2024 ජුලි 20 වන සෙනසුරාදා

ඡන්ද කල් දැමීමට ඉඩක් නොතබමු

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 03:13 42

ජනාධිපතිවරණය (2024) සඳහා අවශ්‍ය කටයුතු සිදු කරගෙන යාමට මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිට බලය පැවරී තිබේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ නිල නිවේදනය නිකුත් කිරීමේ සිට ඡන්ද විමසීම සිදුකෙරෙන දිනය ප්‍රකාශයට පත් කිරීම දක්වා සියලු පියවර ගැනීම් ඉදිරි සති කිහිපය තුළදී සිදුවන බව කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කර තිබිණි. මේ මස අග දිනයකදී ඉදිරි කාලය සඳහා ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරන බවද එහිදී අනාවරණය කෙරිණි.

මේ අනුව එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හතළිස්දාහක් (17,140,000) ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාවට නංවන දිනය එළඹෙන තුරු සියලු කටයුතු යථා පරිදි පවත්වාගෙන යාම මැතිවරණ කොමිසමේ වගකීම වෙයි. එම වගකීම පැහැර හැරීමට කොමිසමට හැකියාවක් නැතිවා සේම එම වගකීම් ඉටුකිරීමේදී කොමිසමේ කකුලෙන් ඇද එයට බාධා පැමිණවීමට වෙනත් කිසිදු පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ සංවිධානයකට හෝ හැකියාවක් නැති බවද මෙහිදී පෙන්වා දිය යුතුය. ඡන්දදායකයාගේ නිදහස හා අයිතිය අන් සියලු දෙනාගේ නිදහස සහ අයිතියට වඩා ඉහළින් පවතින බව සියලු දෙනා දැන සිටීම අවශ්‍යය. මෙහිදී ඍජුව සිදුවිය හැකි බලපෑම් පමණක් නොව වක්‍රාකාරයෙන් සිදුකෙරෙන බලපෑම්ද දේශපාලන පොර පිටියෙන් ඉවත්ව තිබීම අත්‍යාවශ්‍ය සාධකයකි.

අප මෙසේ කියන්නේ එක් එක් දේශපාලන පක්ෂවල විවිධාකාර මත දැක්වීම් සිදුවෙමින් පවතින බැවිනි. මේ ඇතැම් මත දැක්වීම් පෞද්ගලික මට්ටමින් සිදුකෙරෙන ඒවා වශයෙන් පෙන්නුම් කළත් රටේ පවතින සුලබ මතයක් වන්නේ මෙය ජනාධිපතිවරණය කල් දැමීම ඉලක්ක කර ගනිමින් සිදුවන සංවිධානාත්මක කටයුත්තක් බවය. අදූරදර්ශී ඇතැම් දේශපාලකයන්ගේ බලපෑම් මත මෙවැනි මැතිවරණ විරෝධී අදහස් ජනගත කරන බවට සැකයක් බොහෝ දෙනා තුළ පවතී. මැතිවරණ කල් දැමීමේ චේතනාවෙන් ඉදිරියට දමන කුමන හේතුවක් වුවද ප්‍රජාතන්ත්‍ර විරෝධී වශයෙන් හැඳින්වීමට පසුබට විය යුතු නැත. ඡන්දදායකයාගේ මානව අයිතීන් රුකෙන්නේ ඡන්දය කල් දැමීමෙන් නොව ඡන්ද පැවැත්වීමෙන් බව අවබෝධ කර ගැනීමට පවා ඇතැම් දේශපාලකයන් පැකිලීම ද විශ්මයට කරුණක් බවද සඳහන් කළ යුතුය.

අපේ රටට මැතිවරණ කල් දැමීම සහ ඒ හේතුවෙන් උද්ගත වූ මහත් ව්‍යසනකාරී තත්ත්වයන් පිළිබඳ අඳුරු අතීතයක්ද තිබේ. 1975 වසරේදී පැවැත්විය යුතුව තිබූ මහ මැතිවරණය 1977 දක්වා වසර දෙකකින් කල් දැමීමට එවකට තිබූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පියවර ගත්තේ විපක්ෂයේ බලවත් විරෝධය නොතකමිනි. වසර දෙකකින් කල් දමා පැවැත්වූ මහ මැතිවරණයෙන් එම ආණ්ඩුවට අයත් වූයේ අන්ත පරාජයකි. 1982 වසරේ පැවැත්වීමට තිබූ මහ මැතිවරණය වෙනුවට එවකට තිබූ ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව පැවැත්වූයේ ජනමත විචාරණයකි. මේ රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයම තුට්ටු දෙකට දමමින් සිදුකළ එම ජනමත විමසුමෙන් ආණ්ඩුව ජය ගත්තත් එහි ජය පැන් භුක්ති විඳීමට එම ආණ්ඩුවේ පාලන කාලය තුළදී නොහැකි විය. අවසානයේ රට තුළ උතුරේත් දකුණේත් ත්‍රස්තවාදී අරගල ඇරඹුණි.

එසේම ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ පවා මැතිවරණ පැවැත්වීමෙන්ද අපේ රට වාර්තා පිහිටුවා තිබේ. 1988 දෙසැම්බරයේ ජනාධිපතිවරණය පැවැත්වුණේ දැඩි භීෂණකාරී තත්ත්වයක් යටතේය. එහිදී මැතිවරණ රාජකාරි ඉටුකළ රජයේ නිලධාරීන් දෙදෙනකුට සිය ජීවිත පවා අහිමි විය. එසේම 1994 දී සහ 1999 දී ජනාධිපතිවරණ පැවැත්වූයේ කොටින්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මැදිනි. එහිදී එක් ජනාධිපති අපේක්ෂකයකු වූ ගාමිණී දිසානායක මහතා ඝාතනය වූ අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අනූ නවයෙන් ජීවිතය ගලවා ගත්තේ එක් ඇසක්ද අහිමි කර ගනිමිනි. 2020 දී මහ මැතිවරණය පැවැත්වූයේ කොවිඩ් වසංගතයෙන් රටම වෙළාගෙන තිබියදීය. නමුත් මේ සියලු අවස්ථාවලදී මැතිවරණ කල් දමනු ලැබුවේ නැත.
එවැනි අතිශයින් දුෂ්කර අවස්ථාවලදී පවා ජාතික මැතිවරණ පැවැත්වූ ශ්‍රී ලංකාවේ කවුරුන් හෝ ඉතා සුළු දේශපාලන කාරණා හුවා දක්වමින් මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන්නේ නම් ඒ හැම උත්සාහයම පරාජය කළ යුතු බව සඳහන් කළ යුතුය. මැතිවරණ කොමිසමේ වගකීම විය යුත්තේද ජනාධිපතිවරණය කල් දැමීමට කිසියම් හෝ උත්සාහයක් කවුරුන් විසින් හෝ දරන්නේ නම් එය පරාජය කිරීමයි. එය එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක ඡන්දදායකයන් ජයග්‍රහණය කරවීමකි.

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00