2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

පියඹා ගිය 2016

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 09:02 64

රටක ඉදිරිගමන සහ එරට ආර්ථිකය ගහට පොත්ත මෙනි. එකිනෙකට වෙන්ව පැවැත්මක් නැත. ආර්ථිකය සවිමත් වන තරමට රටේ ඉදිරි ගමනද වේගවත් වෙයි. මේ ගෙවීයන 2016 වසර දෙස ආපසු හැරී බලන විට අප රටේද ඉදිරිගමන සහ ආර්ථිකය කෙබඳු දැයි විමසා බැලීමට මේ සුදුසුම දින කීපය යැයි අපි සිතමු.

වසර ආරම්භ වන්නේ පුංචි ඡන්දය පිළිබඳව මහත් වූ බලාපොරොත්තුවක් රට තුළ ඇති කරවමිනි. එහෙත් එම බලාපොරොත්තුව වසර අවසානය වන විටද බලාපොරොත්තුවකටම පමණක් සීමා වී තිබේ. මීළඟ වසරට අප පා තබන්නේ පුංචි ඡන්දය නොපැවැත්වීමේ කනස්සල්ලද සිතේ දරා ගනිමින් බව පැවැසිය යුතුය. එය රජය පැත්තෙන් මීළඟ වසරට එකතුවන තවත් වගකීමකි. 

රටේ ආර්ථිකය පිළිබඳව වසර ආරම්භයේ පටන්ම තිබුණේ අවිනිශ්චිත ස්වභාවයක් බව නොරහසකි. අකැමැත්තෙන් වුවද රටේ ජනතාව මත බදුබර පැටවීමට සිදුවන බව රජය වසර මුල සිටම කියා සිටියේය. රටේ මහත් වූ ආන්දෝලනයකට ලක් වූ වැට් බදු පනත හඳුන්වාදීම සිදුකෙරුණේ එහි එක් ප්‍රතිඵලයක් වශයෙනි. කෙසේ වුවත් එම පනත අඩුපාඩු සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් රටේ විශාල අර්බුදයක් ඇතිවිය. කඩ සාප්පු වසා හර්තාල් දැමීම නිසා වරින් වර රටේ ගම්-නගර උණුසුම් විය. එය බරපතළ අර්බුදයක් බවට පත් වෙද්දී පනතේ තිබූ කඩ සාප්පුවල ආදායමට සාපේක්ෂව අය කිරීමට නියමිත වූ බදු සීමාව වෙනස් කිරීමට රජයට සිදුවිය.

ඒ සමඟම වැට් බදු පනතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනකු විසින් ගොනු කරන ලද පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ පනතට තාවකාලික තහනමක් පැනැවිණි. ඒ සමඟ පනතේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීමට රජයට සිදුවිය. මෙකී වැට් බදු පනත හා සම්බන්ධව පැවැති ජනතා උද්ඝෝෂණ, නඩු පැවැරීම් සහ පනතේ වගන්ති වෙනස් කිරීම් වැනි කාරණා හේතුවෙන් මේ ගෙවී යන වසරේ මාස කීපයක්ම එය ප්‍රධාන මාතෘකාවක් වූ බවත් සැලකිය යුතුය. එහිදී ජනතාවගේ අපේක්ෂාවන් සමඟ රැඳී සිටිමින් යම් ජයග්‍රහණ ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂ සමත් වූ බවද කිය යුතුය.

රජය පැත්තෙන්ද වැට් බදු පනතට අදාළ කාරණාවලදී සුබවාදී කරුණු කීපයක් තිබිණි. කොතරම් තිත්ත වුවද ආර්ථිකයේ සැබෑ තත්ත්වය රට හමුවේ කියාපෑමට වැට් බදු පනත යොදාගැනීමට රජයට හැකිවිය. එසේම රටතුළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රජය මගින් රැකදී ඇති බවත් අධිකරණයේ ස්වාධීනත්වය ඉහළින්ම රැකෙන බවට ප්‍රායෝගිකව ඔප්පුකර පෙන්වීමට රජයට හැකි වූ බවත් කිව යුතුය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් තාක්ෂණික දෝෂ හේතුවෙන් හෝ අධිකරණය මගින් වෙනස් කෙරෙන අවස්ථා ගැන මේ රටේ සඳහන් වන්නේ කලාතුරකිනි. ඒ අතින් වැට් බදු පනත ආණ්ඩුවට ලකුණු දමා ගැනීමටද අවස්ථාවක් පාදා දුන් බවත් සඳහන් කළ යුතුය.

රටේ ඉදිරි ගමන සහ ආර්ථිකය පිළිබඳව වැදගත් කාරණා කීපයක් පසුගියදා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකදී සඳහන් කර තිබිණි. එම කරුණු ගෙවී යන වසර ගැන චිත්‍රයක් පවාගැනීමට කෙනකුට උපකාර කර ගතහැකිය. තමන්ට ආණ්ඩු බලය ලැබෙද්දී ආර්ථිකය යනු බිම් බෝම්බයක් බව ඔහු එහිදී ප්‍රකාශ කළේය. මේ බිම් බෝම්බයේ වයර් කපා ගලවා එය පිපිරෙන්නේ නැති තත්ත්වයට පත්කළ බවත් දැන් ආර්ථික බිම් බෝම්බය පත්තු නොවන බවත් පැවැසිණි. එසේම රටේ ඉදිරි ගමනට අවශ්‍ය සංවර්ධන පදනම මේ වසර තුළදී දමාගැනීමට හැකි වූ බවද කියා තිබූ අග්‍රමාත්‍යවරයා ඉදිරි වසර තුළදී සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්ම ක්‍රියාත්මක කරන බවද සඳහන් කර තිබිණි.

මේ කතාවෙන් පෙනෙන්නේ රට ගොඩ නැංවීම පිළිබඳව රජයට ඇති උනන්දුව අවතක්සේරු කළ යුතු නැති බවය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම වසර පුරාම ප්‍රකාශ කළේ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ක්‍රියාකරන බවකි. මෙහිදී විශේෂයෙන්ම රටේ ණයබර සම්බන්ධව රජය ගන්නා පියවර මත බොහෝ දේ තීරණය වනු ඇත. මේ ගෙවී යන වසර තුළදී රජය පැත්තෙන් වැඩිම වාරයක් ඇසුණු වචනය වූයේ ණය බර යන්න විය යුතුය. නමුත් ණය බර සැහැල්ලු කිරීමට ප්‍රමාණවත් සහ විධිමත් පියවර ගැනීමට රජය සමත් වීද යන්න විවාද සම්පන්න කරුණකි. ඒ ගැන සතුටු විය හැකි වාර්තාවක් මේ වසර තුළදී ලබාදීමට රජය සමත් වූයේද යන්න ගැටලුවක් බව කිව යුතුය. 
අප මෙසේ පවසන්නේ බදු බර ඇතුළු බොහෝ බර ඉසිලීමට රටේ මහජනතාවට බල කෙරෙද්දී කැපකිරීම් සිදුකිරීමට ජනතාව පොළොඹවද්දී ඉහළම ආදර්ශය දිය යුතුව තිබූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතින් එම යුතුකම් ඉටු කෙරුණාද යන්න අපැහැදිලි බැවිනි. ඇත්ත වශයෙන්ම ගෙවී යන වසර තුළදී ජනතාවට අත්හැරීමට බොහෝ දේ තිබිණි. එදිනෙදා පරිභෝජනයේ සිට වාහන මිලදී ගැනීමේ අදහස් පවා වෙනස් කර ගැනීමට ජනතාවට සිදුවිය. රටේ ආර්ථිකය යහපත් අතට හරවාගැනීමට ණයබර අඩුකර ගැනීමට මේ පියවර ගැනීමට බල කෙරිණි. නමුත් ජනතාව අතින් එකී කැපකිරීම් සිදුවෙද්දී මැති ඇමැතිවරුන්ගේ දීමනා ඉහළ ගියේය. ඔවුන්ට අලුත්ම යාන වාහන හිමිවිය. කොටින්ම තමන්ට ලැබුණු වාහන පර්මිට් විකුණා කෝටි ගණන් උපයාගැනීමට මන්ත්‍රීවරු 27 දෙනෙකුම ක්‍රියා කළ බව පසුගිය සතියේ වාර්තා විය. එසේම මැති ඇමැතිවරුන්ගේ රට ගමන්වලද සීමාවක් දකින්නට නැත. මේ සියල්ලම අවසානයේ බැරවන්නේ රටේ ආර්ථිකයේ ණය බරටම බව කිය යුතුද?

කෙසේ වුවද රජය පවසන්නේ මේ වසරේ මුල පිරූ සංවර්ධන වැඩසටහන් ලබන වසරේදී ක්‍රියාත්මක කරන බවය. රැකියා අලුතින් බිහිකිරීමට කටයුතු යොදන බවය. ඒවා යහපත් අධිෂ්ඨාන බව සැකයක් නැත. මේ ගෙවී යන 2016ට වඩා ලබන 2017 වසර රජයේ එකී අධිෂ්ඨාන ජයගත හැකි මැති ඇමැතිවරුන්ගේ පමණක් නොව ජනතාවගේත් පැතුම් ඉටුවන වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00