2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

කොයිවෙලේ හරි එජාපය දෙකට කැඩෙනවා

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

~ ශ්‍රී ල.නි.පය විනාශ වෙනවා දකින්න අපි කැමති නෑ
~ මේ ආණ්ඩුව මාව තුන්වතාවක් හිරේ යැව්වා
~ පවුල්වලින් ආපු පිරිස් වැඩියෙන් ඉන්නේ එජාපයේ
~ ඡන්දෙ ඉල්ලන්න තරම් වෙල්ගම මහත්තයා බොළඳ නෑ
~ සජිත්ලා අපි හැදූ වරාය, ගුවන් තොටුපොළ දෙකම වික්කා
~ ජවිපෙ අන්තිමට යූ.එන්.පීයට එකතු වෙනවා

ඔබගේ අලුත් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කරලා තියෙනවා. ඔහුට විරුද්ධව පහුගිය කාලේ යම් යම් හැලහැප්පීම් පක්ෂය තුළ තිබුණා. දැන් ඒ ප්‍රශ්න ඉවර වෙලාද මේ නම ඉස්සරහට ගෙනාවේ?

ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම යෝජනා කළේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ තනි කැමැත්තට නෙවෙයි. අපි මේක එක පැත්තකින් ගම සමඟ සංවාදයක් ගොඩනගලා තිබ්බේ. බැසිල් රාජපක්ෂ මහත්මයා මේ පක්ෂෙ ගොඩනැගුවෙම පොදු ජනයා වෙනුවෙන්. ඒකයි පොදු ජන පෙරමුණ කියන්නේ. අපි හැම ගමකින්ම පොදු ජනතාවගේ මතය විමසුවා. ඒ වගේ පක්ෂ නායකයන් එක්කත් සාකච්ඡා කළා. මේ සියල්ලන්ගේම අදහස් අනුව තමයි මහින්ද රාජපක්ෂ මහත්මයට අපේක්ෂකයා නම් කිරීමට අවස්ථාව ලැබුණේ. ඒ නිසා සියලු දෙනාගේම එකඟතාවය මතයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම් කළේ. යම් යම් පෞද්ගලික ආරවුල් තියෙන අය ඇති. නමුත් පොදුවේ ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා.

ඔබ කොහොම කිව්වත් ආණ්ඩු පක්ෂෙ අය කතාවෙන්නේ ජනතාව සහ මන්ත්‍රීවරු ඉල්ලපු නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයට ඉඩ දුන්නත් රාජපක්ෂවරුනම් ඒකට වැඩි කැමැත්තක් නෑ කියලයි.

ඕක සීයට සීයක්ම එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකතුවෙන් වමේ බලවේගවලට විරුද්ධව හදපු තවත් කටකතාවක්.

ඔබ ගැන කියනකොට ආණ්ඩුවේ අය කියන්නේ ඔබ ඊළඟ නායකත්වය සඳහා සූදානම් වන නිසා උඩින් ගෝඨාභය රාජපක්ෂට කැමති වුණාට යටින් කකුලෙන් අදිනවා කියලා.

ඒ කතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ. මේක විරුද්ධවාදීන් විසින් අපේ පවුලේ සමගිය, එකඟත්වය කඩන්න ගන්න උත්සාහයක්. ගොඩක් අය දන්නවා ඉතිහාසය ගත්තම බණ්ඩාරනායක පවුල දෙකට තුනට කැඩුවා. අනුර බණ්ඩාරනායක මහත්මයා චන්ද්‍රිකා බණ්ඩාරනායක එක්ක තරහා කළා. මැඩම් එක්ක අම්මා තරහා කළා. බණ්ඩාරනායකවරු අවසානයේ බෙදීම තුළින් දේශපාලනය කළේ. ඒ නිසා ගොඩක් අය උත්සාහ කරන්නේ ඒ බෙදීම තුළින් දේශපාලනය කරන්න.

ඇත්තද ඔබ හම්බන්තොට තිබ්බ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කටවුට් ගලවලා විසි කළා කියන්නේ?

කටවුට්, පෝස්ටර් ඉටිකොළවලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් කරන්න ඕන කියලයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔහුගේ ප්‍රතිපත්ති ඇතුළේ කියලා තිබුණේ. මමත් පෞද්ගලිකව විශ්වාස කරනවා පරිසරය හානි නොකරමින් කටයුතු කළ යුතුයි කියලා. ඒ නිසයි අපි හම්බන්තොට කටවුට් ගැලෙව්වේ. අනික ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මුහුණ පෝස්ටර්වල ගහන්න ඕන නෑ. ජනතාවගේ හදවතේ තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයට කටවුට්, පෝස්ටර් ඕන වෙයි. මොකද එතුමා ජනතාවගේ හදවතේ නෑනේ.

ගොඩක් දෙනෙක් කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයට දරුණු පරාජයක් ඇතිකරගන්න මූලික වෙච්ච පිරිස තමයි නැවතත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වටේ ඉන්නෙ කියලා. ඒ කියන්නේ පරණ දේවල්ම ආයෙත් දකින්න පුළුවන් වෙයි නේද?

දේශපාලනමය වශයෙන් අපි හැමෝටම නඩු දැම්මා. නමුත් බහුතරයක් දෙනා අද වෙනකොට ඒවාවලින් නිදහස් වෙමින් යන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයත් එක්ක එකට ඉඳලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපාලනය විනාශ කරපු මිනිස්සු අද ඔක්කොම ඉන්නේ ආණ්ඩුව පැත්තේ. ඒ අය ජනවාරි 8 වෙනිදම අපිව අත්හැරලා ගිහින් අපිට විරුද්ධව සාක්ෂිකාරයෝ වුණා. ගොඩක් අය ගියේ දේශපාලනමය අතින් වාසි ලබාගන්න. ජනතාව හිතනවනම් ඒ අය තමයි නැවතත් ඉන්නේ කියලා මම කියනවා ඒ අය ඉන්නේ එක්සත් ජාතික පක්ෂෙ සහ ජනතා විමුක්ති පෙරමුණේ කියලා.

ඔබලා කරනවා කියන්නේ පිරිසිදු දේශපාලනයක්. හැබැයි පොදු ජන පෙරමුණේ තරුණ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයගෙන් ප්‍රශ්න ඇහුවේ නීති විරෝධීව පඩි දෙකක් අරගෙන චෝදනා එල්ල වෙච්ච තරුණියක්. අපි දැක්කා මේක සමාජ මාධ්‍යවල ලොකු මාතෘකාවක් වෙලා තිබුණා.

ඒ සියලු චෝදනා අපි හැමෝටම මඩ ගහන්න කරපු චෝදනා. ඒ සියල්ල දේශපාලනික වශයෙන් ගෙනාපු චෝදනා. අනික ඔය පඩි දෙකක් ගත්තා කියන චෝදනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් පත්කළ කොමිසමකින් නිදොස් කොට නිදහස් කළා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය ඇය කාන්තාවක් නිසා මඩ ගහන්න උත්සාහ කරනවා. අද ඒ අයම කියනවා කාන්තාවන්ට දේශපාලනය කරන්න ඉඩ දෙන්න කියලා. නමුත් දේශපාලනය කරන්න ගියාම මඩ ගහනවා. පහුගිය කාලේ කාන්තාවන් කිහිපදෙනෙක්ට විරුද්ධව නඩු දැම්මා. හැබැයි මේ අය අද වෙනකොට නොබියව ආණ්ඩුවට විරුද්ධව නැගී සිටිනවා. ඒ නිසා ඒ අය නිශ්ශබ්ද කරන්න ඔවුන්ට මඩ ගහනවා.

තරුණ සමුළුව මාධ්‍යයට ආවරණය කරන්න දුන්නෙ නෑ කියලා ලොකු කතාවක් යනවා. ඒක රාජපක්ෂලගේ පරණ මාධ්‍ය මර්දනයම තමා කියලයි චෝදනා කරන්නේ. මොකද්ද එදා වෙච්ච සිද්ධිය?

ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක් සහ වැරදි අර්ථකථනයක්. අපි කිසිසේත්ම මාධ්‍යයට වාරණයක් හෝ තහනමක් දැම්මෙ නෑ. මාධ්‍යවේදියෝ රැසක් උදේ ඉඳන් අපිත් එක්ක මේක ආවරණය කරන්න සහභාගී වෙලා හිටියා. යම් යම් අයට ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. මම හිතන්නේ සංවිධානාත්මක සිද්ධියක් මේක. හැබැයි යම් කෙනෙක් අපහසුතාවයට ලක්වුණා නම් මගේ සහෝදර මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

ඔබට නැවතත් මාධ්‍යයෙන් චෝදනා එල්ල වෙනවා නාමල් වටේ ඉන්නෙත් පරණ කට්ටියම තමයි කියලා. ඒ නිසා ඉස්සරහටත් අර පරණ රේස් බලන්න පුළුවන් වෙයි කියලයි ආණ්ඩුවෙන් චෝදනා කරන්නේ. ඒ කියන්නේ තාම පරණ නාමල් රාජපක්ෂමද ඉන්නේ?

නාමල් කොහොමත් පරණ නාමල් රාජපක්ෂම තමයි. හැබැයි ඒ පරණ නාමල්ට වැරදි අර්ථකථනයක් දීලා තිබුණා එදා විපක්ෂයේ අය විසින්. ඒ වගේම වැරදි පෙනුමකුත් දුන්නා. ඒ කතා හදපු අය විසින්ම අද වෙනකොට අලුත් ප්‍රතිරූපයක් ගොඩනගලා දීලා තියෙනවා. ඒ වගේම ඔවුන් විසින් කියපු ලැම්බොගිනි, රත්තරන් අස්සයෝ ඒ සියල්ල බොරු බවට සාක්ෂි පිටින් තහවුරු කළා විතරක් නෙවෙයි අපි අතින් යම්කිසි වරදක් වෙලා තිබ්බනම් ඒක නිවැරදි කරගන්නත් ඔවුන් අවස්ථාව දුන්නා. විශේෂයෙන් කියන්න ඕන මාව තුන්වතාවක් හිරේ දාලා ජීවිතයේ ලබන්න ඕන උපරිම අත්දැකීමක් මේ ආණ්ඩුව විසින් ලබාදුන්නා. ඒ ලබපු පන්නරය ඉදිරියේදී ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගන්න අවස්ථාවක් වේවි.

ඇයි මේ නාමල් රාජපක්ෂ එක්ක අලුත් මූණු දකින්න නැත්තේ?

ඒ මතය වැරදියි. එදා නාමල් රාජපක්ෂගේ දකුණු අත වගේ හිටිය ගොඩක් අය අද ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක්ක. අද ඒ ඉතුරු වෙච්ච අය ඔක්කොම අලුත් මුහුණුවල්.

ඔව්. ඔබ කියන කතාව ඇත්ත. හැබැයි මේ ඉන්න ඔක්කොම දේශපාලනඥයන්ගේ පුත්තුනේ. ගමේ කොල්ලෙක් හොයාගන්න බැහැනේ.

එහෙම නෑ. අලුතින් පත්වුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු බහුතරයක් අලුත් මුහුණු. අපි ඊළඟ පළාත් සභාවටත් අපි අලුත් පක්ෂෙන් අලුත් මුහුණු දානවා. ඒ වගේම අපේ පක්ෂය මුහුණ දෙන පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයටත් අලුත් මුහුණ ඉදිරිපත් කරනවා. ඒ අය උගත් බුද්ධිමත් අය.

දැනට එජාපයෙන් පෙනෙන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස. නිකමට හරි ඔහු ගෝඨාභය රාජපක්ෂ එක්ක තරගෙට වැටුණොත් ගෝඨාභය රාජපක්ෂ පරාජය වෙයි කියලා තමයි එ.ජා.ප ආණ්ඩුවේ බොහෝ දෙනෙක් කියන්නේ. ඒ කියන්නේ මේක ලේසි පහසු අභියෝගයක් නෙවෙයි.

අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා මේකට එයි කියලා. අපිත් කැමතියි එහෙම වෙනවනම්. මොකද එතුමා කටයුතු කරන්නේ යාචක මානසිකත්වයෙන්. අපි බලාපොරොත්තු වෙනවා එතුමා ඒ මානසිකත්වයෙන් ගැලවෙයි කියලා.

සජිත් ප්‍රේමදාස මහත්මයත් හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුතෙක්. ඔබත් හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුතෙක්. දෙන්නම හම්බන්තොට. හැබැයි රාජපක්ෂලට වැඩිය අවුරුදු පහක් ඇතුළත විශාල වැඩකොටසක් තමා සිදු කළා කියලා ඔහු විසින්ම කියනවා. ඒ කියන්නේ රාජපක්ෂලා ෆේල් නේද?

සජිත් ප්‍රේමදාස මහත්මයා අවුරුදු පහකට කරන්න බැරි දේවල් නෙවෙයි රාජපක්ෂලට පරම්පරා තුනකට කරන්න බැරි දෙකක් හම්බන්තොටට සිද්ධ කළා. ඒක අපි පිළිගන්නවා. හම්බන්තොට වරායත් වික්කා. මත්තල ගුවන්තොටුපළත් වික්කා. රාජපක්ෂවරු ජීවිතේට කරන්නෙ නැති දෙයක් ඒක.

මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ඉන්නේ වැට උඩ. ඔවුන් එනවද නැද්ද කියලා තාම තීරණයක් නෑ. හැබැයි සාකච්ඡා අතහරින්නෙත් නෑ. ඒ කියන්නේ පොදු ජන පක්ෂයට තීරණාත්මක සාධකයක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක සාධකයකට වඩා මමත් මගේ පියාත් මගේ සීයත් දේශපාලනය පටන්ගත්ත තැන ඒ වගේම අපේ සීයලා සහ බණ්ඩාරනායක මහත්මයා ආරම්භ කරපු පක්ෂයක්. අපි කැමති නෑ ගමේ දේශපාලන මතවාද ගොඩනගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙනවට, එක්සත් ජාතික පක්ෂයට හේත්තු වෙනවට. ඒ නිසා දැන්වත් අපිත් එක්ක සන්ධානගත වෙලා එක දේශපාලන මතයකට එන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝදෙනෙක් එන්න අකමැති රාජපක්ෂ නායකත්වයේ ඉන්න නිසා කියලයි චෝදනා එල්ල කරන්නේ.

ආණ්ඩුව ගත්තම සජිත් ප්‍රේමදාස මහත්මයට කැමති අය ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයටත් එහෙමයි. හැබැයි මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා රටක් පාලනය කරන්න පුළුවන් කෙනකුට තමයි රට බාර දෙන්න ඕන නායකත්වය දෙන්න ඕන. මේ පවුල් දේශපාලනය ගැන කතා කරන ගොඩක් දෙනෙක්ට අමතක වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය තමයි වැඩිම පවුල් පරිසරවලින් ආපු අය ඉන්නේ කියලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා හැටියට වෙල්ගම මහත්මයා ඉදිරිපත් කරනවා කියලා කතාවක් තියෙනවා. එහෙම වුණොත් රාජපක්ෂවරැන්ට ඉන්න එකම විරුද්ධවාදියා වෙන්නේ වෙල්ගම මහත්තයා?

මම හිතන්නෙ නෑ වෙල්ගම මන්ත්‍රීතුමා ඒ තරම් දේශපාලනමය වශයෙන් බොළඳයි කියලා. එකුමා අවුරුදු තිස් ගාණක් දේශපාලනය කරපු මනුස්සයෙක්. විවිධ මත එතුමා ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මේ කියන දේ වෙයි කියලා විශ්වාස කරන්න බෑ.

අවුරුදු විස්සකින් පමණ ප්‍රධාන පක්ෂ තුනක් අපේක්ෂකවරු තුන්දෙනෙක් එක්ක තරග බිමට එන්න යන්නේ. 50% අනිවාර්යය සාධකයක්. ලේසි වෙයිද අනුර කුමාරලා, සජිත් ප්‍රේමදාසලා එක්ක ගෝඨාභය රාජපක්ෂට ඔය කඩඉම පන්නගන්න?

කිසි ප්‍රශ්නයක් නෑ. මේ රටේ ඉතිහාසය ගත්තම ජනාධිපතිවරණයකදී රටේ ප්‍රධාන පක්ෂ දෙකක් අතර තමයි ජනතා ඡන්ද බෙදෙන්නේ. අපි දන්න ජන බලවේගයක් නෑ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කෝටි ගාණක් වියදම් කරලා ගෝල්ෆේස් එකේ ලොකු රැස්වීමක් තිබ්බා. ඒක හොඳයි. හැබැයි කැම්පස් ළමයි පාරේ කැට හොල්ලලා ගෙනාපු සල්ලිවලින්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි අභියෝග කරනවා ජ.වි.පෙට පුළුවන්නම් මැතිවරණයට ඉදිරිපත් වෙන්න. අවසාන මොහොතේ මේ අය කරන්නේ මට හිතෙන හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයත් එක්ක සන්ධානගත වෙන එක.

එක්සත් ජාතික පක්ෂෙ ඉන්නවා රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රධාන පක්ෂ කිහිපයක්. ඔවුන් එජාපය, සන්ධානයට යන්නෙත් නෑ. ඇතුළෙ වෙන දේ බලාගෙන ඉන්නවා. හැබැයි ඔවුන් අවසාන මොහොතේ රාජපක්ෂ කඳවුරේ හිටගනීද කියලා අපිට සැකයක් තියෙනවා.

බොහෝ දෙනෙක් අපිත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. සමහර අය සන්ධානගත වෙයි. සමහර අය සන්ධානගත නොවෙයි. ඒ අය එහෙ ඉඳලා අපේ ජයග්‍රහණයට කරන්න ඕන දේවල් කරයි.

ඒ කියන්නේ දැන්ම බිලී බාගන්න ඕන අය බිලී බාගෙන ඉවරයි? 

මැතිවරණයක වෙන දේවල් ඉතින් කිය කිය කරන්නෙ නෑනේ.

ඇත්තද එජාපයේ ප්‍රබල ඇමැතිවරයෙක් ඇතුළු කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා කළා කියලා කියන්නේ?

රනිල් වික්‍රමසිංහ මහත්මයා නිතරම හොයන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයට කතා කරපු ඒවයි. ඒවා නෙවේ එයා හොයන්න ඕන සජිත් ප්‍රේමදාස මහත්මයට කතා කරපු ඒවා. මොකද මේ තියන අවුලෙ හැටියට කොයිවෙලේ හරි එජාපෙ දෙකට මැද්දෙන් බෙදෙයි.

දැන් ඔබේ කඳවුරේ ඉන්න ඇතැම් අය කියනවා මේ මේ පුද්ගලයො ආවොත් ඔවුන් ආණ්ඩුවේ ඉන්නෙත් නෑ කියලා. එහෙම කොහොමද කට්ටිය එකතු කරගන්නේ?

මෙහෙමයි. ආණ්ඩුවට එන හැමෝම එකතු කරගන්නෙ නෑ. අපේ ප්‍රතිපත්තිවලට අපේ වැඩපිළිවෙළට එකඟ අය විතරයි එකතු කරගන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල මහත්මයා බොහෝම නිශ්ශබ්දව ඉන්නේ. ගොඩක් අය කියනවා පොහොට්ටුවට වෙන්නේ නැවතත් රෑ වැටුණ වලේ දවල් වැටෙන්න කියලා. එහෙම වුණොත් මොකද කරන්නේ?

මෙහෙමයි අපි සාකච්ඡා කරගෙන යනවා ශ්‍රීලනිපය එක්ක. බැසිල් මහත්මයා කිව්වා වගේ සාකච්ඡා ධනාත්මකයි. සාකච්ඡාවල ප්‍රතිඵල ඉතින් අද හෙටම තීරණය වෙන්නෙ නෑනේ. කොහොම වුණත් අපි රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෙ නෑ.

අවසාන වශයෙන් අහන්නේ තවම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අ‍මෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන නැත්ද? ඒක ඇත්තද?

නීතිමය රාමුව ඇතුළේ අපි අපේක්ෂකයට ඉල්ලන්න හැකියාවක් නැත්නම් කවදාවත් එහෙම කෙනෙක් ඉස්සරහට දාන්නෙ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයට එහෙම ප්‍රශ්න නැති නිසා තමයි අපි ඔහුව ඉස්සරහට දැම්මේ.

► ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00