තිබුණේය. මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් වූ එම වැඩපිළිවෙළ තුළ පොදු අරමුණක් තිබුණි. එතෙක් රටේ තිබූ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර, වංචා සහ දූෂණ පිටුදකින, රටේත් මහජනතාවගේත් මුදල් කොල්ල කෑ ලෝක හොරැන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන යහපාලනයක් එම පොදු අරමුණ තුළ තිබිණි. ඒ සඳහා දින 100ක වැඩපිළිවෙළක්ද හඳුන්වා දී තිබුණි.

එහෙත් ජනවාරි 08 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණය පවත්වන දිනය වනතෙක් ආණ්ඩුව සිටියේ එම පොදු අරමුණෙන් පිට පැනලාය. මුලින්ම මහ බැංකු මගඩිය හේතුවෙන් ජනතාව තුළ තිබූ විනිවිද පෙනෙන සුළු පාලන ක්‍රමය පිළිබඳ වූ බලාපොරොත්තුව කඩවිය. ඒ සමඟ යූ.එන්.පී.යට උවමනා කළේ දින සියය අවසන් වනවිට පාර්ලිමේන්තුව විසුරැවා හැර මහ මැතිවරණයට යාමටය. එහෙත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඊට අකැමැති විය. තම ශ්‍රීලනිප ඇමැති කණ්ඩායමෙන් එල්ල වූ බලපෑම ඊට හේතු වූ බව පැහැදිලිය. දැන් ඡන්දෙ තිබ්බොත් යූ.එන්.පී.ය ආණ්ඩුව ගන්නවා යනුවෙන් ඔවුන් දැක්වූ අදහසට ජනාධිපතිවරයාගේද අනුමැතිය හිමිවිය. හවුල් ආණ්ඩුවේ පීලි පැනිල්ල ඇරුඹීමට එය ප්‍රධානම හේතුවක් විය.

දවස් සීයෙන් ඡන්දය නොතබා එය මාස 08ක් දක්වා ඇදගෙන යාමෙන් පාඩු වුණේ යූ.එන්.පී.යට නොව මෛත්‍රීපාලගේ ශ්‍රීලනිපයටය. එම කාලසීමාව මහින්දට යළි නැගී සිටීමට විවර කර දුන් දොරක් බවට පත්විය. ඒ හේතුවෙන් ශ්‍රීලනිපය ඇතුළේ ගිනිකෙළි ඇරුඹිණි. යූ.එන්.පී.යට තිබුණේ එම ඇවිලෙන ගිනිවලට පිදුරැ ළං කිරීම පමණි. නමුත් එය වෙනස් විය. බැඳුම්කර මගඩිය මෛත්‍රීපාල ලොකුම ආයුධයක් බවට පෙරළා ගැනීම හේතුවෙනි. එහෙත් එම පියවර වසර 03ක් යනවිට ආණ්ඩුව කඩාදමන බල අරගලයකට ගෙනයනු ඇතැයි මෛත්‍රිපාල වුණත් එදා සිතන්නට නැත.

බල අරගලයේ මුල්ම හැරවුම් ලක්ෂය වූයේ අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති වශයෙන් යළි පත් කිරීමට මෛත්‍රීපාල විරැද්ධ වීමය. සිංගප්පූරැවේ සිටි අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙනැවිත් මහබැංකු අධිපති පුටුවේ වාඩි කිරීමට රනිල් ක්‍රියාකළේ ආණ්ඩුව හැදීමට තිරය පිටුපස සිට ලොකු කාර්යභාරයක් සිදුකළ චන්ද්‍රිකාගේත් ජනාධිපති මෛත්‍රීපාලගේත් බලවත් අකැමැත්ත පිට බව ප්‍රකට රහසකි. ඔවුන් එපා කියද්දී ගෙන ආ අර්ජුන මහේන්ද්‍රන් ආණ්ඩුව ඇතුළේ බලඅරගලයේ කේන්ද්‍රය වීමට ගතවුණේ මාස 05ක් පමණි. ඒ අවස්ථාවේදී යහපාලනය ගෙන ඒමට මූලික වූ එක් චරිතයක් වන මහාචාර්ය සරත් විජේසූරිය තම ලිපියකින් කියා තිබුණේ රනිල් වික්‍රමසිංහට තෝරා ගැනීම් දෙකක් ඇති බවය. එකක් අර්ජුන මහේන්ද්‍රන් යවා යහපාලන ආණ්ඩුව රුක ගැනීමය. අනෙක ආණ්ඩුව අවදානමට ගෙන අර්ජුන මහේන්ද්‍රන් රුක ගැනීමට ක්‍රියා කිරීමය. රනිල් තෝරාගත්තේ මේ දෙවැන්නය. 

මේ හේතුව නිසා මෛත්‍රීපාල විසින් අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කිරීමෙන් පසුව රනිල් ඔහු ආර්ථික උපදේශකවරයකු බවට පත්කර ගත්තේය. ඒ වනවිටද අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහි චෝදනාවලින් ඔහු නිදහස් වී සිටියේ නැත. අවසානයේ බැඳුම්කර මගඩිය හේතුවෙන් රටපුරා ඇතිවූ ආණ්ඩුවට එරෙහි විරෝධයේ ප්‍රතිඵලයක් වශයෙන් මෛත්‍රීපාලට සිදුවූයේ කොමිසමක් පත්කොට මගඩිය පිළිබඳ විමර්ශනයක් සිදුකර ආණ්ඩුවේ සායම බේරාගැනීමටය. නමුත් ඒ සමඟ ආණ්ඩුවේ සායම යනවා පමණක් නොව පදනමද දෙදරා යනු ඇතැයි මෛත්‍රීපාල නොසිතුවා විය හැකිය. එහෙත් ඒ නොසිතූ දෙය දැන් සිදුවෙමින් තිබේ.

මේ සිද්ධීන් එකින් එක ගැට ගැසෙමින් තිබියදී මහින්දලාගේ ආණ්ඩුවට එරෙහිව එල්ල කෙරුණු චෝදනා මේ ආණ්ඩුවට එරෙහිවද එල්ලවීමට පටන් ගත්තේය. බැඳුම්කර මගඩිය මහින්දලාගේ කාලේ කළ සියලු හොරකම්වලට වඩා ලොකු යැයි චෝදනා නැගුණේය. එයට පිළිතුරැදීමේදී යූ.එන්.පී.ය දැක්වූ දුර්වලකම ඔවුන්ට පමණක් නොව ආණ්ඩුවටම අවාසියක් විය. ශ්‍රීලනිපය නැතුව ආණ්ඩුවක් කිරීම ගැන යූ.එන්.පී.ය කියන්න පටන් ගත්තෙත් මහින්දලා සමඟ එකතු වී හෝ යූ.එන්.පී.ය නැතුව ආණ්ඩුවක් හැදීම ගැන ශ්‍රීලනිපය කතාකළේත් මේ පසුබිම යටතේය. හැබැයි මේ දෙකම හරියන පාටක් පෙනෙන්න නැත. භාරකාර ආණ්ඩු එහෙමත් නැත්නම් ඔළු ගෙඩි මාරැවෙන් ආණ්ඩු හැදීම් ගැන උනන්දුවක් දැක්වූ මහින්දලාගේ කට්ටියද දැන් කියන්නේ ඊළඟ ඡන්දයේදී ආණ්ඩුව ගන්නා බවය.

සාමාන්‍යයෙන් දේශපාලන කරළියේ අප මුලින්ම සඳහන් කළ ගැටුම් ඇතිවීමට එක එල්ලේම හේතු හොයාගැනීම පහසු නැත. බොහෝවිට ඒවාට නිශ්චිත හේතු නැත. එහෙත් මේ ආණ්ඩුව ඇතුළේ ගැටුම් ඇතිවීමට නම් හේතු හොයාගැනීම අපහසු නැත. පොදු අරමුණින් පිට පැන කටයුතු කිරීමේ ආනිසංස අද යහපාලන ආණ්ඩුවේ පක්ෂ දෙකම භුක්ති විඳිමින් සිටී. අන්තිමට නැති වෙන්නේ තමන්ගේ ආණ්ඩුව බව මෛත්‍රීපාල - රනිල් කණ්ඩායම් දෙකටම තවමත් නොතේරෙන්නේ නම් කියන්න වෙන්නේ සොරිම තමයි කියාය.

- ශශීන්ද්‍ර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00