2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

අපේ සන්ධානයෙ ආණ්ඩුවේ ඇමැතිලත් ඉන්නවා

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 123

• රාජපක්ෂවරුන්ට මඩ ගහන්නේ රටට ආදරේ නැති අයයි

• ගෝඨාභය මහත්තයා තමන්ගේ වගකීම් හරියට ඉටුකරනවා

• ජනතාවට පිටුපාන කිසිම නායකයෙක් දිනන්නේ නෑ

• එජාපයෙන් කවුරු ආවත් අපිට අභියෝගයක් නෑ

• එජාප විරෝධී පුළුල් සන්ධානය ඉදිරියේ එනවා

• ජවිපෙ හය දෙනා ආණ්ඩුවේ වැරදි කරේ දාගෙන

• රිෂාඩ්ලා බේරාගන්න යෑම පාප කර්මයක්

- අනුරාධපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ

පසුගිය කාලයේ ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එකතු වීමේ සාකච්ඡා තිබුණා. හැබැයි සාකච්ඡා සාර්ථකභාවයක් පේන්නේ නැහැ. ආරංචියේ හැටියට පොහොට්ටුවේ එකඟතාවයක් නැති එක. ඇයි එහෙම?

පොහොට්ටුවේ එහෙම දෙයක් නැහැ. ඇත්තටම අපිට ඕන පුළුල් සන්ධානයක් හදන්න එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව. සමහර අය උත්සාහ කරනවා සන්ධානයේ ඉඳගෙන එජාපයට උදව් කරන්න. අන්න ඒකට අපි සූදානම් නැහැ. අවංකවම මේකට කවුරු හරි මැදිහත් වෙනවා නම් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ.

එහෙම නැතිව පොහොට්ටුවේ අය තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වන්න ගිහිල්ලා නෙමෙයිද මේ සාකච්ඡා අවුල් වෙලා තියෙන්නේ?

හැම දෙනාම පිළිගන්න ඕන දෙයක් තියෙනවා මේ රටේ ජනප්‍රියම දේශපාලන පක්ෂය පොදුජන පක්ෂය. ඒ වගේම මේ රටේ ජනප්‍රියම දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. අපි අපිත් එක්ක එකතු වෙන්න කැමැති අයට එහෙම බලපෑම් කරලත් නැහැ. බලපුළුවන්කාරකම් කරලත් නැහැ. අපේ බලපුළුවන්කාරකම් පසුගිය පළාත් පාලන ඡන්දයේදී අපි පෙන්වලා තියෙනවා. ඔය ඔහොම හිතන අය ඉන්නවා නම් ඒ අය යූ.එන්.පී.යට විරුද්ධව ඉන්න අය නෙමෙයි.

ගොඩක් අය කියනවා පොහොට්ටුවට සම්බන්ධ වුණාම පොහොට්ටුවේ පරණ අය කැපිලි කෙටිලි දානවා කියලා?

හැමෝම තේරුම් ගන්න දෙයක් තියෙනවා හැම දෙයක්ම තීරණය කරන්නේ ජනතාව. මේ රටේ ජනතාව අවුරුදු 4කට ආසන්න කාලයක් බොහෝ කටුක ජීවිතයක් ගෙවමින් ඉන්නේ. ඒ වගේම මහ දූෂිත අමානුෂික ආණ්ඩුවක් එක්ක අපි හැප්පුණේ. ඒ නිසා ආණ්ඩුවත් එක්ක එකට ඉඳලා අපිත් එක්ක එකතු වෙනවා නම් ජනතාව ඔහුට පිළිතුරු ලබාදීමක් සිදුකරයි. ඒක අප්‍රසාදයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අප්‍රසාදය මකා ගන්න විදිහකුත් ඒ එන අය සිදුකරන්නත් ඕන. එහෙම නැතුව අපිට එන කිසි කෙනෙක් අපි හරවා යවන්න සූදානමක් නැහැ.

ඇත්තටම පොහොට්ටුවේ - ශ්‍රීලනිපයේ සාකච්ඡා මොන වගේ තැනකද තියෙන්නේ?

තාම සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ සාකච්ඡා තවම එකඟතාවයක නෙමෙයි තියෙන්නේ. හැබැයි මේ වෙනකොට අවසාන එකඟතාවයකට පැමිණිය යුතුයි. හේතුව මේ වෙනකොට ජනාධිපතිවරණය ආසන්නයට පැමිණ තිබෙනවා. ඒ වගේම එකොළොස් වැනිදා අපේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමක් සිදුවෙනවා. ඒ නිසා මේ සාකච්ඡා දැන් එකතැනකට එන්න ඕන.

අපි දැක්කා පොහොට්ටුවේ අපෙක්ෂකයා නම් කරන්න කලින් දෙපාර්ශ්වයේ නායකයෝ දෙන්නා හැකි ඉක්මණින් සාකච්ඡාවකට යා යුතුයි කියලා. මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ?

ඇත්තටම ජනාධිපතිවරු දෙදෙනා සාකච්ඡා කිරීම ඒක හොඳ දෙයක්. ඒකට හේතුව තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට තල්ලු කිරීමේ උවමනාවක් තිබෙනවා. අන්න ඒක පරාජය කළ යුත්තේ කොහොමද කියලා බලන්න ඕන.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් නායකයෝ කියනවා අපි දැකලා තියෙනවා පොහොට්ටුවට තනියෙන් අපේක්ෂකයෙක් තෝරන්න බැහැ වගේම දිනන්නත් බැහැ ඒ අයගේ සහායක් නැතිව කියලා. ඒක ඇත්තද?

අපිට හිතාගන්න බැහැ ඔවුන්ට ලබාදෙන්න යන මේ සහයෝගය කොන්දේසි සහිත සහයෝගයක් කරන්න යන්නේ ඇයි කියලා. ඇත්තටම මේ රටේ තුන්වේල කාපු මිනිස්සු දෙවේල කාලා දුක් විඳිනවා. අපි උත්සාහ කරන්නේ ඒ මිනිස්සුන්ට නැවත ජීවිතය දෙන්න. ඒ නිසා අනවශ්‍ය කොන්දේසි දාලා මේ සන්ධානය හෑල්ලු කරලා එකතුවෙන්න උත්සාහ කරන්න එපා. මම ඉස්සෙල්ල කිව්වා වගේ කට්ටියක් මේ පක්ෂය එජාපයට අරගෙන යන්න හදනවා. තවත් කට්ටියක් මේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා අමාරුවේ දාන්න හදනවා. ඒ නිසයි මම කිව්වේ මේක අවධානයෙන් සිටිය යුතු අවස්ථාවක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉන්නවා රාජපක්ෂ විරෝධී කණ්ඩායමක්. ඒ වගේම පොහොට්ටුවෙත් අපි දැකලා තිබෙනවා. රාජපක්ෂ කියන නම තිබෙන අපේක්ෂකයන්ට එළිපිට ගහනවා. එහෙම තියාගෙන කොහොමද මේ ගමන යන්නේ?

රාජපක්ෂවරුන්ට මඩ ගහන්නේ නැවත මන්ත්‍රී ධුරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටින අය මිසක් එහෙම නැතුව රටට ආදරය කරන අය නෙමෙයි. රට ඉල්ලන්නේ රාජපක්ෂවරු නම් ඒකට විරැද්ධ වෙන අය අනිවාර්යයෙන්ම රාජපක්ෂ විරෝධී කණ්ඩායම විය යුතුයි. ඒ නිසා මේ කොන්ත්‍රාත්තුව විවිධාකාරයෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය යූ.එන්.පී.යට යන්න පුළුවන්. සමහර අය ශ්‍රී.ල.නි.ප.යේ ඉඳගෙන අවුල් කරන්න පුවවන්. සමහර අය පොහොට්ටුවේ ඉඳලත් අවුල් කරන්න පුළුවන්.

ඔබලාගේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා දැන් හැමෝම කියනවා. හැබැයි ඔහුට විවිධ චෝදනා එල්ල වෙනවා. එහෙම අපේක්ෂකයෙක් දිනාවි කියලා විශ්වාස කරන්නේ කොහොමද?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ දේශපාලන වශයෙන් අපේ තීන්දුව නෙමෙයි. හැබැයි 2015 මහින්ද මහත්තයා පරාජය වීමෙන් පස්සේ රට අරාජික වීමෙන් පස්සේ රටේ මිනිස්සු තීරණය කළා මහින්ද මහත්තයාට නැවත ඉල්ලන්න බැරිනම් ඒ අවස්ථාව ගෝඨාභය රාජපක්ෂට ලබාදිය යුතුයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බය ඔහු දැඩි සහ ඍජු තීන්දු තීරණ ගන්න පුද්ගලයකු නිසා. ඒ නිසා ඉතිහාසයම ඔහුගේ අතින් ඉටුවන වගකීම් නිසියාකාරයෙන් සිදුවෙලා තිබෙනවා. ඔහු මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනැගුවා.

ඉතින් ඒ චෝදනා එල්ල කරන්නේ විරුද්ධ පක්ෂය නෙමෙයිනේ. වැඩියෙන්ම එල්ල කරන්නේ ඔබේම කණ්ඩායමේ අයනේ?

හොඳම උදාහරණය 2010 එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වුණු පුද්ගලයා ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ පුද්ගලයා මේ රටේ හිටිය යුද හමුදාපතිවරයා එජාපයට අමතක වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරෝධතාවය දක්වන්නේ කුමාර වෙල්ගම මහත්තයා විතරයි. අපි දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා. හැබැයි එතුමා පසුගිය කාලය පුරාම කරපු කතා බැලුවාම ඒ කතාවල මහින්ද රාජපක්ෂ කණ්ඩායම නියෝජනය වෙලා තිබුණේ නැහැ. එතුමා මේ රටේ ජනතාව දුක් විඳින ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී හිටිය එක විතරයි වෙලා තියෙන්නේ. ඒ නිසා එක එක කතා කියන්න පුළුවන්. හැබැයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. රටට නීතියක් අවශ්‍ය නෑ කියන තමන්ගේ පෞද්ගලික ජීවිතයටවත් විනයක් නීතියක් නැති අය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හොඳ නෑ කියලා කියන්නේ.

වෙල්ගම මහත්තයාගේ ප්‍රකාශයත් එක්ක ජනතාවට හිතන්න පුළුවන් නේද මේ කියන කතා ඇත්ත කියලා. ඒක ඡන්දයට අවාසි වෙන්න පුළුවන් නේද?

මම කැමැති නැහැ කුමාර වෙල්ගම මහත්තයාට වැරදි කියන්න. එතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්. එතුමා ඒකාබද්ධ විපක්ෂය ආරම්භයේදී ශක්තිමත් කරපු නායකයෙක්. එතුමව පෞද්ගලික විවේචනයකට යන්න මට අවශ්‍ය නැහැ. හැබැයි එතුමා කියන දේවල් එක්ක අපි එකඟ නැහැ. එතුමා දැනගන්න ඕන ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම ජනතාව පිළිගන්නේ නැහැ. හැබැයි එකක්, එක්කෙනෙක් වෙනුවෙන් මේ රටත් අපේ කඳවුරත් පාවා දෙන්න අපි සූදානම් නැහැ.

දැන් මේ රට පාලනය කරන්න පක්ෂයට නායකත්වය දෙන්න රාජපක්ෂවරු හැර වෙන කවුරුත් නැද්ද?

නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා පසුගිය දවසක කිව්වා ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන්න පවා පස් හය දෙනෙක් ඉන්නවා කියලා අපේ පක්ෂයේ. හැබැයි මේ රටේ ජනතාව විශ්වාස කරන දෙයක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අරාජික වුණු රට ගොඩනගන්න පුළුවන් කියලා ජනතාවට විශ්වාසයක් තිබෙනවා. එහෙනම් ජනතාවගේ විශ්වාසය තිබෙනවා ජනතාව බලාපොරොත්තු වෙනවා නම් ඇයි අපි ඒකට විරුද්ධව කටයුතු කරන්නේ. ජනතාවට පිටුපාපු කිසිම දේශපාලන නායකයෙක් කණ්ඩායමක් කවදාවත් දිනලා නැහැ.

එජාපයේ අපේක්ෂකයන් අතරින් සජිත් ප්‍රේමදාස ආවොත් ගෝඨාභය රාජපක්ෂට අභියෝගයක් දෙන්න පුළුවන් කියලා එජාපයේ අය කියනවා. එහෙම වෙන්න පුළුන්ද?

එක්සත් ජාතික පක්ෂය ඇතුළේ නම් හයක් විතර තියෙනවානේ. ඔය එක නමක්වත් අපිට අභියෝගයක් නෙමෙයි. අනික ඔය ආණ්ඩුව ඇතුළේ ඉන්න ඕනෑම කෙනෙක් සමස්ත මේ රටේ විනාශයට හේතුවුණු කෙනෙක්. ඔය ඇතුළේ ඉන්න කවුද මේ ආණ්ඩුව ගත්ත වැරදි තීන්දු තීරණවලට එරෙහිව නැගී සිටියේ. දැන් තමයි මේ ආණ්ඩුවේ වැරදි අඩුපාඩු කියාගෙන එන්නේ. ඒකට අවුරුදු හතරහමාරක් ගියාද? ඒ නිසා මම කැමැති නැහැ එක පුද්ගලයෙක් අල්ලාගෙන කියන්න. මේ ආණ්ඩුවේ හිටිය ඕනෑම පුද්ගලයෙක් ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නුසුදුසු පුද්ගලයෙක් හැටියට සහතික වෙලා ඉවරයි.

පොදුජන පක්ෂය පසුගිය දවසක සන්ධානගත වුණා. හැබැයි මේ වෙනකොට පිළිගත් ප්‍රධාන පක්ෂ කිහිපයක් ඉන්නේ එක්සත් ජාතික පෙරමුණ සමඟ. ඒ නිසා ජනාධිපතිවරණයේදී අභියෝගයක් එල්ල වෙන්න පුළුවන් නේද ඔවුන්ගෙන්?

අපි ලක්ෂ 10ක් එක්ක සන්ධාන ගත වුණේ නැහැ. අපි අවබෝධතා ගිවිසුමට තමයි ගියේ. ඒත් එම පක්ෂ ඒකාබද්ධ විපක්ෂය සමඟ නොසිටි පක්ෂ. අපි ඉදිරියේ ඒකාබද්ධ විපක්ෂයත් ඔය පක්ෂ ටිකත් එකතු වෙලා එජාප විරෝධී පුළුල් සන්ධානය හදනවා. ඒ සන්ධානයට එජාපයේ ප්‍රබල ඇමැතිවරැත් එකතු වෙනවා. මතක තියාගන්න 5 වැනිදා එක්සත් ජාතික පක්ෂය හදන්න යන පුළුල් සන්ධානයට ආණ්ඩුවේ සමහර පක්ෂ අත්සන් කරන්නේත් නැහැ. ඒ පක්ෂ කවදාහරි අපිත් එක්ක එකතු වෙනවා.

ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු පසුගියද දවසක සිය තනතුරුවලින් ඉවත් වුණා. මේ වෙනකොට නැවතත් ඔවුන් ඒ තනතුරු බාර අරගෙන තිබෙනවා. මේ ගැන විවිධ විවේචන තිබෙනවා. ඔබ දකින්නේ කොහොමද?

සියලුම මුස්ලිම් ඇමැතිවරු ඉවත්වීමට අපි විරුද්ධයි. අපි සතුටු වෙනවා ඔවුන් නැවත එම තනතුරු භාරගැනීම පිළිබඳව. හැබැයි රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා නැවත භාරගැනීම සම්බන්ධයෙන් අපිට විරෝධතාවයක් තිබෙනවා. ඒ මොනවා නිසාවත් නෙවෙයි පාස්කු ඉරිදා මේ රටේ මියගිය 250ක ජනතාවට කරපු අසාධාරණය හේතුවෙන්.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නැවත ආණ්ඩුවට එකතු වෙලා තිබෙනවා. දැන් ඔබලා ඔහුට විරුද්ධව ගෙනාපු සටන ඉවරද?

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංගය ගෙනාපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වුවමනාවට ඒක කඩාකප්පල් කළේ ජනතා විමුක්ති පෙරමුණ. මේ රටේ වුණු ගොඩක් විනාශවලට වග කියන්න ඕන පක්ෂයක්. මේ පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙක් ඉඳගෙන මිලියන 21ක ජනතාවකගේ අයිතිවාසිකම් ඉතාමත් කැත විදිහට කඩ කරනවා. කොහොම වුණත් අපි ඉදිරියේදී පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙලා මේ ගැන සාකච්ඡා කරනවා. අනිවාර්යයෙන්ම එක දෙයක් කියන්න පුළුවන් ඊළඟ අපි බිහිකරන ආණ්ඩුවක් ඇතුළේ රිෂාඩ් බදියුදීන් කියන සාධකය ඇතුළත් වෙන්නේ නැහැ. ඔහු ඇතුළත් කරගන්න කිසිම කෙනෙක් එකඟ වෙන්නෙත් නැහැ.

ඔබ ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරනවා. හැබැයි ඔවුන් ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගය ජයග්‍රහණය කරන්නවත් ඔබලාගේ අය පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒක ඔබලාගේ දුර්වලතාවයක් නෙමේද?

ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ ඒ විශ්වාසභංගය ගෙනාවේ ආණ්ඩුව රකින්න. ආණ්ඩුව පරද්දන්න පුළුවන් විශ්වාසභංගයක් ගෙනාවේ අපි. ඒ රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව. ඒ අවස්ථාවේ ඒ විශ්වාසභංගයට කතෝලික ජනතාව නියෝජනය කරන සියලුම ආණ්ඩුවේ මන්ත්‍රීවරු එකඟත්වය පළකරලා තිබුණේ. අන්න ඒ තත්ත්වයෙන් මුදවා ගන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ වැඩේ කළේ. ජේ.වී.පී.ය අද කරන්නේ ආණ්ඩුවේ අපහසුතා කරට අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර කපන එක. අනික ඔය විශ්වාසභංග යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ කා එක්කද වචනයක් හරි සාකච්ඡා කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පිහිටුවලා ඒ පරීක්ෂණ කරන්න කියලා ඔබලා කතානායකගෙන් ඉල්ලීමක් කළා. හැබැයි දැන් ඒකෙ හෙළිවෙන කාරණා එක්ක ඔබලා එම කාරක සභාවට විරුද්ධයි. ඇයි එහෙම?

අපි කාරක සභාව පිහිටුවන්න කිව්වේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. නමුත් අවසානයේ සිදු වුණේ රිෂාඩ් බදියුදීන් රැකගැනීමේ තත්ත්වයකට මේක මෙහෙයවුණු එක.

හැබැයි මේ සිද්ධියේ කවුද වගකිවයුත්තේ කියන කාරණය මේ වනවිට හෙළිවෙලා තියෙනවා නේද?

යම් සාධාරණත්වයක් සමහර අවස්ථාවලදී තිබෙනවා. හැබැයි මේකේ බහුතරය වෙන්නේ මේකේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ හෙළි කිරීම විතරයි. ඒ වගේම රිෂාඩ් ඇතුව කණ්ඩායම බේරා ගැනීම. එවැනි පාපකර්මීය වැඩකට අපි සූදානම් නැහැ.

► ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00