2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

ෂැංහයි මහිමය

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 519

අපේ 1978 චීන සංචාරයේ උච්ච අවස්ථාව වූයේ ෂැන්හයි නගරයට පැමිණීමයි. බීජිං නගරය චීනයේ අගනගරය වුවද එහි වැදගත්කම රැඳී තිබුණේ එහි විසූ නායකයන් හා දේශපාලන අධිකාරිය මතයි. විප්ලවයට පෙර වුවද චීන අධිරාජ්‍යවරැන් වැඩ විසුවේ බීජිං නගරයේය. එහි පිහිටා තිබූ “තහනම් නගරය” වැඩවසම් කාලයේ චීන බලයේ සංකේතයක් වැනි විය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමඟ වරක් නිල සංචාරයක යෙදුණු අපට මෙම “තහනම් නගරයේ” දොර අගුල් විවෘත කර එහි අස්සක් මුල්ලක් නෑර නැරඹීමට අවස්ථාව සලසන ලදී. එසේ දේශපාලන මර්මස්ථානය බිජිං වුවද රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය වූයේ ෂැන්හයි නගරයයි. 

ආසියාව යටපත් කරගත් යුරෝපා අධිරාජ්‍යවාදීහු ප්‍රධාන නගර දෙකක් ඉදි කළෝය. ඉන්දියානු අධිරාජ්‍යයේ අගනුවර වූ කල්කටාව ඉන් එකකි. අනෙක චීනයේ ෂැන්හයි නගරයයි. නගර දෙකම මහා සාගරයට මුහුණලා පිහිටා තිබුණි. එමෙන්ම ඒ අග නගර අසල ආරම්භ වී රට තුළ විහිදා යන ගංඟා පද්ධතියක් තිබුණේය. කල්කටාව හුග්ලි ගඟ අසබඩද, ෂැංහයි චම්පෝවා ගඟ අසබඩද පිහිටා තිබුණේය. මේ මුහුදු හා ගංගා මාර්ග එක්වීම නිසා එම නගර දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාමේ මර්මස්ථාන බවට පෙරළී තිබුණි. එසේ වෙළෙඳාම මත ගොඩනැගුණු වානිජ සංස්කෘතියක් තුළ ජාත්‍යන්තර ලක්ෂණ බොහොමයක්ද ගොනු වී තිබුණේය. එම ආර්ථික සුසංයෝගය තුළින් ඉන්දීය හා චීන “කොම්ප්‍රදෝරු” පන්තියක් ගොඩනැගුණේය. 
විදේශීය ආක්‍රමණිකයෝ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම තම ආධිපත්‍යයට ගත්තෝය. ඉංග්‍රීසි කලාපය, ප්‍රංශ කලාපය, හා ඇමරිකන් කලාපය යනුවෙන් මේ ඓතිහාසික නගරය කොටස්කර බෙදා වෙන්කරන ලද්දා පමණක් නොව ස්වකීය කලාපයන් තුළ පොලීසිය හා යුධ හමුදාව මෙහෙයවීමද එම  විදේශිකයන් අතට පත්වී තිබුණේය. වරක් ඉංග්‍රීසි කලාපය තුළ කැරැල්ලක් ඇති වූ විට එය මැඬලීමට ඉන්දියාවෙන් ගෙන්වන ලද්දේ මැරෑටි හා සීක් සොල්දාදුවන්ය. 1915 දී ලංකාවේ ‘කැරැල්ල’ මර්දනය කිරීමට ඉංග්‍රීසීන් ගෙනාවේද මේ මැරෑටි සොල්දාදුවන්ය. 

චීන කොමියුනිස්ට් පක්ෂය අරඹන ලද්දේ ෂැංහයි නුවරදීය. මුලට එහි සාමාජිකයන් වූයේ බටහිර රටවල් වල හා රුසියාවේ ඉගෙනගත් අය මෙන්ම ෂැංහයි නගරයේ ශිෂ්‍ය සටන් වලට සම්බන්ධ වූ අයයි. ඔවුන් අතුරින් “පිටස්තරයකුගේ” භූමිකාව හිමිවූයේ මාඕ සේතුංට පමණය. ස්ටාලින් විසින් එවන ලද උපදේශකවරු මෙම නව පක්ෂය හැසිරවීමට මහන්සි ගත්තෝය. ඔවුන් කොමියුනිස්ට් ජාත්‍යන්තරයට හෙවත් “කොමින්ටර්න්“ එකට සම්බන්ධ වූ බැවින් චීන කොමියුනිස්ට්වාදීහුද මුලදී විදේශ උපදේශයන් දේවත්වයෙන් සැලකූහ. යුරෝපීය කොමියුනිස්ට් න්‍යායයක් අනුගමනය කරමින් ඔවුහු චීන කොමියුනිස්ට් නායකයන් හරහා සුප්‍රසිද්ධ ෂැංහයි නැගිටීම සංවිධානය කළහ. ඔවුන්ට ලැබුණ උපදෙස වූයේ චීන කම්කරුවන් වැඩියම ෂැංහයිවල සිටි නිසා කම්කරු පන්තිය මුල්කරගෙන විප්ලවය පටන්ගත යුතු බවයි. එහෙත් ෂැංහයි නැගිටීම අතිශයින්ම අසාර්ථක විය. ෂැංහයිහි විසූ “ග්‍රීන් ගැන්ග්” දාමරික  කණ්ඩායමේ සහාය ඇතිව අධිරාජ්‍යවාදීන් විසින් කොමියුනිස්ට්වාදීන්ව සමූලඝාතනය කරන ලදී. එහි නායකයා වූ චූ එන් ලායි කාන්තාවකගේ වෙස්ගෙන ෂැංහයි නගරයෙන් පැනගොස් යෙනාන් නම් මධ්‍යම  කඳුකරයේ සිටි මාඕට එක්විය. ෂැන්හයි නැගිටීමේ අවාසනාවන්ත ඉරණම නිසා මාඕ නගරය තුළින් නොව ගම්බද ජනතාව මුල්කර ගෙන විප්ලවයක් ගොඩනගන හැටි ගැන කල්පනා කරන්නට විය. සෝවියට් උපදේශකවරුන් ගැන ඔහු තුළ ප්‍රසාදයක් නොවීය. 

ෂැංහයිවල ජාත්‍යන්තර ගතිය වඩාත් කැපී පෙනුණේ යුරෝපයේ සරණාගතයන් එහි ගලා ඒම නිසයි. රැසියන් විප්ලවයෙන් පසු එහි කොමියුනිස්ට් විරෝධී පැලැන්තියේ බොහෝ දෙනකුට යනඑන මං නැති විය. ඔවුන්ගෙන් සමහරු ඇමරිකාවට හා ප්‍රංශයට පැන ගත්තෝය. තව කොටසක් චීනයට පැන ආවේ සයිබිරියන් දුම්රිය හරහාය. ඔවුන් අතර නළුවන්, නිළියන්, රචකයන් හා චිත්‍ර ශිල්පීන් වැනි කලාකරුවන් සමූහයක්ද  වූහ. ඉන්පසුව හිට්ලර්ගේ ග්‍රහණයෙන් මිදුණු යුදෙව්වන්ගේ කණ්ඩායමක්ද ෂැංහයි වලට පැනගත්තෝය. ඔවුන් බොහෝ දෙනෙක් ඉතාම අසරණ ජීවිත ගතකළ නමුත් ඔවුන් අඩු තරමින් තමන්ගේ ජීවිතය රැකගත්තෝය. චීන කොමියුනිස්ට් පක්ෂයේ ආධාරකරැවන් අතර යුරෝපීය යුදෙව්වෝද වූහ. (එසේ හිට්ලර්ගේ ජර්මනියෙන් පැනගත් ඇතැම් යුදෙව්වන් ලංකාවට පැමිණ බුද්ධාගම වැළඳගෙන දොඩන්දූවේ යෝගාශ්‍රමයක් පිහිටෙව්වෝය.)

අපේ මුල් සංචාරයේදී හමුවූ ෂැංහයි නගරය පැරණි කොමියුනිස්ට් ආර්ථික ප්‍රතිපත්ති නිසා අබල දුබල ගතියෙන් පෙළෙන්නක් විය. ඉහළ මට්ටමේ හෝටලයක්වත් එකල එහි නොතිබුණේය. අපේ කණ්ඩායමට නවාතැන් ගැනීමට සිදුවූයේ චීන උසස් නිලධාරීන් සඳහා වෙන් කරන ලද සංචාරක නිවාසයකය. ඒ අවට කඩ සාප්පුවල කිසිම එළියක් තිබුණේ නැත.

විදේශීය සල්ලි ගෙවන අයට පමණක් ඇතැම් සුඛෝපභෝගී කඩ විවෘත වී තිබුණේය. ඉන් පිටත දේශීයයන්ට සීමාවූ සමූපකාර කඩ ඉදිරියේ කෑමට අවශ්‍ය බඩු මිලදී ගැනීමට පොරකන ජනතාව අපට දැකගත හැකි විය. ඊට වසර කීපයකට පෙර මුළු නූතන ඉතිහාසයේම අවාසනාවන්ත දුර්භික්ෂය ඇතිවූයේ චීනයේ බව අපට පසක් කරගත හැකි විය. වරක් මුළු ආසියාවේ වර්ණවත් නගරයක් වූ ෂැංහයිවල අපට දැකගත හැකි වූයේ ඊට දශක දෙකකට පමණ පෙර ඇමරිකන් සමාගම් විසින් “බන්ඩ්* නැමති ප්‍රධාන මාර්ගයට මුහුණලා සාදන ලද උස මාලිගා වැනි ගොඩනැගිලි පමණකි. මේ පසුබිම තුළ නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය ඇරඹුවේ කුඩා කර්මාන්ත ශාලා හා ජපන් අරුමෝසම් බඩුවල ලාභ ප්‍රතිනිර්මාණයන් තුළිනි.  එකල නව චීන රජයේ ප්‍රධානම ආර්ථික ආයුධය වූ ලාභ ශ්‍රම දායකත්වය යොදා ගැනීමට පිඹුරුපත් සකස් කරමින් සිටියහ.

මීළඟ ලිපියෙන් නව චීන ආර්ථික උපාය මාර්ගයන් සාර්ථක වූ සැටිත් ගඟෙන් එහා බැබැලෙන පුඩොං නව නගරය ඉදිවූ සැටිත් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.