2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

ඩොලරයයි රුපියලයි

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 08:09 94

ඩොලරය සැලකෙන්නේ ලෝකයේ ශක්තිමත්ම මුදල් ඒකකය හැටියටය. ඩොලර් ඇත්නම් කළ නොහැක්කක් නැතැයි නොකියන රටක් මේ ඉර හඳ යට සොයාගැනීම පහසු නැත. ලෝකයේ තත්ත්වය එසේ වනවිට ලංකාවේ තත්ත්වය ඊට වඩා වෙනස්ය. අපේ රටේ ඩොලරය යනු ගනුදෙනුවලට පමණක් නොව දේශපාලනයටද යොදාගන්නා භාණ්ඩයක් බවට පත් වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය වසර තුනේදීම ඩොලරයෙන් ගනුදෙනුවලදී පමණක් නොව දේශපාලන වශයෙන් බැට කෑමටද යහපාලන ආණ්ඩුවට සිදුවිය. ඒ හා සමානවම පහුගිය මාසය තුළදී අලුත් රජයේ ආර්ථිකය බාරව කටයුතු කරන අයට මුහුණදීමට සිදුවූයේද එම තත්ත්වයටය.

අපේ රටට නම් රුපියල් නැතුව ජීවත් වුවත් ඩොලර් නැතුව ජීවත් වීමක් ගැන හිතන්නවත් බැරිය. රටට අවශ්‍ය කෑම, බීම, ඇඳුම් පැළඳුම් පමණක් පරිභෝජනයට අවශ්‍ය විවිධ භාණ්ඩ, යාන වාහන සහ තෙල් යනාදිය ගෙන්වා ගැනීමට ඩොලර් තිබීම අවශ්‍යම සාධකය වෙයි. ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව ඩොලර් අච්චු නොගසන නිසා අපට සිදුවී තිබෙන්නේ ඩොලර් උපයා ගැනීමටය. ඒ සඳහා ආනයනය අඩුකොට අපනයනය වැඩිකිරීම අවශ්‍ය වෙයි. ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමද ඒ හා සමානවම වැදගත්ය. මේ දෙකම හරියට නොකෙරෙන නිසා රට හැමදාමත් සිටියේ ඩොලර් අහේනියෙනි. ඒ මදිවට ඔක්තෝබර් 26 වැනිදා රට තුළ සිදුවූ දේශපාලන කලබැගෑනියේ ප්‍රතිඵලද ඩොලරය තවත් ඉහළ දැමීමට හේතු විය. මෙය අනාගතයේදී දරුණු ආර්ථික ප්‍රතිවිපාක ඇති කිරීමට හේතුවන බව පැවසීමට ආර්ථික විද්‍යාඥයකු වීම අවශ්‍ය නැත.

පසුගිය බදාදා (28) රොයිටර් පුවත් සේවයේ ප්‍රවෘත්තියකින් කියැවුණේ පිටපිටම සයවැනි වරටත් ශ්‍රී ලංකාවේ රුපියලේ අගය වාර්තාගත අන්දමින් පහළ වැටුණු බවය. ඊට හේතු වශයෙන් ඔවුන් සඳහන් කර තිබුණේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අගය පහළ මට්ටමකට දැමීමත්, අන්තර්ජාතික මුල්‍ය අරමුදල විසින් ණය ලබාදීමේ සාකච්ඡා ප්‍රමාද කිරීමත් වශයෙනි. මේ දෙකම වත්මන් දේශපාලන අර්බුදයේ ප්‍රතිඵල බවද එහි සඳහන්ව තිබිණි. එදින (28) දවස අවසානයේ රුපියල තරමක නැගීමක් පෙන්නුම් කළත් එයට හේතුව ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් විකුණා දැමීම බවද කියා තිබිණි. එහෙත් බ්‍රහස්පතින්දා වනවිට ඩොලරය යළිත් රුපියල් 182කටත් වඩා ඉහළ නැග තිබිණි. අපේ රට දැනට මුහුණදී සිටින රුපියලේ ගැටලුවේ බරපතළකම පෙන්නුම් කළ අවස්ථාවක් වශයෙන් මේ සිදුවීම සැලකිය හැකිය.

ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකාවේ රැපියල මේ වසර තුළදී අවප්‍රමාණය වීමේ ප්‍රතිශතය 17% කි. එය කලාපීය රටවල මට්ටමින් සැලකූ විට ඉතා ඉහළ අගයක් බව සැඟවිය නොහැක. එසේම ඔක්තෝබර් 26 වැනිදා දේශපාලන අර්බුදය හටගත් අවස්ථාවේ පටන් මේ දක්වා අවප්‍රමාණය වීමේ ප්‍රතිශතය 3.6%ක් වශයෙන්ද සටහන් වෙයි. තවදුරටත් අර්බුදය දිග්ගැසී ගියොත් රැපියල වැටෙන තැනක් සොයාගැනීම පවා අසීරු විය හැකිය. එහි බලපෑම අන් සියලු දෙනාටමත් වැඩියෙන් දැනෙනු ඇත්තේ අපේ රටේ පොදු මහජනතාවට බව විශේෂයෙන් කිවයුතු නැත. එය ජනතාවට වඩාත්ම දැනෙනු ඇත්තේ එදිනෙදා සෑම වියදමක්ම ඉහළ යන බවට සලකුණු තබමින් පොකැට්ටුව හිස්වන විටය.

ලංකාව ඩොලර් අහේනියට මුහුණදීමට බලපෑ තවත් කාරණාවක් වන්නේ ආයෝජකයන් පස්ස හැරවීමය. ඔවුන් ශ්‍රී ලංකාව තුළ බැඳුම්කර හරහා ආයෝජනය කර තිබෙන ඩොලර්වලින් පසුගිය සතිය වනවිට රුපියල් බිලියන 30ක් ආපසු ඇද තිබිණි. තවත් එවැනිම ආයෝජනද ආපසු ඇදගැනීමට ඔන්න මෙන්න කියන තත්ත්වයේ තිබෙන බවද අපට සිතාගත හැකිය. මේ ආයෝජකයන්ගේ කනස්සල්ලටද ප්‍රධානම හේතුව අප රට තුළ දේශපාලනයට අංශභාගය වැළඳීමය. ඔවුන් රටේ සල්ලි අදින විට රටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සෙසු ආයෝජකයන්ට සිදුවන්නේද පෙරට තැබූ පය ආපස්සට ගෙන කල් මැරීමය. අපේ දේශපාලන ලොක්කන් පෙරට තැබූ පය කිසිසේත් ආපසු නොගන්නා බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරන විට ආයෝජකයන් කරන්නේ ආපසු නොඑන්නම පය පිටුපසට ගැනීමය. දේශපාලන අර්බුදය විසඳාගැනීම පමාවන තරමට රැපියලට සිදුවන හානියේ ප්‍රමාණයද වැඩිවනු ඇත. එහි බලපෑම්ද උග්‍රවනු ඇත.

මීට අමතරව ලංකාව ඇතුළත සිදුකෙරෙන මහා පරිමාණයේ ගනුදෙනුද ඇනහිට තිබෙන බව පෙනී යයි. බොහොමයක් මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් තමන්ගේ ඉදිරි සැලසුම් තාවකාලිකව නතර කර දමා තිබේ. මේ එළඹෙන වසරේ අවසන් මාසයේදී තමන්ගේ ව්‍යාපාරික කටයුතු වර්ධනය කර ගැනීමේ අදහසක් ඔවුන් තුළ තිබුණා නම් ඒ සියල්ල මේ වනවිට වෙනස් කරගෙන සිටින බවට සැකයක් නැත. ජනතාවගේ අපේක්ෂාද එකිනෙක බිඳවැටෙමින් තිබේ. අතට ලැබෙන වැටුපෙන් සහ බෝනස් ඇතුළු වෙනත් දීමනා ලබාගෙන නත්තල - නව අවුරුද්ද සැමරීමට ඔවුන් තුළ වූ බලාපොරොත්තුවලටද සිදුව ඇත්තේ ඩොලරය හමුවේ රුපියලට වෙච්ච දේමය. මේ යන විදියට ඩොලර් එකට රුපියල් 200ක් ගෙවීමට සිදුවන දවසක් වැඩි ඈතක නොවන බව ජනතාවට නම් වැටහෙමින් තිබේ. එහෙත් කරුමය වී ඇත්තේ එය බලපොරයේ හවුල්කාරයන්ට නොපෙනීමය. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00