කෝප් කමිටු වාර්තාවේ ආකාරයට මැතිසබයට ඉදිරිපත්වීම ඇරැඹී බොහෝ කාලයක් ගතවී තිබුණද බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුවූ බව කියන වංචාවට අදාළ වාර්තාව තරම් ආන්දෝලනාත්මක වාර්තාවක් මීට පෙර ඉදිරිපත් වී නොතිබිණි. ඉදිරියේදීද එවැනි වාර්තාවක් ඉදිරිපත් නොවනු ඇතැයි කිසිදු සහතිකයක් නැත. මීළඟට පසුගිය 08 වැනිදා මැතිසබයට ඉදිරිපත් වූ වර්තමාන කෝප් කමිටුවේ 3 වැනි වාර්තාවද රටේ ජනතාවගේ දෙබැම ඉහළ නංවනවාට සැකයක් නැත.
කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලද තෙවැනි වාර්තාවට අනුව රාජ්‍ය ආයතන 15කින් පසුගිය වසර තුනකදී රුපියල් කෝටි 11,000ක පාඩුවක් සිදුවී තිබේ. මෙසේ පාඩු ලබන ආයතන අතරට සතොස, වරාය අධිකාරිය, මගනැගුම, රක්ෂණ හා ඉංජිනේරු සංස්ථා වැනි ප්‍රමුඛ පෙළේ ආයතන පමණක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට්, පාපන්දු සම්මේලනද ඇතුළත්ය. ක්‍රිකට් සහ පාපන්දු ආයතන විශාල වශයෙන් විදෙස් මුදල් ලැබෙන ආයතනයි. ඒවා පවත්වාගෙන යාම සඳහා මහජනතාවගේ බදු මුදල් වැය නොවන බව ඇත්ත වුවද ලැබෙන මුදල් නාස්ති කරනවා නම් සහ එම ක්‍රීඩාවල සංවර්ධනය සඳහා රජයට තම අරමුදල් වැය කිරීමට සිදුවන්නේ නම් ඒ හැම රුපියලකම වගකීම එම ආයතන පාලක මණ්ඩලවලට පැවරේ. එම මුදල් පිල්ලි යනවා නම් එය රටේ කරුමයක් මිස අනෙකක් විය නොහැක.
මෙසේ පාඩු ලබන සෙසු රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඇත්තේ ඊට වඩා බරපතළ තත්ත්වයකි. මේ ආයතන හරහා රටේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ලැබීම අපේක්ෂා කෙරුණද ඒවායින් සිදුවී ඇත්තේ ආර්ථිකයේ ගෙල මිරිකීම පමණක් බව මේ කෝප් වාර්තා කියයි. මේ ආකාරයට පාඩු සිදුවීමට එක් ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ නාස්තිකාර, අනාර්ථික, ආර්ථික වශයෙන් නොවැදගත් විශාල ව්‍යාපෘති පෙර කී ආයතන හරහා ක්‍රියාත්මක කර තිබීමය. මීට හොඳම උදාහරණ දෙකක් වන්නේ හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ හම්බන්තොට වරායයි. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ගොඩනැගීමේදී ඒ සඳහා බර පැන දරා ඇත්තේ වරාය අධිකාරියයි. මේ වනවිට රුපියල් බිලියන 5.3ක මුදලක් ක්‍රිකට් ආයතනයෙන් ඒ සඳහා ලැබිය යුතුයි. එහෙත් එසේ අති විශාල මුදලක් වැයකොට ඉදිකළ සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය අද අයිතිකරැවකු නැති දේපළක් බවට පත් වී තිබේ. එය කාලයක් රටේ ප්‍රදර්ශන භාණ්ඩයක් වී තිබිණි. නමුත් ඒ වෙනුවෙන් රටේ ජනතාවගේ බදු මුදල් කෝටි සිය ගණනක් වැය විය. මේවාට වගකියන්නේ කවුද? එයට පිළිතුරැ සෙවීම පහසු නැත.
හම්බන්තොට වරායේ පාඩුව රුපියල් කෝටි 3700ක් වශයෙන් සැලකෙන බව කෝප් කමිටු වාර්තාව හෙළිකරයි. මාර්ග සංවර්ධන අධිකාරිය තමන්ට අයත් නොවන නාස්තිකාර ව්‍යාපෘති හේතුවෙන් කාබාසිනියා කර ඇති මුදල රුපියල් කෝටි 5700කි. මේවා සුළුපටු මුදල් ප්‍රමාණයක් නොවන බව කිවයුතු නැත. මහජනතාවගේ සුබසිද්ධිය සඳහා රටේ දියුණුව සඳහා යොදාගත යුතුව තිබෙන මුදල් මේ ආකාරයට නාස්තිකර දැමීමට එම ආයතන ක්‍රියා කළේ කෙසේ දැයි සොයාබැලීමද අවශ්‍යය. ගණන් හිලව් පෙන්වීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒවාට වගකිවයුතු පුද්ගල නම්ද හෙළිදරව් කිරීම අවශ්‍ය බව අපගේ විශ්වාසයයි.
මේ ආකාරයට අතිවිශාල ලෙස මුදල් විනාශ කළ ආයතන පාලනය කිරීම සඳහා පුද්ගලයන් පත්කරනු ලැබුවේ ආණ්ඩුවලින් මිස ජනතාව නොවේ. මැති ඇමැතිවරු මේ සඳහා මූලික වෙති. තමන්ට පත්වීම් ලබාදෙන දේශපාලන ලොක්කන්ගේ ඕනෑ එපාකම් ඉටුකිරීමට ඔවුහු බැඳී සිටිති. රුපියල් කෝටි සිය ගණනින් මහජනතාවගේ බදු මුදල් මකර කටට යන්නේ එම ඕනෑ එපාකම් ඉටුකිරීමට යාමේ ප්‍රතිඵලයක් වශයෙනි. දේශපාලනය කිරීමේදී ජනතාවගේ ඇසට පෙනෙන ඇඟට දැනෙන ව්‍යාපෘති තිබීම අවශ්‍යය. නමුත් එසේ වූ පමණින් අසීමිත ලෙස මුදල් නාස්ති කොට රටටත් ජනතාවටත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති ව්‍යාපෘතිවලට අත ගැසීම මහා අපරාධයකි. ජනතාවගේ අයිතිය බලෙන් පැහැර ගැනීමකි. මේවාට වගකිවයුතු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ක්‍රියා පිළිවෙළක් තිබීමත් අවශ්‍යය. එහෙත් කෝප් කමිටුවට හැකියාව ඇත්තේ වාර්තා ඉදිරිපත් කොට කරුණු හෙළිදරව් කිරීම පමණක් වීම හේතුවෙන් මේ ගනුදෙනුවලට වගකිව යුත්තෝ කිසිදු දඬුවමක් නොලබා බේරෙති. නිකම්ම නොවේ, සල්ලි කුට්ටි ගණන් කඩා ගැනීමෙන් පසුවය.
නාස්තිය සහ දූෂණය අපේ රටේ පමණක් නොව බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවතින පිළිලයකි. එහෙත් අපේ රටේ මෙන් නොව ඒ බොහොමයක් රටවල වැරැදි කරන දේශපාලනඥයෝත් ඔවුන්ගේ හෙංචයියෝත් නීතියෙන් දඬුවම් විඳිති. සමහර දේශපාලකයන්ට පමණක් නොව නායකයන්ටද තනතුරු අහිමි වෙයි. මීට හොඳම ආසන්න උදාහරණයක් වන්නේ දකුණු අප්‍රිකාවේ ජනාධිපතිනියට දූෂණ චෝදනා හේතුවෙන් පදවිය අත්හැරීමට සිදුවීමය. බ්‍රසීලයේද එයම සිදුවිය. නමුත් අපේ රටේ ලොකු ලොක්කෝ නම් ඒ අතින් හැබෑ වාසනාවන්තයෝය. ඔවුන් කුමන ආණ්ඩුවක සිටියත් සිදුකරන මජර වැඩ හේතුවෙන් කවදාවත් දඬුවම් විඳින්නේ නැත. එසේ ඉඳහිට හෝ දඬුවමක් වින්දත් ඒ වාහනයක් ගැල්වනයිස් බටයක්, කොඩියක් අවභාවිත කිරීමක් වැනි කරැණක් හේතුවෙන් පමණි. කෝටි සිය ගණනින් සාක්කුවලට දමාගත් ජරා පප්පලා දිගටම ජනතාවට කොකා පෙන්නති.