2016 ඔක්තෝබර් 24 වන සඳුදා

ඇමැතිතුමා ගමට ඇවිත්

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 55

ආණ්ඩුවක ඇමැතිවරැන්ට සාමාන්‍යයෙන් ඡන්ද දායකයන් දොස් පවරන බව ප්‍රසිද්ධ රහසකි. නමුත් එසේ කරන්නේ එළිපිට නොවේ. බැණ වදින්නේත් මූණට නොවේ. ඇමැතිවරැන් තමන්ගේ ආසනයට හෝ ප්‍රදේශයට ගිය විට පළාත් වාසීන්ගෙන් අසන්නට ලැබෙන්නේ රොස් පරොස් නොව ගුණ වැනුම්ය. ප්‍රශස්ති ගායනාය. ඇමැතිතුමා දැක්කත් අපිට ඇති වැනි කතාය. එසේ වුවත් ඇමැති නැති තැන ඔහුගේ හෝ ඇයගේ පතුරැ අරින සපෝටර්ලාද හිඟ නැත. නමුත් ඔවුන් එවැනි අවර ගණයේ &ප්‍රශස්ති ගායනා* ඇමැතිලාගේ මූණ ඉදිරිපිට දී දිග හරින්නේ කලාතුරකිනි.


කලාතුරකින් සිදුවන එවැනි අවස්ථාවක මුහුණදීමට ලක්ෂ්මන් සෙනෙවිරත්න රාජ්‍ය ඇමැතිවරයාට පසුගියදා සිදුවිය. තම බල ප්‍රදේශය වූ මහියංගණයේ සංවර්ධන යෝජනා ක්‍රමයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා මේ සිද්ධියට මුහුණ දී තිබිණි. එම උත්සවයට ජනාධිපතිවරයාද සහභාගි වී සිටීම හේතුවෙන් සිද්ධියට විශාල ප්‍රසිද්ධියක් ලැබුණේය. පුවත්පත්වල ප්‍රමුඛස්ථානයක් මේ සිද්ධියට ලබා දී තිබූ අතර රෑපවාහිනී නාළිකාවලටද එය ප්‍රවෘත්තියක් විය. කොටින්ම එම සිද්ධිය මාධ්‍යයට හොඳ කටගැස්මක් විය.


සාමාන්‍යයෙන් මැති ඇමැතිවරැන්ට ප්‍රසිද්ධිය යනු මාළුවාට ජලය තරම්ම වටින්නේය. අද කාලයේ ප්‍රසිද්ධියක් නැත්නම් දේශපාලන ජීවිතයක්ද නැත. නමුත් ලක්ෂ්මන් සෙනෙවිරත්න ඇමැතිවරයාට නම් මේ සිදුවීම ඇසුරෙන් ලැබු‍ණේ කනපිට හැරැණු ප්‍රසිද්ධියකි. එනම් එය නොලැබුණා නම් හොඳය. ඒ බව පැහැදිලි වූයේ ඇමැතිවරයා තමන්ට දොස් පවරද්දී ඒ ස්ථානයෙන් හෙමිහිට ඉවත්ව යනු දැකිය හැකි වීමෙනි. 


මහියංගණය සහ රිදීමාලියද්ද පානීය ජල යෝජනා විවෘත කෙරැණු උළෙල මේ සිද්ධියට වේදිකාව විය. උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. උත්සවය අවසන් වී ජනාධිපතිවරයා ජනතාව අතරට ගිය අවස්ථාවේදී ලක්ෂ්මන් සෙනෙවිරත්න රාජ්‍ය ඇමැතිවරයාද ඊට එක් විය. ඒ අවස්ථාවේදී කාන්තාවක් කෙළින්ම රාජ්‍ය ඇමැතිවරයාට චෝදනා නැගුවේ &මෙයා නම් ගෙවල් හදලා දෙනවා කියලා පෙරොන්දු වුණා. ඊට පස්සෙ පැත්ත පළාතෙ ආවේ නෑ* යනුවෙන් ප්‍රකාශ කරමිනි. ඇය එම ප්‍රකාශය උස් හඬින්ම සිදුකළ නිසා එය මාධ්‍යවල හොඳින් සටහන් වී තිබිණි. එසේම ලැජ්ජාවෙන් ඇඹරෙමින් රාජ්‍ය ඇමැතිවරයා ස්ථානයෙන් පසෙකට යනු දැකගත හැකි විය. 


සිද්ධිය එතැනින් නිමවූයේ ජනපතිවරයා විසින් එම කාර්යය ඉටුකිරීමේ වගකීම මහියංගණ ආසන සංවිධායකවරයාට පැවැරීමෙනි.
අප ප්‍රකාශ කරන්නේ මේ සිද්ධිය ලක්ෂ්මන් සෙනෙවිරත්න රාජ්‍ය ඇමැතිවරයාට පමණක් මුහුණදීමට සිදුවූ හුදෙකලා සිදුවීමක් වශයෙන් නොදැකීමට සෑම මැති ඇමැතිවරයකුටම වගකීමක් තිබෙන බවය. මෙය එදා ඔහුට මුහුණදීමට සිදුවුවද තමන් ජනතාවට ලබාදී තිබෙන පොරොන්දු ඉටුකිරීමට සැලකිල්ලක් නොදක්වන ඕනෑම ඇමැතිවරයකුට මේ ආකාරයෙන් ඇත්දැකීම් විඳගැනීමට සිදුවිය හැකිය. මැති ඇමැතිවරැන් පහසුවෙන් තමන් කී දෑ අමතක කළද ජනතාවට ඒවා හොඳින් මතක තිබෙන බව මේ සිදුවීමද හොඳ උදාහරණයකි.


තවත් අතෙකින් දැන් බොහෝ අවස්ථාවලදී මැති ඇමැතීන් සම්බන්ධයෙන් ජනතාවට අසන්නට ලැබෙන්නේ වැටුප් සහ දීමනා වැඩිකර ගැනීමේ, දුරකථන ගාස්තු, ඉන්ධන දීමනා පමණක් නොව වාහන දීමනා ඩබල්, ට්‍රිබල් කෙරෙන යෝජනාවලට ප්‍රමුඛත්වය හිමිවී තිබෙන බවය. එසේම කෝටි ගණන් වටිනා බදු සහන යටතේ අති සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීමට පර්මිට් ලැබෙන බවය. එසේ ගෙන්වා ගන්නා වාහන හෝ පර්මිට් ගෙඩි පිටින්ම විකුණා ගන්නා බවය.


මැති ඇමැතිවරැන්ට වරප්‍රසාද සහ වැඩිපුර දීමනා ලබාදීම අකැප බවක් අප කියන්නේ නැත. නමුත් එසේ ලාබන වරප්‍රසාද විකුණා ගැනීම යහපත් පූර්වාදර්ශයක් නොවන බවත් නම් කිව යුතුය. තම තමන්ගේ ගොඩ වැඩි කරගැනීම කෙරෙහි පමණක් සිත යෙදවීමෙන් වැළකී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමටද උනන්දුවක් ගැනීමත් අවශ්‍ය බව රිදීමාලියද්දේ සිදුවීම කියාදෙන පාඩමයි.


ආණ්ඩු බලයට පත්වන්නේත් පොරොන්දු සාගරයක් මතිනි. බලයට පත්වීමෙන් පසුව තමන් ලබාදුන් පොරොන්දු යම් පමණකින් හෝ ඉටුකිරීමට ඕනෑම ආණ්ඩුවක් උත්සාහ දරණ බවත් අපි දනිමු. මේ ආකාරයටම ඡන්ද ව්‍යාපාරයේදී ඡන්ද අපේක්ෂකයෝද ජනතාවට අහස උසට පොරොන්දු ලබාදෙති. මේ ලබාදෙන පොරොන්දු සියල්ල ඉටුකිරීම විශ්ව කර්මයකුටවත් කළ නොහැකි බව සත්‍යයකි.

නමුත් තමන්ට ඡන්දය ලබාදී මැති සබයට පත්කර යැවූ ජනතාවගේ බලාපොරොත්තුවක් දෙකක් හෝ ඉටුකරදීම ඇමැතිවරයකුට අපහසුවක් තිබිය නොහැක. ආසනයට නිවාස දහසක් ඉදිකරදීම අපහසු වීමට පුළුවන. එහෙත් කීපදෙනකුගේ හෝ අවශ්‍යතා ඉටුකරදීම සෑම මන්ත්‍රීවරයකුගේම වගකීමකි. එසේ නොහැකි වන අවස්ථාවලදී අවම වශයෙන් තමන් එම පොරොන්දු ඉටුකරදීමට උනන්දු වනවා හෝ ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වනවා හෝ යන්න තම ඡන්ද දායකයාට දැනෙන පරිදි කටයුතු කිරීම අවශ්‍යය. ජනාධිපතිවරයා ඉදිරියේදී පවා තමන් අසීරැ තත්ත්වයට පත්වන අවස්ථා උද්ගතවන්නේ මේ ආකාරයට &පැත්ත පළාතේ නොයන* ආකාරයට වැඩ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව අවබෝධ කරගෙන කටයුතු කිරීම වැදගත්ය.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00