2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

අර්බුදයේ තුන්වැනි යාමය

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 187

ඊළඟට මොකද වෙන්නේ? ජජ්මන්ට් එක මොනවගේ දෙයිද? ඊට පස්සේ ඡන්දෙකට යයිද? මන්ත්‍රීවරුන් දෙසිය විසිපහම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහව නම් අගමැති කරන්නෙ නැහැ කියල ජනාධිපතිවරයා කිව්වේ අර්බුදය දැන්ම විසඳෙන්නෙ නෑ කියන එකද?

අද රටේ කවුරුත් කරන්නේ මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න මහන්සි වෙන එකය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ගැන තීන්දුව පත්‍රය මුද්‍රණයට යනතුරැ ප්‍රකාශයට පත්ව තිබුණේ නැත. නමුත් ඉදිරි දින දෙක තුනක කාලය තුළදී තීන්දුව නිකුත්වීමට නියමිතය. එය මේ රටේ දේශපාලන ගමන්මගේ ඓතිහාසික සලකුණක් තබන තීන්දුවක් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. එම තීන්දුවෙන් මෙහි මුලින් සඳහන් ප්‍රශ්නවලට උත්තර සොයාගත හැකි වුණොත් රට ගොඩය. නැතිවුණොත් මේ රට මෙතෙක් මුහුණ දී ඇති ලොකුම දේශපාලන අර්බුදයට පාර කැපෙනු ඇත.

මේ අර්බුදය බැලූ බැල්මට පෙනුණේ මහින්දට සහාය දක්වන මන්ත්‍රී කණ්ඩායමත් කථානායකවරයාත් අතර ස්ථාවර නියෝග සටනක් බවය. පාර්ලිමේන්තුව නීති විරෝධී පාර්ලිමේන්තුවක් බවටත් එය සිරිකොත රැස්වීම් පවත්වන ස්ථානයක් බවටත් චෝදනා කරන දිනේෂ් ඇතුළු එම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු රැස්වීම් දිගටම වර්ජනය කිරීමට එය හේතුවක් කරගෙන සිටියේය. මහින්දත් පසුගියදා කියා තිබුණේ නීති විරෝධී පාර්ලිමේන්තු රැස්වීම්වලට තමන් සහභාගී නොවන බවය. එහෙත් මේ ප්‍රකාශ සියල්ල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත්කර පිහිටුවූ අලුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය හදා ගැනීමට නොහැකි වීම වසා ගැනීමට යොදවාගත් උපාය මාර්ගයක් විය. ඒ උපායට පාර කැපුණේ කථානායකවරයාත් එජාපෙ මන්ත්‍රී කණ්ඩායමත් හදිසි වෙමින් ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙනි. හැකි ඉක්මනින් යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුවට බහුතරය පෙන්වීමට තිබූ අවස්ථාවත් යම් විදියකින් එම බහුතරය නැතිවී යාමට තිබෙන ඉඩකඩ වළක්වා ගැනීමත් එම හදිස්සියට හේතු වූ බවට පෙනෙන්නට තිබුණද එහි වාසිය මහින්දගේ මන්ත්‍රී කණ්ඩායමේ ඔඩොක්කුවට වැටුණේය.

එහිදී කථානායකවරයාට සිදුවූයේ එ.ජා.පෙ. මන්ත්‍රී කණ්ඩායමේ පීඩනයට හසුවීමටය. මේ නිසා ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මේ සියල්ල පාර්ලිමේන්තු රුස්වීම් වර්ජනය කරමින් තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නොමැති වීම යටපත් කර ගැනීමටත් ඒ බව රට හමුවේ ප්‍රකාශ කිරීමටත් මහින්දගේ මන්ත්‍රී කණ්ඩායමට අවස්ථාවක් ලැබිණි. මෙය තමන්ට බහුතරය ඇති බව හැකි ඉක්මනින් රටට පෙන්වා ආණ්ඩුව තම අතට ගැනීමට වලි කෑ යූ.එන්.පී.ය ප්‍රමුඛ එජාපෙට තිබූ හදිසියත් හොඳින් බැරිනම් නරකින් හෝ අලුත් ආණ්ඩුව තමන්ගේ අතේ තබා ගැනීමට මහින්දගේ මන්ත්‍රී කණ්ඩායමට තිබූ ඕනෑකමත් අතර සටනක් බවට පත්විය. ඒ සටන තවමත් ඉවර නැත. නමුත් මේ ගැන විචාරයක් කළ එක් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේ ස්ථාවර නියෝග අත්හිටුවීමකින් තොරව මහින්දගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙන ඒමට යූ.එන්.පී.ය ක්‍රියාකළත් ඔවුන්ගේ හැසිරීම මේ වගේම වනු ඇති බවය. ඒ හැර වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට මහින්දගේ මන්ත්‍රී කණ්ඩායමට හැකියාවක් නැති බවය. එයට හේතුව ආණ්ඩුවක් හදා ගැනීමට අවශ්‍ය බහුතරය සොයාගැනීමේ ගැලවිජ්ජාව මුලපටන්ම කූරියා ගසා සිටීම හේතුවෙනි.

ඇත්ත වශයෙන්ම මේ දේශපාලන අර්බුදයට හේතුව කථානායකවරයා, ස්ථාවර නියෝග හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායයේ පිළිබඳ ගැටලු නොවේ. මෙය පැහැදිලිවම විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමකි. හරියටම කිව්වොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාත් අතර ගැටුමකි. ඒ ගැන කිසියම් හෝ කුකුසක් තිබුණා නම් එයද පසුගිය 04 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාවෙන් අහෝසි වී ගියේය. ශ්‍රීලනිප නියෝජිත පිරිසක් ඉදිරියේ තබාගෙන රටේම ජනාධිපති වශයෙන් කටයුතු කරන මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කිව්වේ මොකක්ද?

• රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පුටුවෙන් ඉවත් කළේ ඔහු පිරිසුදු යහපාලන සංකල්පය අමු අමුවේ ඝාතනය කළා නිසා.

• මුරණ්ඩු මිනිසකුගේ වැඩකරමින් රට වගේම එක්සත් ජාතික පක්ෂයත් රනිල් වික්‍රමසිංහ විනාශ කළා. යම් පමණකට මාවත් විනාශ කළා.

• රනිල් වික්‍රමසිංහ අද පුටුව රුකගැනීමට බටහිර රටවල් වන්දනා කරනවා.

• පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කරලා දුන්නත් මම රනිල් පත් කරන්නේ නෑ,

මෙහෙම ශ්‍රීලනිප නියෝජිතයන් ඉදිරියේ රටටම ඇසෙන ලෙසට රනිල්ව දිගට හරහට විවේචනය කළ ජනාධිපතිවරයා රනිල් කරන්නේ රටට නොගැලපෙන දේශපාලනයක් බවද ප්‍රකාශ කළේය. අන්ත දක්ෂිණාංශිකවාදයෙන් ඔහු හිරිවැටී ඇති බවද ජනාධිපතිවරයා කිව්වේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම දැඩි ප්‍රකාශය පමණක් නොව ඔහු එම කතාව කරද්දී ඔහුගේ දිස්වුණු බොඩි ලැන්ග්වේජ් එකද බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. ඔක්තෝබර් 26 වැනිදා තීන්දුවෙන් දින 02කට පසුව ජාතිය අමතමින් තමන් ගත් තීන්දුවට හේතු දැක්වූ අවස්ථාවේදී ජනාධිපති ළඟ තිබුණු සංයමය, සන්සුන් බව, සියලු ජනතාවට ආමන්ත්‍රණය කළ ස්වභාවය දෙසැම්බර් 04 වැනිදා කතා කළ අවස්ථාවේ අහලකවත් තිබුණේ නැත. ගෙවුණු සති කිහිපය තුළ අර්බුදය ගමන් කළ දිශාව ගැන පැහැදිලි ඉඟියක් එම කතාවේ ගැබ්වී තිබුණි. ඒ බව ශ්‍රීලනිප පාක්ෂිකයන් පමණක් නොව රටේ සියලුම දෙනාට දැකගත හැකි විය.

එදා ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තමන් යළිත් කිසිවිටෙකත් දේශපාලන ගනුදෙනුවකට නොයන බවය. රනිල්ට අගමැතිකම නොදීමට තමන් තුළ ඇති තීරණය ප්‍රකාශ කළ අවස්ථාවේ රටේ ව්‍යවස්ථාව තුළ අගමැතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් පවතින වගන්ති කෙරෙහි ජනාධිපතිවරයා සැලකිල්ලක් නොදැක්වූ බව පෙනේ යැයි එම කතාව ගැන විවේචනයක් තිබූ එක් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් තමන්ට සමීප මාධ්‍යවේදියකුට කිව්වේය. රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම නොදෙන බවට ජනාධිපතිවරයා දැඩිව කියද්දී ඔහුට සහාය දක්වන යූ.එන්.පී. ප්‍රමුඛ එජාපෙ මන්ත්‍රීන් කියන්නේ රනිල් හැර වෙනත් කෙනකු අගමැති ධුරයට යෝජනා නොකරන බවය. උසාවියේ තීන්දුව කුමක් වුවද අර්බුදයේ කොටස්කරුවන් අතර සාමූහික එකඟතාවයකින් එම අර්බුදය අවසන් කිරීමට අදහසක් නැති බව මේ කතාවලින් පෙනී යයි.

ජනාධිපති තමන්ගේ කතාව කොහොම කළත් එයට රනිල්ද උත්තර දුන්නේය. එම උත්තරය තුළ ජනාධිපතිවරයා බුදුදහම සම්බන්ධ කරගනිමින් දැක්වූ උපහැරණයකට උත්තරයක්ද තිබුණි. ඔහු පිළිතුරු දීම සඳහා අවස්ථාව යොදාගෙන තිබුණේ දේශපාලන වේදිකාවක් නොව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ* සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයයි. එය පැවැත්වුණේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදීය. මේ තාච්චියයි කතා කරන්නේ* යනුවෙන් ආරම්භ කළ කතාවේ මෙසේ සඳහන් විය.

• මට කළ අවලාද, දොස්, නිග්‍රහ, අපවාද හා අපහාස සියල්ල බමුණ ඔබට බාරයි. මම කාටවත් අවවාද, අපහාස, නොකරනවා සේම කිසිවකුත් නගන අවලාද - තීන්දු බාරගන්නෙත් නෑ.

• අප මේ අවුරුදු තුනේදී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. අලුත් රටක් වෙනුවෙන් ගමන ආරම්භ කළා.

• මීට ඉස්සෙල්ලා අධිකරණ තීන්දු දෙන්න කලින් විනිසුරුවරුන්ට දුරකතන ඇමැතුම් දුන්නා. ජංගම දුරකතනයෙන් කතාකර නඩු ගැන ඇහැව්වා. 2015න් පස්සේ එහෙම වුණේ නෑ.

• මෙතැන මහානායකවරුන්ගේ හෝ විහාරාධිපති හිමිවරුන්ගේ හෝ ප්‍රශ්නයක් නැහැ. මෙතන තිබෙන්නේ විනය පිටකය පිළිබඳ ප්‍රශ්නයක්.

• රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. මේ තිබෙන්නේ ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක්. රටක් කටයුතු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි.

පාර්ලිමේන්තුවේ 225ම කිව්වත් අගමැතිකම දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශය තමන්ගේ නොව ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයක් බවත් පාර්ලිමේන්තුවට කන් නොදී කටයුතු කිරීමට කටයුතු කළ නොහැකි බවත් රනිල්ගේ කතාවේ සඳහන් වී තිබුණි. එය 225 කතාවට උත්තරයක් බව සැබෑය. එහෙත් ජනාධිපතිවරයා දිගින් දිගටම තම ස්ථාවරය වෙනස් නොකර හිටියොත් කුමක් විය හැකිද?

භාරකාර ආණ්ඩුවක් ගැන දැන් කතාබහක් ඇති වී තිබෙන්නේ ඒකට පිළිතුරක් වශයෙන්දැයි දැන්ම කියන්න අමාරුය. හැබැයි මහ මැතිවරණයකට යාමට නම් ඒ සඳහා අඩුම වශයෙන් භාරකාර ආණ්ඩුවක් හෝ හදාගැනීම අවශ්‍යම සාධකයක් බව පැහැදිලිය. එවැනි ආණ්ඩුවක සංයුතිය මොනවගේදැයි තීරණය කිරීමද ලොකු ගැටලුවක් වනු ඇත. මෙවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයා ලබාදෙන නිර්නායක පිළිගැනීමට යූ.එන්.පී.ය නම් එකඟ නොවන බව නම් සහතිකය.

දැනට ශ්‍රී ලංකාව දැනට සිටින තත්ත්වය උපමා කළ හැක්කේ අධිකරණ තීන්දු දෙකක් මත රඳා පවතින රටක් හැටියටය. එකක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වන අතර අනෙක අභියාචනාධිකරණයේ තීන්දුවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට නඩුව විභාග වෙමින් පැවැතියත් අභියාචනාධිකරණයේ නඩුව අහන්නේ ලබන 12 වැනිදාටය. එම නඩුව ඇසීමට තීන්දු කිරීමත් සමඟ අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයම රාජකාරිවලින් ඉවත් කෙරුණි. දැනට රටට ඉන්නේ ජනාධිපති පමණි. පාර්ලිමේන්තු ආණ්ඩුවක් ක්‍රියාත්මක නැත. ඒ ගැන අදහස් ප්‍රකාශ කිරීමට පසුගිය ඔක්තෝබර් 26 වැනිදා පත්කරනු ලැබූ අගමැති මහින්ද යොදාගත්තේ තමන්ගේ දේශපාලන සටන් බිමේ එක් ස්ථානයක් වන නාරාහේන්පිට අභයාරාමයයි. මහ මැතිවරණයක් ඉල්ලා අත්සන් කළ පන්ලක්ෂයකගේ පෙත්සමට අත්සන තැබූ මහින්ද එහිදී මෙසේ කිව්වේය.

නඩුවේ තීන්දුව පිළිබඳව මට මොකුත් කියන්න බැහැ. දැන් අපේ අයගේ කරැණු ඉදිරිපත් කරලා තිබෙනවා. අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට අපි එකඟ නැහැ. අපි මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. මේ වගේ දෙයක් ලෝකයේ කොහේවත් සිදුවෙච්ච නැති දෙයක්. ලෝකයේ පළවැනි වතාවට තමයි පහළ අධිකරණයකින් මේ වගේ තීන්දුවක් ලබා දුන්නේ. 

එජාපය අපට සම්පූර්ණයෙන් අපහාස කරනවා. අමු බොරු හද හදා කියනවා. නඩුවලට බයේ අපි ආණ්ඩුව පිහිටෙව්වා කියලා කියනවා. ඒක වැරදියි. දේශපාලන පලිගැනීම්වලට අවශ්‍ය නඩු පවරලා ඉවරයි. අධිකරණයේදී අපි ඒකට මුහුණ දෙන්න ලෑස්තියි.

මහින්ද තමන්ගෙන් තාවකාලිකව අත්හිටුවා ඇති අගමැති සහ ඇමැති මණ්ඩල තනතුරු ලබාගැනීම සඳහා උසාවි ගියත් ඔහුගේද ලොකුම බලාපොරොත්තුව මහ මැතිවරණයකි. ඒ බවද ඔහු එතැනදී කිව්වේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ මහින්දගේ රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනා සහ රනිල්ගේ බහුතරය යන දෙකම නොපිළිගන්නා තත්ත්වය තුළද ඇත්තේ මහ මැතිවරණයක උවමනාවකි. අස්කළ අගමැති රනිල් ප්‍රකාශ කරන්නේද නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ පවත්වන මහ මැතිවරණයකට තමන්ගේ පක්ෂය සූදානම් බවය. එහෙනම් අධිකරණයේ තීන්දුවද මේ අදහස් එකට ගලපාගත හැකි විදියට ලැබුණොත් නම් රට පවතින මේ අගාධයෙන් ගොඩ ඒමට ඉඩ ලැබෙනු ඇත.

  ශශීන්ද්‍ර