2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ජනපති අපේක්ෂකත්වයට ඒ පැත්තෙ හරි කලබල

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

► අපි ඉල්ලන්නේ තනතුරු නොවේ: වැඩ කරන්න අවස්ථාවක්

► රංගේ මන්ත්‍රීතුමාට වුණේ ලොකු අසාධාරණයක්

► ජාතික ලැයිස්තු සහචරයන්ගේ නවාතැන්පොළක් වෙලා

► මලික් ඇමැතිගේ වැය ශීර්ෂයට අපි ඡන්දෙ දෙන්නෙ නෑ

► එජාපය යන්නේ හරිම පරිස්සමින්

► ජනපතිතුමා දුන් පොරොන්දු එකක්වත් ඉටුකරලා නෑ

► රාජපක්ෂ කඳවුරට යන අයට වෙනදේ අපි හොඳට දන්නවා

► ඔප්පු කරන්න බැරි චෝදනා තමයි ජනපති එල්ල කරන්නේ

- එ.ජා.ප. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

ඔබලා යහපාලන රජය පිහිටවපු දවසේ ඉඳන් දැක්ක හීනයක් තමයි තනි එජාප ආණ්ඩුවක්. දැන් ඒක ලැබිලා තියෙනවා. සතුටුද?

එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි ඕනෑම පක්ෂයක බලාපොරොත්තුව තමයි තනියම බලයක් ගන්න, තනියම රටක් පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් ඇතිකර ගන්න එක. එජාප ආණ්ඩුවක් පිහිටුවලා අවුරුදු 20කට පසුව තමයි මේ බලය නැවත ලැබිලා තියෙන්නේ. දැන් එජාප පාක්ෂිකයාගේ අරමුණු ඉෂ්ඨ වෙලා තියෙනවා. ඒත් අපි විශ්වාස කරන්නෙ නෑ තනි ආණ්ඩුවක් කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා කියලා. ජනාධිපතිවරයාගේ අත පෙවීම තුළ යම් යම් බාධාවීම් ඇතිවයි මේ ගමන යන්නේ. අපේ බලාපොරොත්තුව මේ බාධාවීම් නැති තනි ආණ්ඩුවක් බිහිකිරීම.

මේ වෙනකොට අර පසුගිය කාලේ මගහැරුණු එජාප පාක්ෂිකයාට කලගුණ සැලකීම නිසියාකාරයෙන් සිදුකරනවාද?

ඇත්ත. පහුගිය කාලේ අඩුම තරමින් සුභසාධන කටයුත්තක වාසියවත් එජාප පාක්ෂිකයාට ලැබුණේ නෑ. දේශපාලනය බලලයි ඒ දේත් වුණේ. ජ්‍යෙෂ්ඨයන්ට දුන්න දීමනාව පවා එජාප පාක්ෂිකයන්ට කැපුණා. අපි කියන්නේ සාමාන්‍ය ජනතාවට ලබාදෙන වරප්‍රසාද ටික හෝ එජාප පාක්ෂිකයාට ලැබිය යුතුයි. එනිසා අපේ අරමුණ එජාප පාක්ෂිකයා ඇතුළු සියලු ජනතාවට වරප්‍රසාද ලබාදීමයි.

එක්සත් ජාතික පාක්ෂිකයෝ සතුටු කරන්න විවිධ ක්‍රමවේද තිබුණත් එජාපයේ මන්ත්‍රීවරුන් ඉන්නේ සතුටකින් නෙමෙයි වගේ අපට පෙනෙන්නේ?

නෑ. මන්ත්‍රීවරුන් කලකිරිලා නෑ. ඔබ කියනවා ඇත්තේ ඔය මන්ත්‍රීවරු පසුගිය දවස් ටිකේ කරපු ප්‍රකාශ වෙන්න ඇති. අපි හැම මොහොතකම එජාපයට සහ පක්ෂයේ නායකත්වයට අභියෝග එල්ල වනවිට පාක්ෂිකයන් සමග එකට හිටගත්තා. පසුගිය දින 51 තුළත් ඔය ආකාරයෙන්ම අපි හිටගත්තා. අපි ඒක ජයග්‍රහණය කළා. අපි කියන්නේ තනතුරු තානාන්තරවලට මූලිකත්වය නොදී වැඩක් කරන්න පුළුවන් ක්‍රමවේදයක් සකසන්න කියලයි. ඒ ක්‍රමවේදය ඉටු නොවන බව දැනගත්තාම අපට සිද්ධ වුණා එළියට ඇවිල්ලා යම් ආකාරයක ප්‍රකාශ නිකුත් කරන්න. අප හිතනවා මේ දේවල් තේරැම් අරගෙන නිවැරැදි මාර්ගයකට පක්ෂය නායකයන් අරගෙන යයි කියලා.

ඔබලා තනතුරු තානාන්තර නෙමෙයිද මේ ඉල්ලන්නේ?

නෑ. කොහෙත්ම නෑ. අපිට තනතුරු වැඩකුත් නෑ. අපි ඉල්ලන්නේ ජනතාවට වැඩකරන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න කියලයි.

ඔබලා ඔහොම කිව්වාට පාලිත රංගේ බණ්ඩාර වගේ මන්ත්‍රීවරු දිගින් දිගටම කියන දෙයක් තමයි ඔහුට කැබිනට් අමාත්‍ය ධුරයක් අවශ්‍යයි කියලා?

ඇත්ත. පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමාට විශාල අසාධාරණයක් වෙනවා. අපි කිව්වා පැහැදිලිවම ඒ අසාධාරණය ඉවත් කරන්න ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්ගේ අමාත්‍ය ධුරය ඉවත් කරලා ඒ තනතුර ඔහුට ලබාදෙන්න කියලා. ඒක ක්‍රියාත්මක කරන්න යම් ආකාරයක තීන්දුවක් පක්ෂය විසින් මේ වනවිට අරන් තිබෙනවා. ඒ නිසා අද හෙටම එතුමාට සාධාරණයක් ඉටුවේවි.

එතුමා විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් මෙවර කැබිනට් මණ්ඩල තේරීමේදී කැපිලා තිබෙනවා. මොකද මේ?

නෑ ඒකනම් වෙලා තියෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ආපු අමාත්‍ය ධුර සංඛ්‍යාව නිසා. ඒ නිසා කවුරු හරි ඉවත් වෙන්න එපැයි. ඕක සමහර අයට කැපිල්ලක් හැටියට ගන්නත් පුළුවන්, ඉඩ ප්‍රමාණයේ ප්‍රශ්නයක් කියලා කියන්නත් පුළුවන්. කෙසේ වෙතත් පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමාට අමාත්‍ය ධුරයක් ලැබිය යුතුයි. එතුමා දීර්ඝ කාලයක් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක්.

ඔබගේ කතාවේ කියැවෙනවා මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කතාවක්. ඇයි ඒ මන්ත්‍රීවරුන්ට ඇමැති ධුරයක් ගන්න එක හොඳ නැද්ද?

මෙහෙමයි, අපේ රටේ සියලු පක්ෂවලට ජාතික ලැයිස්තු සංකල්පය අමතක වෙලා තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට අනුව මේ ව්‍යවස්ථාව හදන කොට බලාපොරොත්තු වුණේ ප්‍රබුද්ධ බුද්ධිමත් වෘත්තීයවේදීන් පාර්ලිමේන්තුවට කැඳවාගෙන ඒම. ඒත් දැන් වෙලා තිබෙන්නේ දේශපාලන සහචරයන්ට ඉඩ ලබාදෙන තැනක් බවට පත්වෙලා. ඒවාගේ අපේ පක්ෂයේත් අඩු වැඩි වශයෙන් ඔය දේවල් සිදුවෙලා තිබෙනවා.  එනිසා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කැපවීමක් කරලා ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ආපු අයට ඉඩ ලබාදෙන්න ඕන.

එළියට පේන්නේ නැති ඇතුළෙම වෙන සටනක් තමයි මලික් අමාත්‍යවරයා සහ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර තිබෙන සටන. මොකක්ද මේ රණ්ඩුව?

අපිට ජ්‍යෙෂ්ඨ නායකයොත් එක්ක පෞද්ගලික තරහවල් නැහැ. එතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ හැසිරීම තමයි මේ ප්‍රශ්නයට හේතුව. ඔවුන්ගේ දේශපාලන හැසිරීම මේ රටේ පිළිවෙළට ගැලපෙන්නේ නෑ. ඒක අපි දැනුම් දුන්නා අමාත්‍යතුමාට. එතුමා නමුත් ඒක ගණන් ගත්තේ නෑ. ඔහු එම නිලධාරීන්ගේ පැත්ත ගත්තේ. ඒ නිසා පසුපෙළ මන්ත්‍රීවරුන් සියල්ලම එතුමාට එරෙහිව නැගී සිටියා. අපි හිතනවා ඒක නිවැරදි කරගනියි කියලා එතුමා.

එතුමා හදිසියේ නිවැරදි කර නොගත්තොත්....?

පැහැදිලිවම එතුමාගේ වැය ශීර්ෂය ඡන්ද ගණන් කිරීමේදී අපි ඡන්දය ලබාදීමෙන් වැළකී සිටිනවා. ජනතාවට වැඩක් කරන්න බැරි මොන ලොකු දේශපාලනඥයා වුණත් වැඩක් නැහැ අපිට මේ වෙලාවේදී. මේ අර්බුදකාරී අවස්ථාවක වැඩකරන්න බැරිනම් හරියට අපිට මැදිහත් වෙන්න සිදුවෙනවා.

මොකක්ද මේ කබීර් හෂීම් ඇමැතිතුමාත් එක්ක තිබෙන ප්‍රශ්නය?

කබීර් හෂීම් ඇමතිතුමාගේ මූලිකත්වයෙන් කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ වාර්තාවේ තිබුණේ පාක්ෂිකයන් සහ පසුපෙළ මන්ත්‍රීවරු අතර ගැටුමක් ඇති නොවී සාර්ථක ලෙස අමාත්‍යංශ පොදුවේ සහයෝගයෙන් සිදුකර ගැනීම. නමුත් ඒක වෙන්නේ නැතිනම් ඒකට අපිට මැදිහත් වෙන්න සිදුවෙනවා.

පේන හැටියට ඔබලාට මේ ප්‍රශ්නය තිබෙන්නේ පක්ෂයේ කීප දෙනෙකු මූලික කරගෙන?

අපිට කා එක්කවත් ප්‍රශ්න නෑ. හැබැයි මේ පක්ෂයේ සූක්ෂම ලෙස කවුරු හරි විසින් දියාරු කරන්න හදනවා නම් අපි ඊට විරුද්ධව නැගී සිටිනවා. අපි ජනතාවට සේවය කරන්න ආපු මිනිස්සු. එහෙම නොවී පෞද්ගලික අරමුණු කරා යනවා නම් අපිට ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න වෙනවා.

ඔබලාගේ ජ්‍යෙෂ්ඨයෝ නම් කියන්නේ පසුපෙළ මන්ත්‍රීවරු තාම දේශපාලනයේ අතපොත් තබන නිසයි මේ ප්‍රශ්න කියලා...?

ඇත්ත වෙන්න ඇති. එතුමාලාට පේනවා ඇති එහෙම. හැබැයි අපිට එක දෙයක් පේනවා. පාර්ලිමේන්තුවේදී අපි පසුපෙළ මන්ත්‍රීවරු වුණාට අපි දේශපාලනයේදී පළාත් පාලන, පළාත් සභා නියෝජනය කරමින් ආවේ. ඒත් පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක්ට තියෙන්න ඕන අවම සුදුසුකම්වත් නෑ.

ඔය පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායමේ කී දෙනෙක් ඉන්නවාද?

පසුපෙළ මන්ත්‍රීවරු නම් පක්ෂයේ ඉන්නවා 40ක ප්‍රමාණයක්. හැබැයි මේ තත්ත්වය වෙනුවෙන් පෙනී ඉන්නේ කතා කරන්නේ 19 දෙනකුගේ කණ්ඩායමක් විතරයි. අපි රටේ ජනතාවට හොඳක් වෙනවා නම් ආණ්ඩුව නිවැරදි දේ කරනවා නම් උපරිම සහයෝගය දෙනවා.

ඔය ඔබලාගේ ප්‍රශ්න පක්ෂයේ නායකයාත් සමඟ කතා කළේ නැද්ද?

අපි ඉස්සෙල්ලාම නායකතුමා එක්ක තමයි කතා කළේ. සමහර මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාප සම්බන්ධව අපි එතුමාට කිව්වා. අවශ්‍ය ගන්න ඕන ක්‍රියාමාර්ග ගැනත් කිව්වා. ඒ වගේම එතුමා ඒ ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේම ගත්තා. අපි හිතනවා ඇමැතිවරු ඒක තේරුම් ගනියි කියලා. අපි විශ්වාස කරනවා නායකතුමාගේ මැදිහත් වීම නිවැරදි ආකාරයෙන් සිදුවුණා කියලා.

එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුමයි සරත් ෆොන්සේකයි යම් ආකාරයක මතවාදී ගැටුමක නිරත වෙලා ඉන්නවා. මොකද මේ දෙන්නා පැටලිලා...?

මම ආධුනික මන්ත්‍රීවරයෙක් හැටියට කියන්නේ එවැනි දෙයක් කිසිසේත්ම සිදුවිය යුතු නැහැයි කියලයි. යම් කෙනෙක් දේශපාලනයෙන් ඔබ්බට ගිහිල්ලා පෞද්ගලිකත්වය එළියට දානවා නම් ඒක කොහෙත්ම අනුමත කරන්න බැහැ. එතැන තිබෙන්නේ අර පරිනත භාවයේ ප්‍රශ්නයක්. ඒ වගේම බුද්ධියේ අවුලක්. අපි ඒ ගැන නායකත්වයට දැනුම් දුන්නා මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ඔය වෙලා තිබෙන්නේ ගොඩක් අයට ඡන්ද ගන්න ජනතාව අද්දා ගන්න කරන වැඩ.

යහපාලන රජය පිහිටුවපු ජනාධිපතිවරයා ඉන්නේ ඔබලාට විරුද්ධ මතවාදයක. කොහොමද මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනයන්නේ?

මෛත්‍රීපාල ජනාධිපතිවරයාව මේ රටේ ජනාධිපති ලෙස පත් කරන්නේ ජනතාව. එතුමාට වගකීමක් තිබෙනවා සදාචාරාත්මක අයිතියක් තිබෙනවා ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. එතුමා ඒ දේ අමතක කරලා එජාපය එක්ක තිබෙන අමනාපකම් වලට ක්‍රියාමාර්ග ගන්නවා නම් ජනතාව තීන්දු කරයි ඔහුට තිබෙන තැන. අපට පේනවා එජාපය ඉතාම පරිස්සමෙන් මේ ගමන යන්නේ. හැබැයි ඒ ගමනත් කකුලෙන් අදිනවා. එනිසා අපි ඍජුව ඒකට මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් අපි ඉදිරියේදී පාරටත් බහිනවා.

මේ වෙනකොට ජනාධිපතිවරයා ආණ්ඩුවේ දූෂණ වංචා හොයන්න කොමිසමක් පත්කරලා තිබෙනවා. ඒක යම් ආකාරයක ආණ්ඩුවට අභියෝගයක්...?

පැහැදිලිවම කියන්න ඕන එතුමා ඒක සද්භාවයෙන් පත් කළා නම් ඇත්තටම හොඳ දෙයක්. හේතුව හොරු කොයි තැනකවත් ඉන්න හොඳ නැහැ. ඒ වගේම ඒ කොමිසමට වැරදි නොකරපු අය බය වෙන්න ඕනැත් නැහැ. මම හිතනවා ජනතාවට එජාපය ගැන තව තවත් නිර්වද්‍යතාවය තහවුරු කරන්න ලබාදෙන තවත් හොඳ අවස්ථාවක් කියලා.

කොහොම වුණත් ජනාධිපතිවරයා සහ රාජපක්ෂවරු අතර දැන් බැඳීම වැඩිවෙලා වැඩියි. ඒකෙන් වෙන්නේ එජාපයට අභියෝගයක්..?

මෛත්‍රීපාල ජනාධිපතිවරයා එදා බලයට පත්වෙනකොට දුන්නු පොරොන්දු එකක්වත් තවම ඉෂ්ඨ කරලා නැහැ. සෝභිත හාමුදුරුවන්ගේ දේහය අසල තියාගෙන දුන්නු පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කරලා නැහැ. ඒ සියල්ල අමතක කර එතුමා කිසිම ලැජ්ජාවක් නැතිව විවේචන ඉදිරිපත් කරනවා. ඒ නිසා රටේ ජනතාවට පේනවා ඇත්ත මෛත්‍රීපාල කවුද කියලා. එය ජනතාව අනුමත කරන්නේ නැහැ.

ඒත් ජනාධිපතිවරයා චෝදනා එල්ල කරන්නේ එජාපය විසින් තමයි මේ යහපාලනය විනාශ කළේ කියලා...?

එහෙම චෝදනා තිබෙනවා නම් එතුමා ඒක ඔප්පු කරන්න ඕන. කියලා වැඩක් නැහැ. එහෙම දේවල් වුණා නම් අවුරුදු තුනහමාරක් යනකම් එතුමා මොකද කළේ? නෑ.... මෙතැන තිබෙන්නේ වෙන අරමුණක්. ඒ එකම අරමුණ තමයි එතුමා යළිත් බලයට පත්වීම. ඒකට එජාපයට මුක්කු ගහන්න බැරිවුණ නිසයි එතුමා මෙහෙම හැසිරෙන්නේ. අපි කියනවා ජනාධිපතිතුමාට හිතාගෙන ඉන්නවා නම් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආශීර්වාද මැද්දේ ජනාධිපති සටනට එන්න, අපි ආරාධනා කරනවා ඉක්මණින් ජනාධිපතිවරණය කැඳවන්න කියලා.

ඒ අභියෝගයටද හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට ගේන්න හදන්නේ එජාප ලැයිස්තුවෙන්?

ජනාධිපතිවරයාගේ පාවාදීමට එරෙහි ඕනෑම කඳවුරක් සමග කඳවුරු බඳින්න අපි සූදානම්! හැබැයි චන්ද්‍රිකා මැතිනිය පාර්ලිමේන්තු එනවාද නැද්ද කියලා මට දැන්ම කියන්න බැහැ. එවැනි තොරතුරු තිබෙනවා. ඒත් නිශ්චිත වශයෙන් අපිට ලැබිලා නැහැ. ඒත් ඇයට විරුද්ධවත් එජාපයට විරුද්ධ වීමේ චෝදනා ඉතිහාසයේ තිබෙනවා. මම හිතනවා අපේ නායකයෝ ඒ ගැන හිතයි කියලා. අපේ නායකයෝ මේ වනවිට හැසිරෙන්න ඕන එජාප පාක්ෂිකයන්ගේ මානසික මට්ටම විනාශ නොකරගෙන.

ඇත්තද ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට නායකත්වය දීලා එජාපයට ගේනවා කියන්නේ?

මේ වනවිට යම් යම් සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. නිශ්චිත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එජාපය සමග ඉදිරියේදී එකතු වෙනවා. ඒ හරහා ඉදිරියේදී ශක්තිමත්ම සන්ධානය බවට එක්සත් ජාතික පෙරමුණ පත්වෙනවා.

මහින්ද කඳවුරෙන් අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ එන බව කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියනවා මෛත්‍රීපාල මහත්තයා එනවා කියලා. කවුද එජාපයේ ජනාධිපති අපේක්ෂකයා...?

මෛත්‍රීපාල මහත්තයා නම් මහින්ද මහත්තයාත් එක්ක එකතු වෙන්නේ නාමයෝජනා ගන්න. ඒ වගේම මහින්ද මහත්තයාත් එතකොට නාමයෝජනා දෙයි. මොකද එතුමාගේ හීනයක් තිබෙනවා නාමල් රාජපක්ෂ මහත්තයට බලය හුවමාරු කරන්න. ඒ වගේ කලබල එහෙ තිබ්බට අපිට කලබල නැහැ. අපි සියලු දෙනා එකතු වෙලයි අපේ අපේක්ෂකයා තෝරන්නේ. කොහොම වුණත් අපිට ජනාධිපති තරගයක් දිනන්න එච්චර අමාරැ නැහැ.

ඇත්තද ඔබ මේ සියල්ල අත්හැරලා පළාත් සභා මහ ඇමැතිකමට සබරගමුවෙන් තරග කරනවා කියන්නේ?

මම මොකක්ද කරන්න ඕන කියන එක රත්නපුර ජනතාව තීන්දු කරයි. ඒ වගේම පක්ෂ නායකත්වයත් මම ගැන විශ්වාසයක් ඇතිවෙන්න ඕන. එහෙම වුණොත් මට පුළුවන් නියත වශයෙන්ම පළාත් සභාව ජයග්‍රහණය කරන්න.

හැබැයි ඔබ ඉදිරිපත් වුණාට ඔබ දිස්ත්‍රික් නායිකාවත් එක්ක යම් ගැටුමක් තිබෙනවා නේද?

අපේ හිටිය නියෝජ්‍ය ඇමැති කෙනෙක් අතහැරලා දාලා අනික් පැත්තට ගියා. ඒ ගියායින් පස්සේ විශාල අඩුවක් රත්නපුර දිස්ත්‍රික්කයේ තිබෙනවා. දැන් ඒ බර දිස්ත්‍රික් නායිකාවටත් ඒ වගේම මටත් තිබෙනවා. ඒ නිසා අපි දෙදෙනාම එකතුවෙලා පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන යනවා.

අවසාන වශයෙන් අහන්නේ ඇත්තද ඔබ මහින්ද රාජපක්ෂ කඳවුරත් එක්ක රහස් සාකච්ඡා තිබ්බා කියලා කියන්නේ?

මහින්ද රාජපක්ෂ පමණක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ එක්කත් සාකච්ඡා කරනවා. හැබැයි දේශපාලන සාකච්ඡා නෙමෙයි නිකම්. මම හොඳටම දන්නවා මහින්ද රාජපක්ෂ කඳවුරට ගියාම අත්වෙන ඉරණම. එනිසා මම එහෙම අමාරැවේ වැටෙන කෙනෙක් නෙමෙයි. මම ගිය අයටත් කියන්නේ අනාගතයේ මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න.

►ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00