තවත් එක දවසක් විදියට ගෙවීයාමට නියමිතව තිබූ නොවැම්බර් මාසේ 14 වැනිදාට දැන් අලුත් වටිනාකමක් ලැබී තිබේ. එදින රටේ දේශපාලන අර්බුදයේ තීරණාත්මක දිනයක් වීම ඊට හේතුවය. මෙතෙක් දවසක් ට්‍රේලර් බල බලා සිටි රටේ ජනතාව සැබෑ ජවනිකා නැරඹීමට නියමිතව සිටින්නේ එදාටය. ඒ අනුව දැනට හටගෙන තිබෙන දේශපාලන අවුලට එදිනට පෙර විසඳුමක් නොලැබුණොත් 14 වැනිදා ෆුල් සීරියල් දේශපාලන සිනමාපටයක් පාර්ලිමේන්තුව නම් ශාලාවේ තිරගත වීමට නියමිතය.
අප එසේ කියන්නේ රටේ පවතින බරපතළ ව්‍යාකූල තත්ත්වය පිළිබඳ අවබෝධයකින් තොරව නොවේ. හොඳ අවබෝධයකින් යුතුවය. එහෙත් රටේ ජනතාව දැනට සිදුවෙමින් පවතින දේශපාලන ගැටගැසීම් පිළිබඳව සිටින්නේ සතුටකින් නොවන බව පැහැදිලිය. ඔවුන්ගෙන් වැඩිදෙනා මේ සිද්ධිය සුවිශාල දේශපාලන රංගනයක තවත් එක්කොටසක් වශයෙන් දකින බව නොරහසකි. තමන්ගේ එදිනෙදා ජීවිතවලට අදාළ සියලු සිදුවීම් මේ හේතුවෙන් රටේ පාලකයන්ට අමතක වී ගොස් ඇතැයි ඔවුන්ට සිතීම සාධාරණය. පෙට්‍රල්, ඩීසල්, බස් ගාස්තු, ටෙලිෆෝන් බිල් යම් පමණකින් අඩුවූ තරමින් ඔවුන්ගේ සියලු ප්‍රශ්න විසදෙන්නේ නැත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් පහකොට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයට පත්කරනු ලැබීමෙන් පසුව බහුතරය කාටදැයි එකඑල්ලේ ප්‍රකාශ කිරීමට නොහැකි වීම රටේ බරපතළ දේශපාලන අස්ථාවරභාවයකට මුලපිරුවේය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබීමට සිදුවීමය. එහෙත් තවමත් පෙනෙන ආකාරයට බහුතරය පිළිබඳ ගැටලුව විසඳී නැත. මේ හේතුවෙන් මුලපටන්ම රටේ පාලනය ප්‍රබල අස්ථාවර බවකට ගොදුරු විය. එය ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් සහිත රටක පැවැත්මට උචිත නැත. කථානායක කරු ජයසූරිය මහතා විසින් පසුගියදා නිකුත් කරන ලද නිවේදනය එම තත්ත්වය තවත් බරපතළ පැත්තකට හරවා තිබේ. බහුතරය පෙන්වන තුරු තමන් පිළිගන්නේ පාර්ලිමේන්තුව කල්තැබීමට පෙර තිබූ තත්ත්වය බව ඔහු එම ප්‍රකාශයෙන් කියා තිබිණි. එම නිවේදනය ජාත්‍යන්තර ප්‍රජාවගේ ද දැඩි අවධානයට යොමු වී තිබෙන බවද ප්‍රතිචාරවලින් පැහැදිලි වෙයි.
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ තමාට යැයි අලුතින් පත්කරනු ලැබූ අගමැතිවරයාට පෙන්විය හැකිනම් පවතින තත්ත්වය එනම් අර්බුදය සමතයකට පත්වනු ඇතැයි එම ප්‍රකාශය අනුව අපට හැඟීයයි. එහෙත් එය සිදුවන ආකාරය කිසිසේත්ම පැහැදිලි නොවීම තුළ තිබෙන තත්ත්වය තවදුරටත් ව්‍යාකූල වීමට ද ඉඩඇතැයි යන සැකය ද ඉතිරිව තිබේ. නොවැම්බර් 14 වැනිදා කෙරෙහි දෑස දල්වා බලාසිටියද එදින සිදුවන්නේ ජනාධිපතිවරයා විසින් සැසිවාරය විවෘතකොට රාජාසන කථාව පැවැත්වීම පමණක් බව ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වෙයි. එහෙත් ධූරයෙන් පහකරන ලද හිටපු අගමැතිගේ පාර්ශවය කියන්නේ එදිනම පාර්ලිමේන්තුව තුළ බහුතරය කාටදැයි විමසීම ද සිදුකළ යුතු බවය. එය කථානායකවරයා විසින් ද ප්‍රකාශ කර තිබේ. මේ අනුව නොවැම්බර් 14 වැනිදා මොන ගිනිවිජ්ජුම්බරයක් වේදැයි පැහැදිලි කරගැනීම මහත් අසීරැ කරැණක් වී තිබේ.
ප්‍රායෝගික තලයේදී සලකාබලන විට ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව රුස් වූ විට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති එහෙත් තවමත් තමන් ව්‍යවස්ථානුකූල අගමැතිවරයායැයි ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ මහතා අසුන්ගන්නේ කොතනකදැයි යන ගැටලුව මුලින්ම පැනනැගීමට ඉඩ තිබේ. අසුන් පැනවීම කරන්නේ කවුරුන් විසින්ද යන ප්‍රශ්නයට උත්තර ගණනාවක් පසුගිය දිනවලදී ප්‍රකාශ වුවද අසුන් ගැනීම සිදුකරන්නේ එම දෙදෙනා විසිනි. මුලදී අගමැති අසුන මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කරදීමට සූදානම් යැයි ප්‍රකාශ කළ කථානායකවරයාම ඉන් දින කිහිපයකට පසුව කළ ප්‍රකාශයෙන් එය ශූන්‍ය තත්ත්වයට පත්කරනු ලැබ තිබේ. ඒ අනුව කථානායකවරයා පිළිගන්නේ පෙර පැවැති තත්ත්වයයි. එසේ වුවහොත් අගමැති අසුනේ වාඩිවනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය. එහෙත් එවැනි අසුන් ගැනීමකට මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රී පිරිස ඉඩදෙනු ඇතිද? එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වළක්වාගැනීම අවශ්‍යය. එහෙත් එය ඒ ආකාරයටම සිදුවෙයිද? එය නම් උභතෝකෝටික ප්රශ්නයකි.
මීටත් වඩා බරපතළම අවස්ථාවක් උදාවනු ඇත්තේ මේ දෙපාර්ශවය විසින්ම එදිනට කොළඹට සිය ආධාරකරුවන් කැඳවීමට තිබෙන ඉඩකඩය. කිව්වත් නොකිව්වත් එන පිරිසක් ද සිටිති. එහෙත් වඩාත් භයානක වන්නේ සංවිධානය වී පැමිණෙන ආධාරකරුවන්ය. මේ අනුව පාර්ලිමේන්තුව ඇතුළතත් පිටතත් එදින පැවැතිය හැකි උණුසුම්කාරී වාතාවරණයේ මවාගත හැකි චිත්‍රය නම් මවන්නේ මහත් අඳුරැ බවකි. මේ පිළිබඳව අවධානයෙන් සිටිමින් එවැනි ගැටුමක් වළක්වා ගැනීමට කටයුතු කිරීම හැම පාර්ශවයකම වගකීමය. නොවැම්බර් 14 වැනිදා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කරන දවසක් නොවේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනය වෙයි.