2019 ජුලි 13 වන සෙනසුරාදා

ඒකාබද්දේ පිරිසක් අපි සමඟ එකතු වෙනවා

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 150

♦ විශ්වාසභංගය ගේන්න තිබුණේ ජනපතිට විරුද්ධවයි

♦ පොහොට්ටුව එක්ක ටී.එන්.ඒ. එකට ගමනක් නැති බව ඔප්පු වුණා

♦ වැරැද්ද කළේ අගමැතිතුමා නොවේ

♦ සංවේදී කරුණු මැතිසබේ කමිටුවෙන් එළිකළේ නෑ

♦ ඡන්දෙ දිනන්න හොඳම නායකයා සජිත් ප්‍රේමදාසයි

♦ රාජපක්ෂ කඳවුරේ අභියෝගය අපි ජය ගන්නවා

♦ නීතිපතිගේ තීරණය වැරදියි කියලා අධිකරණය තීන්දු කරලා

- ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා

පසුගියදා ආණ්ඩුව විශ්වාසභංගය කියන අභියෝගය ජයගත්තා. ඒ ජයග්‍රහණය ගැන ආණ්ඩුවේ කෙනෙක් හැටියට ඔබ අර්ථකථනය කරන්නේ කොහොමද?

මම ඒ ගැන සතුටු වෙනවා. අග්‍රාමාත්‍යතුමාත් ආණ්ඩුවත් කෙරෙහි පාර්ලිමේන්තුවේ බහුතර දෙනා විශ්වාසය තබන බව මේකෙන් තහවුරු වුණා. ඒ වගේම රට එක්සේසත් කරන්න පුළුවන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකතු කරන්න පුළුවන් ශක්තිය තියෙන්නේ මේ ආණ්ඩුවට බව මේ හරහා හැමෝටම පේන දෙයක්. මේක විශාල වැදගත් දේශපාලන කාරණයක්. ඒ වගේම විපක්ෂයේ ඉන්න ආණ්ඩුවට හිතවත් කණ්ඩායම කවුද කියලත් මේකෙන් තහවුරු වුණා.

මේ විශ්වාසභංගය සම්බන්ධයෙන් විපක්ෂයේ මතය වුණේ ජනතා විමුක්ති පෙරමුණ මේක ගෙනාවේ ආණ්ඩුව රැකගැනීමේ අරමුණින් කියලා. ඇත්තටම මේක ඔබ දෙපාර්ශ්වය අතර සිදුකළ ඩීල් එකක්ද?

කිසිසේත්ම නැහැ. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වශයෙන් වංක අයුරින් කටයුතු කරනවා කියලා මම කිසි මොහොතක හිතන්නේ නැහැ. ඔවුන් උපායමාර්ගික ලෙස ඉදිරියට එන දේශපාලන උපක්‍රමයක් තමයි මේ අනුගමනය කරන්නේ. ඔවුන්ගේ යෝජනාවට 92 දෙනෙක් සහයෝගය දැක්වූවා. ඔවුන්ගේ පැත්තෙන් නිවැරදි දේශපාලන තීන්දුවක් ඔවුන් ගත්තේ. ඒත් ඒ යෝජනාව වැරදියි. හරිනම් ජනාධිපතිවරයාට විරුද්ධවයි මේ යෝජනාව ගේන්න තිබෙන්නේ. මොකද ජනාධිපතිවරයායි මේ පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන.

ජනතා විමුක්ති පෙරමුණෙන් ගෙනෙන චෝදනාවක් තමයි ඔබලා විශ්වාසභංගය ජයග්‍රහණය කළේ දෙමළ ජාතික සන්ධානයට අල්ලස් ලබාදීමක් කරලා කියලා. ඒක ඇත්තද?

දෙමළ ජාතික සන්ධානය වැදගත් හැම අවස්ථාවකම අපිට ඡන්දය දීලා තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය සිංහල බෞද්ධයෝ සමග ඉතා සහයෝගයෙන් කටයුතු කරන බව නැවත නැවතත් තහවුරු කරලා තිබෙනවා. විශේෂයෙන් ජාතිවාදී ආගම්වාදී පොහොට්ටුවත් සමඟ ඔවුන්ට දේශපාලන ගමනක් නැති බව නැවත නැවතත් තහවුරු කරලා තිබෙනවා.

නෑ. මම අහන්නේ ඔබලා දෙමළ ජාතික සන්ධානයට අල්ලස් දීමක් සිදුකරලා තිබෙනවාද?

කිසිසේත්ම අල්ලස් ලබාදීමක් හෝ වෙනත් වරප්‍රසාද ලබාදීමක් ආණ්ඩුව විසින් සිදුකරලා නැහැ. දෙමළ ජනතාවට සහයෝගයෙන් එකමුතුව කටයුතු කරන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විතරයි. ඒ අනුව ඔවුන් වැඩ කළා. මේක යහපත් ලක්ෂණයක්.

ඔබ කිව්වා විපක්ෂයේ ඇතැම් අයත් ආණ්ඩුවට පක්ෂ බව මේකෙන් හඳුනාගන්න පුළුවන් වුණා කියලා. ඒකාබද්ධ විපක්ෂයේ 11 දෙනෙකු ඡන්ද දෙන්න ඇවිල්ලා හිටියෙත් නැහැ. මේ කතා දෙකේ සම්බන්ධයක් තිබෙනවාද ඒ කියන්නේ?

ඔව්. ඒකේ සම්බන්ධයක් තිබෙනවා. ඒ 11 දෙනාගෙන් දෙදෙනකු හැරෙන්න අනෙක් සියලු දෙනාම නොපැමිණියේ අපට සහයෝගය ලබාදෙන්න.

ඒ කියන්නේ යම් ආකාරයක තිරය පිටුපස සාකච්ඡාවක් වුණා....?

ඔව්. සාකච්ඡා මට්ටමක තමයි ඒක වුණේ. ඒ වගේ දේවල් සාකච්ඡා කරනවානේ.

ඒ කියන්නේ ඒකාබද්ධයේ පිරිසක් ඔබලාත් සමඟ ගමනක් යන්න ඉන්නවා කියලාද කියන්නේ?

ඔව්. අපිත් එක්ක ගමනක් යන්න අය ඉන්නවා. ඒ අය දූෂණයට වංචාවට විරුද්ධයි. රටට හිතවත් කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂයේත් ඉන්නවා. අන්න ඒ පිරිස ඉදිරි මැතිවරණයේදී අපිත් එක්ක එකතු වෙනවා. ඒක අපිට ලොකු ශක්තියක්.

ඔබ කියනවා ආණ්ඩුවට පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගන්න බැහැ කියලා. හැබැයි බලය ලබා දෙන්නේ ආණ්ඩුවට. එතකොට ආණ්ඩුව වග කියන්න ඕන නේද?

විශ්වාසභංගය කියන්නේ ආණ්ඩුව ඉවත් කරන වැඩපිළිවෙළක්. හැබැයි අග්‍රාමාත්‍යතුමා සමස්ථයක් විදිහට මේ ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව විසින් භාරගත්තා. අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇති නොවන්නත් එකඟ වුණා. ඒ හා සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන කටයුතු කරන්නත් ආණ්ඩුවක් හැටියට කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා අද වෙනකම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ. ඒ වගකීම භාරගන්නවා. හැබැයි එහෙම කියලා ආණ්ඩුව ඉවත් වෙන්න ඕන නැහැ.

මේ හැම ප්‍රශ්නයකටම හේතුව ආණ්ඩුවයි ජනාධිපතිවරයයි අතර තිබෙන විරසකය නේද?

ඒ වරද කළේ අගමැතිවරයා නෙමෙයිනේ. බලතණ්හාවට ඔක්තෝබර් 26 වැනිදා නීති විරෝධී අග්‍රාමාත්‍යවරයෙක් පත් කරලා නීති විරෝධීව ආණ්ඩුව විසුරුවලා කටයුතු කළේ ජනාධිපතිවරයානේ. ඒ අස්ථාවර භාවය අධිකරණය මගින් වෙනස් කරලා ආණ්ඩුව අපිට ලැබුණත් ඒ අපි ගන්න තීන්දු හදවතින් පිළිනොගන්න නිසයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. ඒ නිසයි මේ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණේ. මේකට සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා වග කියන්න ඕන.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සොයන්න විශේෂ කාරක සභාවක් පාර්ලිමේන්තුව මගින් නම් කළා. මේ කාරක සභාව ආණ්ඩුවට එල්ල වෙන චෝදනා වහගන්න යොදා ගත්තා කියලා චෝදනාවක් තිබෙනවා. ඒක ඇත්තද?

ඒක සම්පූර්ණ අසත්‍යයක්. මේ කාරක සභාව පත්කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සියලු දෙනාම අත්සන් කරලා දුන්නා ලිපියක් හරහා. ඒ කාරක සභාවට පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන්ට අපි ආරාධනා කළා. දැනටත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු ඉන්නවා. ඉදිරිපත් වන සාක්ෂි අනුව ජනාධිපතිවරයා වගකියන්න ඕන කියලා තහවුරු වෙනවා නම් ඒ වගකීම ආණ්ඩුවට අයිති නොවන බවට සඳහන් වෙනවා නම් ඉතින් අපි ඒකට මොකද කරන්නේ. ඒක තමයි ඇත්ත. ආණ්ඩුව සම්බන්ධ නැහැ කියලා හෙළි වෙනවා නම් ඒකෙන් පෙන්වන්නේ මේ ආණ්ඩුව මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එල්ල වෙන චෝදනාවක් තමයි ඔබලා බුද්ධි අංශ නිලධාරීන් බුද්ධි අංශ මෙහෙයුම් රටට අනාවරණය කරනවා කියලා?

කිසිම බුද්ධි අංශ සාමාජිකයෙක් හෝ බුද්ධි අංශ මෙහෙයුමක් අපි අමුතුවෙන් රටට කියලා නෑ. ඉදිරිපත් වන හැම කරුණක්ම දන්න පුද්ගලයෝ දන්නවා. ඒ වගේම අතිශය සංවේදී ත්‍රස්තවාදීන් දැනුවත් වන කිසිම තොරතුරක් කමිටුව රටට අනාවරණය කරලා නැහැ.

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුව වාර්තාවක් යොදාගෙන අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පතිවරයාත් ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම්වරයාත් අත්අඩංගුවට ගත්තා. ඔබ හිතන්නේ ඔවුන් දෙදෙනා විතරද වගකියන්න ඕන?

දැන් මෙතැන නීතිපතිවරයාගේ උපදෙස් මත තමයි මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නේ. එතකොට නීතිය දන්න ජ්‍යෙෂ්ඨ මහේස්ත්‍රාත්වරියක් විසින් ඇප ලබාදීලා තිබෙනවා. ඒ සම්බන්ධව විස්තරාත්මක ප්‍රකාශයකුත් දීලා තිබෙනවා. ඒ ගැන මම අර්ථකථනය කරන්න යන්නේ නැහැ. නමුත් අධිකරණය තීන්දු කරලා තිබෙනවා නීතිපතිවරයාගේ තීරණය වැරදියි කියලා.

දේශපාලනිකව බැලුවොත් ඔබ හිතන්නේ මේ දෙදෙනා විතරද මෙයට වගකියන්න ඕන කියලා?

නැහැ. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාත් වගකියන්න ඕන. මොකද එතුමා ආරක්ෂාව භාර ඇමැතිවරයා වගේම නීතිය හා සාමය භාර ඇමැතිවරයා. ඒ නිසා වගකියන්න ඕන එතුමා.

මේ වෙනකොට රටපුරා විවිධ කතා යනවා ත්‍රස්ත ප්‍රහාරය ගැන. ආණ්ඩුවේ වගකිවයුතු පුද්ගලයෙක් හැටියට ඔබට තහවුරු කරන්න පුළුවන්ද මේ රට ත්‍රස්තවාදයෙන් ආරක්ෂිතයි කියලා?

මේ රට ආරක්ෂිතයි. අනාගතයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙන්න කිසිදු ඉඩකඩක් නැහැ. නමුත් හුදෙකලා පුද්ගලයන් අපරාධ කරන්න පුළුවන්. ඒක බටහිර රටවල්වලත් සිදුවෙනවා. මෙන්න මේ හුදෙකලා පුද්ගලයන් අතින් සිදුවෙන අපරාධ සම්බන්ධයෙන් ජනතාව ආරක්ෂක අංශ සියලුදෙනාම අවධානයෙන් ඉන්න ඕන. ඒක අපි හැමෝම කළයුතු දෙයක්. ඒ වගේම ඒ සූදානම කලින් ඉඳන්ම තියෙන්න තිබුණා.

මේ සිද්ධියත් එක්ක මුස්ලිම් ඇමැතිවරු කිහිප දෙනෙකු තමුන්ගේ තනතුරුවලින් ඉවත් වුණා. නැවත ඔවුන් එම තනතුරුවලට එන්න හදනවා. මේක රඟපෑමක් කියලා තමයි බොහෝ දෙනෙක් අර්ථකථනය කරන්නේ?

මේක අපේ කැමැත්ත උඩ වුණු දෙයක් නෙමෙයි. අපි කැමැති වුණෙත් නැහැ ඒ අය ඉවත් වෙනවාට. මේ නිසා අලුත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියලා අපි හිතුවා. අනිත් එක ඒක ඔවුන්ගේ දේශපාලන තීන්දුවක්. එහෙම නැතිව මේක අපේ දේශපාලන මෙහෙයුමක් නෙමෙයි.

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එජාප අපේක්ෂකයා සම්බන්ධව විවිධ කතා යනවා. ඔබ ප්‍රසිද්ධියේ කිව්වා සජිත් ප්‍රේමදාස තමයි ඊළඟ අපේක්ෂකයා කියලා. ඇයි ඒ එහෙම කියන්නේ?

මේ රටේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වගේම සාමාන්‍ය ජනතාව කියන දේ අපිට ඇහිලා තිබෙනවා. ඔවුන්ගේ හදගැස්ම අපිට දැනෙනවා. ඒ වගේම අනෙකුත් පක්ෂවල සාමාජිකයන් කියන දේත් අපි අහලා තියෙනවා. කතා කරලා තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළිය, වගේ ප්‍රධාන අවස්ථාවල ඉදිරියෙන් හිටියේ සජිත් ප්‍රේමදාස මහත්තයා. මම හිතනවා අනාගතයේ දේශපාලන අභියෝග ජයගෙන පක්ෂයේ ජයග්‍රහණය කරා ගෙන යා හැකි හොඳම නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා. ඔහුට හොඳ දේශපාලන දැනුමක් තිබෙනවා. ඔහු කාර්යක්ෂම කෙනෙක්. ඒ වගේම පාක්ෂිකයාට විතරක් නෙමෙයි රටේ ජනතාවටත් හිතවත් නායකයෙක්. අපිට ඉන්න හොඳම අපේක්ෂකයා ඔහු.

ඒ කියන්නේ ඊට වඩා සුදුස්සෝ නැහැ?

ජනාධිපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයෝ අපි අතර ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා, කරු ජයසූරිය මහත්තයා, බොහොම පැහැදිලිව ජනාධිපතිවරු වෙන්න සුදුසු අය. නමුත් ජනාධිපතිවරණය ලේසියෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්තයා. අපි දීර්ඝ නායකත්වයක් යටතේ සිටිය අය. ඒ නිසා අලුත් නායකත්වයක් අවශ්‍යයි.

සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ කාලෙත් කිව්ව දෙයක් තමයි පක්ෂයේ නායකත්වය විසින් පක්ෂයේ අයිතියත් අවසරයත් ලබාදුන්නොත් විතරයි එන්නෙ කියලා?

එතුමා තාම කියලා නැහැ පක්ෂය අවශ්‍යයි කියලා. පක්ෂය විසින් අපේක්ෂකයා හැටියට ඔහු නම් කරනවා නම් ඒකට සූදානම් කියලා නම් කියලා තිබෙනවා.

ඔබලා සූදානම් වුණාට සජිත් ප්‍රේමදාස මහත්තයා ගේන්න රවි කරුණානායක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඒකට විරුද්ධයි. කොහොමද එකට වැඩ කරන්නේ?

මේ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට නමක් යෝජනා වෙලා තිබෙනවා නම් ඒ යෝජනා වෙලා තිබෙන්නේ සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාගේ නම. වෙනත් නමක් යෝජනා වෙලා නැහැ. කිසිම නායකයෙක් එහෙම නමක් යෝජනා කරලත් නැහැ.

හැබැයි රවි කරුණානායක මහත්තයා ඇතුළු පිරිස විරුද්ධ නම් කොහොමද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජයග්‍රහණය විශ්වාස කරන්නේ?

හැබැයි එතුමා තවම නම කියලා චෝදනා කරලා නැහැ. විවිධ ඇඟවීම් කරන එක තමයි කරන්නේ. අපි දන්නේ නැහැ එතුමා කියන්නේ වෙන කෙනෙක් ගැනද කියලා. එතුමා එහෙම නමක් යෝජනා කරලත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය අනුව තමයි කොහොමත් තෝරන්නේ.

එක්සත් ජාතික පෙරමුණත් එක්ක පක්ෂ ගණනාවක් ඉන්නවා. ඔවුන් ඉන්න නායකත්වයත් සමග. ඔවුන් සහයෝගය ලබාදෙයිද සජිත් ප්‍රේමදාස මහත්තයාට?

ඔව්. ඔවුන් එකඟත්වය පළකරලා තිබෙනවා.

මේ වෙනකොට විරුද්ධ පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් මෛත්‍රීපාල මහත්තයාත් ඉදිරිපත් වෙනවා කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. මේ දෙපිරිස එකතු වුණොත් එජාපයට මොකද වෙන්නේ?

මතක තියා ගන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩිලා. නැවත එකතු වුණත් ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වෙන්න කිසිම බාහිර පක්ෂයක් සූදානම් නැහැ.

හැබැයි ඔබලාට අභියෝගයක් වන්න පුළුවන් නේද රාජපක්ෂ කණ්ඩායම?

අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගය අපි ජයගන්නවා.

මේ වෙනකොට රට ඇතුළේ විශාල මතවාදයක් යනවා සිංහල බෞද්ධ නායකයෙක් සිංහල ආණ්ඩුවක් බිහිවෙන්න ඕන කියලා. එජාපයට ඒ අභියෝගය ජයගන්න පුළුවන්ද?

සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ හොඳ සිංහල බෞද්ධයෙක්. ආගමානුකූලව ජීවත්වන කෙනෙක්. මිනීමැරුම් චෝදනා නැහැ. කප්පම් ගැනීම් පැහැර ගැනීම් නැහැ. ඉක්මණින් කෝප ගන්නේ නැති කෙනෙක්. ඔහුට වංචා දූෂණ නැහැ. ඔහු මත්පැන් බොන්නේ නැහැ. ඔහු මේ දේශපාලන පරිසරය තුළ ඉන්න විශිෂ්ටතම සිංහලයෙක් වගේම විශිෂ්ටතම බෞද්ධයෙක්. එතුමාව මල්වතු අස්ගිරි පාර්ශ්වය විසින් ශ්‍රී ලංකා ජනරංජන කියන ගෞරව සම්මානයට පාත්‍ර කළා. ඒක මේ දේශපාලනයේ ඉන්න සිංහල බෞද්ධයෙක් ලබපු ඉහළම ගෞරව සම්මානයක්. මහින්ද රාජපක්ෂ මහත්තයාටවත් නැහැ එවැනි ගෞරව සම්මානයක්.

පොහෝට්ටුවේ අපේක්ෂකයාට වැඩියෙන්ම ගහන්නේ කුමාර වෙල්ගම මහත්තයා. ඇත්තද වෙල්ගම මහත්තයා එජාපයට ළංවෙන්න හදනවා කියන්නේ?

කුමාර වෙල්ගම මහත්තයා කියන්නේ සත්‍යය ගරුකරන කෙනෙක්. කුමාර වෙල්ගම මහත්තයා කියන සත්‍යය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය තේරුම්ගත යුතු දෙයක්.

පසුගිය දවසක ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුව වාරණයකට ලක්කරලා තිබුණා. ඒකට ඔහු චෝදනා කළේ ආණ්ඩුවට. ඇයි ආණ්ඩුව මේ වගේ දේවල් කරන්නේ?

ඔහුට කිසිම වාරණයක් කරලා නැහැ. ඒ චෝදනා සියයට දෙසීයයක් ප්‍රතික්ෂේප කරනවා. ෆේස්බුක් ආයතනය කමියුනිටි ස්ටෑන්ඩර්ඩ් කියලා ක්‍රමවේදයක් පවත්වාගෙන යනවා. ඒකට පටහැනිව කටයුතු කරන ඕනෑම ගිණුමක් ස්වයංක්‍රීයව වාරණයකට ලක්වෙනවා. ඉරාජ් වීරරත්න මහත්තයා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන ධාරාවේ ඉන්න ආණ්ඩු විරෝධී කණ්ඩායමේ කෙනෙක්. ඒ මහත්තයා දීර්ඝ කාලයක් ආගම්වාදී ජාතිවාදී ප්‍රකාශ සිය ගිණුම හරහා ප්‍රසිද්ධ කරලා තිබුණා. මගේ දැනුම හැටියට ඒ නිසා තමයි එතුමාගේ ගිණුම වාරණයකට ලක්වෙලා තිබෙන්නේ. අනික අපේ රජයට ෆේස් බුක් ආයතනය ලබා එවැනි වාරණයක් සිදුකිරීමට හැකියාවකුත් නැහැ. අපි එහෙම ඉල්ලීමක් කළත් ඔවුන් එහෙම කරන්නේ නැහැ.

එහිදී ඔහු චෝදනාවක් කරනවා ෆේස්බුක් ආයතනය මගින් ලංකාව වෙනුවෙන් පත්කළ තිදෙනා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ කියලා. ඒකයි මේ ප්‍රශ්නයට හේතුව කියලා?

ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඔවුන් අපේ කිසිම දේශපාලන පක්ෂ සාමාජිකයෝ නෙවෙයි. අපි අතර එහෙම කිසිම දේශපාලන සම්බන්ධකමක් නැහැ. බොහෝවිට අවස්ථාවක ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනා කීපයක් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඔවුන් පක්ෂග්‍රාහී නැහැ. ඔවුන් පොදුවේ ෆේස්බුක් ආයතනයේ නීතිරීතිවලට අනුව කටයුතු කළා.

ඔබ කියන්නේ යම් පාර්ශ්වයක් විසින් මේ වෙනකොට සමාජ ජාලා මර්දනයක් සිදුකරමින් යනවා..?

කිසිසේත්ම වාරණයක් සිදුවන්නේ නැහැ. නමුත් වාරණයක් සිදුකරන්න උත්සාහ කළා විධායකයේ සිටින එක්තරා පුද්ගලයෙක්. ඔහුටත් ඒක කරන්න බැරුව ගියා. ඒ නිසා මට වගකීමෙන් කියන්න පුළුවන් ෆේස්බුක් ආයතනය එවැනි දේ කරන්නේ නැහැ කියලා.

► ගයාන් ගාල්ලගේ