2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

තරාදියට වැටුණු ආණ්ඩුව

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 107

ලංකාවෙ දේශපාලන අර්බුදයේ කේන්ද්‍රය හිටපු අගමැති අස්කිරීම නම් එහි විසඳුම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත රැඳී තිබෙන බව දැන් පැහැදිලිය. පසුගිය සිකුරාදා (30) සවස් භාගයේදී ආණ්ඩුව වෙනස් වී යළිත් එ.ජා.පෙ. ආණ්ඩුවක් එනු ඇතැයි ලොකු රාවයක් පැතිර ගියේය. එයට හේතුව වූයේ ඊට කලින් දවසේ ටී.එන්.ඒ. මන්ත්‍රීන් 14 දෙනකුගෙන් යුත් පිරිසක් සිය අත්සන් යොදමින් එ.ජා.පෙ. පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දක්වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීමය. ඒත් සමඟ පාර්ලිමේන්තුව තුළ බහුතරය සිටින බවට තහවුරු කෙරෙන අත්සන් සමඟ නාමලේඛනයක් තමාට ලබාදුන්නොත් එ.ජා.පෙ. අගමැතිවරයකු පත් කරන බවට ජනාධිපති සිරිසේන මහතා කලින් කළ ප්‍රකාශයේ අවශ්‍යතාව සම්පූර්ණ විය. එහෙම කිව්වත් අර්බුදය නම් එහෙම ලෙහෙසියෙන් විසඳෙන පාටක් පෙනෙන්නට නැත.

ටී.එන්.ඒ. සහාය එ.ජා. පෙරමුණට ලැබෙන බවට සඳහන් අත්සන් එසේම පවතින්නේ නම් එම පෙරමුණට මන්ත්‍රීවරුන් 115කගේ සහාය ලැබෙන බව පැහැදිලිය. මෙතෙක් දවසක් මෛත්‍රීපාල ජනාධිපතිවරයා පත් කළ නව ආණ්ඩුවේ අගමැති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකයන් සඳහන් කළේ ජවිපෙ හෝ ටී.එන්.ඒ. හෝ පවතින ආණ්ඩුවට විශ්වාසභංග ගෙන ඒමට සහාය දැක්වුවත් එ.ජා. පෙරමුණේ ආණ්ඩුවක් හැදීමට සහාය දක්වන බවක් කියා නැති බවය. පසුගිය බ්‍රහස්පතින්දා (29) වනතුරු එම කතාවට ලොකු බරක් තිබුණි. කොටින්ම ඊට දින දෙක තුනකට ඉහතදී චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ගාල්ලේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 103කගේද එ.ජා. පෙරමුණට මන්ත්‍රීවරුන් 101ක ගේද සහාය තිබෙන නිසා බහුතරය ඇත්තේ තමන්ගේ ආණ්ඩුවට බවය. එසේම ටී.එන්.ඒ. හෝ ජවිපෙ හෝ එ.ජා. පෙරමුණු ආණ්ඩුවක් හැදීමට සහාය දක්වන බව ලිඛිතව දැන්වුවොත් බහුතරය තමන්ට අහිමිව යන බව පිළිගන්නා බවත්ය. චන්දිමගේ අදහස අනුව නම් මේ වනවිට ඔවුන් දැන් සිටිය යුත්තේ බහුතරය අහිමිව ගිය තත්ත්වයක් තුළ බව පැහැදිලිය. එහෙත් එය පිළිගැනීමට ජනාධිපතිවරයා හෝ පත් කරන ලද අගමැතිවරයා සූදානම්ද?

එසේ සූදානම්දැයි සොයාගත හැක්කේ මේ දෙදෙනාම පසුගිය දිනවලදී සිදුකළ ප්‍රකාශ දෙස බැලීමෙනි. ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ අගමැතිගේ වියදම් කැපීමේ යෝජනාව සම්මත කර ගැනීමෙන් පසුව කතානායකවරයා මුණගැසුණේය. එම අවස්ථාව සඳහා මැදිහත්කරුවකු වශයෙන් නව රජයේ පත් කළ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කළ බව පෙනෙන්නට තිබුණි. ඔහු පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව කතාවක් කරමින් ප්‍රකාශ කළේ පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීමට කතානායකවරයා මැදිහත් විය යුතු බවය. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර මතුවී තිබෙන අර්බුදය හේතුවෙන් රට අස්ථාවර වී ඇති බවද එය අවසන් කොට රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම අවශ්‍ය යැයිද ඔහු ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව තුළ බහුතරය හිමි පුද්ගලයාට හෝ කණ්ඩායමට රජයක් පිහිටුවීමට අවස්ථාව දිය යුතු බවද ඔහු කීය.

මේ කතාවට යූ.එන්.පී. මන්ත්‍රී රාජිතද සහාය පළ කළේය. සාමකාමීව මේ අර්බුදය විසඳාගැනීම දුෂ්කර වුවත් එය කළ යුතුව ඇතැයිද ඔහු කීය. මෙහිදී කතානායකවරයාද ප්‍රකාශ කළේ තමා ජනාධිපති හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බවය. ජනාධිපති හමුවී සාකච්ඡා කිරීමට කිසිම බාධාවක් තමන්ට නැතැයිද ඔහු කීය. එදින සවස් කාලයේ ජනාධිපති සහ කතානායක අතර හමුව සිදුවිය. එතෙක් පාර්ලිමේන්තුව මැදිකර ගනිමින් ජනාධිපති සහ කතානායක අතර ඇතිව තිබූ කඹ ඇදිල්ලට කිසියම් විරාමයක් හෝ අවසානයක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා තුළ බලාපොරොත්තු ගොඩනැංවුණෝය. සිකුරාදා වනවිට අර්බුදය විසඳෙන ලකුණු පහළවෙමින් තිබූ බවටද මත පළවෙන්නට විය.

එසේ වුවද ඊට සැබෑ විසඳුමක් ලැබෙනු ඇද්ද යන්න තීරණය වීමට තිබුණේ සිකුරාදා (30) පස්වරැවේ යූ.එන්.පී. ප්‍රමුඛ හිටපු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ නායකයන්ද ටී.එන්.ඒ. නායකයන්ද සමඟ වෙන වෙනම ජනාධිපතිවරයා කැඳවා තිබූ සාකච්ඡා වලදීය. මේ සාකච්ඡාවට හෝ අර්බුදයට සම්බන්ධ කිසිම සාකච්ඡාවකට හෝ නොයන බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක තදින්ම ප්‍රකාශ කර තිබුණි. ඔවුන්ගේ තර්කයේ පදනම වන්නේ මෙම අර්බුදයේ මූලික වැරදිකරු ජනාධිපතිවරයා බවය. ව්‍යවස්ථාවට එරෙහිව ජනාධිපතිවරයා කුමන්ත්‍රණය කර ඇතැයිද මේ සාකච්ඡාද එම කුමන්ත්‍රණයේම කොටස් යැයිද ඔහු සඳහන් කර තිබුණි. ජනාධිපතිවරයාගේ පාලන ක්‍රමය ගැන ඔවුන්ගේ විශ්වාසය බින්දුවටම වැටී ඇතිබව මේ කතාවෙන් පැහැදිලි වෙයි. සිකුරාදා (30) සාකච්ඡාවේ ප්‍රතිඵල මේ සටහන තබන තුරු දැනගන්නට නොලැබිණි.

කොහොම වුණත් දැනට නම් පෙනෙන්නට තිබෙන්නේ අරගලයේ සියලු පාර්ශ්වකරුවන් පාර්ලිමේන්තුව තුළ උද්ගතව තිබෙන දේශපාලන අර්බුදය ශ්‍රේෂ්ඨාධිකරණය හරහා විසඳාගැනීම කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙන බවය. සිකුරාදා (30)යින් පසුව යළිත් දෙසැම්බර් 05 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස් නොකරන බව කතානායකවරයා ප්‍රකාශ කළේය. දෙසැම්බර් 07 යනු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වන අර්බුදයට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන දවසය.

එසේ වුවද ඒ වනවිට පාර්ලිමේන්තුව තුළ බහුතරය ඇත්තේ තමන්ට බව යූ.එන්.පී. ප්‍රමුඛ එ.ජා. පෙරමුණ අවස්ථා කිහිපයකදීම පෙන්වා දී තිබිණි. පාර්ලිමේන්තුව තුළදී සම්මත කරගන්නා ලද ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක්ද ඒ අතර වෙයි. එම යෝජනාවල ප්‍රතිඵල පිළිනොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එම යෝජනා නිවැරුදි ලෙස ඉදිරිපත් කොට සම්මත කරගන්නා ඒවා නොවූ බැවින් එම ප්‍රතිඵල පිළිගත නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි. ජනපති විසින් පත් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාර්ලිමේන්තුවට නොයන්නේ මන්දැයි කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ නීති විරෝධී ලෙස පවත්වන රුස්වීම්වලට තමන් සහභාගි නොවන බවය. අපි මග අරින්නෙ නෑ. කතානායකවරයා නීතියට ගරැ කරන්නෙ නෑ. ඔහුගේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග නිසා අපි රැස්වීම්වලට නොයන්න තීරණය කළා* යැයි මහින්ද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේය.

මේ අදහස් දැක්වීම් කෙසේ වුවත් ජනාධිපතිවරයා අලුතින් පත් කළ අගමැති ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට නොයන්නේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වීමට බහුතර බලයක් නොමැතිවීම නිසා බව පැහැදිලිය. කතානායකවරයාගේ ක්‍රියා කලාපයත් යූ.එන්.පී. ප්‍රමුඛ එ.ජා. පෙරමුණේ අධිවේගී හැසිරීමත් විසින් මහින්දලාට ඒ සඳහා පාර කපාදී ඇති බවත් නිසැකය. මෙවැනි අර්බුදයකදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම කඩිනමින් සිදුකළ යුතු වුවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලු ස්ථාවර නියෝග අත්හිටුවා කලබලකාරී ලෙස කටයුතු කිරීම යූ.එන්.පියේ අවාසියට හේතු වී තිබේ. විශ්වාසභංග යෝජනා සම්මත වුවත් ඒවා පිළිනොගන්නා බව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට කියන්නට ඉඩ සැලසුණේ ඒ හේතුවෙනි. නමුත් ටී.එන්.ඒ. තම සහාය එජා පෙරමුණු ආණ්ඩුවට ලිඛිතව ප්‍රකාශ කිරීම හේතුවෙන් ප්‍රශ්නය තවදුරටත් සංකීර්ණ තත්ත්වයට හරවා තිබේ. ඒ සමඟ දෙසැම්බර් 07 වැනිදා වනතුරු ආණ්ඩුව දැනට පවතින තත්ත්වයෙන් ඉදිරියට ගෙන යාමේ වගකීම ජනාධිපතිවරයා අතට පත්ව තිබෙන වගකීමක් වී තිබේ. මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ තමන් අගමැති ධුරයෙන් අස් නොවන බවය. ඔහු මේ තනතුරට පත් කළේ ජනාධිපතිවරයාය. එසේ නම් අස් කළ යුත්තේද සම්මත වූ විශ්වාසභංග යෝජනා පිළිනොගන්නා බව කියන ජනාධිපතිවරයාමය. පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව ඇතුළේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ලවා සිදුකෙරුණේ ඒ සඳහා පසුබිම හදාගැනීමක්ද? රතන හාමුදුරැවන් පවා එහිදී පාර්ලිමේන්තුවට පැමිණ බහුතරය තිබෙන පාර්ශ්වයට රජයක් පිහිටුවීමට බලය දිය යුතු යැයි කිව්වේත් ඒ නිසාමද? මේ දෙදෙනාටම වඩාත් කිට්ටු නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.

මේ පෙළගැස්ම හමුවේ වඩාත්ම පැහැදිලිව පෙනෙන්නේ සියලුදෙනාම ලබන දෙසැම්බර් 07 වැනිදාට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදෙනු ඇතැයි විශ්වාස කෙරෙන තීන්දුව දෙස බලා සිටින බවය. ලබන 04 වැනිදා සිට විභාගයට ගැනෙන එම මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරැවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට්ටුව බල රහිත කරන ලෙසටය. මේ නඩු විභාගය මෙරට ජනතාවගේ පමණක් නොව ජාත්‍යන්තරයේද ප්‍රබල අවධානයකට ලක්වෙන බවට කතා දෙකක් නැත. ජාත්‍යන්තරයේ පවතින අදහස වන්නේ දැන් මේ රටේ පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති ආණ්ඩුවක් පවතින බවය. ලෝකයේ කිසිදු රටක් අලුතින් පත්වූ රජයට සුබපැතුම් පිරි නොනැමීම හරහා එය පෙනෙන්නට තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ රට තවදුරටත් අස්ථාවර වීම වළක්වා ගන්නට නම් ආණ්ඩු කරන්නේ කවුදැයි රටටත් ජාත්‍යන්තරයටත් පැහැදිලි විය යුතුය.

මහින්ද රාජපක්ෂ මහතා සිකුරාදා (30) අපගේ සහෝදර ඩේලිමිරර් පත්‍රයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පසුව මීළඟ උපාය මාර්ගය අනුගමනය කරන බවය. ජනාධිපතිවරයා දිගටම ප්‍රකාශ කරන්නේ කුමන හේතුවක් නිසාවත් යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් නොකරන බවය. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ මේ නීතිවිරෝධී ආණ්ඩු බලෙන් හෝ එළවා දැමීමට කාලය පැමිණ ඇති බවය. මේ සියල්ලෙන් පෙනෙන්නේ දෙසැම්බර් 07 වැනිදා ආණ්ඩුවේ ඉරණම අලුත්කඩේ තරාදියෙන් විසඳන තුරැ සියලු දෙනා බලා සිටින බවය.

  ශශීන්ද්‍ර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00