2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

අපේ අශ්වයයි ජොකියයි දෙන්නමප දැන් සූදානම්

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

♦ ජනාධිපතිතුමා අපට ලොකුවට කැපිල්ල දානවා
♦ මහින්ද මහත්තයා විකුණුවේ දේශීය සම්පත් නෙවෙයිද?
♦ ඡන්දවලට බයනම් ජනාධිපතිවරණයක් ඉල්ලනවද
♦ මම කපන්න කපන්න මුවහත් වෙන මිනිහෙක්
♦ රටේ විධායක බලතල ශ්‍රීලනිපයට ගිහින්
♦ පුංචි ඡන්දෙදි ජනතාව අපට පොඩ්ඩක් රිද්දුවා

- ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

 

 

 

 

 

 

ඔබ ආණ්ඩු පක්ෂ‍යේ මන්ත්‍රීවරයෙක්. පසුගිය දවසක කිව්ව දෙයක් තමයි එ.ජා.ප ආණ්ඩුවක් ආවොත් තමයි දෙයක් කරන්න පුළුවන් වෙන්නේ කියලා රටට. දැන් කළාද?

තවම ඉන්නෙ ජනාධිපති අපේ නෙවෙයිනේ. අපේ ජනාධිපතිවරයෙක් යටතේ විතරයි ජනතාවට සේවය කරන්න අපට පුළුවන්කම ලැබෙන්නේ. අපි ඊළඟ මැතිවරණය ඉතා විශිෂ්ට ආකාරයෙන් ජයග්‍රහණය කරලා තමයි ඉදිරි අරමුණු කරා යන්නේ. විශේෂයෙන් පාක්ෂිකයන්ට කරන්න පුළුවන් උපරිම දේ කරන්න පුළුවන් වෙන්නේ අපේ කෙනෙක් නායකයා වුණොත්.

ඒ කියන්නේ පාක්ෂිකයට දෙයක් කරන්නත් විධායක කෙනෙක් බිහිවෙන්න ඕනෙද? 

මෙහෙමනේ. කාටවත් විධායක බලතල නැත්නම් කමක් නෑ. නමුත් දැන් තියෙන්නේ විධායක බලතල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට. දැන් ඒ  අය  පොහොට්ටුවට එකතු වෙලා. දැන් ඒ අය කැමති නෑ අපේ පාක්ෂිකයට  අපි සේවය කරනවට. 

වර්තමාන ජනාධිපති පත් කළේ එජාපය කිව්වා එතුමා සමබර නායකයෙක් කියලා. දැන් කියලා එතුමා පක්ෂග්‍රාහීලු. ඒ කියන්නේ එජාපය ඔබලට කිසිම සැලකිල්ලක් නැද්ද?

මෙහෙමයි. අපිට පොඩි පොඩි සහයෝග උදව් අවස්ථා එතුමා ඒ දවස්වල දුන්නා. ඒත් දැන්නම් ඒ කිසිදෙයක් නෑ. 

ඒ  කියන්නේ කැපිල්ල ලොකුවට එක්සත් ජාතික පක්ෂයට තියෙනවද?

ඔව්. ඒක ඇත්ත. 

ඔබ හිතන්නේ මොකද්ද මේ කැපිල්ලට  හේතුව?

එයට හේතුව තමයි එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ලබාගැනීම. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ගත්ත මුල්ම කාලේ ඊට පස්සේ කට්ටිය හොඳට  හිටියනේ. දැන්ද මේ එතුමා නරක?

නෑ. වෙන කිසිම හේතුවක් නෑ. ඒක තමයි මෙතනට හේතුව. එතුමා ඒ  සභාපතීත්වය ගත්තට පස්සේ එකම  අරමුණ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීම. 

ඔබ එහෙම කිව්වට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කිව්වේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජනතාවාදී ආණ්ඩුවක් නෙවෙයි පරගැති ආණ්ඩුවක් කියලා.

එම ප්‍රකාශය මම ප්‍රතික්ෂේප කරනවා.

එතුමා කියනවා ඔබ රටේ දේපළ විකුණනවා කියලා.

එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා විකුණුවේ මොනවද? එතුමා අක්කර 18000ක් වික්කා. තව සමාගමකට අක්කර 5000ක් වික්කා. ෂැංග්‍රිලා එකට යුද හමුදා ඉඩම වික්කා. ෂැංග්‍රිලා හම්බන්තොට ඉඩමත් වික්කා. අපි කවුරැත් දන්න පෝට් සිටි එකත් වික්කා. එතකොට ඒවා දේශීය සම්පත් නෙවෙයිද? 

ඒ  කියන්නේ ජනාධිපතිවරයා පදනම් විරහිත ප්‍රකාශද දෙන්නේ?

අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. 

ජනාධිපතිවරයා කියනවා පහුගිය කාලේ කැබිනට් එකට දිගින් දිගටම  ඉදිරිපත් වුණේ රටට අහිතකර යෝජනා කියලා.

එතුමා කියලා තියෙනවා ඒ වගේ දේවල්. ඒ  සියල්ලක්ම අපි ප්‍රතික්ෂේප කරනවා. අපි රටට  ආදරේ මිනිස්සු. අපි රටට අහිතකර කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්නේ නෑ. 

ජනාධිපතිවරයා එල්ල කළ ලොකුම චෝදනාව තමයි බැඳුම්කර චෝදනාව. ඒකෙන් ගැලවෙන්න බෑ නේද?

පුළුවන්. පුළුවන්. ගැලවෙන්න පුළුවන්. මොකද අපි ඒකට නීති ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ වගේම බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. බිලියන 10ක පාඩුවක් වුණා කියලා තමා ආරංචි වෙන්නේ. ඒත් මේ වෙනකොට පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට සම්බන්ධ බිලියන 12ක දේපල හිර කරලා තියෙනවා. ඒ කියන්නේ බිලියන 02ක ලාභයක් අපි ගෙනල්ලා තියෙනවා.

ඔය කියන හැටියට ආයේ ජනාධිපතිවරයා සහ එජාපය අතර හවුලේ ගමනක් නෑ නේද?

ඒක ඉතින් අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ගන්න ඕන තීරණයක්. පක්ෂයේ මතයත් එක්ක හිටගන්න කෙනෙක් මම. පක්ෂය තීරණය කළොත් මෛත්‍රීපාල මහත්තයා එක්ක ගමනක් යනවා කියලා ඒකට හිස නමන්න වෙනවා.

කාවින්ද ජයවර්ධන හිතන්නේ  මොකද්ද?

මේ වසර මැතිවරණ වසරක්. කොහොමහරි කරලා එජාප අපේක්ෂකයෙක් දාලා ජයග්‍රහණය කරන එක තමා අපේ අරමුණ.

ශ්‍රීලනිපයෙන් කියනවා අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල මහත්තයා කියලා. පොහොට්ටුවෙන් කියනවා රාජපක්ෂවරයෙක් කියලා.

නෑ. නෑ. පොහොට්ටුවෙන් කියන්නේ ගෝඨාභය තමයි ජනාධිපති අපේක්ෂකයා කියලා. 

හරි. ගෝඨාභය රාජපක්ෂ කියමුකෝ. දැන් එතකොට කවුද එජාපයේ අපේක්ෂකයා?

ඒක රහසක්. දැන්ම ඒ රහස එළි කරන්න බෑ. අපි ගාව ඒකට දන්න හොඳ අශ්වයෙකුයි ජොකියෙකුත් දෙන්නම ඉන්නවා. අපි මේ වෙලාවේ ඒ දෙන්නව පුහුණුවීම් කටයුතු සඳහා යොදවලා ඉන්නේ. දැන්ම ඉඳන් මෙතන සූදානමක් තියෙනවා. ඒ නිසා දැම්ම හෙළිදරව් කළොත් ප්‍රතිවාදියා සූදානම් වෙනවා. අපේ මූලික අරමුණ තමයි ප්‍රතිවාදියා පුදුමයට පත්කරන එක.

ඒ කියන්නේ ඔබලගේ වර්තමාන නායකයා නෙවෙයිද ඉදිරිපත් වෙන්නේ?

ඒක දැම්ම කියන්න බෑ. එහෙම කිව්වම ප්‍රතිවාදියා සූදානම් වෙනවා. හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. ඒ අශ්වයයි ජොකියයි මෙහෙයුමට සූදානම් වෙලා ඉවරයි.

මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල මහත්තයයි එකතු වෙලා තමයි ඊළඟ මැතිවරණයට එන්නේ. ඒක එජාපයට අභියෝගයක් නේද?

නෑ. එහෙම අභියෝගයක් සිදුවන්නේ නෑ. 

හැබැයි පසුගිය පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක බලද්දි එච්චර හොඳ නෑ නේද?

පළාත් පාලන මැතිවරණයෙන් මිනිස්සුන්ට ඕන වෙලා තිබ්බේ අපිට පොඩ්ඩක් රිද්දන්න. අපේ පාක්ෂිකයන්ට තිබ්බා ඔවුන්ට නොසැලකීම කෙරෙහි අවුලක්. ඒ නිසයි ඒක පෙන්නුවේ. හැබැයි ජාතික මැතිවරණයේදී ඔවුන් ඒක වෙනස් කරනවා. 

කොහොමද එක්සත් ජාතික පාක්ෂිකයා ගැන විශ්වාසය තියාගන්නේ?

එක්සත් ජාතික පාක්ෂිකයා පක්ෂයට ආදරෙයි. ඒ නිසා බය නෑ.

ඔබ එහෙම  කිව්වට  එජාප පාක්ෂිකයාට  ඔබලගෙන් වෙච්ච දෙයක් නෑනේ?

අපි ඒ ගැන ඉදිරියේදී ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් සූදානම් කරලා තියෙනවා.

රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් කළා ඇතුළේ ඉන්න 225න් කිහිපදෙනෙක් කොකේන් පානය කරනවා කියලා. ඒක ඇත්තද?

මමනම් ඒක දන්නෙ නෑ.

225ටම එල්ල වෙන චෝදනාවක් මේක. මොකද නම කියලා නෑ කාගෙවත්. ඒ නිසා ඒ චෝදනාව ඔබටත් එල්ල වෙනවා.

මම කියන්නේ 225 ලේ වෙනවෙනම පරික්ෂා කළානම් ඉවරයි. 

ඒ කියන්නේ ඔබ ලේ පරික්ෂා කළ යුතුයි කියලා විශ්වාස කරනවා?

ඔව්. දැඩි ස්ථාවරේක ඉන්නවා ඒ ගැන.

ජ්‍යෙෂ්ඨයෝ කියන්නේ රංජන්ගේ ප්‍රකාශ නිසා ආණ්ඩුවටත්, එජාපයටත්, ඔවුන්ටත් චෝදනා එල්ල වුණා කියලා. 

නෑනේ. එයා කියන්නේ හොඳ කතාවක්. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කොකේන් පානය කරනවා.

මේ චෝදනාව නිසා පාර්ලිමේන්තුව ගැන ජනතාවට තිබ්බ විශ්වාසය තව තවත් කැඩෙනවා නේද?

මම  දන්නෙ නෑ ඒක. මොකද මම මේ ගැන දන්නෙ නෑ. මට  එවැනි චෝදනා එල්ල කරන්න බෑ. මම කියන්නේ එවැනි චෝදනා තියෙන අය එළිකරන්න ඕනේ.

මේ වෙනකොට රංජන් අමාත්‍යවරයාට එරෙහිව කමිටුවක් පත් කළා නේද? ඒක සාධාරණද?

ඒ  ගැනනම් මම දන්නෑ.හැබැයි ඒක රංජන් ඇමැතිතුමාට විරුද්ධ ගෙනාපු කමිටුවක් නෙවේ. මන්ත්‍රීවරැ ගැන හොයන්න බලන්න තමයි මේ කමිටුව ගෙනාවේ. 

ඔබ විශ්වාස කරනවද මේ කොකේන් පානය කරන කවුරුහරි ඉන්නවනම් ඔහුව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න ඕනෙ කියලා?

මම එහෙම කියන්නෙ නෑ. පක්ෂයේ තීන්දු තීරණ මත තමයි ඒක තීන්දු වෙන්නේ. කවුරු හරි කෙනෙක් සම්බන්ධනම් ඔහුට විරැද්ධව රටේ නීතිය ක්‍රියාත්මක වේවි.

ඔබට රට  ගැන හිතලා තිරණයක් කියන්න බැරිද ඔවුන්ට ගන්න ඕන ක්‍රියාමර්ගයක්?

ඒවා ඉතින් රටේ නීති අනුව සිද්ධ වෙයි. ඕවට  සම්බන්ධ මන්ත්‍රතීවරු ඉන්නවනම් ඒ  අය හඳුනාගැනීම තමයි කළ යුත්තේ. 

හැබැයි මේ හැමදේම වෙන්නේ ජනාධිපති පොලීසිය ගත්තට පස්සේ නේද? ඇයි එජාප ඇමැතිවරුන්ට ඒක හරියට කරගන්න බැරි වුණේ?

එජාප ඇමැතිවරුත් ඒක මර්දනය කරන්න සෑහෙන උත්සාහයක් දැරුවා. මොකද ඒක රට  වටේම පැතිරුණ වසංගතයක් නිසා.

හැබැයි ජනාධිපති වැඩේ  අතට ගන්නකම් ඉන්න වුණානේ මේ හැමදේම එළිවෙන්න?

ජනාධිපතිතුමත් හොඳ වැඩක් කරනවා මේ මත්ද්‍රව්‍ය නතර කරන්න. අපි ඒකට සහයෝගය දෙනවා.

ඔබ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක. ඔබට හම්බෙනවා මීගමු ආසන සංවිධායකකම. ඒක ගත්ත දවසේ ඉඳන් ඔබට ප්‍රශ්නනේ. 

මට ප්‍රශ්න නෑ. මට අගමැතිතුමා ලොකු අභියෝගයක් බාර දුන්නා මීගමුව ජනතාව  වෙනුවෙන් වැඩ කරන්න. මීගමුව සංවර්ධනය ජනතාවගේ රැකී රක්ෂා ප්‍රශ්න සහ විශේෂයෙන් එය සංචාරක කලාපයක් නිසා ඒ දේවල් දියුණු කරන්න. මම ඒ ටික කරනවා. මේ සියල්ලම මට අභියෝගයක්. ඒ නිසා වෙන ප්‍රශ්න ගැටලු මම ඔළුවට ගන්නේ නෑ.

හිටපු සංවිධායකතුමා තමයි ඔබ මීගමුවට ළදරුවෙක් කියන්නේ. එතුමා මීගමුව උපන් පුද්ගලයෙක් කියලා කියන්නේ. ඒ නිසා ඔබව හරියන්නේ නෑ කියලා ඔවුන් ඔබට චෝදනා කරනවා.

මම ළදරැවෙක්ද නැද්ද කියන එක ඉදිරි මැතිවරණවලදී ජනතාව තීන්දු කරයි.

ඒ කියන්නේ ඔහු මීගමුව ගැලපෙන්නේ නැති නිසයි ඔබව දැම්මේ?

මට ඇත්තටම එතුමා ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මට දුන්න පක්ෂයේ වගකීම  ඉෂ්ඨ  කිරීම  විතරයි මගේ අරමුණ. එතුමත් අපේ පාක්ෂිකයෙක්. 

හැබැයි ඔබ ඔහොම කිව්වට  ඔහු  ඔබට  විරැද්ධන ජනතා මතයක් මීගමුව  තුළ ගොඩනගලා ති‍යෙනවා.

නෑ. නෑ. ඒවා බොරු කතා. 

ඒ කියන්නේ ඔබ ලෑස්තියි ඔහු එක්ක වැඩ කරන්න, ඔහු අකමැති වුණාට?

මමනම් ඔය හැමෝම එක්ක වැඩ කරන්න කැමතියි සුහදව. මම එතුමට ආරාධනා කරනවා මීගමුව ජනතාවට සේවය කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.

එජාපයට  එන තවත් ලොකු චෝදනාවක් තමයි කයිය  ගැහුවට මැතිවරණයට යන්න බයයි කියලා. ඇයි මේ මැතිවරණවලට බය?

අපිනම් සූදානම්. හැබැයි මැතිවරණ තියන්නේ කොහොමද කියන එකයි මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ. අපි කියන්නෙත් ඉක්මනට මැතිවරණය තියන්න කියලයි. මොකද අපි සැදී පැහැදී ඉන්නේ මැතිවරණයට.

ඇත්තටම මැතිවරණවලට බයයි  නේද?

නෑ. නෑ. අපි එහෙම බය නෑ. අපි එහෙනම් ජනාධිපතිවරණයක් ඉල්ලනවද? ජාතික මැතිවරණයක් තිබ්බනම් මේ සියලු ප්‍රශ්න නිරාකරණයට පත්වෙනවා.

හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව  ගත්ත ගමන් ජාතික මැතිවරණයට යන්න තමයි සූදානම්  වුණේ. ඒත් ඔබලා ඒකට විරැද්ධ වුණා කියලයි විපක්ෂය චෝදනා කරන්නේ.

නෑනේ. ඒ ජාතික මැතිවරණය නීති විරෝධියි. පාර්ලිමේන්තුව විසුරැවන්න පුළුවන් අවුරුදු හතරාමාරකට පස්සේ.

දෙපාර්ශවයට තිබ්බනේ සාකච්ඡා කරලා මැතිවරණයට යන්න?

බෑ. එතන තිබ්බේ ව්‍යවස්ථාව උල්ලංඝනය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක නිරාකරණය කරගන්නයි ඕන වුණේ. මොකද ඒ අගමැතිවරයා පවා නීති විරෝධියි.

දැන් එතකොට කිසිම  පදනමක් නැතුව ජාතික ආණ්ඩුවක් හදන වැඩේ නීතිගරුකද?

විශේෂයෙන් අපිත් එක්ක එකතු වෙන්න  ඉන්න කට්ටියට උදව් කරනවා. ඒ වගේම සමහර ඇමැතිවරුන්ගේ විෂය පථයන් පුළුල්. ඒවා පාලනය කරගන්න අමාරුයි. ඒ ප්‍රශ්නෙත් තියෙනවා. ඒ නිසයි ජාතික ආණ්ඩුවකට යන්න හැදුවේ.

රටේ මිනිස්සුගේ ප්‍රශ්න කෙසේ වෙතත් ඔබලාගේ ප්‍රශ්න විසඳගත්තම හරි?

නෑ. ඒක තමයි මම කියන්නේ එහෙම ජාතික ආණ්ඩුවකට යනවනම් එජාප පාක්ෂිකයන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා ප්‍රසිද්ධියේ හෙළදරව් කරන්න ඕනේ.

ඇයි ඔබ මේ එජාප පාක්ෂිකයන් ගැන කතා කරන්නේ? අනිත් මිනිස්සු මිනිස්සු නෙවෙයිද?

නෑ. මේ රටේ තීරණාත්ම තීන්දු ගන්නේ එජාප පාක්ෂිකයෝ. මේ රටේ තීරණාත්මක තීන්දු ගත්තේ එජාපය. ඉතින් ඒ  නිසා එජාප පාක්ෂිකයට මූලිකත්වය දෙන්න ඕනේ.

ඒ කියන්නේ දෙයක් වෙනවනම් ඒක වෙන්න ඕන  ඉස්සෙල්ලා එජාප පාක්ෂිකයට වෙලාද?

ඔව්.

ඔබ ජයලත් ජයවර්ධනගේ පුතා. තාත්තා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්. අද ඔබ තරග කරන්නේ ඔබේ තාත්තා එක්ක තරග කරපු ජ්‍යෙෂ්ඨයෝ එක්ක. ඔබට හිතෙනවද ඔළුව ගහලා බේරෙන්න පුළුවන් වෙයි කියලා?

මම කපන්න කපන්න මුවහත් වෙන මිනිහෙක්. හොල්මන්වලට බයනම් සොහොනේ ගෙවල් හදන්නෑ. 

 ගයාන් ගාල්ලගේ