2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

නව වසරේ අභියෝග

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:35 83

වසරක ආරම්භය කා තුළත් ඇතිකරගන්නේ ප්‍රබෝධයකි. සතුටකි. අලුත් බලාපොරොත්තු රැසක් ඇතිව අලුත් ගමනක් ආරම්භ කිරීමට කවුරුත් කැමැතිය. වසර අවසාන සටහන් වන විට එම බලාපොරොත්තු කිහිපයක් හෝ ඉටු වී තිබෙයි නම් වසර සාර්ථකව ගෙවී ගියායැයි යන තෘප්තියෙන් යුතුව ඊළඟ වසර ආරම්භ කිරීමට හැකියාව ලැබේ.

අප පසුගිය වසර ආරම්භ කළේ ද මහත් වූ බලාපොරොත්තු රැසක් සිතේ රඳවාගෙනය. රජයද වැඩ ආරම්භ කළේ අපේක්ෂා සහගතව බවට සැකයක් නැත. රටේ ජනතාව තුළ රජය ඇති කළේ බලාපොරොත්තු රැසකි. රැකී රක්ෂා ලබාදීම්, ආර්ථිකයේ ගැටලුවලට කාටත් සතුටු විය හැකි විසඳුම්, ජීවන බර සැහැල්ලු කිරීම් පමණක් නොව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව ද වසර ආරම්භයේ දී තිබුණේ සුබවාදී හැඟීම් සමුදායකි. එහෙත් එම අපේක්ෂා මුදුන්පත් වීදැයි යන බරපතළ ගැටලුව වසර අවසානය වන විට ඉතිරිව තිබිණි. නව වසරට පා තබන්නේ තෘප්තියකින්දැයි ජනතාවගෙන් ඇසුවොත් ලැබෙන පිළිතුර නම් කිසිසේත් සුබවාදී එකක් නොවන බව වටින් ගොඩින් ඇසෙන කතා අනුව තේරැම් ගත හැක.
අප මෙසේ පවසන්නේ 2016 යනු ජනතාවගේ සිතුම් පැතුම් ඉටුනොවූ වසරක් වශයෙන් සැලකිය හැකි බැවිනි. ඊට සමගාමීව ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ මැති ඇමැතිවරුන්ගේ නම් බොහෝ සිතුම් පැතුම් ඉටු වී ඇති බවක් නම් දකින්නට තිබිණි. වරප්‍රසාද ලැබීම් සහ දීමනා හිමිවීම් අතින් ඔවුන් සිටින්නේ සුවපහසු තලයක බව නොරහසකි. ඒ අතරේ බහුතරයක් ජනතාව සිටින්නේ අපහසු තලයකය. බදු බරින් පීඩා විඳින ජනතාව වසරේ අග භාගය වන විට ඉහළ ගිය සහල් මිල හේතුවෙන් වැටුණේ කබළෙන් ළිපට බව පැහැදිලිය. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දැරිය හැකි මට්ටමක තබා ගැනීමට අපොහොසත් වීම ආණ්ඩුවේ ප්‍රතිරූපයට කැළලක් එක්කර තිබේ. එසේම ජනතාවට ලබාදෙනවායැයි පැවැසූ රැකී රක්ෂාද කඩවුණු පොරොන්දුවක් බවට පත්වෙමින් තිබේ. රැකී රක්ෂා ලබාදෙන බව, සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන බව පැවැසීම පමණක් ප්‍රමාණවත් නැත. ඒවා වචනයෙන් ක්‍රියාවට නැංවීමත් අවශ්‍යය. ඒ සම්බන්ධයෙන්ද අපට කියන්නට ඇත්තේ ගෙවී ගිය වසර එම බලාපොරොත්තු කඩ කළ වසරක් බවය. විසඳුම් අපේක්ෂාවෙන් කල්ගතවෙමින් තිබෙන ගැටලු ප්‍රමාණය දිනෙන් දින අධික වෙමින් තිබෙන බවත් නව වසරට පැ තැබීමට සිදුවන්නේ එහි බරද කර ගසාගෙන බවත් යථාර්ථයයි.

ආර්ථිකය හැසිරවීමේදී මේ උදාවන වසර රජයට ඉතාම තීරණාත්මක වීම එහි අනිවාර්ය ප්‍රතිඵලය වී තිබේ. ප්‍රමාණවත් තරම් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට, රැකියා සැපයීමට රජය අපොහොසත් වූ බවට පොදු විපක්ෂය විසින් නිරතුරුවම ගොඩනගන පීඩනයට මේ වසර තුළදී තදින්ම ගොදුරු වීමට රජයට සිදුවන බව හොඳින්ම පෙනෙන්නට තිබේ. චීනය සමඟ ගනුදෙනු කිරීමේදී රජය අපේක්ෂා කරන ක්‍රියාමාර්ග රටේ ජනතාවගේ අවධානයට වඩාත්ම යොමුවන බවත් මේ නිසා රජයට වසර පුරාම අඩිය තැබීමට සිදුවන්නේ පරෙස්සමින් බවත් පැවැසිය යුතුය. අප මෙසේ පවසන්නේ රජය තම සංවර්ධන ක්‍රියාමාර්ග සමාජගත කිරීමේදී දක්වන දුර්වලතාව බොහෝ ගැටලු ඇති කිරීමට හේතු වී ඇතැයි පෙනෙන බැවිනි. එම දුර්වලතා මඟහරවාගෙන කටයුතු කිරීමට කටයුතු නොකළහොත් රජයට වඩාත් අසීරුකම්වලට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැක.

කෙසේ වුවද රජය මගින් ඇති කරන ලද නිදහස් වාතාවරණය තවදුරටත් එසේම පවත්වාගෙන යාමට කටයුතු කිරීමද වැදගත් වනු අත. විපක්ෂය කොතරම් මර්දනය, පළිගැනීම පිළිබඳව චෝදනා නැගුවද මේ රජය ආරම්භයේ දී පටන්ම ඇති කරන ලද දේශපාලන නිදහස අද දක්වාම රටේ ජනතාව භුක්ති විඳිමින් සිටින බව අමතක කොට කතා කළ නොහැක. එය සැබැවින්ම රජයට ධනාත්මක සාධකයකි. මෙහිදී මාධ්‍ය සමඟ කටයුතු කිරීමේදී පසුගිය වසරේ අවසාන කාලයේ දී රජය දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් නම් සෑහීමකට පත්විය නොහැකි බවත් සඳහන් කිරීම අවශ්‍යය. රජය පැත්තෙන් එසේ සිත් බිඳී විවිධ අදහස් ප්‍රකාශ කිරීමට සාධාරණ හේතු තිබිය හැකි වුවද එසේවූ පමණින් තමන් බලයට පත් කිරීමේදී කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටුකරන ලද පෞද්ගලික මාධ්‍ය සහ සමාජ මාධ්‍ය කෙරෙහි ද්වේශ සහගතව කටයුතු කිරීම යහපත් නැත. එය බූමරංගයක් වීමට ඉඩ තිබෙන බවත් නව වසරේදී මුහුණ දීමට නියමිත බරපතළ ගැටලුවලදී එහි ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවන බවත් සඳහන් කිරීම අවශ්‍යය.

රටේ ජාතික ගැටලුව විසඳීමේදී ද රජයට මේ වසර ඉතාම තීරණාත්මකය. ඒ සඳහා යෝජිත නව ව්‍යවස්ථාවද ගල්පර මැද හිරවෙන ලකුණු පහළවෙමින් තිබේ. ඒ සමඟ එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා සමුළුවේදී රජය ලබාදෙන යෝජනා කෙරෙහි දෙමළ පක්ෂවල අවධානය යොමුවෙමින් තිබේ. අමෙරිකාවේ සිදුවූ දේශපාලන වෙනසත් සමඟ මේ ගැටලුව සම්බන්ධයෙන් යහපත් ආකල්පමය වෙනසක් ඇති කරගැනීම කෙරෙහි රජය බලාපොරොත්තු තබා ඇති බවක්ද පෙනෙන්නට තිබේ. එය සාර්ථක වනු ඇතිදැයි දැන්ම පැවැසීම අපහසු වුවද ජිනීවා සැසිවාරයේ ගනු ලබන තීන්දුවලට අමෙරිකාවට කළහැකි බලපෑම සුළුපටු නොවන බව යථාර්ථයයි. ඒ හරහා කිසියම් සුබවාදී ප්‍රවේශයක් ලබාගැනීමට හැකිවූවොත් එය මේ නව වසර තුළ රජය ලබාගන්න ජයග්‍රහණයක් වනු ඇත.

මේ සියල්ලටම වඩා රට මුහුණුදී තිබෙන අධික ණය බරත් ඒ හේතුවෙන්ම සිදුවෙමින් පවතින රුපියලේ කඩාවැටීමත් රජයේ ප්‍රමුඛතා අතර තිබෙන බවට තර්කයක් නැත. ණය බර අඩුවීම කෙසේවෙතත් දිනෙන් දිනම ගන්නා ණය ප්‍රමාණව අධික වීම බරපතළ ගැටලුවක් බවට පත්වී තිබේ. නව වසර තුළ ජයගැනීමට තිබෙන අභියෝග සළකාබලන විට අන්සියලුම අභියෝග එක් පසෙකට දැම්මත් ණය බරේ අභියෝගය ඒ සියල්ලටම වඩා බරින් වැඩි බව පෙනෙනු ඇත. රජයේ ඉදිරි ගමන් මග පිළිබඳව පැහැදිලි විනිශ්චයක් ලබාගත හැකිවන්නේ එම අභියෝගයට මුහුණු දෙන ආකාරයෙනි. උදාවන නව වසර තුළදී එම අභියෝගය සාර්ථකව ජයගත්තොත් රටත් ගොඩය, ආණ්ඩුවත් ගොඩය.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00