2019 මාර්තු 02 වන සෙනසුරාදා

දැන් රටේම ගෝඨා රැල්ලක් හැදිලා

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 142

දැන් රටට ඕනෑ මහ මැතිවරණයක්

අද පොලීසියේ කොන්ද කෙළින් වෙලා

රන්ජන්ගෙ කතාව යූ.එන්.පී. කොන්ත්‍රාත්තුවක්

පොහොට්ටුවේ අය තීන්දු ගන්න හැටි මම දන්නේ නෑ

අපේක්ෂකයා ගැන අපේ ප්‍රශ්න නැහැ

මහින්ද මහත්තයා අගමැතිකම ගැනීමෙන් ලොකු ජයග්‍රහණ ලැබුණා

- පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල

ඔබලා ආණ්ඩුවක් ගත්තා. පස්සේ ආණ්ඩුව කඩාවැටිලා දැන් නිල විපක්ෂය බවට පත්වෙලා ඉන්නවා. නමුත් ඒකාබද්ධ විපක්ෂය කරපු භූමිකාව නිල විපක්ෂය හරහා වෙන්නේ නෑ වගේ නේද?

ඒ සමහරුන්ට පේන විදිහ වෙන්න පුළුවන්. වෙනදාට වඩා හොඳින් අපි විපක්ෂයේ කාර්යභාරය මේ වෙනකොට සිද්ධ කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා එදා නායකත්වය දුන්නේ මන්ත්‍රීවරු 54 දෙනෙකුට. අද වෙනකොට එතුමා 97 දෙනකුට නායකත්වය දෙනවා. නිල විපක්ෂයට හිමි බලය, වරප්‍රසාද ආදී සියලු දේවල් අපිට ලැබිලා තියෙනවා. දැන් වෙනදාට වඩා අපි සවිමත්.

ඔය ලැබිච්ච දේවල් විතරද? සටන්කාමී බවක් දැන් නෑනේ?

අපි පළාත් සභා මැතිවරණය කල්යාම සම්බන්ධව පසුගිය දවස් ටිකේ රටපුරා උද්ඝෝෂණ තිබ්බා. ඒ වගේම ලබන මාර්තු 8 වැනිදා ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත විරෝධතාවයක් පෙළපාලියක් මහනුවර තියෙනවා. එනිසා අපි හොඳ ක්‍රියාකාරියි.

එක්සත් ජාතික පක්ෂය නම් කියන්නේ නිල විපක්ෂය වීම හරහා ඔබලාගේ අභ්‍යන්තර ගැටලුව තව ටිකක් උත්සන්න වුණා කියලා?

අපිට විසඳගන්න බැරි අභ්‍යන්තර ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ තියෙන පුංචිම සංවිධානය තමයි පවුල. එතැන ගැටුම් ඇතිවෙනවා. එනිසා ලොකුම සන්ධානය තමයි අපේ සන්ධානය. සන්ධානය ඇතුළේ මතභේද ඇතිවෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි එජාපය තුළ තිබෙන බලඅරගලය අපේ තුළ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලනයෙන් විශ්‍රාම ගන්න ලෑස්ති වෙනකොට අද ඇතුලේ අය එකිනෙකාට ගහගන්න තැනට ඇවිල්ලා.

අද බොහෝ දෙනෙක් කතාවෙන දෙයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 හදිසි මැතිවරණයකට ගියා වගේම මෙවර අගමැතිකම ගන්නත් හදිසි වුණා කියලා. ඒකෙන් කඩා වැටුණා කියලා කියනවා?

ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති ධූරය බාරගන්න යන අවස්ථාවේ තදින්ම විරුද්ධ වුණු පුද්ගලයෙක් තමයි මම. නමුත් ආපසු හැරිලා බලද්දී ජයග්‍රහණ රැසක් ගෙනාපු තීන්දුවක් තමයි මේ අගමැති ධුරය බාරගැනීම.

මොනවද අහිමි වෙලත් ඔච්චර ලැබුණු ජයග්‍රහණ?

පළවෙනි කාරණය තමයි රටට එරෙහිව සිටින එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටිය ජනාධිපතිවරයා දැන් ඉන්නේ අපිත් එක්ක. එනිසා එදා දුවමින් සිටි ආණ්ඩුව දැන් කුරගාමින් යන්නේ. දෙවැනි කාරණය එදා ආණ්ඩුවට 2/3 බලයක් තිබුණා. නමුත් මේ වෙනකොට 2/3 බහුතරය අහිමි වෙලා තියෙනවා. ඒ නිසා තමයි ෆෙඩරල් ව්‍යවස්ථාව ගේන්න බැරිවෙලා තියෙන්නේ. තුන්වෙනුව මෙතෙක් කල් අපේ පැත්තේ හිටිය මන්ත්‍රීවරු 54 දෙනා වෙනුවට 97 යෝධ කණ්ඩායමක් බවට පත්වෙලා තියෙනවා. ආණ්ඩුවයි අපියි අතර 10ක වෙනසක් තියෙන්නේ. හතරවෙනුව මෙතෙක් කල් කුරුණෑගල මන්ත්‍රීවරයකුව සිටිය මහින්ද රාජපක්ෂ මහත්තයා අද නිල විපක්ෂනායක බවට පත්වෙලා තියෙනවා. එනිසා මෙතෙක් ඉතා දුෂ්කරව සම්පත් නොමැතිව ආව ගමන දැන් නිල වශයෙන් කාර්යභාරය ඉටුකරනවා. ශ්‍රී ලංකාවේ නීති විරෝධීව විපක්ෂනායක දැරූ බෙදුම්වාදී මතයක ඉන්න ආර්. සම්බන්ධන් මහතාට විපක්ෂනායකකම අහිමිවෙලා තියෙනවා. ඉතින් මේක දැවැන්ත ජයග්‍රහණයක්. මේ සියල්ල වුණේ කෙටිකාලීනව හරි අගමැති ධුරය බාරගත් නිසා.

ඔබලා සහ ඔබලාගේ පාක්ෂිකයෝ හිටියේ නැවත ශ්‍රීලනිපයේ නායකයෝ සමග ගමනක් නෑ කියලා. මේ එකතුවක් නිසා ඉදිරියේදී පාක්ෂිකයන්ගේ විරුද්ධත්වය එල්ල වෙලා ඡන්ද පදනමට හානියක් වෙන්න පුළුවන් නේද?

ඡන්ද පදනම වැඩිවීමක් මිසක් අඩුවීමක් සිදුවෙන්නේ නෑ. අපි ගිය පාර පළාත් පාලනයේදී ලක්ෂ 50ක් ඡන්ද ගන්නකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක්ෂ 14 ඡන්ද ගත්තා. මේ ඡන්ද ගොඩවල් දෙක එකතු වුණාම ජයග්‍රාහී ඉලක්කයක් වන ලක්ෂ 64 ඡන්ද සංඛ්‍යාවක් එකතු වෙනවා. ඉදිරියේදී එන්නේ ජනාධිපතිවරණයක්. එහිදී අවම ලක්ෂ 63ක් ඡන්ද ලබාගන්න ඕන. නමුත් අපිට ලක්ෂ 64 ඡන්දයක් තියෙනවා. සියයට ගණනින් බැලුවත් 54%ක් තියෙනවා. එහෙම බලනකොට අපි දිනලමයි මැතිවරණයකට යන්නේ.

මේ එකමුතුව පිටුපස විවිධ කතා යනවා. එකක් වර්තමාන ජනාධිපතිවරයා නැවත බලයට ගේන්න කියලා. අනික මහින්ද රාජපක්ෂ මහතා විධායක අගමැති කරන්න කියලා. ඇත්තද?

කිසිසේත්ම නැහැ. ඔය සාකච්ඡාවල ඍජුව වාඩිවුණු කෙනෙක් හැටියට ඔය කියන කිසිම කාරණයක සම්බන්ධයෙන් කතා කළේ නැහැ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාට හැමෝම විරුද්ධයි.

පොහොට්ටුවම කියනවා අපේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා. ශ්‍රීලනිපය කියනවා අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා. ඇත්තටම කවුද අපේක්ෂකයා කියලා ජනතාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද?

කිසිසේත්ම එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. බොහෝ දියුණු රටවල්වල ජනාධිපති අපේක්ෂකයා තෝරගන්නේ ජනාධිපති ඡන්දයෙන්. අපේක්ෂකයෝ ගොඩක් ඉදිරිපත් වුණාට දිනන්නේ එක්කෙනයි. ඒනිසා මෙය අභ්‍යන්තර ප්‍රශ්නයක් නෙමෙයි. දෙගොල්ලොම අතරේ විවිධ මත තියෙන්න පුළුවන්. සාමාන්‍ය සම්ප්‍රදාය වෙන්නේ ප්‍රධාන පක්ෂයෙන් තමයි අපේක්ෂකයා නම් කරන්නේ. නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියේදි තීන්දුවක් ගන්නවා.

එකඟතාවය සඳහා සාකච්ඡා මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවාද?

නෑ. මෛත්‍රීපාල මහත්තයත් මහින්ද මහත්තයත් තීන්දුවක් අරගෙන තියෙනවා මුලින්ම සන්ධානය හදලා ඊට පස්සේ අපේක්ෂකයෝ ගැන කතා කරමු කියලා.

ඔබලා කියන අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් ශ්‍රීලනිපය කියන මෛත්‍රීපාල මහත්තයාටත් දෙපිරිසේ සමහර අය විරුද්ධයි. එකමුතුවක් නැතුව කොහොමද මේ ගමන යන්නේ?

අපි මීට මාස හතරකට කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම නාමයෝජනා කරනකොට එතුමා කෙරෙහි රටේ අවධානයක් තිබුණේ නැහැ. මේ වෙනකොට හැබැයි රටේ ගෝඨා රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. රට ඉල්ලන්නේ ගෝඨා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා කිරීමේ වගකීමක් අපට තියෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියන මතයේ ඔබලා හිටියාට මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ මතයේ ඉන්නවාද?

අපේ අපේක්ෂකයා සම්බන්ධයෙන් නිල සාකච්ඡාවක් මෙතෙක් කල් සිදුවෙලා නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට තරම් ජන මනස තේරෙන නායකයෙක් මේ රටේ නැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා රටේ බහුතර ජනතාවගේ මතයට හිස නමාවි.

දැන් හැමෝම කතාවෙන්නේ නම් රාජපක්ෂවරු අතර සීතල යුද්ධයක් පටන් අරන් තියෙනවා කියලා. ඇත්තටම බල අරගලයකට රාජපක්ෂවරු අතර සටනක් තියෙනවාද?

කිසිසේත්ම නැහැ. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධ වෙච්ච වාමාංශික පුද්ගලයෝ පවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඕනෑය කියන තැනට ඇවිල්ලා ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද නැද්ද කියන එක ගැන කියන්න ඕනේ එතුමා. මට කියන්න බැහැ.

බැසිල් රාජපක්ෂ මහත්මයා නම් නායකත්ව ගමනකට පසුගිය කාලේ සූදානමක් වුණා. විශේෂයෙන් පොහොට්ටුව එහෙම අතට අරගෙන. එතකොට හිතෙන්න පුළුවන් නේද යම්කිසි අරමුණක් සහිතව මේ දේ කළා කියලා?

එහෙම කටකතා අනන්තවත් යනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රටම ඉල්ලනකොට ඔය යන කටකතා වලට තිත තියන්න පුළුවන් වෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාට තමයි.

බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ පොහොට්ටුවේ සාමාජිකයෙක් පමණයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැහැ. ඔබලා ජනවරමින් ආපු මන්ත්‍රීවරු හැටියට වගකීමක් තියෙනවා නේද හරි අපේක්ෂකයා කියන්න?

මේ වෙනකොට පක්ෂ නායක රුස්වීම් වලට අනුව යම්කිසි තීරණයකට ඇවිත් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් විය යුතුයි කියලා. වඩාත්ම සුදුසු වන්නේ ඔහු කියලා. හැබැයි පොහොට්ටුවෙන් තාම නිල වශයෙන් දැනුම් දීලා නැහැ ඒ ගොල්ලන්ගේ අපේක්ෂකයා කවුද කියලා. අපි බලමු ඉස්සරහට.

ඒ කියන්නේ පොහොට්ටුවේ අදහස කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ අදහස කියලද?

මම දන්නේ නැහැ පොහොට්ටුවේ තීරණ ගැනීමේ ක්‍රමවේදය මොකක්ද කියලා. මධ්‍යම කාරක සභාවක් තියෙනවාද? දේශපාලන මණ්ඩලයක් තියෙනවාද? කියලා කිසි දෙයක් මම දන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයා තනියෙන් තීන්දු ගන්නවාද කියලා. හැබැයි ඒ ගැන ඇසිය යුත්තේ ඒ අයගෙන්ම තමයි.

ඔබලා එදා කිව්වා ආණ්ඩුව බිමට වට්ටනවා කියලා. නැවතත් ආණ්ඩුව ශක්තිමත් වෙලා තියෙනවා. මොකද මේ වෙන්නේ?

මේ ආණ්ඩුව ශක්තිමත් වුණා කියලා කාට හරි පේනවා නම් ඔහු කොළපාට කණ්ණාඩියක් පැළඳගෙන සිටින අයෙක් වෙන්න ඕන. ඔබට මතක ඇති ඇමැති මණ්ඩලය වැඩිකිරීමේ යෝජනාවක් මීට මාසෙකට කලින් පාර්ලිමේන්තුවට ගෙනාවා. එය විවාද කරන්න දින දෙකක් යෝජනා කළා. නමුත් අවසාන මොහොතේ ඉවත් කරගත්තා. ඒ නිසා මේ ආණ්ඩුව ශක්තිමත් වෙනවා කියලා කවුරු හරි කියනවා නම් එයාගේ මොළේ පරීක්ෂා කරගන්න වෙනවා.

මේ වෙනකොට ආණ්ඩුව කියනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕන කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයත් කියනවා. ඔබලා ඉන්න අදහස මොකක්ද?

කිසිසේත්ම අපි එවැනි අදහසක නැහැ. අපි පුද්ගල කේන්ද්‍ර කරගෙන නෙමෙයි තීන්දු ගන්නේ. රට ගැන හිතලා. අනාගතය ගැන කල්පනා කරලා. මේ ලෝකයේ තියෙන ජනප්‍රියම ක්‍රමය සහ සාර්ථකම ක්‍රමය තමයි විධායක ජනාධිපති ක්‍රමය. ලෝකයේ රටවල් අගමැති ක්‍රමයෙන් විධායක ජනාධිපති ක්‍රමයට යනකොට අපි මේක නැති කරන්න හදන එක පදනමක් නැති දෙයක්. ගොඩක් රටට අහිතකර දේවල් අද වෙනකොට නැතිවෙලා තියෙන්නේ මේ විධායක ජනාධිපති ධුරය නිසා. අනික විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන්නේ ආණ්ඩුවේ උප්පවැට්ටියක්. මැතිවරණය කල්දැමීමක්.

විපක්ෂනායකතුමා මේ ගැන අදහසක් ඔබලා සමග සාකච්ඡා කරලා තියෙනවාද?

අපි විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේදී සාකච්ඡා කරලා ඒකට සහයෝගය නොදෙන්න තීරණය කළා. ඊට පස්සේ කිසිම වෙලාවක මහින්ද රාජපක්ෂ මහත්තයා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන එක ගැන සාකච්ඡා කරලා නෑ.

පසුගිය දවසක රන්ජන් රාමනායක මහත්තයා ප්‍රකාශයක් කළා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු කොකේන් පානය කරනවා කියලා. නම් නොකීව නිසා ඔබ ඇතුළු 224කට චෝදනා එනවා. මොකක්ද මේ කතාව?

මේ රටේ මාධ්‍යය එක්සත් ජාතික පක්ෂයේ ලණු කෑවට අපි නම් කන්නේ නැහැ. මීට කලින් රන්ජන් රාමනායක දේශපාලනඥයෝ බන්ධනාගාර ගත වුණාම රෝහල් ගතවෙන නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඒ ලැයිස්තුවේ මගේ නමත් තිබුණා. හැබැයි මම එකම එක දවසක්වත් එහෙම ගිහිල්ලා නැහැ. හැබැයි ඒ වගේම අර්ජුන ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තා කියලා මන්ත්‍රීවරු 118ක් ඉන්නවායි කියලාත් කිව්වා. අන්තිමට එහෙම නම් තිබුණෙත් නෑ. ඊළඟ කාරණය අධිකරණයේ විනිසුරැවන්ගෙන් සියයට 95ක් දූෂිතයි කියලා කිව්වා. ඔවුන්ගේ නම් සඳහන් කරන්න කිව්වාම ඒ කළෙත් නැහැ. අද වෙනවිට උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් ලබන්න ඉන්නවා. හතරවැනි කතාව තමයි ඔය කොකේන් කතාව. රන්ජන් රාමනායක කියන්නේ හැමදාම කිසිම සාක්ෂියක් නොමැතිව කටට එන දේ කියන පුද්ගලයෙක්. මොළේ නැති මන්ත්‍රී කෙනෙක්. අවාසනාවකට ඔහුට අපේ මාධ්‍යයෙන් පාර වෙන් කරනවා. ඒ අස්සේ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ වැඩේ කරගෙන යනවා. මේ කරන්නේ එක්සත් ජාතික පක්ෂයට එල්ලවෙන අවධානය නොමග යවන වැඩක්. අපි ඔහුට කියන්නේ කොකේන් ගහන අය ඉන්නවා නම් නිශ්චිත තොරතුරු සහිතව පොලිසියට තොරතුරු හෙළි කරන්න. මාධ්‍යය සංදර්ශන නොකර.

දැන් සමාජයේ කතාවෙන දෙයක් තමයි ඉතිහාසයේ වැඩිම මත්කුඩු වැටලීම් සිදුවෙන්නේ දැන් කියලා. ඒ නිසා ජනතාව තොරතුරැත් දෙන්න පුරුදු වෙලා තියෙනවා කියලා. ඔබ දකින්නේ මේ ගැන මොකක්ද?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට මේ රටේ පාතාලය වගේම කුඩු මාෆියාවත් පාලනය කළා. නමුත් 2015 ආණ්ඩුව ආවත් හරි පාතාලය රැකගෙන පාතාලය ජනප්‍රිය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මේ නිසා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත්වෙලා. හැබැයි ජනාධිපතිතුමා පොලීසිය තමන් යටතට ගැනීමත් සමඟ මත්ද්‍රව්‍ය වැටලීම් ඉතා හොඳින් සිදුකරගෙන යනවා. ඒක හොඳ නායකත්වයක්. ඒ නිසා අද පොලීසියට කොන්ද කෙළින් තියාගෙන මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න පුළුවන් තත්ත්වයකට ඇවිත් තියෙනවා.

මේ මත්ද්‍රව්‍ය සහ කාගේත් කතාබහට ලක්වුණු මධූෂ් සමග ඔබ නියෝජනය කරන පාර්ශ්වයේ සමහර මන්ත්‍රීන්ගේ නම් ගම් කියැවෙනවා. ඒක බරපතළ තත්ත්වයක්?

ඒ මන්ත්‍රීවරු තමන්ගේ මතය ඒ ගැන දක්වන අදහස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. පිළිතුරු දීලා තියෙනවා. ඒ නිසා මේ රටේ කුඩු හරි පාතාලය හරි සමග ගනුදෙනු කරනවා නම් අපේ පැත්තෙද කොයි පැත්තෙද කියන කාරණය නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලනවා ජනාධිපතිවරණයක්. ඔබලා ඉල්ලනවා මහමැතිවරණයක්. වර්තමාන තත්ත්වයෙන් ගොඩ එන්න මොකක්ද රටට අවශ්‍යම මැතිවරණය?

2019 නොවැම්බර් මාසෙට කලින් ජනාධිපතිවරණයක් පවත්වන්න නීතිමය අවසරයක් නැහැ. ඊට පෙර ඡන්දය පැවැත්වීමට නම් වර්තමාන ජනාධිපතිවරයා තරග කළ යුතුයි. වර්තමාන ජනාධිපතිවරයා යළි තරග කිරීම ගැන තීරණය කරන්න එක්සත් ජාතික පක්ෂයට අයිතියක් නැහැ. හැබැයි පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඉන්න අය තරග කළ යුතුයි කියලා නීතියක් නැහැ. ඒ නිසා රටේ ඇතිවෙලා තියෙන අස්ථාවර බවෙන් මිදෙන්න තිබිය යුතු හොඳම දේ පාර්ලිමේන්තු මැතිවරණයක්. ඒ වගේම පළාත් සභා මැතිවරණය අවුරුදු එකහමාරකින් කල් ගිහිල්ලා තියෙන්නේ. ජනාධිපතිවරණයක් තියන්න යෝජනා කරන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ සදාචාරාත්මක අයිතියක් තියෙනවා පළාත් සභා මැතිවරණයට යන්න.

►ගයාන් ගාල්ලගේ